Update 30/11/22:

පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කරන මත්වන බවට සැකකරන සුගර් බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 28 වන දා පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳසැල වටලා කුඩා බෝතල් හැටක පමණ ඇසුරුම් කර තිබූ සුගර් බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් 55 ක් සොයාගෙන තිබේ. දරුවන් මෙම සුගර් බෝල සහ ලොලිපොප් වලට ඇබ්බැහි වී ඇති බවට දෙමව්පියන් පිරිසක් කල දැනුම් දීමකට අනුව වැටලීම සිදු කර ඇත. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින්. Archived Link

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත් ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් වරින් වර පුවත් වාර්තා වන අතර සමාජයේ දැඩි ලෙස කතාබහට ද ලක් වෙනවා. මෙයින් ඇතැම් දරුවන්ගේ මුළු ජීවිතයම කඩාකප්පල් විය හැකි වුවත්, ඒ ගැන සැලකිල්ලක් නොදක්වමින්, මත්ද්‍රව්‍ය විකිණීමට හා පහසුවෙන් සිය ගොදුර කර ගත හැකි පාසල් ළමුන් ඉලක්ක කර ගන්නා තවත් මත් පෙති වර්ගයක් පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ හඬ පටයක් හේතුවෙන් ඒ පිළිබඳ කරුණු සොයා FactCrescendo අප කළ පැහැදිලි කිරීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

මේ දිනවල පාසල් අසල ටොෆි, ලොසින්ජර්ස් ආකාරයෙන් මත් පෙති විකුණන බව පවසමින්, මේ පිළිබඳව සැලකිල්ලෙන් සිටිය යුතු බව දක්වමින්, දෙමාපියන් දැනුවත් කරමින් WhatsApp ඔස්සේ හඬ පටයක් සමඟ සංසරණය වූ එම ලොසින්ජර්වල ඡායාරූප පෙළක් මෙලෙසින්.

එම හඬපටය පහතින්.

ෆේස්බුක් ඔස්සේ ද, මෙම සටහන පළ වී තිබුණා

Facebook | Archived Link

සත්‍ය වශයෙන්ම මේ දිනවල පාසල් අසල මෙවැනි මත් පෙති විකුණනු ලබනවාද යන්න පිළිබඳ පරීක්ෂා කරන ලෙස ඉල්ලීම් කිහිපයක්ම ලැබුණු බැවින්, මේ පිළිබඳව කරුණු විමසා බැලීමට අප පියවර ගනු ලැබුවේ, සමාජය දැනුවත් කිරීමෙන් අරමුණින්.

ප්‍රධාන පෙළේ නාගරික පාසල්වල සිසුන් මත්ද්‍රව්‍යවලට පොළඹවා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් සිදුවන බවටත් මත්කුඩු, ගංජා, බාබුල්, මෝදක හා මත්පෙතිවලට සිසුන් ඇබ්බැහි කරවා ගැනීමේ උත්සාහය පිළිබඳව සිදුවීම් රැසක් නිරන්තරයෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහා වාර්තා වී ඇති අයුරු අපට දැක ගන්නට ලැබෙනවා.

ඉහත මත්පෙති බවට පළවූ ඡායාරූප පිළිබඳ අප ප්‍රථමයෙන් නිරීක්ෂණය කිරීම සඳහා Reverse Image සෙවුමක් සඳහා එම ඡායාරූප යොමු කරනු ලැබුවා.

එහිදී අපට එම ඡායාරූප වල දැක්වෙන ලොසින්ජර්ස් වැනි ද්‍රව්‍ය, මත් පෙති බවට පළ වූ තොරතුරු බවට ජාත්‍යන්තර මාධ්‍ය තුළ පළ වූ වාර්තා බවට දැක ගන්නට ලැබුණා. එමෙන්ම එම මත්ද්‍රව්‍ය පෙති මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ මිලදී ගත හැකි අයුරින්ද, ඇතැම් ජාත්‍යන්තර ෆේස්බුක් පිටුවලින් ද, මේවා මිලදී ගැනීමට හැකි අයුරින් පවතින බවට අපට දැක ගන්නට ලැබුණු අතර අප මෙහිදී එම තොරතුරු හෙළි නොකරන්නේ ඒ ඔස්සේ එම මත්ද්‍රව්‍ය ඇණවුම් කිරීමේ හැකියාවක් පවතින බැවිනි.

