මහවිරු සැමරුම්වල LTTE ලාංඡන, කොඩි භාවිත කළ හැකි බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කිව්වද ?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති යුද්ධමය තත්වය හේතුවෙන් මිය ගිය සිය ඥාතීන් ස්මරණය කිරීම, වාර්ෂිකව නොවැම්බර් මාසයේදී මහවිරු දින සැමරුම් ලෙසින්, උතුරේ සහ නැගෙනහිර දමිළ ජනතාව විසින් සිදු කරනු ලබනවා. මෙය යුද්ධය  පැවැත්වෙන කාලයේ සිට එනම් වසර ගණනාවක සිටම උතුරේ ජනතාව විසින් සිදුකරනු ලබන්නක් වන අතර ඒ පිළිබඳව සෑම වසරක ම බොහෝදෙනා විවිධ අදහස්, මත පළ කරනු ලබනවා.

මෙම වසරේ නව ආණ්ඩුවක් බලයට පත්ව ඇති පසුබිමක මෙම මහවිරු සැමරුම් පිළිබඳව නැවතත් දැඩි කතාබහක් ඇතිව ඇති අතර ඒ පිළිබඳව නිරන්තරයෙන් ම සමාජය නොමඟ යවමින්, වැරදි මත සමාජගත කිරීමේ පටු අරමුණු වෙනුවෙන් ඇතැම් පිරිස් ක්‍රියා කරන බව පෙනී යනවා.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මෙම මහවිරු සැමරුම් පිළිබඳව සිදුකරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන ද නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය තුළ මෙන් ම ප්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍ය තුළ ද පළ කර ඇති ආකාරය අපට දැකගත හැකි වුණා. ඒ අනුව ඒ පිළිබඳව අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට පියවරගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):  

“LTTE සංවිධානයට උතුරේ ගුණ සැමරුම්වලට අවසර – දහස් ගණනක් කොල්ලෝ දිවි පිදුවේ මෙයට ද?” යනුවෙන් ද සඳහන් කරමිනුයි එම වීඩියෝව පළ කර තිබුණේ.

මෙවර උතුරේ මහවිරු සැමරුම් කිරීමේදී තහනම් කර ඇති LTTE සංවිධානයේ ලාංඡන සහ කොඩි ප්‍රදර්ශනය කිරීමට බාධාවක් නොකරන බවක් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළ බව හඟවමින් කෙටි වීඩියෝවක් සංසරණය වී තිබුනේ මෙලෙසින්.

FB | Archived

මේ අතර ඊයේ (26) දිනයේදී “අරුණ” පුවත්පත ද ‘ එල්ටීටීඊ සමාජිකයින් සැමරීමට බාධාවක් නෑ – බැනර් ලාංඡන ප්‍රදර්ශණය කළ හැකියි”යන සිරස්තල යටතේ මුල් පිටුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා එවන් ප්‍රකාශයක් සිදුකළ බවට වාර්තා කර තිබුණේ මේ අයුරිනි.

කෙසේනමුත් සමාජ මාධ්‍යයේ දැක්වෙන වීඩියෝව කෙටි වීඩියෝවේ සත්‍ය පසුබිම කුමක් ද? මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය කුමක් ද? අපි මෙහි සත්‍යතාව පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරිනි.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගිය 23වන දා ගල්ගමුවේ පැවති වැඩසටහනකදී මාධ්‍යවේදියෙක් උතුරේ සැමරුම් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සිදුකළ ප්‍රකාශය මේ වන විට වැරදි ආකාරයට සංස්කරණය කරමින් ඉහත දක්වා ඇති ආකාරයට වීඩියෝ මෙන් ම පුවත් ද පළ වී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල උතුරේ සැමරුම් පිළිබඳව ප්‍රකාශ කළේ කුමක් ද?

එහිදී අමාත්‍යවරයා පවසන්නේ, නීත්‍යානුකූලව තමන්ගේ ඥාතියෙකුගේ මියයාම සමරන්නට ඕනෑම කෙනෙකුට ඉඩ ඇති නමුත් මහවිරු සැමරුම් කරන්නට ඉඩකඩක් හෝ එල්.ටී.ටී.ඊ ලාංඡනය, නිල ඇඳුම් සහ එහි පින්තූර භාවිත කරන්නට ඉඩකඩ නොමැති බවයි.

එහිදී ඇමතිවරයා පැහැදලිවම ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වන බවයි. එමෙන්ම උතුර වේවා දකුණ වේවා නැගෙනහිර වේවා කඳුරට වේවා තමන්ගේ දරුවෙක් මිය ගියානම් ඒ දරුවා සිහිපත් කිරීමට අයිතියක් තිබෙන නමුත්, සංවිධානයක් ලෙස තහනම් කල සංවිධානයක් යලි ස්මරණය කරමින් ඔවුන්ගේ සංවිධාන වල අධිපත්‍ය ස්ථාපනය කරන බවට සමාජයට ඒත්තු යෑමට ඉඩ නොදෙන බවත්ය.

