දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දිවයිනේ නන්දෙසින් විරෝධතා පෙළක්ම වාර්තා වෙනු අපට මේ වකවාණුවේ දැක ගන්නට පුළුවන්. එමෙන්ම එලෙස පවත්නා ඇතැම් විරෝධතාවයන්හිදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදු කරන අවස්ථා ද, ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කරනවා. මෙවන් පසුබිමක පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ උද්ඝෝෂණ තහනම් කරන බවට ප්‍රකාශයක් සිදු කළ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම් ජනපති පාර්ලිමේන්තුවේදී කියයි” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

එම තේමාවෙන් ඔස්සේ වීඩියෝවක් ද සංසරණය වූයේ මෙලෙසින්.ෆේස්බුක් ඔස්සේ පළ වූ තව ත් වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්.

මෙහි නිරවද්‍යතාවය විමසමින් අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අප මේ පිළිබඳ ව සොයා බැලීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත් වාර්තා කර තිබුණා ද, යන්න පිළිබඳ අප විමර්ශනය කළ ත්, එවැනි පුවතක් පළ වී නොතිබුණු බවට දැක ගන්නට ලැබුණා.

මේ හේතුවෙන් මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ පසුගිය 07 වන දා හෙයින් එදින පාර්ලිමේන්තු සජීවි දර්ශන වෙත අපගේ අවධානය යොමු වුණා.

එහිදී දැක ගැනීමට හැකි වූයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල ප්‍රගතිය පැහැදිලි කරමින් එදින පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශයේදී ඒ මහතා විසින් සඳහන් කරන්නේ, IMF ආයතනය සමඟ පවතින එකඟතාවය කඩා දැමුවහොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් ලබා ගත් ණය ගෙවීමට සිදු වන බවයි. එම නිසා අපට IMF ආයතනය මැදිහත් වී විදේශ ණයකරුවන් සමඟ එකඟ වූ ණය තිරසරභාවය පිළිබඳ කථිකාව දිගින් දිගටම ගෙන යා යුතු බවත්, විවිධ බලපෑම් කණ්ඩායම්, දේශපාලන පක්ෂ, ස්වේච්ඡා කණ්ඩායම්, වෘත්තීය සමිති ආදිය මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතු බවයි.

බදු බර වැඩි බව වෘත්තිකයන් කියා සිටින අතර එසේ වුවත් කෙටි කලක් මෙම තත්ත්වය පවත්වා ගෙන යා යුතුයි. එසේ නැතිව මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කළහොත් දැනට 2022 පෙබරවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු විය හැකියි යනුවෙනි.

නමුත්, සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් සඳහා යෝජනා කර ඇති වැඩපිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩා කප්පල් කළහොත් එයින් මතු වන සමාජ විකල්පය අතිශය භයානක වන බවත්, මෙතෙක් අප සමාජයේ නොදුටු දුක්බර කාලයක් එයින් මතුවන බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

එමෙන්ම එහිදී ජනාධිපති අවධාරණය කරනු ලබන්නේ,

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව ඒ වැඩකටයුතු කරන්න. රැස්වීම් පැවැත්වීම, පෙළපාලි පැවැත්වීම ගැටලුවක් නොවෙයි. නමුත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා නම් ඒ පිළිබඳව මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව මම කියන්න කැමතියි.” යනුවෙනි.

එනම් මෙරට උද්ඝෝෂණ පැවැත්වීම තහනම් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ නොකරනු ලබයි.

පාර්ලිමේන්තු සම්පූර්ණ සජීවී විකාශය මෙතනින්. ඉහත ප්‍රකාශය ඇතුළත් කොටස (01.40.10). ජනාධිති විසින් එදින පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය ඇතුළත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය මෙතනින්. Archived Link

අප මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, මෙරට උද්ඝෝෂණ පැවැත්වීමේ තහනමක් ජනාධිපතිවරයා විසින් පනවා නොමැති බව ත්, ඔහු විසින් එවන් ප්‍රකාශයක් ද, පාර්ලිමේන්තුවේ සිදු නොකළ බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, එනම් මෙරට උද්ඝෝෂණ පැවැත්වීම තහනම් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 07 වන දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බවයි. ජනාධිපති පවසන්නේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා බව ත්, රැස්වීම් පැවැත්වීම, පෙළපාලි පැවැත්වීම ගැටලුවක් නොවන නමුත් උද්ඝෝෂණ මාර්ගයෙන් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා නම් ඒ පිළිබඳව ආණ්ඩුව තදින් ක්‍රියා කරන බවයි.

Avatar

Title:අදින පසු උද්ඝෝෂණ රටේ තහනම් බවට ජනාධිපති ප්‍රකාශයක් සිදු කළාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading