පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සේ කතාබහට ලක්වන චරිතයක් වන අතර පසුගිය දා නැවත වරක් ඔහු පිලිබඳ කතිකාවතක් නිර්මාණය වී තිබුනේ ඔහුගේ ගිනිබත් වූ නිවස සඳහා කෝටි 2ක වන්දි මුදලක් රජයෙන් ලැබුණු බවට හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහන් පෙළක් ද සමඟයි.

සමාජ මාධ්‍ය සටහන් :

ලබන වසරට පෙළ පොත් මුද්‍රණය සහ අත්‍යාවශ්‍ය පාසල් කටයුතු සඳහා මුදල් වෙන්කිරීම පිලිබඳ රජය බරපතල අර්බුදයක සිටිය ද, අරගලකරුවන් විසින් පිච්චුවා යැයි කියන සනත් නිශාන්තගේ නිවසට රජයෙන් රුපියල් කොටි 2ක වන්දියක් ලබාදීමට මුදල් තිබෙන බව දක්වමින් හුවමාරු වූ WhatsApp සටහනක් පහතින්

Facebook | Archived

මේ ආකාරයෙන්ම “සනත් නිශාන්තගේ නිවසට ලැබුණු කෝටි දෙකක වන්දිය” යනුවෙන් සඳහන් කරමින් මන්ත්‍රී සනත් නිශාන්තට ලැබුණු චෙක්පතක ඡායාරූපයක් බවත් එය රජය විසින් ලබා දුන් බවත් හඟවමින් හුවමාරු වූ තවත් සමාජ සටහනක් පහතින්.

Facebook | Archived Link Facebook | Archived Link

එම තේමාවෙන් ෆේස්බුක් ඔස්සේ සටහන් බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

සත්‍ය වශයෙන්ම රජය විසින් මෙසේ සනත් නිශාන්තගේ ගිනිබත් වූ නිවස සඳහා මෙලෙස වන්දි මුදලක් ලබා දුන්නේද යන්න පිළිබඳ අප විමසා බැලීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන්ම ඉහත චෙක් පත පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, රක්ෂණ සමාගමක් (People’s Insurance) විසින් මහජන බැංකුව (People’s Bank) වෙත නිකුත් කරන ලද චෙක් පතක් මෙහි දැක්වෙන අතර එය කේ.එස්.එන්. පෙරේරා යන නමට අදාළව නිකුත් කර ඇති බවකි.

ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වුණ පරිදි මෙම චෙක්පත මන්ත්‍රී සනත් නිශාන්තට ලැබුණු චෙක්පතක් ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා සහ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසා බැලීම සඳහා අප මන්ත්‍රීතුමා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එම අවස්ථාව ව්‍යර්ථ වුණා.

මන්ත්‍රී සනත් නිශාන්ත

මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ නිල ෆේස්බුක් පිටුව මගින් මේ පිළිබඳව පැහැදිලි කරමින් පළ කර තිබූ ෆේස්බුක් පෝස්ටුවක් වෙත අපගේ අවධානය යොමු වුණා.

එහි සඳහන් කර තිබුණේ, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මහජන බැංකුවෙන් ණය මුදලක් ලබාගත් අවස්ථාවේ තම නිවස ඇප ලෙස ඉදිරිපත් කර ඇති අතර එම බැංකුව විසින් People's Insurance නැමැති රක්ෂණ සමාගමේ නිවස රක්ෂණය කර තිබුණ බවත්, ගිනිබත් වූ නිවසට රක්ෂණ මුදලක් ලෙස මෙම චෙක්පත අදාළ රක්ෂණ සමාගම විසින් මන්ත්‍රී වරයා එම ණය ලබාගත් මහජන බැංකු ගිණුමට බැර කිරීමෙන් පසු බැංකුව මගින් අදලා ණයෙන් කොටසක් ලෙස එම සම්පූර්ණ මුදල පියවාගෙන ඇති බව එහි සඳහන් කර තිබුණා. එම සටහන පහතින්.

Facebook | Archived Link

ඒ සම්බන්ධයෙන් සනත් නිශාන්ත මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අවස්ථාවක් මෙතනින්. පුවත් වාර්තාවක් පහතින්.

Peoples Insurance රක්ෂණ සමාගම

අප මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා People's Insurance රක්ෂණ සමාගමේ ඉහළ කළමණාකාරීත්වය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

රක්ෂීය රක්ෂණ ඔප්පුවක් ඇති ඕනෑම රක්ෂිතයෙකුට රක්ෂණ ඔප්පුවේ කොන්දේසි පරිදි වන්දි මුදල් ලබා දීමට ඔවුන් බැඳී ඇති බවත්, ඒ අනුව මෙහිදී ද කටයුතු සිදුවී ඇති බවත්, මෙය සාමාන්‍ය කටයුත්තක් බවත් සඳහන් කළ අතර, ආයතනයේ ප්‍රතිපත්ති වලට පටහැනි බැවින් රක්ෂණ ඔප්පුව ඇතුළු පුද්ගලික තොරතුරු ලබා දීම සිදු කළ නොහැකි බවත් ඔවුන් පවසා සිටියා.

මැයි 09 වැනිදා සිට රට පුරා ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් සිදුවූ නිවාස හා දේපළ හානි

ගාලුමුවදොර සාමකාමි විරෝධතාකරුවන්ට මැයි 09 වන එල්ල වූ මැර ප්‍රහාරයත් සමග හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු රැසකගේ නිවාස, වාහන දේපළවලට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකොට දේපළ කොල්ලකා තිබුණු අතර නගරාධිපතිවරු, නාගරික මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රිවරුන් ඇතුළු සිය ගණනකගේ දේපළ විනාශ කර ගිනි තබා කොල්ලකා තිබුණා. මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසද, මෙම ගිනි තැබීම් වලට අයත්. මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවස ගිනිබත් වී ඇති අයුරු මෙතනින්.

පසුගිය මැයි 09 වැනි දා සිට විවිධ අවස්ථාවල දී රට තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල හානි වූ සියලුදෙනාට සාධාරණය ඉටුකරදීම සඳහා තමන් පෞද්ගලිකවම මැදිහත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසා තිබු අතර තමන් මේ පිළිබඳව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා සාකච්ඡා කළ බවත් එදින වල ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසා තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ පවුතක් මෙතනින් සහ මෙතනින්. Archived Link

රට තුළ සිදු වූ කලබලකාරී තත්ත්ත්වය මත නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන් සඳහා තාවකාලික පදනම මත වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන් සඳහා වෙන් කරනු ලබන නිවාසවලින් නිවාස ලබදෙන ලෙසටද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබූ අතර, නිවාස විනාශ වූ මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවීමේ පදනම මත එම නිවාස මිලදී ගැනීමට එකඟවන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසිමට ද නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගනු ලැබුවා.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්

ගිනිබත් වූ මන්ත්‍රී නිවාස ලබා දීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ වී ඇත්දැයි යන්න පිළිබඳ විමසා බැලීමක් සිදු කිරීම සඳහා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

මැයි 09 වන දාට සමගාමීව මැති ඇමතිවරුන්ගේ දේපළ අහිමි වූවන්ට වන්දි ලබා දීම සඳහා කමිටු පත් කර ඇති බවත්, අදාළ විමර්ශනයන් තවමත් සිදු වෙමින් පවතින බවත් , වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් හෝ කුමන වටිනාකමින් යුත් වන්දි ප්‍රමාණයක් ලබා දෙනවා ද යන්න පිළිබඳ හෝ කුමන පදනමින් වන්දි ලබා දෙනවා ද යන්න පිළිබඳ මෙතෙක් කැබිනට් පත්‍රිකාවක් යොමු කර හෝ කැබිනට් අනුමැතියක් ලබා දීමක් සිදු නොවී ඇති බවත් මේ පිළිබඳ වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවී ඇති බවත් ඒ මහතා පැවසූවා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න

මැති ඇමතිවරුන්ගේ ගිනිබත් වූ නිවාස සඳහා රජය විසින් වන්දි මුදල් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූවාද යන්න තොරතුරු තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප අප ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නගෙන් විමසීමක් සිදු කළා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සඳහන් කළේ, දේපළ හානි වූ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ලේ වියත් පුර නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස කුලී පදනම මත ලබා ගැනීමට අවස්ථාව සලසා දීම සිදු කර ඇති අතර ඊට අමතරව වන්දි මුදලක් ලබා දීමේ වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි.

මේ අතර අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ඉදිකරගැනීම සඳහා වත්මන් රජයෙන් කිසිදු අනුග්‍රහයක් මෙතෙක් ලැබී නොමැති බවට එම මන්ත්‍රීවරු චෝදනා කරන බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මේ අයුරින්. Archived Link

ඒ අනුව පෙනී යන්නේ, මෙතෙක් ගිනිබත් වූ මැති ඇමතිවරුන්ගේ නිවාස සඳහා වන්දියක් ලබා දීමේ වැඩ පිළිවෙළක් වත්මන් රජය විසින් හෝ පෙර සිටි රජය විසින් ක්‍රියාකර නොමැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, පසුගිය මැයි 09 වැනි දා සිට විවිධ අවස්ථාවල දී රට තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපළ හානි වූ මැති ඇමතිවරුන් සඳහා වත්මන් රජය විසින් වන්දි මුදල් ලබාදීමක් මෙතෙක් සිදුකර නොමැති අතර එසේ සිදුවීමට කැබිනට් අනුමැතියක් අවශ්‍ය අතර එවැන්නක් ද මෙතෙක් සිදුවී නොමැති බවයි.

රජය විසින් කෝටි 2ක වන්දි මුදලක්, ගිනිබත් වූ  සනත් නිශාන්ත මහතාගේ නිවස වෙනුවෙන් ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ චෙක්පතේ ඡායාරූපයේ දැක්වෙන්නේ, සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ රක්ෂණ සමාගම (People's Insurance) විසින් ඔහු ණය මුදලක් ලබාගෙන තිබු බැංකුවට (People’s Bank) ගෙවීමට කටයුතු කර තිබු මුදලකි. 

එසේම ගිනිබත් වූ මැති ඇමතිවරුන්ගේ නිවාස සඳහා වන්දියක් ලබා දීමේ වැඩ පිළිවෙළක් වත්මන් රජය විසින් හෝ පෙර සිටි රජය විසින් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවට ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයද, තහවුරු කරයි.

Avatar

Title:සනත් නිශාන්තගේ නිවසට රජයෙන් ලැබුණු කෝටි දෙකක වන්දියක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading