දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අමාත්‍ය කංචන විජේසේකර මහතා විවාහ වීමට නියමිතව සිටින්නේ මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපතිගේ දියණිය බවත්, ඒ හේතුවෙන් මෙරට ඛනිජ තෙල් බෙදා හැරීම සහ අලෙවිය සඳහා ‘සිනොපෙක්’ චීන සමාගමේ නියෝජිත ආයතනය ලෙස ‘මැක්ලරන්ස්’ සමූහ ව්‍යාපාරය තෝරා ගත් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වූවා. මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගත්තා

සමාජ මාධ්‍ය සටහන් :

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ළඟදීම විවාහපත් වීමට නියමිත බව LNW ගොසිප් වෙත වාර්තා වේ.

තරුණ අමාත්‍යවරයකු වන මහතා සමග අතිනත ගන්නා වාසනාවන්තිය වන්නේ ෂෙහාරා සිල්වා මෙනවියයි. ඇය මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයකු වන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති රොහාන් සිල්වා මහතාගේ දියණියයි.

ෂෙහාරා සිල්වා මේ වනවිට මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරයි.

මෙරට ඛනිජතෙල් බෙදාහැරීමේ ව්‍යාපාරික කටයුතු සඳහා මෑතකදී ‘සිනොපෙක්’ නම් චීන සමාගම සමග ගිවිසුමක් අත්සන් තැබුණු අතර සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ මැක්ලරන්ස් සමාගමයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙය සත්‍යයක් බව ට බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවයි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

සිනොපෙක් ෆුවල් ඔයිල් සමාගම

පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින්, චීනයේ Sinopec සමුහ ව්‍යාපාරයේ ලංකාවේ හම්බන්තොට පිහිටි, සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම (PV00216535) පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සඳහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවූ වාර්තා අසත්‍ය බවයි.

එමෙන්ම මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිදු බාහිර ආයතනයක් හෝ තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණා.

තවද සිය ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් කිසිදු පාර්ශ්වයකට පැවරීමට සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම අදහස් නොකරන බවත් සිය සන්නාමයේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම් බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබුනේ මෙලෙසින්.

මෙම නිවේදනය ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ද, හුවමාරු වී තිබුණා.

Sinopec (China Petroleum & Chemical Corporation) යනු බීජිං හි පිහිටි චීන තෙල් හා ගෑස් සමාගමකි. එය චීනයේ මෙන්ම ලොව විශාලතම බලශක්ති සහ රසායනික සමාගම්වලින් එකකි. එසේම විදෙස් රටවල් කිහිපයකම ඉන්ධන අලෙවි කටයුතු සිනොපැක් සමාගම විසින් සිදුකරන අතර ඒ සඳහා ද නියෝජිත ආයතනය යොදාගත් බවක් දැක ගන්නට නොලැබෙන අතර, ඒ පිළිබඳව අප සිනොපැක් මව් සමාගමෙන් ද විමසීමක් සිදුකළ අතර ඔවුන්ගේ පිළිතුරු සමඟ මෙම ලිපිය යාවත්කාලින කිරීමට අප බලාපොරොත්තු වෙමු.

මැක්ලර්න්ස් සමාගම

එමෙන් ම අප මැක්ලර්න්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් (CEO) විමසා සිටියේ සිනෝපැක් සමාගමේ දේශිය නියෝජිත වශයෙන් ඔවුන් කටයුතු කරනවා ද හෝ එසේ කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වනවා ද යන්නයි.

ඒ මහතා සඳහන් කළේ, මැක්ලර්න්ස් සමූහය හෝ එහි අනුබද්ධ ආයතන කිසිවක් සිනොපෙක් ඉන්ධන අලෙවි මෙහෙයුම් සඳහා නියෝජිතයන් නොවන අතර එහි ඉන්ධන මෙහෙයුම් සඳහා හෝ කටයුතු නොකරනු බවයි. ඒ පිළිබඳ ව කරුණු තහවුරු කරමින් එහි අධ්‍යක්ෂකවරකුගේ අත්සනක් සහිත ලිපියක්, මැක්ලරන්ස් ප්‍රධාන විධායක අප වෙත යොමු කරනු ලැබුවා. එම ලිපිය පහතින්.

එමෙන් ම සමාජ මාධ්‍ය සටහන්හි දක්වා තිබු පැරිදි සභාපතිවරයාගේ දියණිය වන මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරයේ වර්තමාන අධාක්ෂකවරියක් වන ෂෙහාර ද සිල්වා සමඟ අමාත්‍ය කංචන විජේසේකර මහතා විවාහ වීමට නියමිත සිටිට බවට පළ වූ කටකතාව ද, අසත්‍ය බවයි මැක්ලර්න්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා තහවුරු කළේ. 

