දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා දින නියම වී ඇති අතර නාමයෝජනා භාරගැනීම සිදුවන්නේ අගෝස්තු 15 වැනිදායි. දැනටත් ජනපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුම මෙම මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති අතර ජනපතිවරණයට සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් දැනටමත් සංසරණය වෙමින් පවතිනවා.

සමාජ මාධ්‍ය සටහන්

2024 ජූලි 27 වන දින, ජාතික ජන බලය (NPP) පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක (AKD) විසින්, AI තාක්ෂණය භාවිතයෙන් සිය පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ බව සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

FB | Archived

මෙම පළ කිරීම් පදනම් වී ඇත්තේ නොමඟ යවන සුළු වෙබ් පුවත් මතය. එවැනි පුවතක් මෙතැනින්.

එළැඹෙන මැතිවරණ සඳහා NPP හි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැකීමට බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරාවටම විමසිලිමත් වී තිබු බැවින් මෙම පුවත පිලිබඳ බොහෝ පාර්ශවයන්ගේ අවධානය යොමු විය.

FB

Fact Check (කරුණු විමර්ෂණය):

අනුර කුමාරගේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම:

ජූලි 27 දින අනුර කුමාර දිසානායක (AKD) සිය නිල වෙබ් අඩවිය දියත් කිරීම සිදුවුණි.

මෙම වෙබ් අඩවිය තුළ, NPP හි මූලික ප්‍රතිපත්ති සහ මූලධර්ම මත පදනම්ව තොරතුරු සපයන, AI ඔස්සේ ක්‍රියාත්මක වන චැට්බෝට් (Chatbot) පහසුකමක් පරිශීලකයින් වෙත ලබාදී තිබෙනවා.

ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති සහ අනුර කුමාරගේ දේශපාලන ස්ථාවරය පිළිබඳ විමසුම්වලට පිළිතුරු දීමට මෙම චැට්බෝට් පරිශීලකයින් සමඟ අන්තර් ක්‍රියා කරයි. වෙබ් අඩවියට පිවිසෙන සබැඳිය >> https://www.akd.lk/

නිල ප්‍රතිපත්ති ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නැත: NPP මාධ්‍ය ඒකකය

සමාජ මාධ්‍ය සටහන් ගැන පැහැදිලි කරමින් ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ, ජූලි 27 දින සිය පක්ෂ නායකයාගේ වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවයේ දී, තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් හඳුන්වා දුන්නේ නැති බවයි. මෙහිදී අනුර කුමාරගේ නිල වෙබ් අඩවිය සහ AI ඔස්සේ ක්‍රියාත්මක වන චැට්බෝට් හඳුන්වාදීමක් සිදුවූ බවයි.

ඊට අමතරව පක්ෂයේ ප්‍රතිපත්ති සංවර්ධනය හා සාකච්ඡා කිරීම සඳහා, NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය දියත් කිරීමද මෙහිදී සිදුවූ බව පක්ෂ මාධ්‍ය ඒකකය පවසා සිටියා.

සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම, පක්ෂයේ මූලික ප්‍රතිපත්ති මත පදනම් වූ විමසුම්වලට පිළිතුරු දීමෙන් පරිශීලකයින් දැනුවත් කිරීම වැඩි දියුණු කිරීම සඳහා මෙම AI chatbot හඳුන්වා දුන් බව තහවුරු කරමින් NPPමාධ්‍ය ඒකකය පවසන්නේ, මෙය විධිමත් මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමේ වේදිකාවක් නොවන බවයි.

තවද, ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ දිනයෙන් පසු එනම් අගෝස්තු 15 වැනිදායින් පසුව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහජනතාවට හඳුන්වා දෙනු ලැබෙන බවත්, NPP මාධ්‍ය ඒකකය පැහැදිලි කර සිටිනවා.

තම නිල වෙබ් අඩවිය, NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව, පක්ෂ නායක සහ අනුර කුමාර දිසානායක ෆේස්බුක් ඔස්සේ සටහනක් තබා තිබුනේ මෙලෙසින්.

කරුණු සත්‍යාපන කිරීම:

අනුර කුමාර නිල වෙබ් අඩවිය පරික්ෂා කිරීම: අනුර කුමාර දිසානායකගේ අලුතින් දියත් කරන ලද වෙබ් අඩවියට ගිය විට AI chatbot පහසුකමක් එහි සපයා ඇති බව දැක ගන්නට ලැබෙනවා. මෙම චැට් බොටය හරහා, පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු සපයන නමුත් මැතිවරණ ප්‍රකාශනයක් එහි ඇතුළත් වීමක් හෝ ඉදිරිපත් වීමක් සිදුවන්නේ නැහැ.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් chatbot සමඟ අන්තර් ක්‍රියා සිදුකර තිබු අවස්ථාවන් මෙතනින් සහ මෙතනින්.

එසේම AI තාක්‍ෂණය යොදාගත් මැතිවරණ ප්‍රකාශනයක්, ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ බවට නිල පුවත් වාර්තා ද දැක ගන්නට ලැබෙන්නේ නැහැ. බොහෝ ප්‍රවෘත්ති ආයතන, මෙම පුවත වාර්තා කරමින් සඳහන් කර තිබුනේ, අනුර කුමාර මහතාගේ නව වෙබ් අඩවිය දියත් කිරීමක් ජූලි 27 වැනිදා සිදුවූ බවත්, එහි එය විමසුම්වලට පිළිතුරු දීමට AI මත පදනම් වූ තාක්‍ෂණය ඇතුළත් බව සඳහන් කරයි.

ලොව පුරා මෙන්ම දකුණු ආසියා කලාපිය රටවල් ප්‍රධාන මැතිවරණ මෙම 2024 දී පැවති අතර ඒවායේ ප්‍රචාරණ කටයුතුවලදී AI භාවිතය ප්‍රධාන තේමාවක් වී ඇත . ඉන්දියාවේ සහ පකිස්තානයේ මෑතකදී අවසන් වූ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මෙන්ම දුස් තොරතුරු තොරතුරු පතුරුවා හැරීමේ මෙවලමක් ලෙස AI මත පදනම් වූ තාක්ෂණයන් භාවිතා කළ අවස්ථා කිහිපයක් දැකගැනීමට ලැබුණි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (නිගමනය)

අනුර කුමාර දිසානායක 2024 ජුලි 27 වැනි දින AI තාක්ෂණය භාවිතයෙන්, සිය පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ බවට කරන ප්‍රකාශය අසත්‍ය සහ නොමඟ යවන සුළුයි. සත්‍ය සිදුවීම වූයේ, ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු සැපයීම සඳහා AI තාක්ෂණය යොදාගනිමින් ක්‍රියාත්මක වන චැට්බෝට් එකකින් සමන්විත ඔහුගේ නිල වෙබ් අඩවිය (akd.lk) දියත් කිරීමයි. NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය ද එදිනම එම ස්ථානයේම (බත්තරමුල්ල, ජයන්ති මාවත) විවෘත කරන ලදී.