දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ජංගම දුරකතන වල ක්‍රියාකාරිත්වය සඳහා භාවිතා වෙන විකිරණ වල ප්‍රබලතාවය, කාලයත් සමග වැඩිව තිබෙනවා. මුලින් 2G ජංගම දුරකතන තිබූ අවදියේ භාවිතාවූ විකිරණවලට වඩා වර්තමානය වන විට 4G ,5G තාක්ෂණය යටතේ භාවිතාවන කිරණවල ශක්තිය ,පරාසය මෙන්ම වේගයද වැඩියි. වැඩි ආවරණ ප්‍රමාණයක් ලබාදීම සදහා අතීතයට වඩා මේ වන විට දුරකථන සම්ප්‍රේෂණ කුලුණුද වැඩි වශයෙන් භාවිතා වෙනවා. එම නිසා ජංගම දුරකථන සන්නිවේදනය සඳහා භාවිතාවන කිරණවලට මිනිසුන් මෙන්ම සතුන්ද නිරාවරණය වන ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙනවා.

මේ අතර සමාජ ජාලා ඔස්සේ පැතිරුණු සටහනකින් දැක්වුණේ මෙම කිරණවලට නිරාවරණය වීම නිසා පක්ෂීන්ගේ ගහනයන් බරපතල ලෙස අඩුව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.

සමාජ ජාලා සටහන්

4G , 5G විකිරණයන්ට නිරාවරණය වීම නිසා කුරුළු ගහනය අඩුවන බවට සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ පහත අයුරින්.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

කරුණු විමසා බැලීම:

ලොව පුරා පක්ෂීන්ගේ ගහනය ක්‍රමයෙන් අඩු වී තිබෙනවා ද ?

ඔව් ,ලෝකය පුරාම පක්ෂීන්ගේ ගහනය අඩුවෙමින් පවතිනවා. මෑතකදී කරන ලද එක අධ්‍යනයකට අනුව උතුරු ඇමෙරිකා මහාද්වීපයේ කුරුළු විශේෂ 529 කම ගහනයන්ගේ සිටින ජීවීන් සංඛ්‍යාව අඩුව තිබෙනවා. තවත් අධ්‍යනයකින් තහවුරුව ඇත්තේ යුරෝපයේ පක්ෂීන් සංඛ්‍යාව, 1980 සිට 2017 කාලය තුළ දී පක්ෂීන් සංඛ්‍යාව 19% කින් පමණ අඩු වී ඇති බවයි. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් වනාන්තරයේ ස්ථාන 55 ක සිදු කරන ලද අධයනයන්ගෙන් ද හෙළිව ඇත්තේ එහි ජිවත්වන කෘමි භක්ෂක පක්ෂි ජීවී විශේෂ වලින් 11% කගේ පමණ ජීවී සංඛ්‍යාව අඩු වෙමින් පවතින බවයි. මේ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

පක්ෂීන් ගහනය අඩු වීමට හේතු මොනවාද ?

බොහෝ වාර්තාවලට අනුව පක්ෂීන්ගේ සිදුවන මෙම ප්‍රමාණාත්මක අඩු වීමට මුලිකම හේතුව වී ඇත්තේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වන, වනාන්තර එලි කිරීම , කෘමිනාශක සහ වල්නාශක භාවිතය ආදියයි. ඊට අමතරව ගෝලීය දේශගුණික විපර්යාසය හා සබැදි වෙනස්කම් , නිවාස ඉදිකිරිම ආදිය සදහා වනාන්තර එලි කිරීම් , ආක්‍රමණික ජීවී විශේෂ ආදියේ බලපෑම් ආදිය පක්ෂීන්ගේ ප්‍රමාණාත්මක අඩුවීම කෙරෙහි බලපා තිබෙනවා. ඒ සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින්. Archived

ජංගම දුරකතන සහ සන්නිවේදන තාක්ෂණය උදෙසා භාවිතා කරන කිරණ නිසා, පක්ෂි ගහණ අඩුව ඇතිද ,යන්න පිළිබඳව සොයා බැලීමට අප කටයුතු කළා.

මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ පත්‍රිකා පළව තිබෙනවා. ඉන් ඇතැම් පර්යේෂණ පත්‍රිකාවල කියවෙන්නේ පක්ෂීන් ගේ ගහනවල ජිවත්වන පක්ෂීන් ප්‍රමාණය අඩුවීම සදහා ජංගම දුරකථන ක්‍රියාකාරිත්වය සදහා යොදා ගන්නා විකිරණවල යම් බලපෑමක් සිදුවිය හැකි බවයි.කෙසේ වෙතත් ජංගම දුරකථන සදහා යොදාගනු ලබන විකිරණ නිශ්චිතවම මේ ආකාරයෙන් පක්ෂිනට අහිතකරව බලපාන ආකාරයක් මෙම පර්යේෂණ පත්‍රිකාවල සදහන් වන්නේ නැහැ.

ඉන් බොහෝ දුරට සඳහන් වන්නේ ජංගම දුරකථන කුළුණු බොහොමයක් ඇති ප්‍රදේශවල හෝ විකිරණ ගණත්වය වැඩි ප්‍රදේශවල කුරුල්ලන්ගේ ගහන ගණත්වය අනෙත් ප්‍රදේශවලට සාපේක්ෂව අඩු බවයි. 2002-6 කාල වකවානුව තුළ ස්පාඤ්ඤයේ සිදු කරන ලද එවන් පර්යේෂණයක , තොරතුරු ඇතුලත් පත්‍රිකාවක් කියවිය හැකියි මෙතනින් 2017 වසරේ ඉන්දියාවෙ සිදු කරන ලද එවන් පර්යේෂණයක විස්තර ඇතුලත් පත්‍රිකාවක් මෙතනින්

ඉහත අප සදහන් කරන ලද ආකාරයේ පර්යේෂණ තවත් ගණනාවක් පිලිබදව දත්ත ඉදිරිපත් කල හැකි වුවත් මේවායේ නිශ්චිතවම පක්ෂීන්ට විකිරණ වලින් මේ ආකාර බලපෑමක් සිදුවි ඔවුන්ගේ ගහන ගණත්වය අඩුවූ බවට කරුණු ඉදිරිපත් කිරීමක් සිදු නොවන අතර විද්‍යත් චුම්භක තරංගවල ඉහල තීව්‍රතාවය , පක්ෂීන් කෙරෙහි යම් ආකාර අහිතකර බලපෑමක් සිදුකළා විය හැකි බවට යම් අනුමානයක් පමණක් ඉදිරිපත් කරනවා.

ජංගම දුරකතන සඳහා භාවිතාවන විද්‍යුත් චුම්බක කිරණ ඔස්සේ පක්ෂීන්ට හානි සිදුවීමක් පිලිබඳ පිළිගත් විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් වී නැහැ!

කෙසේ වෙතත් බොහොමයක් පිළිගත් ජාත්‍යන්තර සංවිධාන පවසන්නේ, ජංගම දුරකතන සදහා යොදාගන්නා විද්‍යුත් චුම්බක කිරණ ඔස්සේ පක්ෂීන්ට හානි වීමක් සිදු නොවන බව හෝ එසේ හානියක් සිදු වන බවට මෙතෙක් පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවයි.

"5G හෙවත් ජංගම සෙලියුලර් පස්වන පරම්පරාව කුරුල්ලන් මරන්නේ නැති බවත්, 10 MHz ට වැඩි තරංග (ජංගම දුරකථන කුළුණු ඇතුළුව) මඟින් කුරුල්ලන්ට හානියක් වන බවට හඳුනාගෙන නැත" යනුවෙනුත් මේ පිළිබදව පර්යේෂණ කරන, චුම්බක විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ ජෛව භෞතික විද්‍යාඥ ජෝ කිර්ෂ්වින්ක් පවසා තිබෙනවා.

ජෝ කිර්ෂ්වින්ක් ඇතුළු කණ්ඩායම් මේ පිලිබඳ අධ්‍යයන කිහිපයක්ම සිදුකර තිබෙන අතර ඔවුන් හඳුනාගෙන තිබුනේ AM රේඩියෝ තරංග (එනම් 50KHz සිට 5 MHz වැනි පරාසයක් අතරතුර පවතින විද්‍යුත් චුම්බක තරංග) මඟින් පක්ෂීන්ගේ සංක්‍රමණික රටා සඳහා යම්කිසි බලපෑමක් ඇතිවිය හැකි බවක් පෙනී ගොස් තිබු බවයි.

https://youtu.be/LjTQAFdFF1c?t=237

නමුත් මෙම තරංග විද්‍යුත් චුම්බක පරාසය, ජංගමය දුරකථන පරාසයට වඩා ඉතා අඩු තීව්‍රතාවයක් ඇති එනම් වැඩි තරංග ආයම ඇති කොටසකි. විවිධ විද්‍යුත් චුම්භක තරංග පිලිබඳ විස්තරයක් මෙතනින්.

තවද ඇමෙරිකාවේ ප්‍රකට පක්ෂි සංරක්ෂණ සංගමයක් වන Audubon Society සදහන් කරන ආකාරයට, ජංගම දුරකථන සදහා යොදාගන්නා විද්‍යුත් චුම්භක තරංගවලින් පක්ෂීන්ට හානියක් සිදු වන බවට මෙතෙක් විද්‍යාත්මක සාක්ෂ්‍ය අනුව අනාවරණය වී නැති බවයි. එමෙන්ම දිගු තරංග ආයාම සහ අඩු සංඛ්‍යාත සහිත තරංගවලින් පක්ෂීන්ගේ සංක්‍රමණ රටා ආදියට යම් බලපෑමක් සිදුවන බවට උපකල්පනය කළහොත්, කෙටි තරංග ආයාම සහිත , වැඩි සංඛ්‍යාත සහිත තරංගවලින් සිදුවන බලපෑම සාපේක්ෂව අඩුයි. එනම් 1G සිට 5G දක්වා ආ තාක්ෂණික ගමන් මගේදී පක්ෂීන්ගේ සංක්‍රමණ රටා කෙරෙහි එල්ලවන බලපෑම අඩුවීමක් මිස වැඩිවීමක් සිදුව නැහැ. ඒ සම්බන්ධ වාර්තාවක් කියවිය හැකියි මෙතනින්.

මීට අමතරව සන්නිවේදන කුළුණු වල ගැටීම හේතුවෙන් වසරකට පක්ෂීන් මිලියන කිහිපයක් මිය යාම නිසා එයට පිලියමක් ලෙස කුළුණුවල ඉහල සවිකර තිබුණු එක දිගට දැල්වෙන රතු පැහැති ආලෝක වෙනුවට නිවෙමින් පත්තුවෙන රතු පැහැති ආලෝක සවි කිරීමට ඇමරිකා එක්සත් ජනපදය මීට වසර කිහිපයකට පෙර ගත් තීරණය පිලිබදව විස්තරයක් මෙතනින්.

දේවේන්ද්‍ර කුමාර් දුර්ගම්, ආචාර්ය ශ්වේතා සාඕ සහ ආචාර්ය ආර්.කේ. සිං විසින් සිදුකල පර්යේෂණයක් WORLD JOURNAL OF PHARMACY AND PHARMACEUTICAL SCIENCES පර්යේෂණ පත්‍රිකාවේ පළවී තිබුණා. ඒ අනුව කුරුල්ලන් දුර්වල විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රවලට නිරාවරණය වූ විට, ඔවුන් ව්‍යාකූල වී සෑම දිශාවකටම පියාසර කරන අතර එමඟින් ඔවුන්ගේ ස්වාභාවික පියාසර හැකියාවන්ට හානි වන බව පෙන්වා දී තිබුණා. එසේම, සම්ප්‍රේෂණ කුළුණු අසල ජීවත් වන සතුන්ගේ ස්වයංසිද්ධ ගබ්සා වීම්, උපත් විකෘතිතා, හැසිරීම් ගැටළු පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. වැඩිදුර තොරතුරු කියවීමට මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ජංගම දුරකතන වල විකිරණ හේතුවෙන් පක්ෂීන්ට ඇතිවන බලපෑම් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

Written By: Kalana Krishantha

Result: Explainer