
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වැඩි වශයෙන් නවක මන්ත්‍රීවරුන්ගේ සමන්විත අභිනව පාර්ලිමේන්තු සැසිවාරය අද (නොවැම්බර්21) පැවැත්වුණා. එහිදී නවක මන්ත්‍රීවරයෙකු අසුන් ගත් ආසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇති වූ අතර ඒ ඔස්සේ නොමග යන සුළු සටහන් නිර්මාණ වී තිබුණා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“විපක්ෂ පුටුවේ වාඩිවුණු මාලිමා මන්ත්‍රී තුමා” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි දැක්වුණේ, අද (21) පාර්ලිමේන්තුව රැස් වීමේ දී නවක මන්ත්‍රීවරයෙකු සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සේවකයෙකු අතර ඇති වූ සංවාදයකි.
මෙහිදී එම සේවකයා විසින් මන්ත්‍රීවරයා විසින් අසුන් ගෙන සිටින්නේ, විපක්ෂ නායකවරයාගේ අසුනේ බව දන්වා සිටින අතර අසුනින් නැගිට වෙනත් අසුනකට නොයන බවට දක්වමින් එම මන්ත්‍රීවරයා සිදු කරන ප්‍රකාශය එම වීඩියෝවේ ඇතුළත් වුණා.
එමෙන් ම මෙම මන්ත්‍රීවරයා මාලිමාවේ මන්ත්‍රීවරයෙකු ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ සටහන් සංසරණය වුණා.
එමෙන් ම මේ සම්බන්ධයෙන් හිරු TV නිල ෆේස්බුක් පිටුවේ ද, මුලින් වාර්තා කර තිබුණේ මේ අයුරින්.
මෙහි සත්‍ය කරුණු සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) පැවැත්වුණා. පාර්ලිමේන්තුව සැසිවාරය ආරම්භ වීමට ප්‍රථම සිදුවූ ඉහත සිදුවීම සම්බන්ධයෙන් එම වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, එම වීඩියෝවේ සිටින මන්ත්‍රීවරයාගෙන් තමන්ගේ පක්ෂය කුමක් ද යන්න පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයා විමසූ විට ඔහු තමන් ස්වාධීන කණ්ඩායමකින් පැමිණි බවට පවසනු ලබන බවයි.
එසේ තිබියදීත් ඇතැම් මාධ්‍ය විසින් නොමග යන අන්දමින් එම සිදුවීම වාර්තා කර පසුව නැවත එය නිවැරදි කර තිබුණු බවට මෙලෙසින් දැක ගන්න ට ලැබෙනවා.
ඉහත මන්ත්‍රීවරයා කවුරුන් ද යන්න පරීක්ෂා කිරීමේදී ඔහු ස්වාධීන කණ්ඩායම් 17න් යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වැද පාර්ලිමේන්තුවට තේරී පත්වූ වෛද්‍ය රාමනාදන් අර්චුනා බවට තහවුරු වුණා.
Also Read : 2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් හිමි වූ අපේක්ෂකයින්
එමෙන් ම මෙම මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් නොවන බවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයාද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන කාර්යාලය නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් නිවේදනයක් පළකර තිබුණා.
වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා විසින පෙන්වා දෙනු ලබන්නේ, පාර්ලිමේන්තු සභා වාරය පළමු වරට පැවැත්වෙන අද දිනයේ පාර්ලිමේන්තු සභා ගර්භයේ තමන්ට රිසි අසුනකින් අසුන් ගැනීමට හැකි බවට පාර්ලිමේන්තුව විසින් දන්වා ඇති බැවින්. තමන් එම අසුනින් නැගී නොසිටින බවයි.
පාර්ලිමේන්තුවේ සිට ෆේස්බුක් Live හරහා ඒ මහතා විසින් පාර්ලිමේන්තුවේ ඇතුළත සම්බන්ධයෙන් වීඩියෝවක් කරමින් සිටින අතර තුර පාර්ලිමේන්තු නිලධාරියෙකු විසින් ඔහුගෙන් විපක්ෂ නායකවරයාගේ අසුන සම්බන්ධයෙන් පැන නගින සංවාදය ඇතුළත් සම්පූර්ණ වීඩියෝව පහතින්.
එමෙන් ම මන්ත්‍රීවරයා විසින් මෙහිදී පවසන්නේ කරනු ලබන්නේ, විපක්ෂ නායකවරයාගේ ආසනය බවට පැවසූ ආසනය විපක්ෂනායකවරයා ලෙස සඳහන් කර තිබෙනවා නම් තමන්ට ඉන් ඉවත් වීමට හැකි බවයි. එමෙන් ම ඒ සඳහා පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරියා සඳහන් කරන්නේ, එම අසුන සාම්ප්‍රදායිකව කථානායකවරයා සිටින අසුන බවයි. නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බැවින් තමන් ඒ පිළිබඳ ඔහුව දැනුවත් කිරීම සිදු කරන බවයි ඒ නිලධාරියා සඳහන් කරනු ලබන්නේ.
ඒ අනුව මෙහිදී පැන නගින කරුණු සම්බන්ධයෙන් අප අවධානය යොමු කළෙමු.
නව පාර්ලිමේන්තු පළමු සැසිවාරයේදී අසුන් ගැනීම
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන මංගල දිනයේ දී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙළක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන් ට හිමි වනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක ද මෙලෙසින් දැක්වෙනවා.
ඒ අනුව නවක මන්ත්‍රීවරයා විසින් විපක්ෂනායකවරයාට වෙන් ව ඇති අසුනේ අසුන් ගැනීම පාර්ලිමේන්තු පළමු සැසිවාරයේදී වරදක් නොවේ.
නමුත් ඉහත වීඩියෝවේ දැක්වෙන පරිදි පාර්ලිමේන්තු සේව්‍ය නිලධාරියා විසින් සඳහන් කරන්නේ, සාම්ප්‍රදායිකව විපක්ෂනායක තනතුරට වෙන් ව ඇති අසුන එය බැවින් වෙනත් අසුනකට යන ලෙසයි.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ විශේෂිත තනතුරු හොබවන අය සාම්ප්‍රදායිකව අසුන් ගන්නා ස්ථානයන් වල පළමු සැසිවාරයේ අසුන් ගැනීමට නොහැකි ද යන්න පිළිබඳ අප ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන(වැඩබලන) සහ ව්‍යවස්ථායක සේවා අධ්‍යක්ෂ එම්.ජයලත් පෙරේරා මහතාගෙන් ද, විමසීමක් කළා.
ඒ මහතා පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තුවේ කතානායක පත් කරන්න කලින් පාර්ලිමේන්තු සභා ගර්භයේ ඕනෑම ස්ථානයක අසුන් ගත හැකි බවයි. එමෙන් ම ඒ වන විට විපක්ෂනායක තනතුරක් ද නොමැති බැවින් අසුන් ගන්නා ස්ථානයක් සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවයි.
9 වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා අසුන් ගෙන සිටින ස්ථානය එය වුවත්, ඒ බව දැන්වීමේදී, ඉන් ඉවත් වීම හෝ එහි සිටීම කැමැත්ත බවත්, නමුත් එලෙසින් ඉවත් කිරීමේ නීතියක් නොමැති බව ඔහු සඳහන් කළා.
එමෙන් ම අද දිනයේ නව පාර්ලිමේන්තුවේ විශේෂිත තනතුරු සියල්ල පත්වීම සිදු කළ බැවින් සහ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම අවසන් වී ඇති බැවින්, අදින් පසු පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ජ්‍යෙෂ්ඨත්වය මත තමන්ට හිමි නිසි ආසන සියලුම මන්ත්‍රීවරුන් සඳහා වේත්‍රධාරී විසින් වෙන් කරන බවත්, මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ලබන දෙසැම්බර් මස 3වන දා පැවැත්වෙන බැවින් එදිනට තමන් ට හිමි අසුනේ අසුන් ගත යුතු බවයි ඒ මහතා වැඩි දුරට ත් පැහැදිලි කළේ.
