2025 ජනවාරි මස 1 වන දින සිට වෘත්තීන් 10ක වැටුප් වැඩිවීමක් ?

Misleading Political

 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

රාජ්‍ය සේවක වැටුප් වැඩීවීම සම්බන්ධයෙන් 2024 ජනාධිපතිවරණ සමයේ සිට කතාබහට ලක්වුණු අතර නව වසරකට එළබ ඇති මේ මොහොතේ ද නැවත මෙම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබෙනවා. එමෙන් ම ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් ද සංසරණයවනය වන බැවින් අප ඒ පිළිබඳව විමර්ශණයක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Update : Claim 01

රාජ්‍ය සේවයේ වෘත්තීන් 10ක වැටුප් වැඩිවීමක් 2025 ජනවාරි මාසයේ සිදුවන බවට වට්ස් ඇප් ඔස්සේ පණිවිඩයක් හුවමාරු වී තිබූ අතර එහි අන්තර්ගත වී තිබුණේ වැටුප් වැඩි කිරීමකට අදාළව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක්.

Claim 02:

‘2025 ජනවාරො මස 1 වන දින සිට වෘත්තීන් 10ක වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ’ යන ප්‍රධාන ශීර්ෂ පාඨය යටතේ ‘දිනමිණ / සිළුමිණ’ පුවත්පතේ පළ වූ පුවතක් උපුටා දක්වමින් ‘ගුරු වැටුප් වැඩිවීමක්’ ලෙස දක්වමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණා. 

මෙම පුවතේ වැඩිදුරටත් දැක්වුණේ 2025 ජනවාරි මස පළවෙනි දින සිට රාජ්‍ය සේවක වෘත්තීන් 10කට වැටුප් වැඩි කිරීමේ පටිපාටිය මේ වන විටත් නිකුත් කර ඇති බවයි. ඒ අනුව ගුරුවරු, හෙද නිලධාරීන්, කාර්යාල කාර්ය සහායකවරු, සමෘද්ධි සංවර්ධන නිලධාරි, කළමනාකරණ සහකාර ධුරය, සංවර්ධන නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, විකිරණවේදී සහ ඖෂධවේදීන්, විදුහල්පති යන වෘත්තීන් සඳහා වැටුප් වැඩිවන බවයි. එම වැටුප් වැඩිවන සීමාවන් ද එම පුවතේ දක්වා තිබුණා.

 

Fb|Archive/ Fb|Archive

ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයට නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව 2025 වසරේ සිට රාජ්‍ය සේවයේ වෘත්තීන් 10කට අදාළව වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත්කර තිබේ ද යන්න සහ මෙවැනි ආකාරයේ පුවතක් වාර්තා වී තිබේ ද යන්න අප සොයා බැලීමක් සිදුකළා.

Fact Check (කරුණු විමර්ෂණය කිරීම)  :

Update : Claim 01

නව රජයේ අයවැය ඉදිරිපත් කර නොමැති මොහොතක සමාජ මාධ්‍ය හරහා හුවමාරු වී තිබෙන, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමකට අදාළ මාධ්‍ය නිවේදනය කුමක් ද යන්න අප පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

එහිදී ජනාධිපති මාධ්‍ය අංශයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේද යන්න අප ජනාධිපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවිය පරීක්ෂා කරමින් සොයා බැලීමක් කළා. නමුත් ජනාධිපති අනුර දිසානායක බලයට පත්වීමෙන් අනතුරුව එවැනි වෘතීන් 10කට අදාළව රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමක් සම්බන්ධ මාධ්‍ය නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය ඔස්සේ නිකුත් කර නොමැති බව අපට පැහැදිලි විය.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම නිවේදනය සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීමක් සිදුකිරීමට අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේ පිළිබඳව විමසීමක් සිදුකළ අතර එහිදී ජනාධිපති මාධ්‍ය අංශයෙන් තහවුරු කරනු ලැබුවේ එවැනි මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකළ බවත්, එය හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සමයේ නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් බවයි.

2024 සැප්තැම්බර් 2 දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම සිංහල මාධ්‍ය නිවේදනය මෙතනින්.

ඒ අනුව ‍රාජ්‍ය සේවයේ වෘතීන් 10ක වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයක් ලෙස සංසරණය වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමයේ එකකි.

ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන පළමු විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වන දා පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු අතර විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම(අයවැය කථාව ) පෙබරවාරි 17 සිදුකිරීමට නියමිතය. එබැවින් නිශ්චිතව මේ වන තෙක් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව නිල ප්‍රකාශයක් නව ආණ්ඩුවෙන් සිදුකර නොමැත.

