දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මැතිවරණය පැවැත්වීමට ලහි ලහියේ කටයුතු සූදානම් වන වපසරියක දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින්, සාමාජිකයක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු බහුලව පැතිරෙනවා. නමුත් ඒ ප්‍රවණතාවයට පරිබාහිරව මැතිවරණය හා සම්බන්ධ ආයතන මෙන්ම වෙනත් රාජ්‍ය ආයතන ද, නාමයන් අවභාවිත කරමින් එම ආයතනයන් හරහා සිදුවන සේවාවන් පිළිබඳ සැකයක් මතු කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම ද, සිදු කරන අයුරු විශේෂයෙන් ම සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබෙනවා. අනුමානයන් සත්‍ය ස්වරූපයේ ජන ගත කිරීමට දරන උත්සහයේදී කරුණු හරි හැටි නොදන්නා ජනතාව නොමග යා හැකි එවන් සමාජ මාධ්‍ය සටහනක නිවරදි තොරතුරු ඇතුළත් කරමින් Factcrescendo අප සිදු කළ කරුණු විමර්ශන වාර්තාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

විදෙස් ගත ශ්‍රීලාංකිකයන්ගේ ඡන්ද හොරට දැමීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 25 ක ගේ පමණ පාස්පෝර්ට් හොරෙන් මුද්‍රණය කෙරෙමින් මේ වන විට මහාපරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා.

මේ සඳහා දැනට විදෙස් ගතවී සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 25 ක ගේ පමණ පාස්පෝර්ට් හොරෙන් මුද්‍රණය කෙරෙමින් පවතින බව වාර්තාවෙි.

මැතිවරණ කොමිසම හදිසියේම රටේ ඕනෑම තැනකින් ඡන්දය භාවිත කල හැකි බවට මෙතක් නොපැවති නීතියක් හදිසියේම ගෙනවිත් ඇති බව පැවසෙන්නේද මේ නිසාය.

මේ සඳහා පාස්පෝර්ට් පොත් හා යන්ත්‍ර යොදාගැනීම සඳහා හදිසියේම පාස්පෝර්ට් ගැනීමට ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි විය යුතු බවට නීතියක් ගෙන එන ලද අතර එම නිසා මේ වන විට දිනකට නිකුත් කරන පාස්පෝර්ට් සංඛ්‍යාව සීමිත කර ඇත. ඒ මීට අවශ්‍ය පාස්පෝර්ට් පොත් සහ මුද්‍රණ යන්ත්‍ර මේ සඳහා ලබා ගැනීම සඳහාය.

වෙනත් ප්‍රදේශයක ඡන්දය භාවිත කරන විට එය භාවිත කරන පුද්ගලයා හඳුනාගැනීමට පක්ෂවල පෝලිම් නියෝජිතයන්ට නොහැකිවන අතර ගුවන් බලපත්‍රය පරික්ෂා කර බලා එය පිළිගන්නට ඔවුන්ට සිදුවේ.

දුෂිත VFS ගනුදෙනුව අනාවරණය වීම නිසා නීතිමය වශයෙන් දැඩි අවදානමකට ලක්ව සිටින ටිරාන් අලස් ඇමතිවරයා මෙන්ම අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක හා ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මේ සඳහා මුලිකත්වය ගෙන ඇත්තේ යම් ලෙසකින් ආණ්ඩු පෙරලියක් සිදුවුව හොත් අදාළ දුෂණ චෝදනාවලට වරදකරුවන්වීම අනිවාර්යවන බැවිනි.

මේ සඳහා මැතිවරණ කොමිසමේ සහයද ලැබෙන බව පැවසෙන අතර සියලු සංවිධාන කටයුතු වජිර අබේවර්ධන හරහා සිදු කෙරෙන බව පැවසේ. ඔහු හිටපු රාජ්‍ය පරිපාලන මෙන්ම අභ්‍යන්තර කටයුතු ඇමතිවරයකු වන අතර වියානි ගුණතිලක එම දිනවල වජිර හා එක්ව මහාපරිමාණ දුෂණ රැසක් සිදු කල බව පැවසේ.

මේ හේතුවෙන් අද වන විට එක්දින පාස්පෝර්ට් සේවා නැවතී ඇති අතර ඔන්ලයින් ලියාපදිංචියට දිනගනනාවක් ගතවේ. මේ නිසා රැකියා සඳහා විදෙස්ගතවන්නන්ට විදේශ ගතවීමට නොහැකිවී තිබේ. දිනපතා දහස් ගණන් පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර පසුගියදා ජනතාව ආගමන විගමන පාලක ජනරාල්ගේ කාර්යාලයටද කඩාවැදී තිබිණි.

Facebook | Archived Link

මෙම සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

මෙහි ඇත්ත නැත්ත සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කරගනිමින් මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප කරුණු විමර්ශනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙවැනි ජාවාරමක් සිදුවන බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත්ද යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කර බැලුවා. නමුත් කිසිදු මාධ්‍ය වාර්තාවක හෝ විමර්ශන මාධ්‍ය වාර්තාවක හෝ එවැනි තොරතුරක් ප්‍රධාන මාධ්‍ය විසින් වාර්තා කර නොතිබුණි.

ඒ අනුව මෙවැනි ජාවාරමක් වනවා නම්, එය ප්‍රායෝගිව කිරීමට ඇති තත්ත්වය පිළිබඳ අප විමර්ශනයක් සිදු කළා.

විදේශ ගමන් බලපත්‍රය online අයදුම් කිරීම :

අප මේ පිළිබඳව කළ පරික්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ https://www.immigration.gov.lk/වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍රය සඳහා අයඳුම් කළ හැකි වුවත්, ඒ සඳහා ද, අයදුම්කරුවන් තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් කටයුතු සිදු කළයුතු බවයි. එවන් වපසරියක තමන් නොවන රටින් පිටවී සිටිව විදෙස් පුද්ගලයෙකුගේ විදෙස් බලපත්‍රයක් ලබා ගැනීමේ ඉඩකඩක් තියේද යන්නයි. අයදුම් පත් වල තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඉහත සමාජ මාධ්‍ය සටහනේ පවසන විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අප ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් විමසීමක් කළා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය :

ලක්ෂ 25ක පමණ හොරෙන් විදෙස් ගමන් බලපත්‍ර එහෙම මුද්‍රණයක කරන්න බෑ. මම තනියෙන් කරන වැඩක් නෙමෙයි නිලධාරීන් ගණනාවක් ඉන්නවා. අනිත් එක ගුවන් තොටුපළකින් එලියට ගිය රපිටව ගිය කෙනෙක්ගේ විදෙස් ගමන් බලපත්‍රයක් කොහොමත් රට ඇතුළේ ප්‍රින්ට් කරන්න බෑ. සිස්ට්ම් එකේ. එහෙම කරනවානම් එම්බසි එක හරහා නැවත ඉල්ලීමක් කරොත් විතරයි එහෙම ප්‍රින්ට් කරන්න පුළුවන් කම හම්බවෙන්නේ

එමෙන් ම ඔහු සඳහන් කළේ, ලක්ෂ 25ක පාස්පෝට් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි. විදෙස් ගමන් බලපත්‍රයක් මුද්‍රණය කරලා දෙපාර්තමේන්තුවට ලැබෙන්න අවම කාලය මාස 6ක් වන බව ත්, මේ වන විට ඉන්දුනිසියාවේ පෙරුම්පුරි කියන ආයතනය හරහා එපික් ලංකා සමාගම ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස් ගමන් බලපත්‍ර සපයන බව ත්, එයින් කිසිදු අවස්ථාවක ලක්‍ෂ 25ක පාස්පෝට් එකවර මිලදී ගැනීම සිදු කර නොමැති අතර මෙතෙක් මිලදී ගෙන ඇති වැඩිම විදෙස් ගමන් බලපත්‍ප්‍රමාණය වන්නේ ලක්ෂ 10ක් බව ත් ඔහු පවසනවා. පසුගිය වර්ෂයේම විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කර ඇත්තේ ලක්ෂ 10ක් පමණ බවත්, එක් විදෙස් ගමන් බලපත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා වැය වන මිල ඩොලර් 6.89ක් බව ත්, පෙන්වා දුන්නා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිසම හෝ මෙම සටහනින් පෙන්වා දෙන පරිදි කිසිදු සම්බන්ධතාවයක් නොමැති අතර, මෙවැනි මහපරිමාණ ජාවාරමක් සිදු වීමට කිසිදු ඉඩක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

මැතිවරණ කොමිෂන් සභාව :

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන තොරතුරු සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දෙන්නේ, මෙවැනි ඡන්ද මංකොල්ලයක් වීමට කිසිදු ඉඩ ප්‍රස්තාවක් නොමැති බවයි.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ විධි විධාන අනුව ඡන්ද මධ්‍යස්ථානය තුළ තේරීම් භාර නිලධාරී ඡන්ද ස්ථානාධිපති ඇතුළු මැතිවරණ නිලධාරීන් කටයුතු කරන අතර මෙහි සඳහන් ක්‍රියාවන් වීමට කිසිදු ඉඩක් නැති බව පවසනවා.

එමෙන් ම සෑම ඡන්ද මධ්‍යස්ථානයක ම නාම ලේඛන යොමු කරන විට එහි පුද්ගලයන් විදෙස්ගත වී ඇත්නම් ඔවුන්ගේ නම් සලකුණු කර යොමු කරනු ලබනවා. එවන් අවස්ථාවකදී රටින් පිට සිටින වෙනත් පුද්ගලයෙකුගේ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කර වෙනත් පාර්ශවයකට ඡන්දය දැමීම සිදු කිරීමට කිසිදු ඉඩක් නොලැබේ.

මෙහිදී ඡන්ද පොළෙහි සිටින නිළධාරින් හතර දෙනෙකු විසින් පහත සඳහන් පරිදි කටයුතු කරනු ඇත.

පළමුව සිටින නිලධාරියා විසින් ඡන්ද දායකයා සතුව ඇති හඳුනාගැනීමේ ලේඛනය (ජාතික හැඳුනුම්පත, වලංගු ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, පූජ්‍ය/පූජක පක්ෂයේ හැඳුනුම්පත, රජයේ විශ්‍රාමිකයින්ගේ හැඳුනුම්පත හෝ වැඩිහිටි හැඳුනුම්පත හෝ ග්‍රාම නිලධාරියා මගින් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත) පරීක්ෂා කර බලා, එහි ඇති ඡායාරූපය සහ පුද්ගලයාගේ මුහුණ හා ස්වරූපය ගැලපේ නම් ඡන්දදායකයා දෙවැනි නිලධාරියා වෙත යොමු කරනු ඇත.

දෙවැනි නිලධාරියා ඡන්දදායකයා සතුව ඇති නිල ඡන්ද දැන්වීම් පත (OFFICIAL POLL CARD) ඉල්ලා ගෙන ඔහුගේ නම ඡන්ද ලැයිස්තුවේ සොයා ගෙන, ඔහුගේ නම විමසා, ඡන්දදායකයාගේ නම සහ අනු අංකය හඬ නගා කියවනු ඇත. ඉන් පසු ප්‍රශ්නයක් මතු නොවුනහොත්, ඡන්දදායකයා ඊළගට සිටින නිලධාරියා වෙත යොමු කරනු ඇත. ඉතින් මෙවැනි අවස්ථාවදී එක් එක් ඡන්ද මධ්‍යස්ථාන වල රාජකාරියේ යෙදෙන නිලධාරීන් ද එම ප්‍රදේශයම බැවින් එවැනි වංචනික පුද්ගලයන් සිටී නම් පහසුවෙන් ම හඳුනා ගැනීම සිදු කෙරෙනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන් ම සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දෙන්නේ, මැතිවරණ කොමිසම හදිසියේම රටේ ඕනෑම තැනකින් ඡන්දය භාවිත කල හැකි බවට මෙතක් නොපැවති නීතියක් හදිසියේම ගෙනවිත් ඇති බවයි. නමුත් මෙම නීතිය 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 119 (ආ) වගන්තිය යටතේ ප්‍රතිපාදන සලසා දී තිබෙන බව ත්, විශේෂයෙන් ම ඡන්දය දැමීමට පෙර තමාගේ ඡන්ද මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයේ පවතින් තත්ත්වය හේතුකොට නෙ එම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තමාගේ ඡන්දය දීමට නොහැකි ‍වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට පමණක් මෙය වලංගු වන බවත් පෙන්වා දුන්නා.

නමුත් මේ සඳහා අවසරය ලබා ගැනීමට පැහැදිලිව සාක්ෂි ඇතුළත් ව තමන් ට ජීවිත තර්ජනයක් ඇති බවට ඔප්පු කළ යුතු බව ත් ඉල්ලුම් පත්‍රෙය් සඳහන් තොරතුරු ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී විසින් නිවැරදි බවට සනාථ කළ යුතු බව ත්. ග්‍රාම නිලධාරී සහතිකය නොමැති ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප කරනු බව ත් ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වන විට එවැනි ඉල්ලීම් 10ක් පමණ පැමිණියත් නමුත් ඒවා ද, ජීවිත තර්ජන නොව වෙනත් වැඩකටයුතු හේතුවෙන් වෙනත් ප්‍රදේශයක ඡන්ද දැමීමට අවසර ඉල්ලා ඇති හේතු බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

මැතිවරණ නිරීක්ෂකයින් :

මැතිවරණයක් සඳහා අදාළ නිල නිවේදනය නිකුත් කිරීමේ දින සිට, මහජන නියෝජිතයන් තෝරාපත් කර ගත් බවට නිකුත් කරනු ලබන ගැසට් නිවේදනය දක්වා වූ කාල සීමාව තුළ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයන් තම කාර්යභාරය ඉතා පුළුල් පරාසයක ඔස්සේදැඩි නිරීක්‍ෂණතාමක ප්‍රවේශයක් මත සිට ක්‍රියා කරනු ලබනවා. ඊට අමතරව මැතිවරණ නොපැවැත්වෙන කාල සීමාවන් වලදී පවා මැතිවරණ ප්‍රතිසංස්කරණ ඇතුළු මැතිවරණ ක්‍රියාවලියට අදාළව කළයුතු දෑ හා කළ හැකි දෑ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබනවා.

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් මැතිවරණ නිරීක්‍ෂණය සඳහා ම පිහිටු වූ ආයතන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (PAFFREL), නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය (CaFFE), මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය (CMEV) , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය(CPA), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) හා මානව හිමිකම් පිළිබඳ ප්‍රලේඛන මධ්‍යස්ථානය (INFORM) නිදහස් සාධාරණ මැතිවරණ සඳහා වූ ව්‍යාපාරය (MFFE) ලක්බිමේ මව්වරු සහ දියණියෝ (MDL) මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය (NPOC) ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TI-SL) යන සංවිධාන ඇතුළු අද වන විට මෙරටේ මැතිවරණ නිරීක්‍ෂණය සඳහා ඉහත සඳහන් කළ ආයතන වලට අමතරව මානව අයිතිවාසිකම් සඳහා විද්වතුන්ගේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය (NEM-IHR), ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා දෙටු පුරවැසි සම්මේලනය, දිරිය පදනම ආදී සංවිධාන වරින් වර මැතිවරණ ක්‍රියාවලිය සඳහා දායක වී සිටින ආයතන වේ.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

අප මේ පිළිබඳව කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ මෙවන්නක්.

ලක්ෂ 25ක් ගහන්න නම්, දවසට 75,000 ක් ගහන්න ඕනා. නිල ක්‍රියාපටිපාටියේ 10,000යි ගහන්නේ. සෑම ඡන්ද මධ්‍යස්ථානයක සෑම පක්ෂයක්ම නියෝජනය කරමින් මැතිවරණ නිලධාරීන් මෙන් ම පක්ෂ නිලධාරීන් ද ඉන්නවා. ගමේ ම ඉන්න නිලධාරීන් ඉන්නේ. ඒ හැමෝම ගමේ සිටින විදෙස් ගතව සිටින පුද්ගලයන් ගැන දැනුවත්, ඒවාට ලියකියවිලි තියෙනවා. සෑම ඡන්ද පොළකම විදේශ ගත වුණ පිරිසගේ නම් යටින් ඉරක් ඇඳලා තියෙනවා. යම් පුද්ගලයෙකු විදේශ ගමන් බල පත්‍රයක් රැගෙන ආවොත් තමන් පැමිණි දිනය අදාළ ලිපි ලේඛන සහිත ව ඔප්පු කළ යුතුයි. වෙනත් තැනකින් දාන එක ලේසි නෑ ඒවා ඔප්පු කරලා අවසර අරන් තියෙන්න ඕනා. එහෙම නැතුව කැමති මධ්‍යස්ථාන වලින් ඡන්ද දාන්න බැහැ”

මෙම සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය සාකච්ඡාවක දැක්වූ අදහස් පහතින්.

https://www.youtube.com/watch?v=bNLUUIkN2nk

මැතිවරණයට ජාත්‍යන්තර නිරීක්‍ෂකයන් :

මැතිවරණ දෙපාර්තමේන්තුව දේශීය නිරීක්‍ෂකයන් සඳහා තම නිල අනුමැතිය ලබා දීමට වසර 2004 දී පමණ පියවර ගත්ත ද ඊට පෙර සිට ම ජාත්‍යන්තර නිරීක්‍ෂකයන් හට නිරීක්‍ෂණ පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබුණා. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලය හා යුරෝපා සංගමය නියෝජනය කරමින් පැමිණෙ විදේශීය නිරීක්‍ෂකයන්ට අමතරව වර්තමානය වන විට තවත් විදේශීය නිරීක්‍ෂණ සංවිධාන රාශියක් මෙරටේ මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු සඳහා සහභාගීත්වය දක්වමින් සිටී. තවද ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංගමය ද (Association of Asian Election Authorities - AAEA) අඛණ්ඩව මැතිවරණ දෙපාර්තමේන්තුව හා එක්ව මෙරටේ නිරීක්‍ෂණ කටයුතු සඳහා තම සහභාගීත්වය දක්වයි. බොහෝ දුරට පාර්ලිමේන්තු මහා මැතිවරණය හා ජනාධිපතිවරණය වැනි ජාතික මට්ටමේ මැතිවරණ සඳහා නිරීක්‍ෂණයට එක්වන ප්‍රකට කලාපීය නිරීක්‍ෂණ සංවිධානයක් වන්නේ නිදහස් මැතිවරණ සඳහා ආසියානු ජාල පදනමයි (Asian Network For Free Election (ANFREL Foundation) ඊට අමතරව කැනඩාවේ Forum of Federations ආයතනය, CMEV සංවිධානය හා එක්ව යුරෝපීය නිරීක්‍ෂකයන්, ජාතික මැතිවරණ සඳහා යොමු කිරීමේ කාර්යභාරය බොහෝ කලෙක පටන් සිදු කරයි. මැතිවරණ කොමිසම දකුණු ආසියානු මැතිවරණ කළමනාකරණ ආයතන සංසදයේ (FEMBOSA) සාමාජික ආයතනයක් බැවින් එකී සංසදය, මෙරටේ මැතිවරණ නිරීක්‍ෂණය සඳහා එක්වීම නිරන්තරයෙන් සිදු වේ.

විධායක අධ්‍යක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනය මංජුල ගජනායක

“ශ්‍රී ලංකාවේ ඕනෑම මැතිවරණයක් ආසන්නයේ දී, මිත්‍යා මත සහ භය සංක්‍රාන්තිය දනවන සමාජ මාධ්‍ය සටහන් යම් ආකාරයට සංසරණය වනවා. විධිමත් ක්‍රමයක් යටතේ වෙනත් රටක මුද්‍රණය කරනු ලබන ගුවන් ගමන් බලපත්‍ර කිසිවෙකුට නොදන්වා හොර රහසේ මුද්‍රණය කළ නොහැක.

මෙවැනි අසත්‍ය තොරතුරු පතුරලවීම මගින් දේශපාලනික වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් උත්සහ කරන අතර තව ත් අතකින්, එවැනි වාසියක් නැතත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනික පද්ධතිය බිඳ වැට්ටවීම හෝ ඒ කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය පලදු කිරීමයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට දැඩි ආර්ථික අර්බුදයක් පැවති සමයත් සමග දැනටත් ඔක්තෝම්බර් මාසය වන තෙක් ලංකාව දැඩිව බලපෑමට ලක් ව තිබෙනවා.

ඕනෑම කෙනෙකුට ආගමන විගමන මධ්‍යස්ථානයට පැමිණියහොත් දිගු පෝලිම් දැක ගන්නට පුළුවන්. ඊට හේතුව වන්නේ දිනකට නිකුත් කළ හැකි විදෙසේ ගමන් බලපත්‍රය සඳහා අවැසි ගුවන් ගමන් බලපත්‍ර නොමැති කමයි. ඒවා වෙනත් රටකින් මුද්‍රණය වෙලා පැමිණිය යුතුයි. මෙවන් දැඩි ආරක්ෂාව සහිත වපසරියක හොර ඡන්ද දැමීමක් සිදු කළ නොහැකි.

අද වන විට ඡන්ද හිමි නාම ලේඛනයේ ඡන්ද හිමියන් මිලියන 17.1 ක ප්‍රමාණයක් සිටිනවා. ඒ ප්‍රමාණය ඡන්ද හිමි නාම ලේඛනය ලෙස අනුමැතියකට ලක් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව උපයෝගි කර ගන්නේ ඒවා.

ඡන්ද පොළ නියෝජිතයන් නැතුව ඡන්දයක් පවත්වනනේ නම් ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතියට අනුව, කිසිදු මැතිවරණයක් නීත්‍යානුකූල නැහැ , ශ්‍රී ලංකවේ ඡන්ද පොළ නියෝජිතයන් සමග තමයි සෑම විටම ඡන්දයක් පවත්වනු ලබන්නේ. යම් කිසි සැක සහිත පුද්ගලයෙකුගේ නම කියවූ පමණින් මැතිවරණ නිලධාරියා අනන්‍යතා පත්‍ර හඳුනා ගන්නා නිලධාරියා උස් හඩින් නම හඩගා කියන අවස්ථාවේදී ත් ඡන්ද පොළ නිලධාරීන් ට විරෝධතා ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඡන්ද පොළ නියෝජිතයන් වන්නේ සෑම විටම එම ප්‍රදෙශයම අය. ජාතික හැඳනුම්පත/ගුවන් ගමන් බලපත්‍රය ඡන්ද කාඩ්පත මේ සෑම දෙයක් ම සැසැදිමේදී සත්‍ය විය යුතුයි ඡන්දය භාවිත කිරිමේදී. මේ වගේ දෙයක් සිදු වන්න ඉඩක් නැහැ.

මෙවන් වංචනික අවස්ථාවන් ප්‍රායෝගික තලයේ සිදුවීමට ඉඩකඩ තිබීම ඉතාම දුර්ලභ වන්නේ, මැතිවරණ කොමසාරිස් කාර්යාලය, ස්වාධීන ආයතන, මැතිවරණ නිරික්ෂකයින්, ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් සහ අනෙකුත් නිලධාරීන් මැතිවරණය සම්බන්ධ සියලු කටයුතු වලදී අවධානයෙන් පසුවන බැවින්.

එමෙන් ම මෙවැනි වංචාවක් සිදුවනවා නම් ඒ සඳහා සියල්ලම එක හා සමාන ලෙස දායක විය යුතු අතර මෙම ආයතන වල නිලධාරීන් සියලු දෙනා තනි දේශපාලන පක්ෂයකට සහය දක්වන කණ්ඩායමක් විය යුතුයි. එවැනි කරුණු ද, ප්‍රායෝගික තලයේ නොමැති හුදෙක් විය හැකි සම්භාවිතාව ද, ශුන්‍ය වන කරුණු ඇතුළත් කරමින් නිර්මාණය කර ඇති අසත්‍ය සටහනක් ලෙස ඉහත සමාජ මාධ්‍ය සටහන පෙන්වා දිය හැකියි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ඡන්ද හොරට දැමීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 25 ක ගේ Passport හොරෙන් මුද්‍රණය කරපු කතාවේ ඇත්ත නැත්ත!

Fact Check By: Pavithra Sandamali

Result: Insight