ඉහත හඬ පටයේ කරුණු දක්වන කාන්තාව පවසන පරිදි , එම ඡායාරූප පෙළෙහි දැක්වෙන මත්පෙති ජාවාරම, මෙරට කුමන පාසලක සිදුවූවාද යන්න හෙළි නොකරන අතර සත්‍ය වශයෙන්ම මෙවැනි දෙයක් සිදුවනවා නම් ඒ පිළිබඳ පොලීසියට පැමිණිල්ලක් දැමීම හෝ ඒ පිළිබඳ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැනි අංශක් දැනුවත් කිරීම වඩාත් යෝජ්‍ය ක්‍රමයයි.

නැතහොත් මෙය හුදෙක් ජනතාව, ළමුන් අතර මෙවැනි මත්ද්‍රව්‍ය පිළිබඳ අවධානය ලබා ගෙන, ඒ ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රචාරණය කිරීමක් ද පවා සිදුවිය හැකි බවින් මේ පිළිබඳ දැනුවත් අංශයන්ගෙන් කරුණු විමසා බැලීමට අප කටයුතු කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව

නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පාසල් සහ ටියුෂන් සිසුන් ඉලක්ක කර ගනිමින් මත්පෙති වෙළඳාමේ නිරත වූ පුද්ගලයින් පිළිබඳව පොලීසිය නිරන්තරයෙන්ම අවධානයෙන් සිටින බවත් පසුගිය කාලයේ දී ද වැටලීම් කිහිපයක් සිදුකොට එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

කෙසේනමුත් මෑතකදී පාසල් අසල ඉහත සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ආකාරයේ මත් පෙති වර්ග විකුණු පුද්ගලයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වීමක් හෝ එවැනි පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා නොවූ බව නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායමක් විසින් මෙම මත්ද්‍රව්‍ය වර්ග ප්‍රචාරණය කිරීමල මෙමගින් සිදු කරනවා ද යන්න සැකයක් පවතින බවත්, මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීම් සිදු කරන බවයි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පරියේෂණ අංශය (National Dangerous Drugs Control Board)

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයෙන් සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසර දෙකෙහි මාස ගණනාවක්ම පාසල් වසා දමා තිබූ බැවින් පසුගිය වසර දෙක තුන සිට මේ වන විටත් ඉහත සඳහන් ආකාරයේ මත්පෙති වර්ග පාසල් සිසුන්ට විකිණීමේ ජාවාරමක් පිළිබඳ වාර්තා නොවූ බවත්, පාසල් ළමුන් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් පර්යේෂණයක් ද, සිදු කළ බවත්, නමුත් දුම්කොළ ආශ්‍රිත මත්වන ද්‍රව්‍ය හැරණු කොට මත් පෙති වැනි ද්‍රව්‍ය භාවිත කරන බවට වාර්තා නොවුණු බවද, සඳහන් කළා.

කිසිදු අයුරකින් මත්පෙති බවට සැක සහිත ද්‍රව්‍යයක් අසුවූයේ නම් එහි අන්තර්ගතය කුමක්ද නිරීක්ෂණය කිරීම සඳහා ඒවා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රසායනාගාර පරීක්ෂණය සඳහා එම සාම්පල යොමු කිරීම සිදු කෙරෙන බවත්, නමුත් ඉහත සඳහන් ආකාරයේ මත් පෙති වර්ගයක් නොලැබුණු බවත් ඔවුන් වැඩි දුරටත් අවධාරණය කළා.