නමුත් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයේ දී රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පසුගිය දා ප්‍රකාශ කර තිබුණා. එම පුවත මෙතනින් සහ මෙතනින්.

Claim 02:

2025 වසරේ  සිළුමිණ පුවත්පත විසින් රාජ්‍ය සේවයේ වෘතීන් 10කට අදාළව වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමක් සිදුකර තිබේ ද යන්න පිළිබඳව අප සොයා බැලීමක් කළා. නමුත් 2025 ජනවාරි පළමුවන දා සිට මේ දක්වා එවැනි කිසිඳු පුවතක් සිළුමිණ පුවත්පත වාර්තා කර නොමැති බව පැහැදිලි වුණා.

අප වැඩිදුරටත් සිදුකළ සොයා බැලීමේදී පැහැදිලි වුණේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන මෙම පුවත 2024.8.31 දින සිළුමිණ පුවත්පත පළ කළ පුවතක් බවයි. සිළුමිණ වෙබ් අඩවියේ පළ වූ එම පුවත මෙතනින්. Archived

 

එය සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ආකාරයටම දිනමිණ/ සිළුමිණ පුවත්පත් සඳහා ලේක්හවුස් ආයතනය විසින් සපයා ඇති ඊ-පුවත් සේවය හරහා ද මෙලෙසින් දැක බලාගන්නට පුළුවන්.

A screenshot of a computer

Description automatically generated

 

2024 ජනාධිපතිවරණය සැපැතැම්බර් 21 වන දින පැවැත්වුණු අතර මෙම පුවත පළ වී තිබුණේ 2024 අගෝස්තු 31 වන දිනයි. එනම් මෙය ජනාධිපතිවරණයට පෙර, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලයේ සිළුමිණ පුවත්පතේ පළ වූ පුවතක් බව පැහැදිලි ය.

එම වකවානුවේදී 2025 වසරේ ජනවාරි පළමුවන දා සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සම්බන්ධයෙන් රජයේ තීරණයක් ඉදිරිපත් කර තිබුණා. ඒ සම්බන්ධව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ පුවත් පළ වී තිබුණේ මේ අයුරින්, මේ අයුරින් සහ මේ අයුරින්.

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ලබා දීම සැප්තැම්බර් 04 ආරම්භ වීමට නියමිතව තිබූ මොහොතක එනම් සැප්තැම්බර් 2 දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වුණේ, රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ උදය ආර්. සෙනවිරත්න සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නවමින් 2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළ දමන බවයි.

මෙලෙස ජනාධිපතිවරණයක් අබියස රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීම සමාජයේ දැඩි කතාබහකට ලක් වූ අතර ම ඇතැම් පාර්ශව මෙය මැතිවරණ නීති උල්ලංඝනයක් ලෙසටත් පෙන්වා දී තිබුණා.

Also Read: ඡන්ද කාලයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනද?

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති බවට පත්වීමෙන් පසුව නැවත මෙම රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කතාබහ මතු වූ අතර එහිදී 2024 ඔක්තෝම්බර් 29 පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතාගෙන් මාධ්‍යවේදීන් 2025 වසරේ ජනවාරි සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට පසුගිය රජය ගත් තීරණය සම්බන්ධයෙන් විමසීමක් සිදුකරනවා.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා කිසිදු ආකාරයක මුදල් වෙන් කිරීමක් කර නොමැති බවයි. මුදල් තිබෙනවාද යන්න නිරීක්ෂණය නොකර මෙම තීරණය ගෙන ඇති බවත්, කැබිනට් මණ්ඩලය තීන්දු කල ද මෙම වැටුප් වැඩිකිරීම සිදුකිරීමට ක්‍රමයක් නොමැති බවත් ඔහු මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ, 2025 සිට රාජ්‍ය සේවයින්ට වැටුප් වැඩි කිරීමක් කරන බවට සහතිකයක් ලබාදෙන නමුත් එය කොයිතරම් ප්‍රමාණයකින්ද යන්න මේ මොහෙතේ කිව නොහැකි බවයි.

 

ජනාධිපති අනුර කුමාර දිසානායක

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමෙන් අනතුරුව එක් වූ මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියා විමසා සිටින්නේ, සෑම මාස 6කට ම වරක් රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයක් සිදුකරන බවට ලබාදුන් පොරොන්දුවත් සමඟ පළමු වැටුප් සංශෝධනය සිදුවීමට නියමිත කවදා ද? යනුවෙනි.

ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති අනුර පවසන්නේ, 2025 වසරේ පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සාධාරණ වැටුප් වැඩි කිරීමක් සිදුකරන බවයි.

