දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

Update: 04/04/2023

IPL තරඟාවලිය ආරම්භ වීමට ආසන්නව තිබිය දී අලුතින් ආබාධයට ලක්වූ හෝ පෙර ආබාධ තත්වයන්ගෙන් සම්පුර්ණ සුවය නොලැබූ හෝ ක්‍රීඩකයින් වෙනුවට, වෙනත් ක්‍රීඩකයින් ආදේශ කිරීම සෑම වසරකම වාගේ දැකගනන්ට ලැබෙනවා. ඒ ආකාරයට ආබාධ තත්වයෙන් සුවය ලබා නොමැති වීම හේතුවෙන්, මෙවර තරඟාවලිය තුළ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් සැලසෙන්නේ නැති, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බුම්රා වෙනුවට, ලංකා T20 කණ්ඩායමේ නායක දසුන් ශානක තෝරාගෙන ඇති බවට සටහනක් ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

FB | Archived

කෙසේනමුත් බුම්රා වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ආදේශ කරගෙන තිබු ක්‍රීඩකයා වුයේ දසුන් නොව, ඉන්දීය වේග පන්දු යවන්නෙකු වන Sandeep Warrier යි. ඒ බව නිවේදනය කරමින් නිල මුම්බායි ඉන්දියන්ස් වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් මෙතනින් | Archived

එසේම දසුන්ව Chennai SuperKings කණ්ඩායම සඳහා තෝරා ගෙන ඇති බවටත් සටහන් පෙළක් පැතිර තිබුනේ මෙලෙසින්. වේග පන්දු යවන Kyle Jamieson වෙනුවට දසුන් ආදේශ කර ඇති බවයි එම සටහන් පෙන්වා දීමට උත්සහ කලේ.

ආබාධයට ලක්වූ නවසිලන්ත වේග පන්දු යවන්නා වූ Kyle Jamieson වෙනුවට චෙන්නායි පිළ ආදේශ කළේත් දසුන් නොව, දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නෙකු වන Sisanda Magalaයි. එම නිවේදනය මෙතනින්

කෙවෙතත් පසුගිය සමයේ දී දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන්, ආබාධයට ලක්වූ වෙනත් ක්‍රීඩකයෙකු වෙනුවට, මෙවර IPL තරඟාවලියට සහභාගී වීමේ අවස්ථාව, දසුන්ට උදා වී තිබෙනවා. ඒ නවසීලන්ත පිතිකරු Kane Williamsons වෙනුවටයි. ඒ අනුව BCCI අනුමැතිය ලැබීමෙන් පසුව Gujarat Titans පිළ නියෝජනය කිරීමට දසුන් ට භාග්‍ය උදා වී තිබෙනවා. ඒ අනුව දැනට පැවැත්වෙන ශ්‍රී ලංකා පිලේ නවසිලන්ත සංචාරයෙන් පසුව, පසුගිය වසරේ ශුරතාව හිමිකරගත්, ගුජරාට් පිළ සමඟ එක්වීමේ හැකියාවක් දසුන්ට ලැබෙනු ඇති.

ඒ පිලිබඳ නිල IPL නිවේදනය මෙතනින්. Archived

Original Article

මීට මාස කිහිපයකට පෙර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින සහ විස්සයි-විස්ස තරඟාවලියේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක දැක්වූ දස්කම් හේතුවෙන් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා තෝරාගත් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණා.

සමාජ මාධ්‍ය සටහන් :

2023 වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය, සඳහා දසුන් ශානක Mumbai Indians කණ්ඩායමට තේරී ඇති බවට හඟවමින් සටහන් සංසරණය වී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

මෙවර මෙන්ම පසුගිය වසරේ ද ඉන්දියාව සමඟ පැවති T20 තරඟවලදී විශිෂ්ඨ පිතිකරණයක නිරත වීම හේතුවෙන් මෙය සත්‍යක් බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබු බව, දසුන්ට සුබ පතමින් දක්වා තිබු ප්‍රතිචාර මඟින් දැක ගන්නට ලැබෙනවා.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

2023 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා පසුගිය දෙසැම්බර් 23 පැවැත්වූ වෙන්දේසියේදී කිසිඳු හෝ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු කිනම් හෝ කණ්ඩායමක් විසින් තෝරා ගෙන තිබුනේ නැහැ.

දසුන් ශානකද ඇතුළුව කුසල් මෙන්ඩිස්, දුශ්මන්ත චමීර, පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, ඩිල්ශාන් මදුශංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 10 දෙනා 2023 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා යෝජනා වූව ද, එකදු ක්‍රීඩකයෙක් වත් 2023 IPL තරඟාවලියට තේරී පත් නොවුණි.

කෙසේවෙතත් පසුගිය වසරේ ද ක්‍රීඩා කළ 2023 IPL තරගාවලිය සඳහා ත් තවදුරටත් සිය කණ්ඩායම්වල රඳවා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වනුයේ වනිඳු හසරංග, මහීශ් තීක්ශණ, මතීෂ පතිරණ සහ භානුක රාජපක්ෂ පමණී.

එ් අනුව දසුන් රාජපක්ෂ එම වෙන්දේසියේදී තේරී පත් නොවුණු බවට තහවුරු වේ.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා තරඟ වදින Mumbai Indians ක්‍රිකට් ක්‍රීඩකයන් ලැයිස්තුව පහතින්.