එමෙන්ම එම මණ්ඩලයේ නිවාරක අධ්‍යාපන පුහුණු අංශය මගින් පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරන බවත්, ඒ සඳහා මත්ද්‍රව්‍ය ප්‍රචාරණය කිරීමකින් තොරව මේ පිළිබඳව ළමුන් දැනුවත් කිරීමට ඒ සඳහාම පුහුණුව ලැබූ නිලධාරීන් මෙම වැඩසටහන් සඳහා යොමු කෙරෙන බවත්, වයස් මට්ටට අදාළව දැනුවත් කිරීම් සිදු කෙරෙන බවත්, මෙවැනි ක්‍රියා සිදුවෙනවානම් ඒ පිළිබඳ අනිවාර්යෙන්ම දැනුවත් කිරීමක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත ලැබෙන බවත්, මෙතෙක් එවැනි කරුණක් සම්බන්ධයෙන් වාර්තා නොවූ බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක

WhatsApp හරහා හුවමාරු වන එම හඬපටය සහ ඡායාරූප සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය දැනුවත් බවත් ඒ පිළිබඳ ආරක්ෂක අංශ ද දැනුවත් කර ඇති බවත් මේ වන විට සිදු කර ඇති විමර්ශනයන්ට අනුව මෙය අසත්‍ය තොරතුරක් ලෙස පැවසිය හැකි බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක චාමර කරුණාරත්න මහතා අප කළ විමසීමේදී පවසා සිටියේ.

මෙම පෙති වර්ග එක්ස්ටසි වර්ගයේ මත් ද්‍රව්‍ය බවත්,(MDMA) මෙම මත්ද්‍රව්‍ය බහුවල රාත්‍රී සමාජ ශාලාවල ව්‍යාප්ත වන බවත්, මෙය පාසල් වල හෝ පාසල් අවට විකුණනු ලබන බවට මෙතෙක් වාර්තා වී නොමැති බවත්, එම ද්‍රව්‍ය භාවිත කිරීමෙන් එහි බලපෑම දිගු වෙලාවක් පැවතීම හේතුවෙන් ඒ පිළිබඳව ද දරුවන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් දැක ගත හැකි නිසා, මෙය මොනයම් හෝ ආකාරයෙන් ළමුන් අතර බෙදී ගියහොත් ඒ පිළිබඳව වාර්තා වන බවත් සඳහන් කර සිටියා.

එසේම මෙම මත්ද්‍රව්‍යය වෙළඳපොළේ මිල, ළමුන්ට දැරිය නොහැකි මට්ටමින් පවතින හෙයින්, මෙය සත්‍යයක් බවට සාක්ෂි මෙතෙක් නොලැබී ඇති බවත්, මෙතෙක් ලද තොරතුරු වලින්ද මෙම මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමුන් පිළිබඳ ද, වාර්තා වී නොමැති බවත්, සමස්ත පාසල් පද්ධතිය පුරා මෙම කියන මත්ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් හෝ භාවිතය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවට අවධාරණය කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළා.

එමෙන්ම මේ පිළිබඳ යම් තොරතුරක් ඇතොත් මේ පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන 1927 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබා ගනිමින් දැනුවත් කරන මෙන් ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක චාමර කරුණාරත්න මහතා සඳහන් කළා.

MDMA (Ecstasy/Molly) මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු

3,4-methylenedioxy-methamphetamine (MDMA) යනු මනෝභාවය සහ හැඟීම් වෙනස් කරන කෘතිම මත්ද්‍රව්‍යකි. පුද්ගලයෙකුගේ වටපිටාව පිළිබඳ දැනුවත්භාවය මෙන්ම ඔවුන්ගේම සිතුවිලි සහ හැඟීම් වෙනස් කිරීම කෙරෙහි බලපෑමක් සිදුකරන මෙම මත්ද්‍රව්‍ය වර්ග රසායනිකව උත්තේජක (stimulants and hallucinogens) වැනි අන්තරායක ඖෂධ වලට සමානයි. එය වැඩි ශක්තියක්, සතුටක්, චිත්තවේගීය උණුසුමක් සහ විකෘති වූ සංවේදී හා කාල සංජානනය පිළිබඳ හැඟීම් ඇති කරන මත් ද්‍රව්‍යයකි.