ඔහු විසින් සිදුකරන ලද ප්‍රකාශයේ සම්පුර්ණ වීඩියෝව මෙසේ ය. (1.12 විනාඩියේ සිට 3  වන විනාඩිය දක්වා)

මෙලෙස එතුමාගේ සංස්කරණය නොකරන ලද වීඩියෝ නැරඹීමේ දී ඔබට පැහැදිලි ඇති අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් සංස්කරණය කරන ලද වීඩියෝවක් හරහා වැරදි මතයක් සමාජගත කිරීමට උත්සහ කර ඇති බව. 

සංස්කරණය කළ හා නොකළ කොටස් හි සංසන්දයනක් පහතින්.

එතුමා විසින් සිදුකළ මෙම ප්‍රකාශයේ සංස්කරණය නොකරන ලද වීඩියෝව තවත් මාධ්‍ය ඔස්සේ පළ කර තිබුනේ මේ අයුරින් සහ මේ අයුරිනි.

‘අරුණ’ පුවත්පත ද සම්පූර්ණයෙන් ම ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සිදුකළ ප්‍රකාශය වැරදි ලෙස සමාජගත කර ඇති බව පැහැදිලිවනවා. ඒ අනුව අමාත්‍යවරයා කිසිඳු ආකාරයකින් මහවිරු සැමරීම් සිදුකිරීමට බාධාවක් නොමැති බවට හෝ, LTTE සංවිධානයේ ධජ, ලාංඡන, රූප භාවිතයට, ප්‍රදර්ශනය කිරීමට අවසර ඇති බවක් ඔහුගේ ප්‍රකාශය තුළ සිදු නොකරයි.

කෙසේ වෙතත් කොටි සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයෙන් එල්.ටී.ටී.ඊ ලාංඡනයෙහි නායකයාගේ ඡායාරූප මෙන්ම වෙනත් තහනම් ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට ඉඩකඩ නොදුන් බව උතුරු පළාතේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය” යනුවෙන් එම පුවතේ ඇතුළත පුවත් අන්තර්ගතයෙහි සඳහන් වේ.

‘අරුණ’ පුවත්පතට අමතරව වෙනත් කිසිඳු ප්‍රධාන මාධ්‍යයක් විසින් මෙලෙස ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි ලෙස වාර්තා කර තිබූ ආකාරයක් අපට නිරීක්ෂණය නොවී ය.

පසුව මෙම පුවත ඔවුන් ඊයේ(27) දින නිවැරදි කර තිබුණා. මේ සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කරන ලද නිවැරදි කිරීමේ දැනුම්දීමක් “මගේ කතාව වැරදි විදිහට ප්‍රචාරය කරලා: මහජන ආරක්ෂක ඇමති” යන සිරස්තලය යටතේ පළ කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද නිල නිවේදනයක් නිකුත් කරයි!

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මහවිරු සමරුව අලලා ප්‍රකාශ කළායැයි සංසරණය වන සාවාද්‍ය සහ නොමග යවනසුළු ප්‍රවෘත්ති සහ වීඩියෝ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්,ලාංඡන,ඡායාරූප යොදාගනිමින් මියගිය සාමාජිකයින් සැමරීමට බාධාවක් නොමැති” බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කළේ යැයි සඳහන් ප්‍රකාශය සහිත වීඩියෝව සංස්කරණය කර ඔහු ප්‍රකාශ කළ අර්ථය වෙනස් කළ ව්‍යාජ එකක් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඒ සම්බන්ධව ව්‍යාජ පුවත්, සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන බවත් ඒවා ව්‍යාජ ලෙස අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය වැරදි ලෙස අර්ථකතනය කරමින් පළවන ඒවා බවත් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්,ලාංඡන,ඡායාරූප යොදාගනිමින් මියගිය සාමාජිකයින් සැමරීමට බාධාවක් නොමැති බවට ප්‍රකාශයක් සිදුකර නොමැති බව තහවුරු වනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගේ පැහැදිලි කිරීම

දෙමළ ජනයා සිය මියගිය ඥාතීන් සැමරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් රජය විරුද්ධ වන්නේ 2011 අගෝස්තු 29 නිකුත් කරන ලද තහනම් සංවිධාන පිළිබඳ ගැසට් නිවේදනය යටතේ ඇති තහනම් සංවිධාන සැමරීමට බවත් ඇමැති නලින්ද ජයතිස්ස ඊයේ(26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කරනු ලැබුවා.

ඔහු අවධාරණය කළේ දෙමළ ජනයාට සිය මියගිය ඥාතීන් සැමරීමට අයිතිය තිබුණ ද ඒ යටතේ තහනම් සංවිධාන සම්බන්ධ කර නොගතයුතු බවයි.

එවැනි තහනම් ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වනු ඇති බව ද ඔහු සඳහන් කරනු ලැබුවා.

@hirunews 2025 අයවැය එන දිනය – මහවිරු සැමරුම් තියන්න බෑ ඒකට අපේ රජයෙන් කිසිම ඉඩක් නෑ – Hiru News #Hirunews #TikTokTainment #WhatToWatch #longervideo #TruthAtAlICosts ♬ original sound – Hiru News

තහනම් සංවිධාන පිළිබඳ ගැසට් නිවේදනයේ ඇත්තේ කුමක් ද?

2011 අගෝස්තු 29 දින නිකුත් කළ අංක 1721/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධනයක් ලෙස නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී එහි සාමාජිකයෙකු වීම, ක්‍රියාකාරකම් සංවිධානය, ප්‍රවර්ධනය, ලාංඡන සන්තකයේ තබා ගැනීම හෝ ප්‍රදර්ශනය, යම් කටයුත්තක නිරත වීම ආදි කරුණු ගණනාවක් එම ගැසට් පත්‍රය මඟින් තහනම් කර තිබෙනවා.

එහි 4 වන වගන්තියේ සඳහන් වන්නේ එම නියෝග කඩකළ බවට බස්නාහිර පළාත් මහාධිකරණය විසින් තීන්දු කරනු ලැබුවහොත් අවුරුදු 20ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට යටත් වන බව ය.එවැනි වරදක් කිරීම සඳහා අනුබල දෙන හෝ ඊට තැත් කරන අයෙකුට වසර 10ක් දක්වා සිර දඬුවම් පැමිණ විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන්වනවා.

මහවිරු සැමරුමේ ආරම්භය

සෑම වසරක ම නොවැම්බර් මාසය මහවිරු මාසය ලෙස හඳුන්වන අතර, නොවැම්බර් 21 වන දා සිට නොවැම්බර් 27 වන දා දක්වා මහවිරු සතිය ලෙස නම් කරමින් මහවිරු සැමරීම උතුරේ ජනතාව විසින් සිදුකරනු ලබනවා.

එල්ටීටීඊ සංවිධානය විසින් මහවිරුවන් ලෙස හඳුන්වන්නේ, යුද්ධයේදී මියගිය සාමාජිකයින් ය. LTTE සංවිධානයට බැඳීමෙන් පසු යුද්ධයෙන් දමිළ පවුලක පිරිමියෙකු හා කාන්තාවක ජීවිතක්ෂයට පත්වුණොත් එම පවුල මහවිරු පවුලක් ලෙස සැලකෙනවා,.

1982 වසරේ නොවැම්බර් 27 වන දා ජීවිතක්ෂයට පත්වු පළමු එල්ටීටීඊ සාමාජිකයා ලෙස සැලකෙන සංකර් නමැත්තා සැමරීම මූලික කර ගනිමින් මහවිරු සැමරුම ආරම්භ කර ඇත. 1989 වසරේ නොවැම්බර් 27 වන දා මුලතිව්, නිත්තකෙයිකුලම ප්‍රදේශයේදී පළමු මහවිරු සැමරුම් වැඩසටහන පවත්වා තිබෙනවා.

එල්ටීටීඊ සාමාජිකයින් කහ පැහැති හා රතු පැහැති කොඩිවලින් මහවිරු සැමරුම් ස්ථානය හා උතුරු පළාතේ නගර අංලකාර කර, LTTE සංවිධානය විසින් නිර්මාණය කළ මහවිරු ගීත ප්‍රචාරය කරමින් යුද්ධයෙන් මියගිය සාමාජිකයින් සැමරීම සිදුවනවා.

උතුරු පළාතේ මහවිරු සොහොන් ආශ්‍රිතව යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිකරමින් පහන් දැල්වීම් සිදු කෙරේ.

Also Read – යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම පිළිබඳව පළවන නොමඟ යවන සුළු ඡායාරූප පෙළක්!

Alos Read : දමිළ ‘මහවිරු’ දිනය සැමරීමට දෙමළ ජනතාවට තවදුරටත් බාධාවක් නොමැති බවට ජනපතිගෙන් ලිපියක්?

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion) :

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මහවිරු සැමරුම් සිදුකිරීමට බාධාවක් නොමැති බවට කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැත. ඔහු සිදුකළ ප්‍රකාශයක් බව දක්වමින් සංසරණය වන වීඩියෝව, ඔහුගේ සම්පුර්ණ ප්‍රකාශයේ කොටස් ඉවත් කරමින් සිදුකර තිබෙන ව්‍යාජ සංස්කරණයකි. 

Avatar

Title:උතුරේ මහවිරු සැමරුම් වලදී LTTE සංවිධානයේ ලාංඡන , කොඩි යනාදිය භාවිත කළ හැකි බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවා ද ?

Fact Check By: Piumika Lakshani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *