දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය දිනවල ලෝකය පුරා කතාබහට ලක් වූ මාතෘකාවක් වුණේ රුසියාව විසින් පිළිකාවට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරීමයි. ලංකාව තුළ ද ප්‍රධාන මාධ්‍යයේ මෙම පුවත වාර්තා වූ අතර සමාජ මාධ්‍ය තුළත් මෙම එන්නත පිළිබඳව තොරතුරු හුවමාරු වී තිබුණා. කෙසේවෙතත් බොහෝ දෙනා මෙම එන්නත පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස අපගෙන් සිදුකළ ඉල්ලීම මත ඒ පිළිබඳව කරුණු විමර්ෂණයක් සිදුකිරීමට අප තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
පිළිකා රෝගයට පිළියමක් ලෙස රුසියාවේ නව සොයා ගැනීමක් ලෙස එන්නතක් නිපදවා ඇති බවට බොහෝ සමාජ මාධ්‍ය සටහන් පසුගිය දිනවල පළකර තිබුණා. එවන් සටහනක් පහතින්,
මීට අමතරව ඊයේ නත්තල් දිනයේ (25) බොහො දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබූ සටහනක් වුණේ, “අද දවසේ නත්තල් ප්‍රාර්ථනාව වන්නේ, රුසියාවේ හදපු Cancer Vaccine එක සාර්ථක වේවා කියන එක” බවයි. එවැනි සටහනක් පහතින්,
ඒ අනුව පිළිකා රෝගය සඳහා රුසියාව විසින් නිපදවා ඇති එන්නත පිළිබඳව සත්‍ය කරුණු සොයා විමර්ශණයක් සිදුකළේ මේ අයුරින්.
කරුණු පැහැදිලි කිරීම (Explanation)
ජීවිත අවදානමක් සහිත බෝ නොවන රෝග අතර පිළිකාව ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම වර්තමානයේ පවතින ආහාර රටාව සහ ජීවන රටාව හේතුවෙන් මෙම පිළිකා අවදානම වැඩි වී තිබෙනවා.
මෙම රෝගයට ස්ථීර විසඳුමක් ලබාදිය හැකි ඖෂධ තවමත් සොයාගෙන නොමැති නමුත් මේ වනවිට රුසියාව විසින් එන්නතක් සොයාගෙන රෝගීන්ට 2025 වසරේ සිට නොමිලේ ලබාදෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ මේ කෙරෙහි ලෝකයේ අවදානය යොමුව තිබෙනවා.
බොහෝ විදෙස් මාධ්‍ය මෙම පුවත පිළිබඳව වාර්තා කර ඇති බව අපට දැකගත හැකි වුණා. එම පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්
මෙම පුවත්වල වාර්තා කර තිබෙන්නේ, රුසියාව විසින් පිළිකාවට එරෙහිව mRNA එන්නතක් නිශ්පාදනය කර ඇති අතර එම එන්නත ලබන වසරේ (2025) මුල් කාර්තුවේ සිට භාවිතා කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම එන්නත් පිළිකා රෝගීන්ට නොමිලේ ලබා දීමට රුසියාව තින්දු කර තිබීමයි.
රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද, වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍යාධිකාරී ආන්ද්‍රෙයි කප්‍රින් (Andrey Kaprin) මේ බව ලෝකයට තහවුරු කළ ආකාරය රුසියානු TASS ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබෙනවා.
මෙම එන්නතේ පූර්ව සායනික අත්හදා බැලීම් මඟින් මිනිස් සිරුරේ ප්රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා පිළිකා සෛල හඳුනාගෙන ඒවා තුරන් කිරීමේ හැකියාව ලබා දෙන බවත් විභව මෙටාස්ටේස් මර්දනය කරන බවත් ක්ෂුද්‍ර ජීව විද්‍යා පර්යේෂණ සඳහා ගමෙලයා ජාතික පර්යේෂණ ආයතනයේ (Gamaleya National Research Center) අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් කින්ඩර්ස්බර්ග්(Alexander Gintsburg) TASS රුසියානු පුවත් ඒජන්සිය වෙත අදහස් දක්වමින් පවසා ඇත.
මෙම එන්නතේ විශේෂත්වය වන්නේ එම mRNA එන්නත ඒ ඒ රෝගියා වෙනුවෙන්ම ඔහුටම අනන්‍ය ආකාරයට නිශ්පාදනය කිරීමය. කෘත්‍රිම ස්නායුක ජාල භාවිතය මගින් එක් එක් පුද්ගලයාගේ රෝග තත්ත්වය තක්සේරු කර එම රෝගියා වෙනුවෙන්ම නිර්මාණය කරන පිළිකා එන්නතක් සකස් කිරීමට මේ වනවිට අවශ්‍ය පරිගණන කාලසීමාව පැයකට අඩු කාලයක් දක්වා අඩු කර තිබෙනවා. වසංගත රෝග විද්‍යා සහ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ගමලෙයා ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් ජින්ට්ස්බර්ග් ඒ ගැන පැහැදිලි කරමින් ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයෙකුටම අනන්‍යවන එන්නත තැනීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමත් සමග එම කාලය පැයකට වඩා අඩු වූ බවය. (මූලාශ්‍රය)
කෙසේ වෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියාව මෙම එන්නතේ නම හෙළිකර නොමැති අතර එම එන්නත කුමන පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට සැලසුම් කර තිබේද, එය කෙතරම් ඵලදායීද යන්න හෝ රුසියාව එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්නේ කෙසේද යන්න දැනට පැහැදිලි නොමැති බවයි. බොහෝ වෙබ් අඩවි පෙන්වාදෙන්නේ මෙම එන්නතේ අධ්‍යයන ප්‍රතිඵල තවමත් නිකුත් කර නොමැතිවීම ගැටලුසහගත බවයි. එම පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
රුසියානු පිළිකා එන්නත පිළිබඳ විද්‍යාඥයින්ගේ අදහස්
අයර්ලන්තයේ ඩබ්ලින් ට්‍රිනිටි කොලේජ් හි ප්‍රකට ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයෙකු වන මහාචාර්ය කිංග්ස්ටන් මිල්ස් ඇමරිකාවේ නිව්ස්වීක් සඟරාවට අදහස් දක්වමින් පවසනේ, රුසියාව විසින් පිළිකාවලට එරෙහිව නිපදවූ එන්නත පිළිබඳ අදාළ සායනික පරීක්ෂණයකින් දත්ත දකින තුරු ඒ පිළිබඳව සැකයක් තිබිය යුතු බවයි. මේ පිළිබඳව නිසි විද්‍යාත්මක තොරතුරු නොමැතිව අදහස් දැක්වීම අපහසු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
නමුත් රුසියානු විද්‍යාඥයන් යම් ආකාරයක පිළිකාවක් සඳහා එන්නතක් නිපදවා නැති බව මින් අදහස් නොවන බවත් ඔහු පවසනවා.
එමෙන් ම විවිධ පිළිකා පවතින අතර මෙම සියලු පිළීකා සඳහා මෙම එන්නත ප්‍රතිඵලදායක වේද යන්න සැක සහිත බවත් ඔහු පවසන අතර සියලු පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම සඳහා එන්නතක් ඇති බවට රුසියානුවන් පවා ප්‍රකාශ කරනු ඇතැයි තමා නොසිතන බව ඔහු වැඩිදුරටත් පවසනවා.
වෛද්‍ය පර්යේෂණ පුණ්‍යායතනයක් වන Life Arc හි ළමා පිළිකා පිළිබඳ ප්‍රධානී වෛද්‍ය ඩේවිඩ් ජෙන්කින්සන් නිව්ස්වීක් සඟරාවට අදහස් දක්වමින් පවසන්නේ, ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා HPV එන්නත් කිරීම වැනි පිළිකා ඇති කළ හැකි වෛරස් ඉලක්ක කර එම පිළිකා වැළැක්වීම සඳහා දැනටමත් භාවිතා කරන එන්නත් ගණනාවක් තිබෙන බවයි.
රුසියානු එන්නත පිළිකාවට එරෙහිව පුද්ගලාරෝපිත ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන mRNA එන්නතක් වන බවත් එය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිළිකා සෛල ආක්‍රමණශීලී ලෙස හඳුනා ගැනීමට උපකාර කරන බවත් ඇය පවසනවා.
රුසියාවේ පිළිකා එන්නත පිළිබඳව ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අදහස්
පසුගිය මාස කිහිපයකට පෙර රුසියානු ජනාධිපති පුටින් (Vladimir Putin) මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පිළිකා එන්නත් සහ ප්‍රතිශක්තිකරණ ඖෂධ නිපදවා ඇති බවත් එහි පර්යේෂණයන් අවසාන අදියර සිදුකරන බවත්ය. නුදුරේදීම එය මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගන්නා බවත්, සෘජු ප්‍රතිකාරවලට වඩා වැඩි ප්‍රතිලාභයක් එමඟින් ලබා දෙන බවත් ඔහු සඳහන් කරනු ලැබුවා.එම පුවත මෙතනින්.
mRNA එන්නත යනු කුමක්ද?
mRNA එන්නත් වෛද්‍ය පර්යේෂණවලට අලුත් දෙයක් නොවේ. දශක ගණනාවක් තිස්සේ මේ සම්බන්ධ අත්හදා බැලීම් ලෝකයේ විවිධ රටවල සිදුවෙමින් පවතිනවා.
DNA අණුවල සිට සෛලවල ප්‍රෝටින තැනිමේ යාන්ත්‍රණය උදෙසා අවසන් ජානමය කේතය හෙවත් පණිවිඩය රැගෙන යන්නේ තනිපට අණුවක් වන mRNA මඟින්. mRNA නොවන්නට කිසිදු ප්‍රෝටීනයක් සිරුර තුළ නිෂ්පාදනය නොවන්නට ඉඩ තිබිණි. සාමාන්‍යයෙන් වෛරසයක් අපගේ සිරුරට ඇතුළු වූ විට පළමුවෙන් ම සිදුකරන්නේ RNA මුදාහැරීම මඟින් වෛරස ප්‍රෝටීන අනුරූ තැනීමට අප සිරුරේ සෛල මුළාවෙන් පෙලඹවීමකි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩාල වන්නේ මේ නිසා ය.
සාම්ප්‍රදායික එන්නතකින් සිදු කරන්නේ ප්‍රතිදේහජනක ලෙස හඳුන්වන, අක්‍රීය කළ වෛරස ප්‍රෝටිනයක් සිරුරට ඇතුළු කිරීමෙන් සජීවී වෛරසය සිරුරට ඇතුළුවූ විට එය හඳුනා ගෙන ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැඩගැස්වීමක්. mRNA එන්නත්වල ඇති සුවිශේෂීත්වය වන්නේ එලෙස වෛරස ප්‍රෝටීන හෙවත් ප්‍රතිදේහජනක සිරුරට ඇතුළු කිරිමක් ඉන් සිදු නොවිම ය. ඒ වෙනුවට mRNA එන්නත්වලින් සිදු වන්නේ ප්‍රතිදේහ ජනකයේ ජානමය කේතය mRNA බවට පරිවර්තනය කොට සිරුරට ඇතුළු කිරීමකි. සැබෑ වෛරසයේ අවතාරයක් බඳුවන මෙම කෘත්‍රිම mRNA, සැබෑ ප්‍රතිදේහජනක නිපදවීමට සිරුර පෙලඹවීමෙන් අනතුරු ව, සිරුරේ ම ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය එය සිරුරේන් බැහැර කරවීමට කටයුතු කරනවා.
මෙම ප්‍රතිදේහජනක ශරීරයේ ඇති පිළිකා සෛල මත හඳුනාගත් විට, ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිකාව ඉලක්ක කර ඒවාට පහර දීමට පටන් ගන්නවා.
මෙම පිළිකා mRNA එන්නත් සෛල මතුපිට ඇති ප්‍රතිදේහජනක කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන අතර mRNA පිළිකා එන්නත් පුද්ගලාරෝපිත ආකාරයකින් නිර්මාණය කර ඇති නිසා, එක් එක් රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔවුන්ගේ අද්විතීය පිළිකාවට එරෙහිව සටන් කිරීමට ඉගෙන ගනී.
පිළිකාවට එරෙහිව මීට පෙර සොයාගෙන ඇති ඖෂධ
පිළිකා රෝගයට එරෙහිව පසුගිය වසරේ අමෙරිකාවෙන් සොයාගත් ඖෂධයක් අත්හදා බැලීම්වලදී පිළිකා රෝගීන් සුවපත් කළ පුවතක් වාර්තා වනවා.
රයිස් විශ්ව විද්‍යාලයේ සහ Texas A&M විශ්ව විද්‍යාලයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් පිළිකා නාශක සොයාගැනීමක් සිදුකර තිබෙනවා. ඔවුන් පිළිකා සෛල ඉවත් කිරීමට ක්රමයක් සොයාගෙන ඇති අතර එහිදි ඇමයිනොසියානීන් අණු මත අධෝරක්ත කිරණ ආලෝකය විහිදුවමින් ඒවා සමමුහුර්තව කම්පනය කිරීම සහ පිළිකා සෛල පටල වෙන් කිරීම ඇතුළත් වේ. එමඟින් පිළිකා සෛල විනාශ කළ හැකි බව වාර්තා වනවා. (සබැඳිය)
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය(Conclusion)
ඉහත තොරතුරු ඔස්සේ පැහැදිලි වන්නේ, රුසියාව විසින් නිපදවන ලද පිළිකා mRNA එන්නත මිනිස් සිරුරේ ප්රතිශක්තිකරණ පද්ධතිය වැඩි කිරීමට සහ පිළිකා සෛල හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට හැකියාව ඇති බව ය.
නමුත් රුසියාව විසින් නිපදවන ලද මෙම mRNA එන්නත තවමත් පිළිකා රෝගීන් සඳහා අත්හදා බලා නොමැති අතර එම එන්නත කුමන පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට සැලසුම් කර තිබේද, එය කෙතරම් ඵලදායීද යන්න හෝ රුසියාව එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්නේ කෙසේද යන්න දැනට පැහැදිලි නොමැති බවයි. එහි අධ්‍යයන ප්‍රතිඵල, සායනික පරීක්ෂවල විද්‍යාත්මක තොරතුරු පවා තවමත් ප්‍රකාශ කර නොමැති බැවින් මෙම එන්නත පිළිබඳව පැහැදිලිව පැවසිය නොහැක.නමුත් පවතින තොරතුරුවලට අනුව, මෙම mRNA එන්නත සාර්ථක ප්‍රතිඵලදායක වුවහොත්, එය ලෝකය වෙනස් කරන විශිෂ්ට සොයා ගැනීමක් වනු නොඅනුමාන ය.