MDMA මුලදී ජනප්‍රිය වූයේ රාත්‍රී සමාජ ශාලාවේ සහ රාත්‍රී නර්තන සාදවල (raves) නමුත් මෙම මත්ද්‍රව්‍ය දැන් බහුලව මත්ද්‍රව්‍ය Ecstasy හෝ Molly ලෙස හඳුන්වන පුළුල් පරාසයකට බලපා තිබේ.

MDMA භාවිතා කරන පුද්ගලයින් සාමාන්‍යයෙන් එය කැප්සියුලයක් හෝ ටැබ්ලට් එකක් ලෙස ලබා ගනී, නමුත් සමහරු එය දියර ආකාරයෙන් ලබා ගන්නා අතර ඇතැම් අය එහි කුඩු උරා ගනී. සමහර අය MDMA මත්පැන් හෝ කංසා වැනි වෙනත් මත්ද්‍රව්‍ය සමඟ ලබා ගනී.

MDMA මොළයට බලපාන්නේ කෙසේද?

MDMA මොළයේ රසායනික ද්‍රව්‍ය තුනක ක්‍රියාකාරිත්වය වැඩි කරයි

ඩොපමයින් (Dopamine) - වැඩි ශක්තිජනක ක්‍රියාකාරකම් සහ හැසිරීම් රටා සඳහා කරා යොමුකිරීමට පෙළඹෙයි.

Norepinephrine - හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය වැඩි කරයි, හෘද හා රුධිර නාල ගැටළු ඇති පුද්ගලයින් සඳහා විශේෂයෙන් අවදානම් වේ

සෙරොටොනින් (Serotonin) - මනෝභාවය, ආහාර රුචිය, නින්ද සහ අනෙකුත් කාර්යයන් කෙරෙහි බලපායි. එය ලිංගික උද්දීපනය සහ විශ්වාසය කෙරෙහි බලපාන හෝමෝන ද වෙනස් කරනු ලැබේ. සෙරොටොනින් විශාල ප්‍රමාණයක් මුදා හැරීම MDMA භාවිතා කරන අයගේ චිත්තවේගීය සමීපත්වය, ඉහළ මනෝභාවය සහ සංවේදනය ඇති කරයි.

අනෙකුත් සෞඛ්‍ය බලපෑම් වනුයේ, ඔක්කාරය, මාංශ පේශි කැක්කුම, තමා විසින් දත් මිරිකීම, නොපැහැදිලි පෙනීම, දහඩිය දැමීම යනාදියයි.

MDMA හි බලපෑම් පැය 3 සිට 6 දක්වා පවතී. පළමු මාත්‍රාවේ බලපෑම මැකී යාමට පටන් ගන්නා විට දෙවන මාත්‍රාව ගන්නා මත් ද්‍රව්‍ය භාවිත කරන්නන් ඇති අතර එය මධ්‍යස්ථව භාවිතා කිරීමෙන් පසු සතියක් ඇතුළත, පුද්ගලයෙකුට අත්විඳිය හැකි ලක්ෂණ ලෙස නුරුස්නා බව,ආවේගශීලී බව සහ ආක්‍රමණශීලී බව, මානසික අවපීඩනය, නින්ද ගැටළු, කාංසාව, මතකය සහ අවධානය සම්බන්ධ ගැටළු, ආහාර රුචිය අඩු වීම, ලිංගිකත්වය කෙරෙහි ඇති උනන්දුව හා සතුට අඩු වීම දැකිය හැක.