අමාත්‍ය කංචන විජේසේකර

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතාගෙන් ද, අප මේ පිළිබඳ විමසූ අතර අමාත්‍යවරයා ද, පවසා සිටියේ, Sinopec සමාගමේ මෙරට නියෝජිතයින් ලෙස කටයුතු කරන්නේ, සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම බවයි. එම ආයතන තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටි විනිවිද භාවයකින් යුතු ව සිදු කළ බවත්, මැක්ලර්න්ස් සමූහය මේ සඳහා අදාළ වී නොමැති බවත්, එමෙන් ම තමන් එහි සභාපතිගේ දියණිය විවාහ වීමට නියමිත බවට පළ වූ තොරතුරු ද, අසත්‍ය බව ත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉහත සිනොපැක් ෆුවල් ඔයිල් සමාගමේ නිල නිවේදනය ද මෙලෙසින් හුවමාරු කර ගනිමින් අමාත්‍ය කංචන ට්විටර් නිවේදනයක් ඔස්සේ සඳහන් කර සිටියේ ද මෙසේ හුවමාරු වන ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා කථානායකතුමාගෙන් ඉල්ලා සිටින බවත් අසත්‍ය ප්‍රකාශ මේ වන විට ඉවත්කරගෙන තිබු හෝ නිවැරදි කර තිබූ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත ස්තූති වෙන බවත්ය.Archived Link

මෙම පුවත පළවූ ඇතැම් වෙබ් අඩවි, පසුව එම පුවත් ඉවත්කරගෙන තිබූ ආකාරය ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා. Cached

මෙවැනි කටකතාවක් පැතිරීමට හේතුව කුමක් ද?

පසුගිය 24 වන දා පාර්ලිමේන්තු රැස්වීමේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට අදාළ ව පැවති විවාදයට එක්වෙමින්, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මෙම සභාපතිවරයාට අයත් ආයතනයකින් විදුලිය මිලදී ගෙන අලෙවි කරන බවත්, තනතුරට පත් වන අවස්ථාවේ ඒ බව ඔහු වසං කර ඇති බව සඳහන් කළා.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් සඳහන් කරන්නේ, ඉදිරියේදී සිනෝපැක් සමාගමේ දේශිය නියෝජිතයා වන මැක්ලර්න්ස් සමාගමේ හිමිකරුගෙ දියණිය සමග ඛනිජතෙල් ඇමතිවරයා විවාහ ගිවිසගතහොත්, ඇමතිවරයා එම සමාගම සමග ගිවිසුම්ගත වූයේ සිය දෑවැද්ද ලබා ගැනීමට ද යන කාරණය සිතීමට සිදු වන බවයි. එහෙත් එය උපකල්පනයක් පමණක් බවත් ඔහු සඳහන් කළා. විදුලිබල අමාත්‍යවරයා විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතියරයාට ගනුදෙනු ගැන චෝදනා කරන අතරේ අනාගතයේදී ඒ වාගේ ගනුදෙනු අමාත්‍යවරයා විසින්ම විය නොහැකි ද යන්න සජබ මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කර තිබුණා.

කෙසේවෙතත් සජබ මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කරන්නේ අමාත්‍යවරයා මේ ආකාරයේ ක්‍රියාවක් සිදු කරන බවට තමන් නොසිතන බවත් එය උපකල්පනයක් බවත්, එවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු කිරීම සඳහා ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවයි.

Parliament of Sri Lanka

මෙම ප්‍රකාශය පදනම් කර ගනිමින් අමාත්‍ය කංචන විජේසේකර, මැක්ලර්න්ස් සමාගමේ හිමිකරුගේ දියණිය විවාහ වීමට නියමිත බවත්, ඒ හේතුවෙන් සිනෝපැක් සමාගමේ සමග ගිවිසුම්ගත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය තොරතුරු ඇතුළත් සටහන් නිර්මාණය කර තිබු බව පෙනී යනවා.

සිනොපැක් සමූහය සහ නියෝජිත ආයතනය තෝරා ගත් ක්‍රියාපටිපාටිය

මේ පිළිබඳව පැහැදිලි කරමින් පසුගිය 25 වන දා පාර්ලිමේන්තුවේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ඉන්ධන ආනයනය බෙදා හැරීම සහ අලෙවි කිරීම යන කාරණයේදී ජාත්‍යන්තර සමාගම් 3කට අවසර ලබා දීමට තීන්දු කළ බවයි. ඒ චීනයේ සිනොපෙක් සමාගම, අමෙරිකාවේ ස්ථාපිත කර ඇති ආර් එම් පාර්ක්ස් ශෙල් සමාගම, ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ කටයුතු කරන යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම යන ආයතනය 3යි.

මෙම තෝරා ගැනීම රජයේ තනි මතයට, ඇමතිගේ තනි මතයට තෝර ගත්දෙයක් නොව, පසුගිය වසරේ ජූනි මස අභිලාෂ කැඳවීමට පළවන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවත්, අභිලාෂ කැඳවීම සඳහා පුවත් පත් දැන්වීමක් පළ කර, ඉන් පසු මේ සඳහා තාක්ෂණික කමිටුවක් පත් කළ බවත්, කැබිනට් මණ්ඩවලය විසින් පත් කරන ප්‍රසම්පාදන කමිටුවක් විසින් මාස කිහිපයක් ඔස්සේ, සමාගම් 26කින් ලැබුණු අභිලාශ අධ්‍යන කොට, තාක්ෂණික ඇඟයීම් කමිටුව ලෙස සමාගම් 12ක් තෝරා ගැනීමට නිර්දේශ ලබා දුන් බවයි.