මෙම වැටුප් වැඩි කිරීම සිදුකරන්නේ, පසුගිය රජයේ කැබිනට් අනුමැතිය හිමි වූ උදය ආර්. සෙනෙවිරත්න කමිටුව ඉදිරිපත් කළ වැටුප් වැඩි කිරීමේ නිර්දේශ අනුව ද එසේත් නොමැතිනම් වෙනත් ක්‍රමවේදයකට ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදියා විමසීමක් සිදුකරන අතර එහිදී ජනාධිපතිවරයා පවසන්නේ,

හිටපු ආන්ඩුව මෙම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ප්‍රකාශ කළේ සැප්තැම්බර් මස 3 වන දා බවයි. එමෙන් ම සැප්තැම්බර් 4,5,6 තැපැල් ඡන්දය පැවැත්වුණු බැවින් මෙය නිශ්චිතව ම දේශපාලන ප්‍රයෝගයක් බව ජනාධිපති අනුර පවසනවා. එය රාජ්‍ය සේවකයන් ද පිළිනොගත් බව තැපැල් ඡන්ද ප්‍රතිඵල වලින් ඔප්පු වූ බව ඔහු වැඩිදුරටත් පවසනවා.

විශේෂයෙන් ලබන වසර සඳහා, පවතින වසරේ අයවැයෙන් මුදල් වෙන් කිරීමක් සිදු නොවන බවත්, අය වැය ලේඛනය සකස් කිරීම පිළිබඳව කුඩා හෝ අවබෝධයක් ඇති නායකයෙක් එවැනි ප්‍රකාශයක් සිදු නොකරන බවත් ජනාධිපති අනුර පවසනවා.

නමුත් උදය සෙනෙවිරත්න වාර්තාව පරිශීලනය කරන බවත්, එහි යම් සාධනීය ලක්ෂණ තිබෙන බවත්, වෙනස් කල යුතු කරුණුත් තිබෙන බවත්, එබැවින් එම වාර්තාව මත මෙන් ම නව යෝජනා මතත් පදනම්ව සාධාරණව වැටුප් වැඩිකිරීමක් අනිවාර්‍යෙන් අයවැය ලේඛනයෙන් සිදුකරන බව ජනාධිපතිවරයා පවසනවා. 

ඒ අනුව බොහෝ දුරට මාර්තු හෝ අප්‍රේල් මාසයේ මෙම වැටුප් වැඩිවීම ලැබෙන බව ජනාධිපතිවරයා පවසනවා. කෙසේ වෙතත් එය 2025 ජනවාරි සිට වැඩිවීමක් ද යන්න අවසාන වශයෙන් තීරණය කර නොමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.

 

2025 වසරේ වැටුප් වැඩිවීම පිළිබඳ නව රජයේ ස්ථාවරය

2025 වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදුවනවා ද යන්න පිළිබඳව අප රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ආලෝක බංඩාර මහතාගෙන් ද විමසීමක් සිදුකළ අතර එහිදී එම මහතා අප වෙත පැවසුවේ, ජනවාරි මාසයේ සිට වැටුප් වැඩිවීමක් සිදු නොවන බවයි. නමුත් 2025 අයවැයෙන් පසු රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදුවන බවයි එම මහතා සඳහන් කළේ.

ලබන වසරේ අනිවාර්යයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් අයවැයෙන් ඉදිරිපත් කරන බවත්, එය බලාපොරොත්තු වෙන ලෙසත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා ද පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, රාජ්‍ය සේවයේ වෘත්තීන් 10ක 2025 ජනවාරි පලමුවන දා සිට වැටුප් වැඩි කරන බවට සිළුමිණ පුවත්පතක පළ වූ පුවත, මෙම මෑතක දී හෝ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පළවූ පුවතක් නොව, පසුගිය ජනපතිවරණයටත් පෙර එනම් 2024 අගෝස්තු 31 දින සිළුමිණ පුවත්පතේ පල වූ පුවතක් වන බවයි.

ඒ අනුව එම පුවත හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ කාලයේ වැටුප් විශමතා පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ උදය සෙනෙවිරත්න කමිටු වාර්තාවේ තොරතුරු අනුව පළ වූ පුවතක් බව පැහැදිලිය.

කෙසේ වෙතත් නව ආණ්ඩුව යටතේ 2025 ජනවාරි පළමුවන දා සිට වැටුප් වැඩිකිරීමක් සිදු නොවන අතර රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම පිලිබඳ තොරතුරු 2025 අයවැයෙන් දැනුම්දෙනු ඇති බවත් ඉන්පසුව එම තීරණය ක්‍රියාත්මක වීමක් සිදුවන බවයි ජනපති අනුර කුමාර පවසන්නේ.

 

 

 

Avatar

Title:2025 ජනවාරි සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවනවා ද?

Written By: Piumika Lakshani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *