දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දේශපානඥයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු තොරතුරු පැතිරවීම බහුලව දක්නට ලැබෙනවා. ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ලංකාවේ අම්මලා දරුවෝ එක්ක. එයාලා දරුවෝ පවුල් පිටින් රටවල් වල සවාරියේ” යනුවෙන් සඳහන් කරමින් සංසරණය වූ ඡායාරූප සටහනක් හුවමාරු වී තිබුණි. මෙහි කුඩා දරුවෙකු ද එක අතකින් වඩාගෙන ජාතික ජන බලවේගයේ පෝස්ටරයක් අලවන කාන්තාවකගේ සේයාරුවක් ද ඊට පහළින් බිමල් රත්නායක මහතා සිය පවුලේ සාමාජිකයින් සමග විදෙස් සංචාරයක නිරත වූ බව හඟවන ඡායාරූපයක් දක්වා තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙහි දැක්වෙන්නේ සත්‍ය වශයෙන් ම බිමල් රත්නායක මහතා සිය පවුලේ සාමාජිකයන් සමගින් සිටින ඡායාරූපයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබුණු බවට මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියා.

මෙහි නිරවද්‍යතාව විමසා බලන ලෙසට අප ට ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ පිළිබඳව විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සිය පවුලේ සාමාජිකයින් සමගින් විදෙස් සංචාරයක නිරත වූ අවස්ථාවක් ද,යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා එම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව අපට එය පසුගිය ජනවාරි 12 වන දින NPP Finland ෆේස්බුක් පිටුවක මෙම ඡායාරූපය ඇතුළත් ව පළ වී තිබූ ඡායාරූප සටහනක් දැක ගන්නට ලැබුණා.

ඒ අනුව ඉහත ඡායාරූපයේ සම්පූර්ණ ඡායාරූපයක් අපට දැක ගන්නට ලැබුණු අතර එහි සඳහන් කර තිබුණේ, “ෆින්ලත්තයේ නගර හතරක පැවැත්වෙන ජාතික ජන බලවේගයේ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට පැමිණි බිමල් රත්නායක සහෝදරයා අද Helsinki ගුවන් තොටුපලේ දී සුහදව පිළිගත් අයුරු” යනුවෙනි.

Facebook | Archived Link

අප මේ පිළිබඳව බිමල් රත්නායක මහතාගෙන් විමසීමක් කළ අතර, ඒ මහතා සඳහන් කළේ, තමන් පසුගිය දා ෆින්ලන්තයේ නගර කිහිපයක සංවිධානය කරතිබු විශේෂ ජනහමු කිහිපයකට සහභාගී වූ බවත්, එම සංචාරය සඳහා තමන් සිය පවුලේ සාමාජිකයන් රැගෙන නොගිය බවත්, ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවේ තමන් ව පිළිගැනීම සඳහා පැමිණි එරට වෙසෙන ලාංකික පවුලක සාමාජිකයින් බවයි.

එමෙන් ම මේ පිළිබඳ අප NPP Finland ෆේස්බුක් පිටුව හරහා ද, එම තොරතුරු තහවුරු කර ගත් අතර එම ඡායාරූපයේ දැක්වෙන කුඩා දරුවන් දෙදෙනා මල් කළඹවල් ලබාදෙමින්, හෙල්සින්කින් ගුවන්තොටුපළේ දී බිමල් රත්නායක මහතා පිළිගත් අවස්ථාවේ කෙටි වීඩියෝවක් ද එම අවස්ථාවට සහභාගි වූ පුද්ගලයෙකු අප වෙත ලැබීමට සැලැස්වූවා. එම වීඩියෝව පහතින්.

මෙම සමුළුවට සහභාගි වූ පිරිසකගෙන් ද, අප මේ පිළිබඳ විමසා සිටි අතර ඔවුන් තහවුරු කළේ ද, බිමල් රත්නායක මහතාගේ පවුලේ සාමාජිකයන් මෙම හමුව සඳහා ෆින්ලන්තයට නොපැමිණි බවයි.

එසේම ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකය පවසා සිටියේ ද මේ ආකාරයේ විදෙස් විදෙස් ජන හමු සඳහා සිය පක්ෂ නායකයින්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී නොවන බවත්, විශේෂ අවස්ථා කිහිපයක දී පක්ෂයේ ම සාමාජිකයන් කිහිපදෙනෙකු හැර, බොහෝ විටදී විදෙස් ගමන් සඳහා සහභාගී වන්නේ ද එක් පක්ෂ නායකයෙකු පමණක් බවයි.

බිමල් රත්නායක මහතාගේ බිරිඳ වන්නේ සමන්මලී ගුණසිංහ මහත්මියයි. ඇය ජනතා විමුක්ති පෙරමුණේ කාලයක් පුරා දේශපාලනික ක්ෂේත්‍රයේ සක්‍රීව නිරතව සිටින, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයෙකු සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරනවා. පසුගිය දා බොහෝ කතාබහට ලක්වූ ඇය සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවක් මෙතනින්.

සමාජ මාධ්‍ය සටහන්හි මුලින් කාන්තාවක් දරුවෙකු එක් අතකින් ද රඳවා ගනිමින් පෝස්ටරයක් ඇලවීමට සහය වන ඡායාරූපයේ දැක්වෙන්නේ ජාතික ජන බලවේගයේ "ගැහැනු එක මිටට" ගාල්ලේ කාන්තා සමුළුවේ ප්‍රචාරණ පෝස්ටරයක් අවලවන අවස්ථාවකි. එම සේයාරුව මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ෆින්ලන්ත ජන හමුවකට සහභාගී වූ බිමිල් රත්නායක ඒ සඳහා සිය පවුලේ සාමාජිකයන් සමගින් එම සංචාරයේ නිරත වූ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා තිබූ ඡායාරූපයේ සිටින්නේ ෆින්ලන්තයට ඔහු ව පිළිගැනීම සඳහා පැමිණි පිරිස බවයි. ඒ බවට බිමල් රත්නායක මහතා මෙන්ම එම අවස්ථාවට පැමිණි සාමාජිකයින් ද,තහවුරු කළා.

Avatar

Title:බිමල් රත්නායක, සිය පවුලේ සාමාජිකයින් සමග විදෙස් සංචාරයක නිරත වූ අවස්ථාවක් ද?

Written By: Pavithra Sandamali

Result: Misleading