මෙම කමිටුවේ සිටින්නේ, විදුලි බල බල ශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වැනි ආයතන ගණනාවක රාජ්‍ය නිලධාරීන් බවත්, ඔවුන් ලබා දුන් සමාගම් 12න් නැවත අධ්‍යනයක් සිදු කළ බවත්, අමාත්‍යවරයා සඳහන් කළා.

බල ශක්ති කමිටුවේ සිටින්නේ විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ඇතුළු මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බවත්, එම සමාගම් 12න් සුදුසුකම් සැපිරූ සමාගම් 3ක් තෝරා ඇති බවත්, පසුගිය මැයි 22 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී, එම සමාගම් තුනෙන් පළවන සැපයුම් කරු වූ සිනොපක් සමාගම ගිවිසුම් ගත වූ බවත්, පැහැදිලි කර සිටිනවා.

එම අවස්ථාව පිළිබඳ ජනපති මාධ්‍ය ඒකකයේ නිවේදනය මෙතනින්.

රජයේ පාර්ශවයෙන්, විදුලි බල අමාත්‍යාජජශ්‍ය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයත්, සිනොපෙක් සමාගම වෙනුවෙන් බීජින් නුවර ලියාපදිංචි සිනොපෙක් ෆුවල් ඔයිල් සේල්ස් කෝ ලිමිටඩ් ලියාපදිංචිය ආයතනයත් ගිවිසුම්ගත වූ බවත්, රජය කිසිදු අවස්ථාවක එහි දේශිය නියෝජිතයින් සමග ගිවිසුම්ගත වී නොමැති බව ත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

චීනයේ සිනොපෙක් ෆුවල් ආයතනය ඔවුන්ගේ ම ආයතනයක් වන සිංගප්පූර්වේ පිහිටි සිනොපෙක් ෆුවල් ඔයිල් සිංගප්පෝ ප්‍රයිවට් ලිමිටඩ් සමග ගිවිසුම්ගත වී ඇති අතර එහි දේශීය නියෝජිතයා වනුයේ, මිරිජ්ජවිල හම්බන්තොට පිහිටි සිනොපෙක් ඔයිල් ලංකා ප්‍රයිවඩ් ලිමිටඩ් ආයතනය බවත්, ඒ අනුව සිනොපෙක් ෆුවල් ආයතනයේ දේශිය නියෝජිතයා වනුයේ, මැක්ලර්න්ස් සමාගම නොව, සිනොපෙක් ඔයිල් ලංකා ප්‍රයිවඩ් ලිමිටඩ් ආයතනය බවට අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙලෙසින්.

Parliament of Sri Lanka

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට ඉන්ධන ආනයනය බෙදා හැරීම සහ අලෙවි කිරීම සඳහා ගිවිසුම් ගත වූ චීනයේ සිනොපැක් ආයතනයේ දේශිය නියෝජිතයා වන්නේ, අමාත්‍ය කංචන විවාහ වීමට නියමිත ෂෙහාරා ද සිල්වා ගේ පියාගේ මැක්ලර්න්ස් සමාගමට බවට පළ වූ සටහන් අසත්‍ය බවයි.

සිනොපැක් සමාගමේ මෙරට දේශිය නියෝජතවරයා වන්නේ, හම්බන්තොට පිහිටි සිනොපෙක් ඔයිල් ලංකා ප්‍රයිවඩ් ලිමිටඩ් ආයතනය වේ. එමෙන් ම ලංකාවේ සිනොපැක් සමාගමේ ඉන්ධන අලෙවි කටයුතු සඳහා වෙනත් කිසිඳු පාර්ශවයක් යොදාගන්නේ නැති බව සිනොපෙක් ඔයිල් ලංකා නිල නිවේදනයකින් තහවුරු කර සිටිනවා.

මැක්ලර්න්ස් සමාගම ද සිනොපැක් සමාගම සමඟ ගිවිසුම්ගත වෙන පුවත මෙන්ම ඔවුන්ගේ අධ්‍යක්ෂවරියක් වන ෂෙහාර ද සිල්වා සහ අමාත්‍ය කංචනගේ විවාහයක් පිළිබඳ පුවත ද ප්‍රතික්ෂේප කර සිටිනවා.

ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා හේතු වී තිබුණේ, සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී උපකල්පනය කරමින් සිදු කළ ප්‍රකාශයකි. එසේම මේ සම්බන්ධයෙන් පළවූ මුල් වාර්තා කිහිපයක් ම මේ වන විට ඉවත් කරගෙන ද තිබෙනවා.

Avatar

Title:ලංකාවේ ඛනිජතෙල් බෙදාහැරීමට ගිවිසුම් ගතවූ සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ මැක්ලරන්ස් සමාගම නොවේ!

Written By: Pavithra Sandamali

Result: False