MDMA හි ඉහළ මාත්‍රාවන් ලබා ගැනීමේදී ශරීරයේ උෂ්ණත්වය නියාමනය කිරීමට ඇති හැකියාවට බලපාන බවත්. මෙය ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාමට හේතු විය හැකි අතර එය අක්මාව, වකුගඩු හෝ හෘදයාබාධ හෝ මරණයට පවා හේතු විය හැකි බවත්, ඊට අමතරව, MDMA විශ්වාසය සහ සමීපත්වය ප්‍රවර්ධනය කළ හැකි බැවින්, එහි භාවිතය-විශේෂයෙන් sildenafil (Viagra) සමඟ ඒකාබද්ධව - අනාරක්ෂිත ලිංගික හැසිරීම් දිරිමත් කළ හැකි බවත් මෙය මිනිසුන්ට HIV/AIDS හෝ හෙපටයිටිස් වැළඳීමේ හෝ සම්ප්‍රේෂණය වීමේ අවදානම වැඩි කරන බවත් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ජාතික ආයතනය පෙන්වා දෙයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

මූලාශ්‍ර : මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ජාතික ආයතනය (National Institute on drug abuse) ඇසුරෙන් සකස් කරන ලදී.

මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පාසල් ළමුන් ඉලක්ක කර ගන්නා ආකාරය පිළිබඳව හා ඔවුන් සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ කොළඹ දූෂණ මර්දන ඒකකය සිදුකළ වැටලීම් සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මේ අනුව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඉහත ඡායාරූපවල දැක්වෙන පරිදි මත්පෙති මෙරට පාසල් පද්ධතිය තුළ පාසල් ළමුන් අතර හුවමාරු වීමක් හෝ ඒ අවට විකිණීම් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා නොවුණත්, මෙවැනි ආකාරයේ මත් පෙති, මත්ද්‍රව්‍ය ඔබේ දරුවා අතට පත්වීම වැළැක්වීම මෙන්ම ඒ පිළිබඳ අවධානයෙන් පසුවී අදාළ බලධාරීන් දැනුවත් කිරීම සමාජයේ ද, වගකීම වන බැවින් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස අපගේ පාඨකයන්ගෙන්ද අප ඉල්ලා සිටිමු.

සමාජ මාධ්‍ය යොදාගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්

අප පෙර පෙන්වා දුන් පැරිදි ලොව විවිධ රටවල මෙම අන්තරායක ඖෂධ වර්ග ජාවාරම් සිදුවන බව වාර්තා වෙන අතර ඒ සඳහා සමාජ මාධ්‍ය ද යොදා ගනිමින් තිබෙනවා. එසේ සමාජ මාධ්‍ය ඔස්සේ නව යෞවනයන් මේ ආකාරයේ මත්ද්‍රව්‍ය සඳහා යොමුවිය හැකි අවස්ථා සහ ඒ පිළිබඳව දෙමව්පියන් අවධායන යොමු කිරීමේ වැදගත් ම පිලිබඳව , මෙසේ අත්නරායක ඖෂධ හේතුවෙන් සිය දියණිය අහිමිවූ දෙමව්පිය යුවළක් අදහස් දක්වා සිටියේ මෙලෙසින්.

පාසල් දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමෙි පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.

මේ පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරන බව කී සුසිල් ප්‍රේමජයන්ත මහතා හෙරොයින් කිලෝ ගණන් රටට ගෙන ඒමෙි දී ඇල්ලූ අවස්ථා තිබූ බවද ඉතා සූක්ෂම අයුරින් ඒවා පාසල් දරුවන් අතරට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බවද සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:මත්ද්‍රව්‍ය ඇතුළත් ලොසින්ජර පිළිබඳ පළ වූ WhatsApp පණිවිඩය පිළිබඳ ඔබ දැනුවත් ද?

By: Pavithra Sandamali

Result: Explainer