පාර්ලිමේන්තුවේ සාම්ප්‍රදායිකව අසුන් පැනවෙන අයුරු
පාර්ලිමේන්තුවේ මූලාසනයේ දකුණු පස එනම් සෙංකෝලයේ පළිඟුවේ දිශානතිය තිබෙන දිශාව ආණ්ඩු පක්ෂය වනවා. ඉහත ඡායාරූපයේ 2 ලෙසින් සටහන් කර ඇති දිශාව. එමෙන් ම විපක්ෂය මෙහි අංක 3 න් පෙන්වා දෙන දිශාවේ අසුන් ගැනීම සිදු කළ යුතු වනවා. ආණ්ඩු පක්ෂයට ආසන 116ක් දකුණු පසින් සහ වම් පසින් විපක්ෂයට ආසන 116ක් මෙහිදී අසුන් පනවා තිබෙනවා. සම්පූර්ණයෙන් මන්ත්‍රීවරුන් 232 ක් සඳහා ආසන පහසුකම් මෙහි සලසා දී ඇති නමුත් පාර්ලිමේන්තුවේ සංයුතිය 225ක් පමණි.
ආසන වෙන් කිරීමේදී බොහෝ කරුණු සැලකිල්ලට භාජනය වන අතර විශේෂයෙන් ම ජ්‍යෙෂ්ඨත්වය ට මූලික තැනක් හිමි වනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අනුව සෑම මාස තුනකට වාරයක් ජනාධිපතිතුමා ව්‍යස්ථානුකූලව පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බැවින් ජනාධිපතිවරයාට ත් මෙහිදී ආසනයක් වෙන් කරනු ලබනවා.
සභා ගර්භයේ මූලාසනයට අමතරව ජ්‍යෙෂ්ඨම ආනය වන්නේ ආණ්ඩු පක්ෂ අසුන් ගන්නා දකුණු පස පළමු පේළියේ 8 වන ආසනයයි 8 වන ආසනය ගණනය කරනු ලබන්නේ, කතානායක මුලසුනේ සිට 8 වන ආසනය ජනාධිපතිතුමාට වෙන්වනු ලබනවා. එනම් ඉහත ඡායාරූපයේ 4 ලෙසින් සටහන් කර ඇති ස්ථානයයි. ඊට පසු ජ්‍යෙෂ්ඨ ආසනය වන්නේ, අග්‍රාමාත්‍යවරයාට වෙන් ව ඇති ස්ථානයයි. ඉහත ඡායාරූපයේ 5 ලෙසින් සලකුණු කර ඇත්තේ එම ආසනයයි. ඉන් පසු පිළිවෙළින් 6 වන ස්ථානය සභානායකවරයාගේ ආසනය, 5 වන ස්ථානය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ ආසනය වනවා.
එමෙන් ම මේ අයුරින් වම් පසින් විපක්ෂයේ ආසන පැනවීමද සිදු වනවා. ඒ අනුව විපක්ෂයේ ජ්‍යෙෂ්ඨම ආසනය වන වම් පසින් මූලාසනයේ සිට 8 වන ස්ථානය විපක්ෂ නායකවරයාගේ හිමි ආසනය වනවා එනම්, ආණ්ඩු පක්ෂයේ 8වන ස්ථානයේ අසුන් ගන්නා ජනාධිපතිවරයාගේ ආසනයේ ඉදිරිපස අසුන විපක්ෂ නායකට හිමි වනවා. විපක්ෂයේ 7 වන ස්ථානය විපක්ෂයේ සංවිධායකට හිමි වනු ලබනවා.
ඒ අනුව තනතුර හෝ නම් ආසන මත ලියා වෙන් කර නොතිබුණත්, මේ අනුව ආසන වෙන් කිරීම සිදු කෙරනු ඇති බවට පැහැදිලි වේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් සිදු කළ පැහැදිලි කිරීමක් පහතින්.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ජාතික ජන බලවේගයේ නව මන්ත්‍රීවරයෙක් විසින් නව පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයාගේ අසුනේ අසුන් ගත් බවට දක්වමින් පළ වන සටහන් නොමග යන සුළු බවයි. එම මන්ත්‍රීවරයා ස්වාධීන පක්ෂයක මන්ත්‍රීවරයෙක් වන අතර මංගල පාර්ලිමේන්තු සැසිවාරයේදී මන්ත්‍රීවරුන්ට කැමති ආසනයකින් අසුන් ගැනීමට පාර්ලිමේන්තුව විසින් අවසර දී තිබුණා.

Title:පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකගේ අසුනේ අසුන් ගන්න බැරිද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