Facebook | Archived Link

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනෙ එම කණ්ඩායමේ "Global Head of Performance" ලෙස පසුගිය දා පත්කර තිබුණා.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් සතු කණ්ඩායම් තුනේම පුහුණු කටයුතු සහ නවක ක්‍රීඩකයින් තෝරාගැනීම සම්බන්ධ වගකීම් ඔහුට පැවරුණා. ඒ හේතුවෙන් අප කළ විමසීමේදී දසුන් ශානකව එම කණ්ඩායම සඳහා තෝරාපත් කර ගැනීම අසත්‍ය බව මහේල ජයවර්ධන විසින් පැවසුවා.

ඉන්දීය තරඟාවලියේ දී දසුන් දැක්වූ සුවිශේෂී පිතිකරණය

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පූනේ හිදී පැවති දෙවන T20I තරඟයේදී දසුන් ශානක පන්දු 22කදී නොදැවී ලකුණු 56ක් රැස් කළ අතර එම තරඟයේ අවසන් පන්දු වාරය ද කඩුලු 2ක් ද ලබාගනිමින් තුන් ඉරියව් දස්කම් දැක්වුයේ ඉන්දීය සංචාරයේ දී ශ්‍රී ලංකාව ලද එකම ජයග්‍රණය ලඟා කරමින්. ඉන්දීය කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟ සියල්ලම ශ්‍රී ලංකාව පරාජය වුවද එහි පළමු තරඟයේ දී නැවත විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 108ක් රැස්කර ගැනීමට දසුන් සමත් වුණා.

IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මුදලකට දසුන් ශානක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද, ඔහුව වෙන්දේසියෙන් තෝරාගැනීමක් වූයේ නැහැ. මේ හේතුවෙන් ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන Star Sports show 'Match Point', ක්‍රීඩා වැඩසටහනේ පැවති සාකච්ඡාවකදී ක්‍රීඩක වෙන්දේසිය සිදු වුවහොත් දසුන් ශානකට කොපමණ මුදලක් ගෙවන්නේදැයි නිවේදකයා ගෞතම් ගාම්භීර්ගෙන් විමසා සිටි අවස්ථාවේ දී, ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ උපදේශකවරයාද වන ගාම්භීර් ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

“මට මුදල් නැහැ. ඔහු පන්දුවට පහර දුන් ආකාරයට ඔහු මිල අධික වනු ඇති. ඒක තමයි වෙන්දේසිය කියන්නේ, හිතන්න මෙම තරගය ඇතුළු සිදුවීම් වෙන්දේසියට පෙර සිදුවූවා නම්, සමහර කණ්ඩායම්වලට ඔහුව මිලදී ගැනීමට මුදල් නොතිබෙනු ඇති.”

එසේම තවත් ක්‍රීඩා විචාරකයින් පවසා තිබුණේ, දසුන් මීට වඩා පන්දු යැවීමට ද යොමු වී තිබුණේ නම් ඔහුගේ වටිනාමක මීටත් වඩා ඉහළ යා හැකි බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රධාන මාධ්‍යවාර්තා පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

IPL සඳහා තේරී පත් වී ඇති ක්‍රීඩකයින් ඉවත්වීම හේතුවෙන් ආදේශ ලෙස වෙනත් ක්‍රීඩකයින් එක්වීමේ අවස්ථා පසුගිය වසර කිහිපයේ දී ම වාර්තා වෙනවා.

මීට පෙර වසරවලදී ද ඇතැම් ක්‍රීඩකයින් ආබධයන්ට ලක්වීම ඇතුළු විවිධ හේතු මත IPL තරඟාවලි සඳහා එක් නොවීමට තීරණ කිරීමේ දී ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයින් ආදේශ ක්‍රීඩකයින් ලෙස එකී කණ්ඩායම් මඟින් ලබාගත් අවස්ථාවන් වාර්තා වෙනවා. 2022 වසරේ දී එසේ ආදේශ ලෙස ලබාගත් ක්‍රීඩකයින් පිලිබඳ පසුගිය වසරේ අප්‍රේල් මස පළවූ වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින්

මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ද 2022 IPL තරඟාවලිය අතරතුර දී Tymal Mills ආබාධයකට ලක්ව ඉවත්වීමට සිදු වූ අතර ඒ වෙනුවට දකුණු අප්‍රිකානු ප්‍රහාරක පිතිකරුවෙකු වන Tristan Stubbs කණ්ඩායමට ආදේශ කෙරුණා.

ඉදිරියේ දී දසුන් ව ද කිනම් හෝ IPLකණ්ඩායමකට එලෙස ආදේශ කිරීමක් සිදුවුවහොත් ඒ පිළිබඳ මෙහි යාවත්කාලින කිරීමට ද බලාපොරොත්තු වෙමු.

Also Read : IPL ක්‍රීඩක වෙන්දේසියේ දී චාමික කරුණාරත්නව කිසිදු හෝ කණ්ඩායමක් මිලදී ගත්තා ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

2023 වසරේ පැවැත් වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය, සඳහා දසුන් ශානක Mumbai Indians කණ්ඩායමට තේරී ඇති බවට හඟවමින් පළ වූ සටහන් අසත්‍ය වේ. ඒ බවට එම කණ්ඩායමේ Global Head of Performance වන මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විසින් ද තහවුරු කරනු ලැබුවා.

Avatar

Title:2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා දසුන් ශානක Mumbai Indians කණ්ඩායමට?

Fact Check By: Pavithra Sandamali

Result: False