මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි කතෝලික සභාවට අයත්, ‘ප්‍රේම්’ නිවාසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල කතා බහට ලක් වූයේ, මෙහි ළමා ජාවාරම් සිදුවන බවටයි. එමෙන් ම කොළඹ අගරදරගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ මැදිහත් වීම මත, මේ පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණ අතරමග නතර කළ බවත්, සඳහන් විය.

සත්‍ය වශයෙන් ම මෙහි ළමා ජාවාරාම් සිදුවනවා ද, එසේ නැත්නම් නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් මෙහි සිදුවනවාද යන්න පිළිබඳ ව මෙන් ම මෙම නඩුව සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට FactCrescendo අප උත්සහ කළා.

සමාජ මාධ්‍ය සටහන් :

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පෙළක දැක ගන්නට ලැබුණේ, මොරටුව, රාවතාවත්ත පිහිටි ප්‍රේම් ළමා නිවාසයේ ළමා ජාවාරම් සිදු වන බවත්, 2011 වසරේ දී ඒ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කළ වැටලීමක් කළ බවත්, එහිදී එම නිවාසයේ එවකට සිටි ප්‍රධාන පාලිකාව වන කන්‍යා සොයුරියක් අත්අඩංගුවට ගැනුණු බවත්, එම පරීක්ෂණ අතර මැද නැවතීමට සිදු වූයේ කොළඹ අගරදරගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මැදිහත් වීම මත බවත් යනුවෙනි. එසේ දීර්ඝ විස්තරයක් සහිතව හුවමාරු වූ සටහනක් පහතින්.

මෙහෙයුම කල නිලධාරීන්ට මක්කා වෙයිද ?

මොරටුව රාවතාවත්තේ පේ‍්‍රම් ළමා නිවාසය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සෝදිසියට ලක්කළේ එහි සිදුවෙනවා යයි කියන බිහිසුණු ළමා ජාවාරම පිළිබඳව ඔත්තු ගොඩාක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු හෙයිනි. ළමා ආරක්ෂක අධිකාරිය නිතියට එකගව ක‍්‍රියා කළේය. අපි ඕක පරික්ෂා කරන්ට එනවා නොකියා එය පරික්ෂාවට ගියේය. පේ‍්‍රම් ළමා නිවාසයට ගිය ළමා ආරක්ෂක අධිකාරියේ පිරිස් තිගැස්සුනහ.

ඔවුන්ට අදහා ගැනීමට බැරිතරම් භයානක නිති විරෝධි දේ දකින්ට ලැබුණි. එය වැටලීමට සහභාගිවු අයෙක් කි ලෙසට හරියට ළමා ගොවිපළකට ගියා වගේ ඔහුට දැනුනි. බිජ පොහොර අස්වනු ගැණුම් කරුවන් ගණුදෙනු ලිපි සේරම හමුවිය. එමනිසා පේ‍්‍රම් ළමා නිවාසය පාළිකාව වශයෙන් කටයුතු කළ ඉන්දිය සොහොයුරිය අත් අඩංගුවට ගැනුනි. මෙතැන් පටන් කතෝලික සභාවේ ඉහළ නිලතල දරන විශාල පිරිසක් පරලවුහ.

එහි අවසාන ප‍්‍රතිඵලය කාදිනල් මැල්කම් රංජිත් තුමා ආවේෂවිමයි. එතුමා මොන විදිහට ආවේෂ වුවාද යත් නිතියට අභියෝග කළේය. සියලූම රාජ්‍ය උත්සව වර්ජනය කරනවා යයි කීවේය. බොහෝම සුලූ ඇපයකට අත් අඩංගුවේ සිටි සොහොයුරියට එළියට ඒමට නිදහස ලැබුණි. කතෝලික සභාව යනු ලෝකයේ ඇති බලගතුම සංවිධානයයි. මෙහි නායක පාප්තුමා ආගමික නායකයෙක් පමණක් ම නොවේ රාජ්‍ය නායකයෙකි. මෙම රාජ්‍ය නායකයා ලෝකයේම බලය පතුරුවාගෙන ලෝකය පාලනය කරයි. මැල්කම් රංජිත් කාදිනල් තුමා එතුමාගේ ලංකා ශාඛාවේ මෙහෙයුම්කරුවා නිසා ලංකාවේ ජනාධිපතිතුමාව සෙවීමට තරම් බලයක් හා ශක්තියක් ඇත්තෙකි.

මෙවැනි බලවන්තයෙක් රජයේ උත්සව වර්ජනය කරනවා යයි තර්ජනය කළවිට රජයේ පැත්තෙන් කළයුතුව ඇත්තේ දණගසා වැඳ සමාව ඉල්ලීමයි. වරදක් වුනානම් එය නිවැරදි කරගන්නවා ය කියමින් සමාව ඉල්ලීමයි. එය රජය ඉටුකරමින් සිටි. නැතිනම් ප‍්‍රතිඵලය භයානක වෙන බව වැටහිමෙනි. එතකොට නිතිය රකින්ට ගිය ළමා ආරක්ෂක අධිකාරියට? එය පවතීවි. ඒත් මෙහෙයුම කල නිලධාරින්ට කෙල වෙන්ඩ පුලුවනි.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ජනතා ප්‍රතිචාර කිහිපයක් පහතින්

ඒ අනුව පෙනී යන්නේ මෙය සත්‍ය සිදුවීමක් බවට බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සටහන් වල දැක්වෙන කරුණු වල නිරවද්‍යතාව විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙහි දැක්වෙන්නේ මීට වසර 12කට ආසන්න කාලයකට පෙර සිදුවීමක් බවින් අප පළමුවෙන්ම එම අවධියේ දී අදාළ සිදුවීම පිළිබඳ පුවත් වර්තාකරණයන් පරික්ෂා කර බැලුවා.

ප්‍රේම් ළමා නිවාසයේ 2011 වසරේ දී සිදුකළ පරික්ෂාව පිළිබඳ මාධ්‍ය වාර්තා

2011 නොවැම්බර් 22 දා සවස ජාතික ළමාරක්ෂක අධිකාරියේ ළමා උපකාරක දුරකථන සේවා අංකය වන 1929 වෙත ලැබුණු පණිවිඩයකින් සඳහන් කර ඇත්තේ, මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි ‘ප්‍රේම්’ ළමා නිවාසයේ දරුවන් විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවය. 23 වැනිදා උදෑසනද අංක 1929 ට ආ දුරකථන ඇමතුමකින් ද, එම පණිවිඩය ම ලැබී ඇති බැවින්, මේ ස්ථානය පරීක්ෂා කර බැලිය යුතු බව ළමාරක්ෂක අධිකාරියේ එවකට සිටි සභාපතිනිය අනෝමා දිසානායක මහත්මිය තීරණය කර තිබූ අතර එවකට ළමාරක්ෂක අධිකාරියේ නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී කේ.උදයපාල මහතා ද කාන්තා නිලධාරිනියන් ද ඇතුළු සිය කණ්ඩායමේ හය දෙනෙක් සමග මෙම ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණි බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබනවා.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය ඇතුළු කණ්ඩායම මෙහි ගොඩනැගිලි සම්පූර්ණයෙන් පරීක්ෂාවට ලක් කර තිබුණි.

