දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මීට වසර කිහිපයකට පෙර ගෑස් සිලින්ඩර් පිපිරීම් මාලාවක් දිවයිනේ නන් දෙසින් වාර්තා වූ අතර එය ගෑස් සිලින්ඩරවල ආරක්ෂාව පිළිබඳ කරළියට ගෙන ආ බිහිසුණු සිදුවීම් වුණා. මෙම සිදුවීම ආරක්ෂක ප්‍රොටෝකෝල සහ ප්‍රමිතීන් පිළිබඳ සාකච්ඡා සහ වාද විවාද රාශියක් ඇති කරනු ලැබුවා. කෙසේ වෙතත්, ගෑස් සිලින්ඩරයේ ආරක්ෂාව පිළිබඳ සමහර සමාජ මාධ්‍ය සටහන් නොමඟ යවන හෝ අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් ජනතාව අතර අනවශ්‍ය භීතියක් ඇති කිරීමට සමත් වී තිබුණා. එලෙසින් සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල කල් ඉකුත් වීමේ දිනයන් අකාරාදී ලෙස කේතනය කර ඇති බව එනම්, A ජනවාරි-මාර්තු සඳහා B, අප්‍රේල්-ජූනි සඳහා C, ජූලි-සැප්තැම්බර් සඳහා C, ඔක්තෝබර්-දෙසැම්බර් සඳහා D ලෙස පෙන්වා දී ඇති බවත් ඒත් සමගින් කල් ඉකුත් වන වර්ෂයද සඳහන් කර ඇති බව ත් මෙම සටහනින් පෙන්වා දේ.

🙂 ගෑස් සිලින්ඩරයක් කල් ඉකුත් වී ඇත්දැයි දැන ගන්නේ කෙසේද?

🗼 ගෑස් සිලින්ඩරවල කල් ඉකුත්වන දිනයක් ඇති බව ඔබ දන්නවාද?

🗼කල් ඉකුත්වන දිනයෙන් ඔබ්බට භාවිතා කරන ගෑස් සිලින්ඩරයක් අනතුරට හේතු වන අතර එය බෙදාහරින්නා වෙත ආපසු ලබා දිය යුතුය.

🗼එතුළ ඇති වායුවට වඩා කල් ඉකුත්වන දිනය අවබෝධ කර ගැනීම වැදගත් වේ.

🗼ගෑස් සිලින්ඩරයක් නැවත පිරවීමට පෙර පාරිභෝගිකයින් සෑම විටම එහි කල් ඉකුත්වන දිනය පරීක්ෂා කළ යුතුය.

🗼පාරිභෝගිකයින්, කල් ඉකුත් වූ ගෑස් සිලින්ඩර භාවිතා නොකළ යුතුය.

🗼ඔබ ඕනෑම ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට පෙර, සෑම විටම නිෂ්පාදනය සහ කල් ඉකුත්වන දිනය පරීක්ෂා කරන්න.

🗼කල් ඉකුත් වූ ගෑස් සිලින්ඩරය භාවිතා කිරීම ආරක්ෂිත නොවේ, එබැවින් කරුණාකර ප්‍රවේශම් වන්න.

🗼සෑම සිලින්ඩරයක්ම එහි හිස අසල සිරස් ස්ථායී තහඩු 3ක් (පැති කඳන්) ඇත. පැති කඳ තහඩු වලින් එකක යම් ඇල්ෆා සංඛ්‍යා කේතයක් ඇත, එය එම ගෑස් සිලින්ඩරයේ කල් ඉකුත්වන දිනය වේ.

කල් ඉකුත්වන දිනය විකේතනය කරන්නේ කෙසේද

ගෑස් සිලින්ඩරයේ කල් ඉකුත්වන දිනය අකාරාදී පිළිවෙලට, A B,C D, කාර්තු වලින් සංකේත කර ඇත, එය මාස ගණනකින් කල් ඉකුත් වනු ඇත, සංඛ්‍යාත්මක කේතය එය කල් ඉකුත් වන වසර සඳහා වේ.

🅰A අකුර යනු ජනවාරි සිට මාර්තු දක්වා වේ.

🅱B අකුර යනු අප්‍රේල් සිට ජූනි දක්වා කාලයයි.

🧡C අකුර ජූලි සිට සැප්තැම්බර් දක්වා වේ.

🧡D අකුර ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වේ

උදාහරණයක් ලෙස, සිරස් රැඳී සිටින තහඩුව B -9 කල් ඉකුත්වන දිනය දරයි නම්, එයින් අදහස් වන්නේ, ගෑස් සිලින්ඩරය 2009 ජුනි මාසයේදී කල් ඉකුත් වන බවත්, C -16 ලෙස ලියා ඇත්නම්, එයින් අදහස් වන්නේ එය 2016 සැප්තැම්බර් මාසයේදී කල් ඉකුත් වන බවයි.

එමනිසා, ගෘහස්ථ අනතුරු වළක්වා ගැනීමට ප්‍රවේශම් වන්න...

FB | Archived

ඉහත සටහන සත්‍ය බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබෙනු මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියා.

මෙම සටහනේ දැක්වෙන කරුණු වල සත්‍යතාව හෙළි කරන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ ව කරුණු පරීක්ෂා කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ලිට්‍රෝ ගෑස් සමාගම

ලිට්‍රෝ ගෑස් හි අලෙවි කළමනාකරුගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, මෙම සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණු අසත්‍ය වන අතර සිලින්ඩර ආවරණයේ කල් ඉකුත්වන දිනයක් සඳහන් කර නොමැති බවයි.

සිලින්ඩර් ආවරණ තහඩුව මත කැටයම් කර ඇති තොරතුරුවල අඩංගු වන කරුණු නම්,

  • සිලින්ඩර සම්මත යොමුව
  • නිෂ්පාදකයාගේ නම සහ වෙළඳ ලකුණ
  • ස්වාධීන පරීක්ෂණ අධිකාරියේ හඳුනාගැනීමේ ලකුණ
  • සිලින්ඩරයේ අනුක්‍රමික අංකය
  • ටේරේ බර(Tare Weight)
  • පරීක්ෂා කළ පීඩනය
  • සැලසුම් පීඩනය
  • පරීක්ෂා කළ දිනය (මාසය සහ වසර)
  • සිලින්ඩර හිමිකාරිත්වය
  • ප්‍රොපේන් පිරවුම් ප්‍රමාණය
  • බියුටේන් පිරවුම් ප්‍රමාණය
  • ජල ධාරිතාව

සිලින්ඩරය මත දැක්වෙන්නේ, එය පරීක්ෂා කරන ලද දිනය මාසය සහ වසර පමණක් වන අතර එහි අකාරාදී කේත දැක්වෙන්නේ නැත. ඒ බව ට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර SLS 1178:2013 තත්ත්ව ප්‍රමිතියේ ද සඳහන් වන අතර සිලින්ඩරයේ කල් ඉකුත්වන දිනයක් අවශ්‍ය නොවන බව පැහැදිලි වන SLS තත්ත්ව ප්‍රමිතිය පහතින්.

SLS සලකුණු කිරීමේ ප්‍රමිතීන්ට අනුව, සිලින්ඩරය නිෂ්පාදනයෙන් පසු පළමු පරීක්ෂණ දිනය සහ නිෂ්පාදකයාගේ හෝ පරීක්ෂණ අධිකාරියේ හඳුනාගැනීමේ ලකුණ ප්‍රදර්ශනය කළ යුතුය.

ගෑස් සිලින්ඩරයක භාවිතා කළ හැකි ආයු කාලය විවිධ සාධක මගින් බලපානු ලබයි.

සාමාන්‍යයෙන් ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල සේවා කාලය වසර දහයක පමණ කාලයක් පැවතියද, Usage frequency and rotation,Physical wear and tear, මල බැඳීම(Rusting),Atmospheric conditions(වායුගෝලීය තත්ත්වයන්) යන සාධක මත සිලින්ඩර් ඉක්මනින් පළුදු වීමට හෝ වැඩි කල් භාවිත කළ හැකි බව ලිට්‍රෝ අලෙවි කළමනාකරු සඳහන් කළා. නැවත පිරවීමේ ක්‍රියාවලිය නිතිපතා පරීක්ෂා කිරීම හානියට පත් සිලින්ඩර සංසරණයෙන් ඉවත් කිරීමෙන් ආරක්ෂාව සහතික කිරීමට උපකාරී වන බව ද, ඔහු පවසා සිටියා.

ඉන්දියාවේ ඇතුළු තවත් රටවල කේතීකරණ පද්ධතියක් තිබේ

ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි කේතීකරණ පද්ධතිය (උදා: 2009 ජූනි සඳහා "B-9") ඉන්දියාවේ සහ ඇතැම් රටවල භාවිතා කරනුයේ නැවත පරීක්ෂා කිරීමේ දිනය දැක්වීමට මිස කල් ඉකුත්වන දිනය සඳහන් කිරීමට නොවේ.

මෙම පද්ධතිය සිලින්ඩරය ආරක්‍ෂාව සහ නඩත්තුව සඳහා නැවත පරීක්‍ෂා කළ යුත්තේ කවදාදැයි පරීක්ෂා කිරීමට සඳහන් කර ඇති අතර, ඉන් අදහස් වන්නේ සිලින්ඩර් භාවිතයට අනාරක්ෂිත වූ විට නොවේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

සිලින්ඩර් ආවරණ ප්‍රදේශයේ සලකුණු නොමැති ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ගණනාවක් ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. මීට පෙර, නොමඟ යවන ලද සටහන් වලින් ප්‍රකාශ කළේ, ලිට්‍රෝ ගෑස් සිලින්ඩර හැඩලයෙ හි අකුරු නොපැහැදිලි බව හෝ නොපවතින බව මත පදනම්ව සිලින්ඩර ප්‍රතික්ෂේප කරන බවයි. එම වාර්තාව පහතින්.

ගෑස් සිලින්ඩර හැඬලයේ ඇති සලකුණු බොදවීම් නිසා ලිට්‍රෝ ආයතනය විසින් ගෑස් සිලින්ඩර ප්‍රතික්ෂේප කරන බවට අසත්‍ය ප්‍රචාර!

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

ශ්‍රී ලංකාවේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල කල් ඉකුත්වන දිනයක් අකාරාදී ලෙස සංකේත කර සිලින්ඩර හිස අසල සිරස් ස්ථායීකාරක තහඩු තුනෙන් එකක කැටයම් කර ඇති බවට කරන ප්‍රකාශය අසත්‍යයකි. ගෑස් සිලින්ඩරවල ආරක්‍ෂාව සහ සේවා හැකියාව පවත්වා ගෙන යනු ලබන්නේ SLS සහතිකය විසින් නියම කර ඇති අයුරින් එය නිරන්තර පරීක්‍ෂණ සහ තත්ත්ව ප්‍රමිතීන් පිළිපැදීම මගිනි. සමාජ මාධ්‍ය පළ කිරීම් වල සඳහන් අකාරාදී කේතීකරණ පද්ධතිය ඉන්දියාවට සහ තවත් සමහර රටවලට විශේෂිත ව ඇති අතර එය නැවත පරීක්ෂා කිරීමේ දිනය සම්බන්ධ දැනුවත් කිරීමක් මිස කල් ඉකුත්වන දිනයට සඳහන් නොවන බවට තහවුරු වේ.

Avatar

Title:ශ්‍රී ලංකාවේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල කල් ඉකුත්වන දින සඳහන් කර නැත!

Written By: Pavithra Sandamali

Result: False