දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් මේ දිනවල ලෝක පුරා සෑම රටකම වාගේ අවධානය යොමුව තිබෙන්නේ, මීට වසර 5කට පමණ පෙර ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයට සමානත්වයක් දක්වන බවට මේ සම්බන්ධයෙන් පළවූ ඇතැම් සටහන්වල දක්වා තිබීමත් සමඟයි. ලංකාව තුළ ද එය ප්‍රධාන පුවතක් බවට පත්ව තිබෙනවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
වෛරසයක් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ චීනයේ රෝහල් පිරී යන බවට සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්,
චීනයේ පැතිර යන වෛරසය පිළිබඳව තවත් සමාජ මාධ්‍ය සටහන් රැසක් සංසරණය වී තිබූ අතර ඉන් කිහිපයක් මෙසේ ය.
මෙම සමාජ මාධ්‍ය සටහන්වල චීනයේ ව්‍යාප්තවන වෛරස තත්වය පිළිබඳව විවිධ අදහස්, තොරතුරු පළ කර ඇති අතර, බොහෝ දෙනෙක් කොවිඩ් 19 වසංගත තත්වය වැනි තත්වයක් නැවත ඇති වේ යන අනියත බියකින් ද පසුවන බව පෙනී යනවා.
එබැවින් චීනයේ මේ දිනවල පවතින වෛරස තත්වය පිළිබඳව කරුණු විමර්ශණයක් සිදුකිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
කරුණු පැහැදිලි කිරීම (Explanation)
ඊයේ දිනයේ මෙරට මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කළ පුවතක් වුණේ චීනයේ ව්‍යාප්ත වන බව පැවසෙන වෛරසයක් සම්බන්ධ පුවතයි. මෙම මාධ්‍ය වාර්තා තුළ සඳහන් වුණේ,
කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසන බවයි.
Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් 19 රෝගීන්ද ඒ අතර සිටින බවත්, එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බවත් විදෙස් වාර්තා පෙනවා දෙන බව වාර්තා කර තිබුණා. මෙරට මාධ්‍ය වාර්තා කිරීම් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
මෙරට ඇතැම් මාධ්‍ය මෙය කොවිඩ් 19 තත්වයට සමාන වෛරසයක් බවටත් මෙය ස්වභාවයෙන් ම දරුණු මාරාන්තික වෛරසයක් වන බවත්, රෝගය වැළඳුනු පිරිසට අසාධ්‍ය වන බවත් සඳහන් කර තිබුණා. එවැනි වාර්තා කිරීමක් මෙතනින්.
චීනයේ ව්‍යාප්තවන වෛරස තත්වය කුමක් ද?
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, චීනයේ මේ වන විට හියුමන් මෙටප්නියුමෝ වයිරස් (HMPV) ආසාදනවල වැඩිවීමක් අත්විඳිමින් සිටින බවයි.
සමාජ මාධ්‍ය තුළ චීනයේ රෝහල් පිරී ඇති බවට විවිධ පළ කිරීම් මෙන් ම ඉන්ෆ්ලුවෙන්සා සහ Covid 19 වෛරසයත් මෙම තත්වයත් සමඟ පැතිර යන බවටත්, සමහර වාර්තා HMPV හි ඉහළ යාම, විශේෂයෙන්ම වයස අවුරුදු 40 සිට 80 දක්වා පුද්ගලයින් අතර මරණ වැඩිවීමට හේතු වී ඇති බවටත් දක්වා තිබුණ ද චීන සෞඛ්‍ය නිලධාරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වසංගතයක් හෝ හදිසි තත්වයක් තහවුරු කර නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. (මූලාශ්‍රය)
චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවයි. ඒ අනුව චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බවත්, සිය රටට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබදව සහතිකයක් දීමට හැකි අතර චීනයේ සංචාරය කිරීමේ අවදානමක් නොමැති බවත් ප්‍රකාශ කර තිබෙනවා.
චීනයේ ජාතික රෝග පාලන සහ වැළැක්වීමේ පරිපාලනය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ වෙත යොමු වන ලෙසත් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පුරවැසියන්ගෙන් සහ සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිනවා. (මූලාශ්‍ර මෙතනින් සහ මෙතනින්)
චීනයෙන් මේ දිනවල පවතින HMPV වෛරස තත්වය ගෝලීය අවදානම් අවස්ථාවක්ද?
HMPV වෛරස තත්වය චීනයට පමණක් සීමා වූවක් නොවේ. Creative Diagnostics හි ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයට අනුව, මෙම වෛරසය එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපය සහ වෙනත් රටවල ද මීට පෙර හඳුනාගෙන ඇත. 2023 දී, එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) HMPV රෝගීන්ගේ 11% ක වැඩිවීමක් ද වාර්තා කර තිබෙනවා.
හොලන්ඩ් විද්‍යාඥයෝ මෙය වසර 20කට පෙර හඳුනා ගත් නමුත් වර්තමාන පර්යේෂණ පෙන්නුම් කරන ආකාරයට, HMPV ලොව පුරා 50 වසරකට වැඩි කාලයක් ශ්වසන ආසාදන වල මූලික හේතුවක් වී තිබෙනවා.
මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෛරසය සම්බන්ධ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර නොමැත. චීනයේ තත්වය වසංගතයක් දක්වා උග්‍ර වී ඇති බවට ද දත්ත කිසිවක් මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත්, ආසාදන වැඩිවීම ලොව පුරා සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට ලක්ව තිබෙනවා.
දැනට HMPV වෛරසයේ ව්‍යාප්තිය COVID-19 වසංගතය වැනි තත්වයක් පිළිබිඹු නොකරයි. නමුත් ගෝලීය සෞඛ්‍ය සුපරීක්ෂාකාරිත්වයේ වැදගත්කම මෙමඟින් අවදාරණය කරනවා. (මූලාශ්‍ර)
Human Metapneumovirus (HMPV) යනු කුමක්ද? – එහි රෝග ලක්ෂණ
2001 දී සොයා ගන්නා ලද, HMPV යනු සාමාන්‍ය ශ්වසනය මගින් ආසාදනය වන වෛරසයක්. මෙම වෛරසය Pneumoviridae පවුලට අයත් වන තනි දාමයක් සහිත RNA වෛරසයක්.
මෙය උග්‍ර ශ්වසන ආසාදන ඇති කළ හැකි අතර සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින්ට ආසාදනය විය හැකි ය. නමුත් එය කුඩා දරුවන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, ස්ටෙරොයිඩ් භාවිතා කරන ඇදුම රෝගීන්ට, නිදන්ගත බාධාකාරී පෙනහළු රෝග (COPD) ඇති අයට, පිළිකා හෝ එච්.අයි.වී වැනි තත්වයන් හේතුවෙන් දුර්වල වූ ප්‍රතිතිශක්තිකරණ පද්ධතියක් ඇති අය හෝ ඉන්ඳ්‍රිය බද්ධ කිරීමක් සිදු කළ අයට වැඩි අවදානමක් ඇති කරනු ලබනවා.
රෝග ලක්ෂණ
- කැස්ස
- උණ
- නාසයෙන් සොටු දියර ගැලීම
- හුස්ම හිරවීම
- හිසබරවීම
- උගුරේ අමාරුව
මෙම රෝග ලක්ෂන සාමාන්‍යයෙන් දින දෙකකින් පහකින් පහව යයි. නමුත් ඒවා නරක අතට හැරිය හැකි අතර සමහර අවස්ථාවලදී දරුණු අවස්ථාවල දී, වෛරසයෙන් බ්රොන්කයිටිස් හෝ නියුමෝනියාව වැනි සංකූලතා ඇති විය හැක. නිරාවරණයෙන් දින තුනක් හෝ හයක් ඇතුළත සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මතුවනවා.
Human metapneumovirus සහ COVID-19 යන වෛරස දෙකම සමාන රෝග ලක්ෂණ සහිතව බෝවන, ශ්වසන රෝග වනවා. HMPV සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැති අතර HMPV යනු සෘතුමය වෛරසයක්. ශීත සහ වසන්ත කාලවලදී දක්නට ලැබෙන අතර, සමහර විට නව ප්‍රභේද වර්ධනය වීම හේතුවෙන් වසර පුරා සංසරණය විය හැක.
HMPV දරුණු වෛරසයක් ද?
HMPV යනු ඉතාමත් සාමාන්‍ය වෛරසයක්. පර්යේෂණ වලට අනුව, බොහෝ පුද්ගලයන්ට වයස අවුරුදු 5ට පෙර වරක් හෝ ආසාදනය වීමට ඉඩ ඇති අතර ජීවිතයේ විවිධ අවස්ථාවලදී මෙම වෛරසය නැවත ආසාදනය විය හැක. දරුවන් අතර, HMPV ආසාදනය සියළුම ශ්වසන ආසාදන වලින් 10%කට ආසන්න ප්‍රමාණයක් වනවා.
HMPV වෛරසය පැතිරෙන්නේ කෙසේ ද?
Human Metapneumovirus ආසාදනය වී ඇති අයෙකුට නිරාවරණය වුවහොත්, සමීපව සම්බන්ධව වුවහොත් මෙම වෛරසය ආසාදනය වීම හෝ පැතිරීම සිදුවිය හැක.
එනම්, මෙම වෛරසය අඩංගු මතුපිට ස්පර්ශ කිරීම, ආසාදිත පෘෂ්ඨයන් ස්පර්ෂ කිරීමෙන් පසෙ මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කිරීම, කිවිසුම් යාම, කෙළ ගැසීම හෝ කැස්ස වැනි තත්වයන් හරහාත්, ආසාදිත පුද්ගලයෙකුගේ ජල බිඳිති සමඟ සම්බන්ධ වීම, අතට අත දීම සහ ස්පර්ශ කිරීම වැනි සමීප සම්බන්ධතා පැවතීම ඔස්සේ මෙම වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව පවතිනවා.
Human Metapneumovirus ආසාදනයෙන් වැළැකිය හැකිද?
HMPV වැළැක්වීමට තවමත් එන්නතක් නොමැත. නමුත් එය සමීප සම්බන්ධතා හරහා පැතිරෙන බැවින්,ආසාදිතයින්ට නිරාවරණය නොවීම සහ ආසාදනය වළක්වා ගැනීමට උපකාර වන ක්‍රම භාවිතා කල යුතුය.
- කැස්ස සහ කිවිසුම් යන විට මුඛය සහ නාසය ආවරණය කරන්න
- නිතර හා නිවැරදිව අත් සෝදන්න (අවම වශයෙන් තත්පර 20ක් සබන් හා වතුරෙන්)
- අන් අය සමඟ කෝප්ප බෙදා ගැනීමෙන් සහ භාජන අනුභව කිරීමෙන් වළකින්න.
- අනුන්ව සිපගැනීමෙන් වලකින්න.
- අසනීප වූ විට නිවසේ සිටින්න.
HMPV වෛරසයෙන් ශ්‍රී ලංකාවට අවදානමක් තිබෙනවා ද?
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වය පිළීබඳව අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(3) පැවසුවේ මෙම තත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි.
ඊයේ (03) දිනයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
මේ අතර හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, චීනයේ නව ශ්වසන ආසාදන රැල්ල ශීත ඍතුවේ දී බහුලව දක්නට ලැබෙන්නක් බවයි. මෙම වෛරසයෙන් ශ්වසන අපහසුතාවල වැඩිවීමක් ඇති කළත්, එය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බව ඔහු පවසනවා.
කොවිඩ් වසංගතයෙන් පසු මිනිසුන් ශීත කාලයේදී රෝගකාරකවලට ගොදුරුවීමේ වැඩි හැකියාවක් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන අතර කෙසේ නමුත් මෙම HMPV වෛරස තත්ත්වය සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බව හෙතෙම පවසයි.
එහෙත් කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම විශේෂයෙන් වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රවේශම් වීම වඩා වැදගත් බව ඔහු සිය ‘X’ ගිණුමේ වැඩිදුරටත් දක්වා ඇත.
එසේම මේ HMPV වෛරස් තත්වය පිලිබඳ
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion)
අපගේ කරුණු විමර්ශණය ඔස්සේ පැහැදිලි වන්නේ චීනයේ ව්‍යාප්ත වන වෛරස තත්වය Human metapneumovirus (HMPV) වන බවයි. මෙම වෛරසය චීනයේ ශීත සෘතුව තුළ ඇති වූ සාමාන්‍ය තත්වයක් බවත් චීනයේ මේ වන විට මෙම වෛරසය හේතුවෙන් අවදානම් තත්වයක් නොමැති බවත්, චීනයේ සංචාරය සඳහා විදේශිකයන්ට අවදානමක් නොමැති බවත් චීන රජය තහවුරු කර තිබෙනවා.
එමෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෛරසය සම්බන්ධ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර නොමැති අතර චීනයේ තත්වය වසංගතයක් දක්වා උග්‍ර වී ඇති බවට ද දත්ත කිසිවක් මෙතෙක් අනාවරණය වී නොමැත.
ශ්‍රී ලංකාවේ ද වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ලංකාවේ අවදානම් තත්වයක් පවතින බවටත් ප්‍රකාශ කර නොමැති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ද පවසන්නේ, මෙම තත්වය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බවයි.
කෙසේ වුවත් සාමනාන්‍ය ජීවිතයේදී ශ්වසන රෝගවලින් වැළකී සිටීම කෙරෙහි අවදානය යොමු කිරීම වැදගත් බව ඔබට කිව යුතු ය.
