දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පිරිසුදු, නැවුම් පානීය ජලය මිනිස් වර්ගයාට මෙන්ම, අනෙකුත් සියලුම ජීවීන්ට අත්‍යවශ්‍ය වන නිසාම, ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනීමට ලොව පුරා බොහෝ මිනිසුන් නිරන්තරයෙන් වෙහෙසෙන බව නොරහසකි. මේ අතර ජලය පානය කිරීමට සුදුසුම කාලයන් පිළිබඳව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ජලය පානය කිරීමට සුදුසුම කාලය කුමක්ද? එය දැන ගැනීම ඉතා වැදගත් බව පවසමින් හෘද රෝග විශේෂඥයෙකු විසින් එම කාල මොනවාද යන්න කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

දැනගෙන සිටියද....?😯

රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරීමට අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැලකීම සිටින්නේ වරින්වර නින්දෙන් අවදි වීමට වේ යන මතය දරමිනි.

මා නොදැන සිටි තවත් දෙයක් ... මිනිසුන්ට රාත්‍රියේදී මෙතරම් මුත්‍රා කිරීමට සිදුවන්නේ ඇයි?

මේ සම්බන්ධ ව හෘද වෛද්‍යවරයෙකුගේ (හෘද රෝග විශේෂ) ප්‍රතිචාරය මෙසේය :

“ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ. මන්ද ගුරුත්වාකර්ෂණය මඟින් ඔබේ ශරීරයේ පහළම කොටසෙහි ජලය රඳවා තබා ගනී.

දැන් ඔබ වැතිරී සිටින විට ඔබේ පහළ ශරීරය (කඳ, කකුල් ආදිය) ඔබේ වකුගඩු සමඟ සම මට්ටමේ පවතී නම්, වකුගඩු ජලය ඉවත් කරන්නේ එය වඩාත් පහසු බැවිනි.

එය අවසාන ප්‍රකාශයට ගැලපේ!

ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට අපට අවම වශයෙන් ජලය අවශ්‍ය බව මම දැන සිටියෙමි, නමුත් මෙය මට අලුත් දෙයක් විය!

එනම් ජලය පානය කිරීමට සුදුසුම කාලය කුමක්ද? එය හොඳින් දැන ගැනීම ඉතා වැදගත් වේ.

හෘද රෝග Specialist කෙනෙකු ගේ වචන ....!

නිශ්චිත වේලාවක ජලය පානය කිරීම, ශරීරයට එහි බලපෑම් උපරිම කරයි:

1. අවදි වීමෙන් පසු වතුර වීදුරු දෙකක් (2) - පානය කිරීම අභ්‍යන්තර අවයව සක්‍රීය කිරීමට උපකාරී වේ

2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් පානය කිරීම (1) - ආහාර දිරවීමට උපකාරී වේ

3. ස්නානය කිරීමට පෙර වතුර වීදුරුවක් (1) පානය කිරීම - රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ (එය දැන සිටියේ කවුද ???)

4. ඇඳට යාම ට පෙර වතුර වීදුරුවක් (1) -පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය (දැන ගැනීම හොඳයි!)

5. ඊට අමතරව, නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වළක්වා ගැනීමට උපකාරී වේ.

6. කකුලේ මාංශ පේශි සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබාගැනීම සදහා ඔබව අවදි කරයි.

හෘද රෝග Specialist කෙනෙකු පැවසුවේ සෑම පුද්ගලයෙකුම පුද්ගලයන් 10 දෙනෙකුට මෙම පණිවිඩය යවන්නේ නම් අවම වශයෙන් ජීවිත 1 ක් ඉතිරි කර ගත හැකි බවයි!

ඉතින්, මම දැනටමත් මෙම තොරතුරු මෙම සමස්ත කණ්ඩායමට බෙදාදීම කර ඇත. ඔබගෙන් බොහෝ දෙනෙක් ස්වල්පයක් ගැන දැනුවත් විය හැකි නමුත් ඒ සියල්ලම නොවිය හැකිය !!

මෙම පණිවිඩය ඔබේ ආදරනීන් වෙත හො වෙනත් සමුහයන් වෙත යොමු කරන්න එය බොහෝ ජීවිත බේරා ගැනීම සඳහා උපකාරී වනු ඇත.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙහි ඇති කරුණු සියල්ලක්ම සත්‍ය බවට බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවටයි.

මේ පිළිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජලය, මිනිස් සිරුරට වැදගත් වන අතර, එය නිශ්චිත ප්‍රමාණවලින් දවසේ නිශ්චිත වේලාවන්හිදී පරිභෝජනය කිරීමෙන් කිසිදු සෞඛ්‍ය ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න පිළිබඳ අධ්‍යනයන් පවතිනවාද යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂා කළා.

උදෑසන පිබිදීමෙන් පසු බොහෝ ශාරීරික ක්‍රියාවලීන් සඳහා ජලය අවශ්‍ය වේ. ඔබේ නින්ද නිසා පැය කිහිපයක් ජලය නොබී පිපාසව සිටියේ නම්, පානීය ජලය ඔබව නැවත සජලනය කරන බව සත්‍යයකි.

නමුත් ඉහත සටහනේ දක්වා තිබූ පරිදි පානීය ජලය "අභ්‍යන්තර අවයව සක්‍රීය කරයි" යන්න තහවුරු කරන පොදු පිළිගැනීමකට ලක්වූ පර්යේෂණයක් අපට සොයාගත නොහැකි විය. "සක්‍රිය කිරීම" යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද හෝ ජලය සක්‍රිය කිරීමට අදහස් කරන්නේ කුමන ඉන්ද්‍රියයන්ද යන්න නිර්වචනය නොකරන බැවින් එම ප්‍රකාශයන් පිළිබඳ අපැහැදිලිව පවතී.

ජලය ආහාර දිරවීමේ ක්‍රියාවලියට උපකාරී වන බව සත්‍යයක් පවතී. ජලය මළපහ කිරීම පහසු කරන අතර මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වේ. නමුත් ආහාර ගැනීමට මිනිත්තු 30කට පෙර ජලය පානය කිරීම අවශ්‍ය බවට සඳහන් විශ්වාසනීය සාක්ෂියක් දැක ගන්නට නොලැබේ.

ඉහත සටහනේ දැක්වෙන ලෙස ස්නානය කිරීමට පෙර ජලය වීදුරුවක් පානය කිරීමෙන් රුධිර පීඩනය අඩු වන බවට පොදු පිළිගැනීමකට ලක්වූ සාක්ෂියක් අපට හමු නොවීය. නමුත්, ජලය පානය කිරීම සමහර පුද්ගලයින්ගේ රුධිර පීඩනය තරමක් වැඩි කරන බවට සාක්ෂි දැක ගන්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ අධ්‍යන වාර්තා මෙතනින් සහ මෙතනින්.

එමෙන් ම, නින්දට පෙර ජලය පානය කිරීම හෘදයාබාධ ඇතිවීමේ සම්භාවිතාව කෙරෙහි බලපාන බවට ප්‍රබල සාක්ෂි අපට සොයාගත නොහැකි විය.

විශේෂඥයින්ගේ අදහස්

දියර ආහාරයට ගැනීමෙන් කිරීටක හෘද රෝග වැළැක්විය හැකි බව යෝජනා කිරීමට ඇතැම් පර්යේෂණ සිදු කර ඇති අතර, සමහර අය යෝජනා කරන්නේ විජලනය වීමෙන් ආඝාතය යථා තත්ත්වයට පත් විය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ පර්යේෂණ වාර්තා මෙතනින් සහ මෙතනින්. නමුත් නින්දට පෙර ජලය පානය කිරීම විශේෂයෙන් ප්‍රයෝජනවත් වන බවට නිශ්චිත සාක්ෂි නොමැත.

පිලිපීන හෘද මධ්‍යස්ථානයේ නිවාරණ හෘද රෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය Ranulfo Javelosa Jr. ද AFP වෙත සඳහන් කර තිබුණේ, ඉහත සටහනේ ප්‍රකාශ "වෛද්‍ය මිථ්‍යාවන්" බවයි. එමෙන් ම හෘද රෝග බොහෝ විට පැන නගින්නේ “කොලෙස්ටරෝල්, සීනි, ආතතිය සහ දුම්පානය” ඇතුළු සාධකවල එකතුවකින් බවයි. මෙම සාධක අඩු කළහොත්, හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරන බව ත්, වතුර වීදුරුවක් පානය කිරීම මගින් ඉහත සඳහන් රෝග පාලනය නොවන බවයි.

ආයුර්වේද වෛද්‍ය මතය

මේ පිලිබදව අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක මහතා සඳහන් කළේ, මෙම සමාජ ජාලා සටහනේ ඇති සමහර කරුණුවල සත්‍යතාවයක් ආයුර්වේද වෛද්‍ය මතයට අනුව පැවතුනත් සමහර කරුණු අසත්‍ය බවයි. අසත්‍ය කරුණු සම්බන්ධයෙන් උදාහරණද ඔහු පැවසුවා. ප්‍රධාන ආහාර වේල් වලට පෙර ජලය විශාල වශයෙන් පානය කිරීම ,ආහාර දිරවීමට අහිතකර ලෙස බලපෑ හැකි බව සඳහන් කල ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ නින්ද අතරතුරදී ජලය පානය කිරීම ප්‍රමාණවත් නින්දක් ලැබීම සඳහා බාධක විය හැකි බවයි.

අපගේ නිරෝගීබව පවත්වා ගැනීමට පෝෂ්‍යදායී ආහාර වේලක් සේම, ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකු නම්, ඔහු හෝ ඇය දිනකට වතුර වීදුරු 08(වතුර ලීටර 2 ක් ) වත් පානය කිරීම අප ශරීරයට අත්‍යවශ්‍ය වන සාධකයකි.

නමුත්, මේ ආකාරයෙන් දිනකට වතුරු ලීටර 2 ක් වත් පානය කළ යුතු වුවද, එක්වරම වතුර බෝතල් ගණනින් පානය කිරීමද වැරදි ක්‍රියාවකි. එසේ එක්වර ජලය පානය කිරීමට යාමෙන් විවිධ සංකූලතා මතුවිය හැකිය.දිනකට පානය කලයුතු වතුර ලීටර ගණන පිළිබද තොරතුරු ඇතුලත් වාර්තාවක් මෙතනින්

මේ සම්බන්ධයෙන් පළ වූ වෙනත් කරුණු විමර්ශන වාර්තා මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ ජලය පානය කිරීමට සුදුසුම කාලය කුමක්ද? යනුවෙන් හෘද රෝග විශේෂඥයෙකු විසින් සිදු කළ ප්‍රකාශ බවට දක්වමින් සඳහන් කරුණු සමහර ඒවා නොමග යවන සුළු බවයි. එම ඇතැම් ප්‍රකාශයන් සඳහා උපකාර වන පොදු පිළිගැනීමකට ලක්වූ අධ්‍යන වාර්තා පර්යේෂණ නොමැති බව අප කළ විමර්ශනයේදී තහවුරු වූ අතර, හෘර්ද රෝග විශේෂඥයින් පෙන්වා දෙන්නේ එහි ඇතැම් කරුණු කරුණු නොමග යවන සුළු බවයි.

Avatar

Title:නියමිත වේලාවට ජලය පානය කිරීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙනවාද?

Written By: Pavithra Sandamali

Result: Misleading