මේ ස්ථානයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබුණේ ඉන්දියානු ජාතික මේරියම් අනා එලිසා නමැති කන්‍යා සොහොයුරියකි. මේ හදිසි වැටලීමෙන් ඇය වික්ෂිප්ත වූ බවක් පෙන්නුම් කළද පරීක්ෂණ කටයුතු සඳහා විරෝධතාවයක් නොපෑ බවත් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

ඒ මොහෙතේ, උපතේ සිට අවුරුදු 5 දක්වා වයසේ වූ කුඩා දරුවන් 63 දෙනෙක් මේ ළමා නිවාසයේ නේවාසිකව රැඳී සිටි බවත්, මොවුන් විවිධ ප්‍රදේශවලින් රැගෙන ආ දරුවන් වන අතර මේ ස්ථානයේ ගර්භිණී තත්ත්වයෙන් රැඳී සිට බිහිකරන ලද දරුවෝ විශාල ප්‍රමාණයක් සිටි බවත් වාර්තා වේ.

පරිවාස දෙපාර්තමේන්තුවෙන් ද මේ ස්ථානයට දරුවන් බාරදී ඇති අතර එම ප්‍රමාණයට වඩා තව දරුවන් සිටින්නේ කෙලෙසදැයි ළමා ආරක්ෂණ අධිකාරියේ පරීක්ෂණයට ලක්වී තිබේ.

මොරටුව පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එච්. සද්ධාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් ද, මොරටුව සහකාර පොලිස් අධිකාරී එච්.සමුද්‍රජීව මහතාද මේ ස්ථානයට පැමිණි අතරජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය ඇතුළු කණ්ඩායම පොලිසියේ සහයෝගය ද ලබාගෙන එම ළමා නිවසේ සේවය කරන අයගෙන් හා නේවාසිකව රැඳී සිටින කාන්තාවන්ගෙන් කට උත්තර ගැනීම ආරම්භ කර තිබිණ.

පරීක්ෂාවට ලක්කිරීමේදී ගර්භිණී මව්වරුන් විසිදෙනෙක් මේ නිවාසයේ නතරවී සිටින බව හෙළිවූ අතර ඔවුහු ගෙන් වැඩිදෙනෙක් දරුවන් ප්‍රසූතකරන දිනයට ආසන්න අය බව හඳුනාගැනීමට හැකිවී තිබිණි. ඔවුන්ට මේ ස්ථානයේ දී ඉතා හොඳින් සලකන බවත් අවශ්‍ය සියලුම බෙහෙත් වර්ග සහ පෝෂ්‍යපදාර්ථ සහිත ආහාර ලබාදෙන බවත් ඔවුන් පොලිසියට පවසා ඇත. ඒ සම්බන්ධ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවක් මෙතනින්.

අප මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ ‘ප්‍රේම්’ ළමා නිවාසය සම්බන්ධ අධිකරණයේ පැවති නඩුවේ B වාර්තාව ලබා ගත් අතර එහි සඳහන් වූ කරුණු මෙසේය.

ප්‍රේම්ළමා නිවාසය සම්බන්ධ අධිකරණයේ පැවති නඩුවේ බීවාර්තාව

මොරටුව රාවතාවත්ත පිහිටි 'ප්‍රේම්' ළමා නිවාසයේ බිළිඳු දරුවන් ජාවාරම් කරන බවට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමියට ලැබී තිබුණ තොරතුරක් අනුව 2011 වර්ෂයේ නොවැම්බර් 23 වන දින එම ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්වූ බවත්, එම ස්ථානීය පරීක්ෂණයේදී එහි නේවාසිකව සිටි අවු. 16ක් වයසැති බාලවයස්කාර දැරියක්, ඒ වනවිට මාස 08ක ගැබිනියක් බවට කරුණු අනාවරණය කර ගන්නා අතර එම දැරියගේ ඥාතියෙකු විසින් ඇය රැගෙන විත් මෙම නිවාසයට භාරදී ඇති අතර ඇයට ලැබීමට නියමිත එම දරුවා හදා වඩා ගැනීමට නොහැකි බැවින්, දරුවන් හදාගැනීමට කැමති යුවළකට දීමට කැමැත්තෙන් මෙම ස්ථානයේ පැමිණ සිටි බවත්, ඒ සම්බන්ධ ඇති නීත්‍යානුකූල තත්ත්වය යටතේ, එම නිවාසයේ ප්‍රධාන පාලිකා මේරි එලීසා කන්‍යා සොයුරිය අධිකරණය වෙත ඉදිරිපත් කර පරීක්ෂණ අවසන් කර වාර්තා කරන තෙක් 2011.12. 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර මෙරටින් පිට වීම වැළැක්වීම සඳහා නියෝගයක් ද නිකුත් කර තිබුණා.

මෙම ‘ප්‍රේම්’ ළමා නිවාසයේ අවුරුදු 01-05 අතර ළමුන් සිටින බවත්, පරිවාස දෙපාර්තමේන්තුවෙන් සහ අධිකරණ නියෝග මත ලැබෙන ළමුන් මෙහි සිටින බවත්, ඔවුන් පිළිබඳව පරිවාස නිලධාරීන් අධීක්ෂණය කරන බවත්, එහි සඳහන් වී තිබේ.

කෙසේනමුත්, මොරටුව රාවතාවත්ත පිහිටි ප්‍රේම් ළමා නිවාසයේ බිළිදු දරුවන් ජාවාරම් කරන බවට එම පරීක්ෂණයේ හෙළි වූ බවට එහි සඳහනක් නොවීය.

ඉන් අනතුරුව විශේෂ පොලිස් විමර්ශන ඒකකය ස්ථානාධිපති විසින් අධිකරණය වෙත වාර්තා කර ඇත්තේ, මෙම නඩුවට අදාළව ප්‍රේම් ළමා නිවාසය සම්බන්ධව බන්ධනාගාර ගත කළ මේරියම් අනා එලිසා කන්‍යා සොයුරියට විරුද්ධව නීතිය මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවත් ඇය නිදහස් කල හැකි බවටත් නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දී ඇති අතර එබැවින් මෙම සැකකාරිය මුදා හරින ලෙසයි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණේ, ‘ප්‍රේම්’ ළමා නිවාසයේ පරීක්ෂණ වාර්තා සලකා බලා එහි කරුණු අනුව එහි කිසිවෙකුට එරෙහිව අපරාධමය චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බවයි. එසේ වුවද අදාළ සිද්ධියට අදාළව ජාතික ළමාරක්ෂණ අධිකාරිය මගින් පවත්වාගෙන යන විමර්ශන කටයුතු වැඩිදුරටත් පවත්වාගෙන යාමට නීතිපති වෙනුවට පාලිත ප්‍රනාන්දු සොලිස්ටර් ජනරාල් උපදෙස් ලබා දී තිබුණා.

ඒ ඔස්සේ සිදු කරන ලද පරීක්ෂණයකදී, කුඩා දරුවන් 75 පමණ සිටින අතර මෙම නිවාසය එවකට සිට පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරියේ ලියාපදංචි කර ඇති ළමා නිවාසයක් බව අනාවරණය කර ගත් බව ත්, එම වැඩිදුර පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

මෙම ළමා නිවාසයේ එක් කොටසක අබාධිත සහ මන්දමානසික දරුවන් ද තවත් කොටසක නිරෝගි දරුවන් ද තව ත් කොටසක ගැබිණි මව්වරුන් සහ තව ත් කොටසක දරුවන් ප්‍රසුත කල මව්වරු දරුවන් සමග ඉන්නා බවත්, මේ සම්බන්ධ විමර්ශනය කිරීමේදී අනාවරණය වී තිබුණේ, අවිවාහක කාන්තාවන් ගැබ්ගත් පසුව යම් අයෙකු මාර්ගයෙන් මෙම ස්ථානයට යොමු වුවහොත්, එම අයට අවශ්‍ය පහසුකම් ලබා දී දරුවා ප්‍රසුත කළ පසුව ඔවුන්ගේ කැමැත්ත මත දරුවා එම ස්ථානයට භාරදී කාන්තාවන් පිටව යන බවයි.

ඉහත පරීක්ෂාවේදී ඒ වන විට දරුවන් ලබා ගැනීම සඳහා ජර්මන් ජාතික යුවළක් සහ අමෙරිකානු යුවළක් පැමිණ සිටි අතර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගෙන තිබූ අතර එම අයගෙන් ඇමරිකානු යුවළ පවසා ඇත්තේ, ශ්‍රී ලංකා පරිවාස දෙපාර්තමේන්තුව හරහා අදාළ ලියකියවිලි නීත්‍යානුකූලව සකස් කොට ගෙන ශ්‍රී ලංකා පරිවාස දෙපාර්තමේන්තුවෙන් දැනුම් දුන් පසුව මෙම දරුවා ලබා ගැනීමට කුල වද්දා ගැනීමේ නඩුවකට පෙනී සිටීමට ඇති බවයි.

ජර්මන් ජාතකි යුවළගේ ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, ඔවුන්ගේ රටේ පිහිටි ඒජන්සියක් හරහා මෙම දරුවා ගැන තොරතුරු ලබා ගත් බවත් පරිවාස දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් පසුව දරුවා ලබා ගැනීම සඳහා පැමිණි බවයි.

එහිදී අනාවරණය වී ඇති කරුණු අනුව විදේශිකයින්ට ලබා දී තිබුණේ, ආබාධිත දරුවන් පමණකි. එවැනි දරුවන් රැගෙන යන්නේ කුමක් සඳහා යන්න පිළිබඳව ගැටලුවක් පවතින බවත්, එම නිසා මෙම ආයතනයෙන් විදේශිකයන්ට දරුවන් ලබා දීම සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සඳහන් කර තිබුණා.

නමුත් ඉන් පසු ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පවත්වා තොරතුරු අධිකරණයට වාර්තා නොවී ඇති බව අදාළ ‘බී’ වාර්තාව පරිශීලනය කිරීමේදී දැක ගන්නට ලැබේ.

අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන්ගේ මැදිහත් වීම

ඉන් පසුව අප විමර්ශනය සිදු කළේ, ඉහත සටහන් වල පෙන්වා දුන් පරිදි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මෙම සිදුවීම සම්බන්ධයෙන් මැදිහත් වීමක් වූවා ද, යන්න පිළිබඳවයි.

එවකට ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් මාධ්‍ය නිවේදනයකින් සඳහන් කර තිබුණේ, මෙම සිද්ධිය සම්බන්ධව ළමා ආරක‍ෂක අධිකාරිය විසින් පුළුල් විමර්ෂණයක නිරත වෙමින් සිටියදී අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් විසින් “මිෂනරි ඔෆ් චැරිටි” දූත සේවාවේ කටයුතු වලට එරෙහිව ජාතික ළමා ආරක‍ෂක අධිකාරිය ගෙන යන වැඩපිළිවෙලට තමන් නිල වශයෙන් විරෝධය පළ කරන බවත්, එළඹෙන නත්තල් සමයේ කිසිදු රාජ්‍ය උළෙලකට සහභාගි නොවන බවත් ප්‍රකාශ කළ බවයි.

රටේ පවතින පොදු නීතිය අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ප්‍රේම් ළමා නිවාසයට විරුද්ධව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබූ අවස්ථාවක අගරදගුරුතුමාගේ එම තර්ජනාත්මක ප්‍රකාශය නීති ගරුක, විනය ගරුක සමාජය අනුමත නොකරන බවත්, ස්වාධීන පරීක‍ෂණයකින් හෝ අධිකරණමය තීන්දුවකින් සත්‍ය අසත්‍යතාවය රටට හෙළිදරව් වීමට පෙර මෙම පරීක්ෂණ නවතා දමන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් විසින් රජයට හා ළමා ආරක‍්ෂණ අධිකාරියට දැඩි බලපෑම් එල්ල කළේ, කුමන පදනමක සිට ද යන්න පැහැදිලි කරගත යුතුව ඇති බවත් සඳහන් එම නිවේදනය මෙතනින්. Archived Link

එසේම වැටලීම හේතුවෙන් එම නිවාසයේ කන්‍යා සොහොයුරියන්ට අසාධාරණයක් සිදු වූ බැවින් කෝපයට පත් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නත්තල් සමයේ රාජ්‍ය උත්සවවලට සහභාගි නොවන බව ප්‍රකාශ කළ බව සඳහන් කරමින් ඉංග්‍රීසි බසින් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තාවක් මෙතනින්. Archived Link

දේශප්‍රේමී භික්ෂු පෙරමුණ, චින්තන පාර්ශ්වය සහ සිංහල බෞද්ධයෝ පවසන පරිදි, පූජ්‍ය මේරි එලිසා කන්‍යා සොහොයුරිය නිදහස් නොකෙරුවහොත්, රාජ්‍ය අනුග්‍රහය ලබන නත්තල් උත්සව වර්ජනය කරන බවට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් තර්ජනය කිරීමත් සමඟ පරීක්ෂණ අවසන් වූ බව පවසා තිබුණි. තර්ජනය කර දෙසතියක් යන්නට මත්තෙන් දෙසැම්බර් 22 වන දා අරලියගහ මන්දිරයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නත්තල් උත්සවයට කාදිනල්තුමා සහභාගි වීමට නියමිතව තිබූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ උපදෙස් මත එලිසා සොයුරියට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගන්නා ලද බවට ඔවුන් සඳහන් කර ඇති බවට Asian Tribune වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

මේ පිළිබඳ කොළඹ අගරදගුරු පදවියේ පරිපාලන ලේකම් ඩෙනින්ටන් සුබසිංහ පියතුමාගෙන් අප විමසා සිටි අතර, පියතුමන් සඳහන් කළේ, කිසිදු පදනමක් නැතුව අසත්‍ය තොරතුරු මත ‘ප්‍රේම්’ නිවාසයේ එවකට සිටි ප්‍රධාන පාලිකාව වූ කන්‍යා සොයුරිය අත්අඩංගුවට ගැනීම හේතුවෙන් තමන් ඉදිරි නත්තල් සමගේ සහභාගී වීමට තිබූ නත්තල් වැඩසටහන් වලට සහභාගී වීමෙන් වැළකෙන බවට අගරදගුරුතුමන් සඳහන් කළ සිදුවීම සත්‍ය බවත්, එයට හේතුව වූයේ ‘ප්‍රේම්’ නිවාසය පවත්වාගෙන යනු ලබන්නේ, චැරිටි ඔෆ් මිෂනරිස් හෙවත් ධර්මදාන පුණ්‍යායතනය(CHARITY OF MISSONERIES) නමින් මේ ආයතනය ලංකාව පුරා විහිදි ගිය ශාඛා රැසකින් සමන්විත අන්තර් ජාතික සංවිධානයක් වගේම තෙරේසා මව් තුමියගේ සහෝදරියන් (SISTERS OF MOTHER THERESA) යන උද්ධෘත පාඨයෙන් මොවුන් හඳුන්වන අතර ලෝකයේ අතිශයින් ජනාදරයට පත්වූ ගිලනුන්ට උවටැන් කළ අසරණ දරුවන් රැක බලාගත් අසරණයන්ට පිහිට වූ තෙරේසා මව්තුමිය විසින් මේ නිකාය ආරම්භ කර ඇති අතර ලංකාවේද, ඔවුන් අසරණ වූ සමාජයට මුහුණ දිය නොහැකි ලෙස අසරණ වූ පීතෘත්වය නීත්‍යානුකූලව හෙළි කිරීමට නොහැකි මව් වරුන්ට නොමිලේ අවශ්‍ය පහසුකම් සලසමින්, දරුවන් ලැබෙන තෙක් එම ගැබිණි මව්වරුන් රැක බලා ගන්න ආයතනයක් බවයි.

පරිවාස දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව ළමුන් හදාවඩා ගැනීමට දරුවන් දෙමාපියන්ට අදාළ ක්‍රියාපටිපාටිය අනුකූලව අධිකරණය මගින් ලබා දෙන ආයතනයක් වන මෙහි කිසිදු ජාවාරමක් සිදු නොවන බැවින් පරිවාසෙන් ලබා දෙන ළමුන් මෙන් ම මෙහිදී අසරණ සරණක් නොමැති දරුවන්ට ද, සියලු පහසුකම් ලබා දෙමින් රැකවරණය සලසනවා. එවන් ආයතනයක එම නිවාසයේ ප්‍රධාන පාලිකාව අත්අඩංගුවට ගනු ලබන්නේ, එහි අඩු වයසැති දැරියක් ගැබ් ගෙන සිටින බව පවසමින්. අදටත් මෙම නිවාසයේ අඩු වයසැති මව් වරුන් විය හැකි ගැහැණු දරුවන් ට රැකවරණය සලසනවා. ගබ්සාවකට යෑම වළක්වමින් එම මව්වරුන්ගේ ජීවිතය ද රැක ගනිමින් ඔවුන්ට එම දරුවන් අවශ්‍ය නැතිනම් එම දරුවන් ද නිසි නීත්‍යානුකූල ක්‍රම වේදය යටතේ පරිවාස භාරය යටතේ මෙම දරුවන් හදාවඩා ගන්නවා. ඒ හේතුවෙන් එම ප්‍රධාන කන්‍යා සොයුරිය නිදහස් කළ යුතු බව ට පැවසුවත්, අධිකරණය, පොලීසිය මගින් සිදු කෙරෙන පරීක්ෂණ කරගෙන යාම වළක්වාලීමට බලපෑම් නොකළ බව ත්, අදාළ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ද, එහි කිසිදු ජාවාරමක් සිදු නොවන බවට තහවුරු වී ඇති බව ත්, ඩෙනින්ටන් සුබසිංහ පියතුමන් අප සමග පවසා සිටියා.

'දරුවන් කුලවද්දා ගැනීම'

ස්වභාවික දෙමාපියන් හැර වෙනත් විවාහක හෝ අවිවාහක පුද්ගලයන් දරුවෙකු දරු කමට හදා වඩා ගැනීම 'දරුවන් කුලවද්දා ගැනීම' යන්නෙන් අදහස් වන අතර, ඊට අදාළ නීතිය 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනතේ සඳහන් වේ.

FactCrescendo අප මොරටුවේ, රාවතාවත්ත පිහිටි ‘ප්‍රේම්’ නිවාසය දැක බලාගැනීමට ගිය අවස්ථාව

මොරටුව රාවතාවත්ත හන්දියේ සිට පිළියන්දල පාරේ එනම් ද සොයිසා පාරේ මීටර් 50ක් පමණ ගිය විට විශාල තාප්පයකින් වටවූ නිල් පාටින් යුතු ගේට්ටු 2ක් සහිත මෙම නිවාසයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුක් දැකගන්නට ලැබුණා. තෙරේසා මව් තුමියගේ අනුගාමික කන්‍යා සොයුරියන් බවට දැක ගන්නට ලැබෙන වර්තමානයේ ප්‍රධාන පාලිකා කන්‍යා සොයුරිය සහ නියෝජ්‍ය පාලිකා කන්‍යා සොයුරියන් දෙදෙනා විසින් අපව සුහදව පිළිගනු ලැබුවා.

ප්‍රථමයෙන් එම කන්‍යාසොයුරියන් දෙදෙනා සමග එහි තිබූ ගොඩනැගිලි වෙත අප පියමං කෙරුවේ එහි සිටින දරුවන් හා ගැබිණි මව්වරුන් පිළිබඳ මෙන් ම සේවක මණ්ඩලය ගැන ද, අදහසක් ගැනීමටයි.

මාස දෙක තුන සිට බිළිඳු දරුවන් වෙනුවෙන් වෙන් වී තිබූ ශාලාවට අප ඇතුලු වුණා. එම අවස්ථාවේදී දහවල් ආහාරයට සඳහා වේලාව ලන් වී තිබූ බැවින් ඒ වන විටත් මාස 6 පසු වී ඇති දරුවන් සඳහා එහි සේවකයින් ආහාර ලබා දෙමින් සිටින අයුරු දක්නට ලැබුණා. එමෙන් ම සුවපහසු බිළිඳු ඇඳන් වල තවත් මාස 6ට අඩු දරුවන් නින්දේ පසු වුණ අයුරු ද, දැක ගන්න ට ලැබුණා.

ඉන් අනතුරුව අප ඇතුළු වුණේ, අවුරුදු 2-3 අතර පසුවන දරුවන් සිටින කාමර වෙතටයි ඔවුන් එම අවස්ථාවේ එහි නොවුණු අතර ඔහු රඳවා තිබුණේ, ආහාර ලබා දෙන කාමරයකයි. එහිදී ද, එම දරුවන් සියල්ල මේසයක් වටා ඉන්දවගෙන සේවිකාවන් කිහිප දෙනෙක් ඇතුළු තෙරේසා මව්තුමියගේ අනුගාමික විදෙස් කන්‍යාසොයුරියන් ද එම දරුවන් වට කරගෙන දිවා ආහාර සිය දෑත් වලින් ම කවමින් සිටියා.

එම ගොඩ නැගිල්ලෙම වෛද්‍යවරයෙකුට වෙන් වී තිබූ කාමරයක් ද, තව ත් අසනීප වූවන් වෙන් කිරීමට කාමරයක් ද, වෙන් කර ඇති බව ට දැක ගන්නට ලැබුණා.

තවත් කුඩා බිළිඳුන් කිහිපදෙනෙක් වෙනත් කාමරයක සෙල්ලම් කරමින් සිටියේ නවීන පන්නයේ සෙල්ලම් බඩු වලට මැදිවයි.

පසුව අප එම ගොඩ නැගිල්ලෙම යට මහලේ තවත් කාමරයක් වෙත ගමන් කළ අතර එහි ඇඳන් හිස් බවක් දැක ගන්නට ලැබුණු අතර එහි තිබුනේ, අප ගිය අවස්ථාවේ පෙර පාසල් වෙත ගොස් සිටින දරුවන් ට වෙන්වුණ කාමරයයි.

එමෙන් ම අවුරුදු 2-3 අතර දරුවන් සඳහා ද, එහි කන්‍යාසොයුරියන් විසින් ම නොයෙකුත් අධ්‍යාපන ක්‍රියාකාරකම් කරවීම සඳහා වෙන් වී තිබූ කාමර දෙකක් ද, අප ට දැක ගන්න ට ලැබුණා.

එම අවස්ථාවේදී ත් මෙම නිවාසයට එදින දහවල් දානය සඳහා අනුග්‍රහයක දක්වන පිරිසක් ද, පැමිණ ඇති බව අපට දැක ගන්න ට ලැබුණා.

ඉන් අනතුරුව අප පැමිණියේ පරිවාස දෙපාර්තමේන්තුව හරහා මෙම ස්ථානය වෙත යොමු කර තිබූ අඩුවයස් ගැබිණි තරුණියන් සිටින කාමර වෙතයි. එහි දැක ගැනීමට ලැබුණු සුවිශේෂි කරුණ ඇතැම් තරුණියන් සිය අධ්‍යාපන කටයුතු වල නිරත වන බවයි. අතවරයන්ට ලක් වී ඇති තරුණියන් මෙන් ම අනිසි සබඳතා හේතුවෙන් ගැබ්ගත් තරුණියන් වූවත් , එහි ඇතමුන් තම දරුවන් ලැබුණු පසු දරුවන් මෙම නිවාසය වෙත භාර දී තම ජීවිතය නැවත හරිගස්වා ගෙන ජීවිතයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් පසුවන බව අප සමග සඳහන් කළා. ඔවුන්ට සියලු පහසුකම් ලැබෙන බවත්, මෙම ස්ථානය ට ස්තූතිවන්ත වන බවත් තම අනන්‍යතාව සඟවමින් තමන්ට සිදුවූ කරදර පසෙකලා ඒවාට නීතිය හරහා පිළිසරණ ලැබීම මහත් අස්වැසිල්ලක් ලැබෙන තෙක්, බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටින බවයි ඔවුන් සඳහන් කළේ.

පසුව අප යොමු වූයේ, වයස 18 ට වැඩි නීත්‍යානුකූල පීතෘත්වයක් නොමැති කාන්තාවන් සිටින ශාලාවටයි. ඔවුන් අප හමුවේ මුහුණ දීමට එතරම් කැමැත්තක් නොදැක්වූ අතර, ප්‍රධාන පාලිකා කන්‍යා සොයුරිය ඔවුන් ට සඳහන් කර සිටියේ, අප ඡායාරූපගත කිරීමක් සිදු නොකරන බවත්, ඔවුන්ගේ අනන්‍යාතවය හෙළි කිරීමක් සිදු නොවන බවයි.

පසුව ඔවුන් සමග සමීපව කතා කිරීමට අප කණ්ඩායමට අවස්ථාවක් අපට ලැබුණු අතර, එහි සිටි ඇතැමුන් සිය භාරකාරීත්වය තහවුරු කළ හැකි අයෙක් සමගින් මෙම ස්ථානය දැනගෙන පැමිණ තිබුණා. ඇතැමුන් තමන් දරුවන් ප්‍රසුත කිරීමෙන් පසු ව ඔවුන්ට මෙම නිවාසයේ ම සේවිකාවක් ලෙස සේවය ලබා දෙමින් දරුවන් සමග රැඳී සිටීමට බලාපොරොත්තු වූ අතර, ඇතැමුන් තම දෙමාපියන් විසින් ද, ප්‍රතික්ෂේප කිරීම මත තම දරුගැබ ගබ්සා කිරීමට ඇති අකමැත්ත හේතුවෙන් මෙම නිවාසය වෙත පැමිණි බවත්, තමන්ට රැකියාවක් සොයා ගැනීමෙන් අනතුරුව දරුවන් සමග පිටව යාමේ බලාපොරොත්තුවෙන් ද, පසුවූවන් වේ.

තවත් තරුණියන් තම දෙමාපියන් විසින් මෙම ස්ථානයට යොමු කර ඇති අතර ඔවුන් දරුවන් මෙම ස්ථානයේ නීත්‍යානුකූලව දරුවන් හදාවඩා ගැනීමට පවරා නැවත තම දෙමාපියන් වෙත යෑමට බලාපොරොත්තුවෙන් සිටින අය වේ. කෙසේ වෙතත් දරුවන් ප්‍රසුත කිරීමෙන් පසු දරුවන් මෙම නිවාසයට භාර දෙන බව ට හෝ තමන් හදා වඩා ගන්නා බවට තීරණය තමන්ට ගැනීමට ඉඩ සලස්වා ඇති බව ද, ඔවුන් සඳහන් කළා.

http://srilanka.factcrescendo.com/wp-content/uploads/2023/07/prem-home-visit.mp4

ඉන්පසුව අප ‘ප්‍රේම්’ ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව සහ නියෝජ්‍ය පාලිකා කන්‍යාසොයුරියන් සමග කතාබහක යෙදුණා.

ප්‍රේම් ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව සහ නියෝජ්‍ය පාලිකාව

මෙම නිවාසයේ පාරිවාස ළමුන්ගේ අංශයක් ඇති බවත්, එම අංශය පරිවාස දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවත් එම කන්‍යා සොයුරියන් සඳහන් කළා. ඊට අමතරව මෙහි ළමා මව්වරුන්ගේ අංශයක් ද, ඇති බවත්, එය ද, පරිවාස දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ආයතනයක් බවත්, එහිදී එම දරුවන් උසාවි මාර්ගයෙන් මෙන් ම, පරිවාස දෙපාර්තමේන්තුව හරහාද පැමිණෙන අතර මෙහි සියලු අධීක්ෂණයන් සිදු කරනු ලබන්නේ පරිවාස දෙපාර්තමේන්තුව හරහා බව ද, සඳහන් කළා.

එමෙන් ම අවුරුදු 18 ට වැඩි සමාජයට මුහුණ දීමට නොහැකි ව අසරණ වූ ගැබිණි මව්වරුන් සඳහා තවත් අංශයක් ඇති බවත්, තෙරේසා මව්තුමියගේ පළවෙනි පරමාර්ථය වූයේ දරුවන් ගබ්සා නොකර ආරක්ෂා කිරීම බැවින් ඔවුන් සඳහා ද, ආරක්ෂාව රැකවරණය මෙම ‘ප්‍රේම්’ නිවාසය හරහා සිදු කරන බව ද නමුත්, එම අංශය ලියාපදිංචි කිරීම ට මෙතෙක් මෙරට රජයේ දෙපාර්තමේන්තුවක් නොමැති බැවින්, තෙරේසා මව්තුමිය ලෝක සංවිධානයේ ස්වෙච්ඡා සංවිධානය (NGO) මගින් කාන්තාවන් ට සපයන සේවයක් විදියට එම අංශය ක්‍රියාත්මක වන බවත්, ඔවුන් පෙන්වා දුන්නා.

කාන්තා හා ළමා කාර්‍යාංශය විසින් ද, අසරණ වූ මෙවැනි කාන්තාවන් ලිඛිතව ඔවුන් වෙත දන්වා මෙම ස්ථානය වෙත යොමු කරන බවත්, එම කන්‍යාසොයුරියන් සඳහන් කළා. මීට අමතර ව නීත්‍යානුකූල පීතෘත්වයක් නොමැති ව ගැබ්ගත් කාන්තාවන්, තමන් ට රැකවරණයක් ආරක්ෂාවක් නොමැති නම් තමන් පිළිබඳ හදිසි අවස්ථාවකදී දැනුවත් කිරීමට ආරක්ෂකයෙකු සමගින් මෙම නිවාසය ට පැමිණීමේදී ද, ඔවුන් දරු ප්‍රසුතිය සිදුවන තෙක් ආරක්ෂාව සැප පහසුකම් ලබා දෙන බව ත්, කුමන තත්ත්වයක් තුළ පැමිණිය ද, නිවාසයෙන් පිටත නිකරුණේ ඔවුන්ට ගමන් යාමට තහනම් බව ත්, ඔවුන් ට අවශ්‍ය ප්‍රතිකාර සහ සායන සඳහා නිවාසයේ ඇති වාහනයෙන් රෝහල් කරා ගෙන යන බව ත්, එසේ නැතිම අවස්ථාවේ වුවද, නිවාසයේ සේවයේ කරන පාලිකාවන් සමගින් මිස තනි වශයෙන් නිවාසයේ පිටවීමට අවසර නොදෙන බව ත්, තව දුරටත් කන්‍යා සොයුරියන් සඳහන් කළා.

කෙසේ වුවද, කුමන තත්ත්වය යටතේ මෙම නිවාසය වෙතට පැමිණෙන අවුරුදු 18 වැඩි ගැබිණි කාන්තාවන් මෙම ස්ථානයට භාර ගැනීමෙන් පසුව සති දෙකක් ඇතුළත ස්ව කැමැත්ත මත මෙම නිවාසයට පැමිණ රැකවරණය ලබා ගත් බවට එම ගැබිණි කාන්තාවන් විසින් සිය අත්සන යොදා දන්වන ලද ලිපියක් මොරටුව පොලීසිය කාන්තා කාර්‍යාංශයට ලිඛිතව ලබා දෙන බව ත්, එය මීට අවුරුදු දෙකකට සිට ක්‍රියාත්මක කළ බව ද, අපට පෙන්වා දුන්නා.

එමෙන් ම දරු ප්‍රසුතියට පෙර මෙම නිවාසයෙන් යෑමට අවශ්‍ය නම් තම භාරකාරිත්වය ලබා දුන් පුද්ගලයා ඉදිරිපත් වී ඔවුන් රැගෙන යාමට හැකියාව ද, මෙහිදී පවතී.

දරු ප්‍රසුතියෙන් පසුව දරුවා ගැන තීරණය කරනු ලබන්නේ එම ගැබිණි කාන්තාව විසින් බව ත්, එම දරුවන් හදාවඩා ගැනීමට බැරි බව පැවසුවහොත්, සුදුසුකම් ලත් දරුවන් නොමැති දෙමාපියන් මෙම නිවාසයේ ද, ලියාපදිංචි වී ඇති අතර පරිවාස දෙපාර්තමේන්තුවේ අදාළ ලියකියවිලි, මෙන්ම අදාළ පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුව පරිවාස දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ලියකියවිලි මත අධිකරණය මගින් කුලවද්දා ගැනීමේ ආඥා පනත යටතේ නඩුවක් කැඳවා එම දරුවන් දරුකමට හදා ගැනීමට පහසුකම් සලසන බවත්, මේ වන විට විදේශීය දෙමාපියන්ට මෙම නිවාසය මගින් ළමුන් දරුකමට හදා වඩා ගැනීම නවත්වා ඇති බවත් අප කළ විමසීමේදී එම කන්‍යාසොයුරියන් සඳහන් කළා.

එමෙන් ම පරිවාස දෙපාර්තමේන්තුව හරහා ‘ප්‍රේම්’ නිවාසයට යොමු කරන දරුවන් අතරින් කුලවද්දා ගැනීම සඳහා යොමු කරන දරුවන් හා සුදුසුකම් ලත් දෙමව්පියන් ව පරිවාස දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ දෙමව්පියන්ට අදාළ නෛතිමය ක්‍රියාපටිපාටියට යොමු කර ඔවුන් විසින් තීරණය කරනු ලබයි.

කිසිදු අයුරකින් මුදල් පරිත්‍යාග, මෙන්ම වෙනත් පරිත්‍යාග හෝ ආධාර දරුවන් කුලවද්දා ගැනීමේදී ප්‍රේම් නිවාසය හෝ එස දරුවන් ප්‍රසුත කළ මවට හෝ ලබා නොදෙන බවත්, කුලවද්දා ගැනීමට සුදුසුකම් ලැබීමට පැමිණෙන ළමුන් නොමැති දෙමව්පියන්න ට ද, නිසි සුදුසුකම් සපුරාලා ලිය යුතු බව ත්, ඒ සඳහා විධිමත් පරීක්ෂණ පරිවාස දෙපාර්තමේන්තුවෙන් සිදු කරන බවත්, ඉතාමත් පහසුවෙන් ළමුන් කුළ වද්දා ගැනීමට නොහැකි බව ද, ඔවුන් පෙන්වා දුන්නා.

ප්‍රේම් නිවාසයේ සිටින්නේ අවුරුදු 5ට අඩු දරුවන් පමණක් බව ත්, ඒ අනුව මේ වන විට 47ක් ඇති අතර ළමා මව්වරුන් 3 දෙනෙක් සහ අනෙක් ගැබිණි මව්වරුන් 12 ක් සහ කන්‍යා සොයුරියන් 7 දෙනෙකු මෙන් සේවිකාවන් මෙන් ම, ස්වෙච්ඡා සේවිකාවන් ද, සේවය කරනු ලබයි.

මෙම ස්ථානය වෙත ස්වෙච්ඡා සංවිධාන මෙන් ම, ධානපතිවරුන්ගෙන් ලැබෙන ආධාර වලින් අදටත් මෙම ස්ථානය පවත්වාගෙන යාම සඳහා උදව් උපකාර වන බවත්, කොරෝනා පැවති සමයේ පරිවාස දෙපාර්තමේන්තුව මගින් ඖෂධ මෙන් ම වියළි ආහාර ලබා දුන් බවත්, ඒ හැර රජයේ වෙනත් ආධාර ලබා නොගන්නා බව ත් කන්‍යාසොයුරියන් සඳහන් කළා.

“මදර් තෙරේසා” නිකායට අයත් තවත් මධ්‍යස්‌ථාන හතක්‌ මෙරට ඇති අතර කොළඹ “ශාන්ති” නිවස, ගාල්ලේ “අපේක්‌ෂා” නිවස, මහනුවර “දයා” නිවස, කුරුණෑගල “මෙත්” නිවස, ත්‍රිකුණාමලය “කරුණා” නිවස, වව්නියාව “අන්පහම්” නිවස සහ යාපනේ “අමයිතිඉල්ලාම්” නිවාස වේ.

මෙම නිවාස අතරින් ගර්භණී මව්වරුන් වෙනුවෙන් සහ මෙන් ම ළමුන් කුලවද්දා ගැනීම(Adoption) සිදු කරනු ලබන්නේ ‘ප්‍රේම්’ නිවාසයේ පමණකි.

එසේම 2011 වර්ෂයේ සිදුවීමට මුහුණ පෑ විදේශීය රටක සිට මෙරට සේවය කළ ප්‍රධාන පාලිකා කන්‍යාසොහොයුරිය මේ වන විට විදෙස් ගත වී ඇති බවත්, කිසිදු ජාවාරමක් එම අවස්ථාවේදී සිදු නොවූ අතර බාලවයස්කාර දැරියක් ලියාපදිංචි නොකර තිබීම හේතුවෙන් ඒ මත කන්‍යා සොයුරිය අත්අඩංගුවට පත් වූ බවත් ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත් එම නඩුව ට අදාළ පරීක්ෂණයන් සිදු කර, අධිකරණය මගින් මෙම නිවාසයේ කිසිදු ළමා ජාවාරමක් සිදු නොවන බවට සනාථ කළ ද, මෙහි ළමා ජාවාරම් සිදු වූ බවට මාධ්‍ය මගින් ලැබුණු ප්‍රතිචාරය, මෙම නිවැරදි කිරීම සඳහා නොලැබුණු හෙයින්, නැවතත් ‘ප්‍රේ’ම් නිවාසය සම්බන්ධයෙන් ජනතාව වැරදි කෝණයෙන් බැලීමට පටන් ගෙන ඇති බවත් එම කන්‍යාසොයුරියන් සඳහන් කළා.

ප්‍රේම් නිවාසයේ ලියාපදිංචි තහවුරු කරන ලද සහතික

2006 වර්ෂයේ ජූනි 28 වන දින ස්වෙච්ඡා සමාජ සේවා සංවිධානයක් ලෙස මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රේම් ළමා නිවාසය ප්‍රාදේශිය ලේකම් විසින් සහතික කර තිබූ බවට අප සිදු කළ සහතික පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණි.

එමෙන්ම, බස්නාහිර පළාතේ පළාත් සභාවේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානය ලියාපදිංචිය සිදු කර තිබූණේ 2008 වර්ෂයේ සිටයි. එම සහතිකය මේ දක්වා නැවත ලියාපදිංචි සිදු කළ සහතික ද, විය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ මහතා විසින් 2023 ජනවාරි මාසයේ නිකුත් කර තිබූ 2022 වර්ෂයේ ස්වෙච්ඡා ළමා සංවර්ධන මධ්‍යස්ථාන අධීක්ෂණ ප්‍රතිඵල දැක්වූ සහතිකයේ සඳහන් වූයේ, ළමා සුරක්ෂිතතාවය පිළිබඳ සෑහීමට පත්විය හැකි ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස සහතික කර තිබිණි.

එමෙන් ම 2002 වර්ෂයේදී පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ එවකට සිටි කොමසාරිස් ටී. අසෝක පීරිස් විසින් කුල වද්දා ගැනීම සඳහා (Adoption) අවසර දී තිබූ ලිපිය ද දැක ගන්නට ලැබිණි.

අප එම සහතික වල පිටපත් ද ලබා ගත්තෙමු.

අප කළ නිරීක්ෂණයේදී පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාතේ නිල වෙබ් අඩවියේ ද, ළමා සංවර්ධන මධ්‍යස්ථානය ලියාපදිංචි ආයතනයක් ලෙස දක්වා ඇති බව ද, දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

probation | Archived Link

එසේම 2011 වසරේදී ‘ප්‍රේම්’ ළමා නිවාසය පිළිබඳ ඇතිවූ විමර්ශන අවධියේදී ද අදහස් දක්වමින්, එවකට බස්නාහිර පළාත් පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වූ සෝමරත්න මහතා ද සඳහන් කර තිබුණේ, ‘ප්‍රේම්’ ළමා නිවසේ දරුවන් විකුණන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. දරුවන් බලාගැනීමට ප්‍රමාණවත් අරමුදල් ඔවුන් සතුව ඇති අතර තම දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ප්‍රතිපාදන පවා එම ළමා නිවාසයේ පරිපාලනය ලබාගෙන නොතිබුණු බවත්, ඔවුන් දරුවන්ට සියලු පහසුකම් ලබා දෙන බවත් ඒ මහතාපවසා තිබූ මාධ්‍ය වාර්තාවක් මෙතනින්. Archived

පරිවාස දෙපාර්තමේන්තුවේ පානදුර ස්ථානභාර පරිවාස නිලධාරී

‘ප්‍රේම්’ ළමා නිවාසය අයත් පානදුර ස්ථානභාර පරිවාස නිලධාරීනීගෙන් අප විමසීමක් කළේ, මෙහි ළමා ජාවාරම් සිදු වන බවට පැමිණිල ලැබී ඇත් ද යන්නයි. එම මහත්මිය සඳහන් කළේ, මෙම සිදුවීම වූ 2011 වර්ෂයේ තමන් එම ධුරයේ නොසිටි බව ත්, ඒ හේතුවෙන් ඒ පිළිබඳව පැවසිය නොහැකි බව ත්, වර්තමානයේ දී එම ළමා නිවාසයට එරෙහිව කිසිදු පැමිණිල්ලක් නොලැබී ඇති බව ත්, දරුවන් සම්බන්ධ කටයුතු වලදී පරිවාස දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත සියලු කටයුතු නීත්‍යානුකූල ව සිදු කරනු ලබන බවයි.

මොරටුව පොලීසිය ළමා හා කාන්තා කාර්‍යාංශය

එමෙන් ම අප මොරටුව පොලීසිය ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිනයකගෙන් ද, මේ පිළිබඳ විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, එම නිවාසයට විරුද්ධව පැමිණිලි නොලැබී ඇති බවයි.

ප්‍රේම් නිවාසය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශෙහාන් ගුණවර්ධන

ඒ මහතා සඳහන් කළේ, 2011 වසරේදී එම කන්‍යා සොයුරිය අත්අඩගුවට පත් වූයේ බාලවයස්කාර ගැබිණි දැරිය සම්බන්ධ තොරතුරු ලියාපදිංචි කර නොතිබීම හේතුවෙන් බවත්, ළමා ජාවාරමක් සිදු වන බවට කිසිදු පරීක්ෂණයකින් අනාවරණය වීම නිසා නොවන බවයි.

අධිකරණය වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන් අතර ඔවුන් ද, වාර්තා කළේ, මෙහි කිසිදු ළමා ජාවාරමක් හෝ නීත්‍යානූකූළ කටයුත්තක් නොවන බවටයි. අධිකරණයට බලපෑම් කිරීමට කිසිදු අයෙක් ට පුළුවන් කමක් නොමැති බවත්, සියලු පරීක්ෂණ ස්වාධීනව සිදු කළ බවත් තව දුරටත් පරීක්ෂණ සඳහා අධිකරණය විසින් අවසර ලබා දී ඇති බවත්, අවුරුදු 12 කට පෙර හෝ වර්තමානයේ හෝ එවැනි අකටයුතුකම් සිදු වන බවට සිදු කරන ලද කිසිදු පරීක්ෂණයකින් හෙළි නොවුණු බව ට ද, ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නා.

ප්‍රේම් නිවාසය අවට වැසියන්

අප මේ පිළිබඳ ප්‍රේම් ළමා නිවාසය අවට කිහිප දෙනෙක් ගෙන් ද, විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ, එවැනි කටයුතු සිදු වන බවට කිසිදු රාවයක් එම ප්‍රදේශයේ පැතිර නොතිබුණු බවයි. මෙහි ළමුන් සඳහා සද්භාවයෙන් කටයුතු කරන බවත්, එම ප්‍රදේශ වාසින් ද, මෙම නිවාසය සඳහා දානමාන පරිත්‍යාගයන් නිතර සිදු කරන බවත්, හැකි නම් මෙම ස්ථානය පවත්වා ගෙන යාමට තව දුරටත් උපකාර කිරීම සිදු කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අප ළමා ආරක්ෂක අධිකාරිය මෙන් ම, පරිවාස දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙත තොරතුරු දැන ගැනීම පනත යටතේ මෙම ප්‍රේම් නිවාසය සම්බන්ධ 2011 වසරේ වූ සිදුවීම සම්බන්ධයෙන් හා මෙම නිවාසයේ සිදුවන බව කියන ළමා ජාවාරම් පිළිබඳ හෙළි වූවාද යන්න පිළිබඳ විමසා ඇති අතර ඔවුන් අප වෙත යොමු කරන පිළිතුර සමගින් මෙම ලිපිය යාවත් කාලීන කිරීමට ද, Fact Crescendo අප බලාපොරොත්තු වන්නෙමු.

අනිසි ගැබ් ගැනීම්වලට මුහුණ දෙන කාන්තාවන් රඳවාගෙන, ඔවුන්ගේ දරුවන් බිහි වූ පසු හදා වඩා ගැනීම සඳහා වෙනත් අයට ලබා දෙන වෙන ත් ආයතන පිළිබඳ මීට පෙර ද සමාජයේ මහත් ආන්දෝලනයකට භාජනය වී තිබුණා.

කෙසේ වෙතත් එම ආයතන හරහා දරුවන් සත්‍ය වශයෙන් ම විදෙස් රටවලට නොයෙකුත් ජාවාරම් සඳහා විකුණුවා ද, නැද්ද යන්න පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු වූවා ද, නැද්ද යන්න ප්‍රමාණව ත් කරුණු තහවුරු නොවේ.

කෙසේ නමුත්, පවතින නීතිමය ගැටළු හේතුවෙන් මෙවැනි ක්‍රියාවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ යම් අපහසුතා පවතින බැවින් සියල්ලට ප්‍රථම නීති සංශෝධනය විය යුතු බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:‘ප්‍රේම්’ ළමා නිවාසයේ ළමා ජාවාරමක් සිදුවන බවට, නැවත වරක් හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali

Result: Explainer