දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

පිළිකා වැනි දරුණු රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර ක්‍රමයන් ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් බහුලව සංසරණය වනවා. ඇතැම් අවස්ථාවලදී එම රෝගයන්හි බරපතල කම හේතුවෙන්ම මෙවැනි සටහන් තුළ දැක්වෙන කරුණු විමසා බැලීමකින් තොරව අදාළ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම පවා අද සමාජයේ සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි ක්‍රියා හේතුවෙන් ඇතැම් විට ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදු විය හැක. 

පිළිකාවට ප්‍රතිකර්මයක් ලෙස අන්නාසි කැබලි කිහිපයක් උණු වතුර සමගින් පානය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සටහනක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“උණුසුම් අන්නාසි පිළිකා සෛල විනාශ කරයි” යනුවෙන්

පිළිකාව පරාජය කිරීමට අන්නාසි උණු වතුර

කරුණාකර ප්‍රචාරය කරන්න !! කරුණාකර ප්‍රචාරය කරන්න !!

ICBS මහ රෝහලේ මහාචාර්ය Dr. Gilbert A. Kwok තරයේ කියා සිටියේ මෙම බුලටින් ලැබුණු සෑම කෙනෙකුටම පිටපත් දහයක් අන් අයට ගෙන යා හැකි නම්, අවම වශයෙන් එක් ජීවිතයක්වත් බේරා ගත හැකි බවයි.

මම මගේ පැත්තෙන් ටිකක් කරලා තියෙනවා, ඔයාටත් පුළුවන් වෙයි කියලා හිතනවා.. ස්තුතියි!

අන්නාසි උණු වතුර ඔබේ ජීවිතය ආරක්ෂා කරයි. උණුසුම් අන්නාසි පිළිකා සෛල විනාශ කරයි.

අන්නාසි කැබලි 2ක් 3ක් කෝප්පයකට සිහින්ව කපා උණුවතුර එක් කරන්න, එය "ක්ෂාරීය ජලය" වේ, ඔබ දිනපතා පානය කරන්නේ නම්, එය සෑම කෙනෙකුටම හොඳයි.

උණුසුම් අන්නාසි පිළිකා නාශක ද්‍රව්‍ය නිකුත් කරයි, ඵලදායී පිළිකා ප්‍රතිකාර සඳහා වෛද්‍ය විද්‍යාවේ නවතම දියුණුව.

අන්නාසි වල උණුසුම් පලතුරට ගෙඩි සහ ගෙඩි විනාශ කිරීමේ බලපෑමක් ඇත. එය සියලු වර්ගවල පිළිකා සුව කරන බව ඔප්පු වී ඇත.

අන්නාසි උණුවතුර අසාත්මිකතා/අසාත්මිකතා නිසා ශරීරයෙන් සියලුම විෂබීජ සහ විෂ ඉවත් කරයි.

අන්නාසි යුෂ වලින් ලබාගන්නා ඖෂධයක් විනාශ කරන්නේ *ප්‍රචණ්ඩ සෛල* පමණක් වන අතර සෞඛ්‍ය සම්පන්න සෛල වලට බලපාන්නේ නැත.

එමෙන්ම අන්නාසි යුෂ වල අඩංගු ඇමයිනෝ අම්ල සහ අන්නාසි පොලිෆෙනෝල් මගින් අධි රුධිර පීඩනය පාලනය කිරීමටත්, අභ්‍යන්තර රුධිර නාල අවහිර වීම වැළැක්වීමටත්, රුධිර සංසරණය වැඩි දියුණු කිරීමටත්, රුධිර කැටි ගැසීම අවම කිරීමටත් හැකියාව ඇත.

කියවීමෙන් පසු, අන් අයට කියන්න, පවුලේ අය, මිතුරන්, ඔබේ සෞඛ්යය ගැන සැලකිලිමත් වන්න.

*අවම වශයෙන් කණ්ඩායම් පහකටවත් මෙම පණිවිඩය යවන්න*

*සමහරු එවන්නේ නැත*

*නමුත් ඔබ එය අනිවාර්යයෙන්ම එවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි*"

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද, මෙම සටහන් පළ වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසිනි.

මෙම කරුණු ටික්ටෝක් ඔස්සේ ද හුවමාරු වී තිබු අවස්ථාවක් මෙතනින් Archived

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය පිළිබඳ අප සොයා බැලීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Also Read : හිස්බඩ පළතුරු කෑම පිළිකාවට ප්‍රතිකර්මයක් ද? ආහාර වේලකට පසු සිසිල් ජලය පානය කිරීමෙන් පිළිකා සෑදෙනවාද?

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන්ම ඉහත සටහනේ සඳහන් ලෙස ICBS මහ රෝහලේ Gilbert A. Kwok k නමැති වෛද්‍යවරයෙක් විසින් අන්නාසි කැබිලි එක්කොට ගත් උණු ජලය පානය කිරීම තුළින් පිළිකා සුව වන බවට පවසා තිබුණේ ද, යන්න පිළිබඳ නිරීක්ෂණය කරනු ලැබුවා.

ඒ අනුව නයිජීරියාවේ ICBS නමැති රෝහලක මහචාර්ය ගිල්බට් ඒ ක්වොක් කේ නමැති වෛද්‍යවරයෙක් විසින් ඉහත සඳහන් කරුණු දැක්වූ බවට එරට වෙබ් ලිපියක සඳහන් වී තිබුණේ මේ අයුරින්. Archived Link

නමුත් අපට අන්තර්ජාලය හරහා මෙම රෝහල පිළිබඳව හෝ මෙම වෛද්‍යවරයා පිළිබඳව ද, පරීක්ෂා කිරීමට උත්සහ කළ ද එවැනි රෝහලක් ඇති බවට හෝ එවැනි වෛද්‍යවරයෙකු සත්‍ය වශයෙන්ම සිටින බවට තොරතුරු නොලැබුණි.

කෙසේ වෙතත් ඉහත සටහනේ දැක්වෙන ලෙස, පිළිකා සුව කිරීම සඳහා අන්නාසි කැබිලි එක් කළ උණු වතුර පානය කිරීමෙන් හැකියාවක් ලැබෙනවා ද යන්න පිළිබඳ අප සොයා බැලුවා.

ඉන්දුනීසියානු පිළිකා පදනමේ සභාපති

අන්නාසි වල සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ඇති සංයෝග අඩංගු වුවත්, එම පළතුර මිනිසුන්ට පිළිකා ප්‍රතිකාරයක් වන බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට ඉන්දුනීසියානු පිළිකා පදනමේ සභාපති මහාචාර්ය වෛද්‍ය අරු විසාක්සෝනෝ සුඩෝයෝ AFP වෙත සඳහන් කර තිබෙනවා.

අන්නාසි සහ අනෙකුත් සෞඛ්‍ය සම්පන්න පළතුරු සහ එළවළු පරිභෝජනය පිළිකා අවදානම අඩු කිරීමට උපකාරී වන අතර, ඒවා රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාර හෝ ප්‍රතිකාරවලට සමාන නොවන පමණක් බවයි ඔහු සඳහන් කර තිබුණේ.

නමුත්, අන්නාසි වල ඇති එන්සයිම සමූහයක් වන බ්‍රොමලේන් (Bromelain) පිළිකා සෛල වර්ධනය, මර්දනය කිරීම සඳහා ආහාරමය අතිරේකයක් ලෙස රසායනාගාර පරීක්ෂණ නල අධ්‍යයනයන්හි විමර්ශනය වී ඇති මුත් මෙතෙක් මිනිසුන් යොදා ගෙන කළ පරීක්ෂණ නොමැති වීම හේතුවෙන් පිළිකා සෛල වර්ධනය කිරීම මර්ධනය කරන බවට නිගමනය කළ නොහැකි බවයි ඔහු වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ.

නිව්යෝර්ක් හි පිළිකා විශේෂඥයෙක්

නිව්යෝර්ක් හි පිළිකා විශේෂඥයෙකු වන සහ Beyond the Magic Bullet: The Anti-Cancer Cocktail නම් ග්‍රන්ථයේ කතුවරයා වන වෛද්‍ය රේමන්ඩ් චැං ද, පෙන්වා දෙන්නේ, පිළිකා සෛල කෙරෙහි අන්නාසි වල බලපෑම පිළිබඳ පර්යේෂණ පදනම් වී ඇත්තේ, පරීක්ෂණ නල තුළ සිදු කළ අධ්‍යයනයන් මත පමණක් බැවින් බොහෝ ස්වාභාවික ද්‍රව්‍ය කෘතිම රසායනාගාර පරිසරයක් තුළ පිළිකා සෛල විනාශ කළ ද, ඒවා ප්‍රායෝගිකව මනුෂ්‍ය වර්ගයාට යොදන විට ඒවා ක්‍රියා නොකරන බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ කරුණු විමර්ශන වාර්තාව මෙතනින්. Archived Link

ශ්‍රී ලංකාවේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ

ශ්‍රී ලංකාවේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මියගෙන් ද අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, අන්නාසි පමණක් නොව පළතුරු ආහාරයට ගැනීම, එළවළු ආහාරයට ගැනීම, යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම, ව්‍යායාම කිරීම වැනි දේවල් පිළිකාවක් සෑදීමට පෙර පිළිකා අවදානම අඩු කර ගැනීම සඳහා ඉවහල් වනවා වුව ද පිළිකා සඳහා ප්‍රතිකාරකයන් නොවන බවයි.

මීගමු රෝහලේ නිර්වින්දන වෛද්‍ය නාමල් විජේසිංහ මහතාද, මේ පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් වීඩියෝවක් එක් කරමින් සඳහන් කර තිබුණේ, මෙරට පෝෂණවේදීන්, කායික වෛද්‍යවරුන්, ප්‍රතිශක්තීකරණය සම්බන්ධ විශේෂඥයින් පවසා ඇත්තේ මෙහි අන්තර්ගතය අසත්‍ය බවයි. අන්නාසි වලින් ප්‍රතිශක්තීකරණය වැඩි කිරීම, ප්‍රති-ඔක්සිජන් ආරක්ෂාව ලැබෙන බවත්, සමට ආරක්ෂාව වැනි යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීමට උපකාර ලැබෙන බවත්, අන්නාසි කැබලි උණු වතුරට දැමීම මගින් එහි ඇති ගුණද, විනාශ වන බවයි වෛද්‍ය නාමල් විජේසිංහ මහතා සඳහන් කළේ.

වෛද්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ, මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර නොගන්නා ලෙසයි. එම වීඩියෝව මෙතනින්.

Also Read : උණු පොල් වතුර, පිළිකා සෛල විනාශ කරනවාද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, පිළිකාව සඳහා ප්‍රතිකර්මයක් ලෙස අන්නාසි කැබලි කිහිපයක් උණුවතුරට දමා බීමෙන් පිළිකා සුව වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.

විදේශීය පිළිකා විශේෂඥයින් මෙන්ම, මෙරට පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය ද තහවුරු කරනු ලබන්නේ, අන්නාසි මෙන්ම අනෙකුත් පළතුරු ද ආහාරයට ගැනීම යහපත් සෞඛ්‍ය පුරුද්දක් වුවත්, පිළිකා සුව කිරීමේ බලයක් අන්නාසි වලට තිබෙන බවට මෙතෙක් සායනික ඔප්පු වී නොමැති බවත්ය.

Avatar

Title:අන්නාසි කැබලි කිහිපයක් උණුවතුරට දමා බීමෙන් පිළිකා සුව වෙනවාද ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading