ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතිය නොමැති ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ජාලයන් තුල ක්‍රියාත්මක කල නොහැකිවන ආකාරයට අවහිර කිරීම සම්බන්ධයෙන් මේ දිනවල තොරතුරු හුවමාරුවන අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ ද යම් කතා බහක් ඇති වී තිබෙනවා. ඒ නිසා ම ඒ පිළිබඳව කරුණු විමර්ශණයක් සිදුකිරීමට අප තීරණය කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සමාජ මාධ්‍යවල හුවමාරු වුණු සටහනක් වුණේ ජනවාරි 29 දින සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත නොකළ දුරකතන සක්‍රීය කිරීම අවහිර කරයි යන පුවතයි.
මෙලෙස සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් කර තිබෙන මෙම තොරතුර පිළිබඳව අප කරුණු විමර්ෂණයක් සිදුකිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
2025 ජනවාරි මස 28 වනදායින් පසුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ අනුමැතිය නොමැති ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ජාලයන් තුල ක්‍රියාත්මක කල නොහැකිවන ආකාරයට අවහිර කරන බවට පුවත් ප්‍රධාන මාධ්‍ය තුළ ද පළ වී තිබුණා.
එම පුවත්වල සඳහන් වන්නේ, 2025 ජනවාරි 28 වැනිදා සිට, ලියාපදිංචි නොකළ IMEI අංක සහිත ජංගම උපාංග තවදුරටත් ශ්‍රී ලංකා විදුලි සංදේශ ජාලවල ක්‍රියාත්මක නොවන බවයි. නමුත් මෙම දිනයට පෙර දේශීය ජාල වෙත දැනටමත් සම්බන්ධ කර ඇති උපාංග මෙම නව අවශ්‍යතාවයෙන් නිදහස් කෙරෙන බවත් මෙම පුවත්වල සඳහන්වනවා.
මෙම පුවත පිළිබඳව පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
ප්‍රධාන මාධ්‍ය තුළ ද වාර්තා කර තිබෙන මෙම පුවත තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ද පරීක්ෂා කර බැලුවා. ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ද නිල වශයෙන් මෙම පුවත වාර්තා කර තිබුණේ මේ අයුරින්.
විශේෂයෙන් ම 2025 ජනවාරි 28 වනතෙක් ලංකාවේ ජාලයන්ට සම්බන්ධ කර IMEI අංකය සක්‍රීය දුරකතන වලට මෙම සීමාව අදාල නොවන බවත් විදුලි සංදේශ කොමිශන් සභාව එම නිවේදනයේ සඳහන් කරලා තියෙනවා.
වෙබ් අඩවියේ මෙම නිල නිවේදනයත් සමඟ දැක්වෙන වැඩිදුර තොරතුරු ඔස්සේ පරිශීලකයන්ට ඔවුන්ගේ උපාංගයේ IMEI ලියාපදිංචි තත්ත්වය පරීක්ෂා කරගත හැකි ආකාරය ද සඳහන් කර තිබෙනවා.
ඒ අනුව පරිශීලකයින්ට 1909 ට “ IMEI <අංක-15 IMEI අංකය>” ආකෘතිය සමඟ SMS යැවීමෙන් ඔවුන්ගේ උපාංගයේ IMEI ලියාපදිංචි තත්ත්වය සත්‍යාපනය කරගැනීමේ හැකියාව පවතිනවා.
වැඩි විස්තර සඳහා පරිශීලකයින්ට 1900 ක්ෂණික ඇමතුම් අංකය හරහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා සම්බන්ධ විය හැකි අතර,නැතහොත් www.trc.gov.lk හි ඔවුන්ගේ නිල වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගැනීමේ හැකියාව ද පවතින බවත් එහි සඳහන්.
මෙම පුවත පළ වීමත් සමඟ බොහෝ දෙනෙක්ට ගැටලු රාශියක් පැන නැගී ඇති බව මෙම පුවත සම්බන්ධ සමාජ මාධ්‍ය සටහන්වල දක්වා ඇති අදහස්වලින් පෙනී ගියා. ඒ නිසා ම අප ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කර බැලුවා.
දුරකතන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචිය අනිවාර්ය කිරීමෙන් ඔබට ඇති වාසි මොනවා ද?
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ(TRCSL) අනුමත දුරකතනයක් නම් දුරකතනවලින් සිදුකරන වංචා, දූෂණ අවම වීම සිදුවනවා. එමෙන් ම නිසි ප්‍රමිතියකින් යුතු, නීත්‍යානුකූල උපාංග නිසි තත්ව සහතික යටතේ ඔබට භාවිතා කිරීමේ අවස්ථාව ද සැලසෙනවා. දුරකතනයක් TRCSL අනුමත නම් එම දුරකතනය අදාළ නිෂ්පාදිත ආයතනයේ මුල් දුරකතනය (original Phone) බව ම ඔබට තහවුරු කර ගැනීමේ හැකියාව ද පවතිනවා.
TRCSL අනුමත දුරකතනයක් නැති වුණහොත් පොලීසිය, TRCSL සහ දුරකතන සේවා ආයතනය ඒකාබද්ධ වුවහොත් ඔබට ඔබේ නැති වූ දුරකතන හැකි ඉක්මනින් සොයා ගැනීමේ හැකියාව හිමි වීම මෙහි ඇති විශේෂිතම වාසියයි.
විශේෂයෙන් ම දුරකතන ආනයනය කරන ආයතන TRCSL අනුමැතිය ලබා ගැනීමට නම් රජයට නිවැරදි ලෙස බදු ගෙවීම ද සිදුවනවා. එම බදු ගෙවීම රට ආර්ථිකමය වශයෙන් පවත්වා ගෙන යාමට අවස්ථාව සලසන අතර TRCSL අනුමැතිය නොමැතිව කූඨ ක්‍රම හරහා දුරකතන ලංකාවට ගෙන්වීමෙන් මෙරටට ලැබිය යුතු බදු නොලැබීම ද සිදුවනවා. නිසි පරිදි බදු ලැබීම රටක පැවැත්මට අත්‍යවශ්‍යතාවයක්.
ඒ අනුව මෙවැනි තත්වයන් යටතේ ආනයනය කෙරෙන් සන්නිවේදන උපාංග ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ අනුමත කිරීම වැදගත්වනවා.
දැනට TRCSL අනුමත නොමැති දුරකතන සඳහා සහ විදේශිකයින්ගේ දුරකතන සඳහා මෙම අලුත් නීතියෙන් ගැටලුවක් වනවා ද?
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ පැහැදිලිව ම දක්වා ඇති ලෙස 2025 ජනවාරි 28 වනතෙක් ලංකාවේ ජාලයන්ට සම්බන්ධ කර IMEI අංකය සක්‍රීය එහෙත් TRCSL අනුමත නොවන දුරකතන 2025 ජනවාරි 28න් පසු දේශීය ජාලයන් තුළ අක්‍රීය වීමක් සිදුවන්නේ නෑ.
මෙම අලුත් නීතිය ක්‍රියාත්මක වන්නේ 2025 ජනවාරි 29 සිට TRCSL අනුමත නොකළ දුරකතන සඳහා පමණි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් පසුගිය 9 වන දා මාධ්‍ය වෙත මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසනු ලැබුවේ ද දැනට භාවිත කරන ජංගම දුරකථනවලට සහ විදේශකයින්ගේ දුරකතන භාවිතයට නව වැඩපිළිවෙල මඟින් බාධාවක් සිදුනොවන බවයි.
ප්‍රමිතියකින් තොර සන්නිවේදන උපකරණ මිලදීගෙන විවිධ අවහිරතා ඇති වීමෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවත්, නීත්‍යානුකූල නොවන ක්‍රමවේද ඔස්සේ සන්නිවේදන උපකරණ ආනයනයෙන් මෙරටට විශාල විදේශ විනිමයක් අහිමි වී ඇති බවත් එම මහතා පවසනවා. ඒ අනුව නිසි ප්‍රමිතියකින් යුතු, නීත්‍යානුකූල උපාංග නිසි තත්ව සහතික යටතේ, වෙළඳපොලෙන් මිලදී ගැනීමට මෙරට ජනතාවට අවස්ථාව සලසමින් මෙම පියවර ගන්නා බවයි.
මෙම අරමුණ සාර්ථක කරගැනීමට විදුලි සංදේශ කොමිෂන් සභාව ස්වයංක්‍රීය පද්ධතියක් මේ මස අවසානයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සම්බන්ධව රටේ ජනතාව නිවැරදිව දැනුවත් කර නිසි ප්‍රමිතියක් නොමැති අනවසරයෙන් ආනයනය කරන දුරකතන ජනතාවට විකිණීම වළක්වාලීමට කටයුතු කරන බව එම මහතා වැඩිදුරටත් පවසනවා.
ජනවාරි 29න් පසු TRCSL අනුමත නොමැති දුරකතන සඳහා TRCSL අනුමැතිය ලබාගන්න පුලුවන් ද?
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අප කළ විමසීමේ දී අප වෙත පැවසුවේ ජනවාරි 28 වන දිනෙන් පසුව ශ්‍රී ලංකාව තුල වෙළඳසැලකින් මිලදී ගන්නා TRCSL අනුමැතිය නොමැති දුරකතන සඳහා TRCSL අනුමැතිය ලබා ගැනීම පාරිභෝගිකයාට සිදු කල නොහැකි බවත්, එය සිදු කල යුත්තේ ජංගම දුරකතන ආනයනකරු විසින් බවත් ය.
වැඩිදුරටත් තොරතුරු සඳහන් කරමින් අප වෙත ඔවුන් පැවසුවේ 29 වනදා සිට ලංකාවට අලුතෙන් ගෙන්වන දුරකතන ඇතුළු සන්නිවේදන උපාංග විදුලි සංදේශ කොමිෂන් සභාවේ අනිවාර්යෙන් අනුමත කරගත යුතු බවයි.
දුරකතන අලෙවි සැලකින් දුකරතනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයා විදුලි සංදේශ කොමිෂන් සභාවෙන් අනුමත දුරකතනයක් ද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත්, ආනයනය කිරීමේදී එම භාණ්ඩ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නිශ්කාෂණය සිදුවන්නේ විදුලි සංදේශ කොමිෂන් සභාව හරහාවන බැවින් එහිදී සාමාන්‍යයෙන් දුකතන ලියාපදිංචිය සිදුවන බවත් විදුලි සංදේශ කොමිෂන් සභාව පෙන්වාදෙනවා.
TRCSL අනුමැතිය නොමැතිව වෙළඳපොලේ විකිණීමට ඇති දුරකතනවලට ජනවාරි 29න් පසු මොකද වෙන්නේ ?
විදුලි සංදේශ කොමිෂන් සභාවේ අනුමැතිය නොමැතිව වෙළඳපොලේ විකිණීමට මේ වනවිට මෙරටට ගෙන්වා ඇති දුරකතන ජනවාරි 29න් පසු විදුලි සංදේශ කොමිෂන් සභාවේ අනුමත කරගත නොහැකි බව ඔවුන් පවසනවා. එවැනි පිරිස් 29ට පෙර සිම්පතක් ඇතුළත් කර මෙරට ජාලවලට සක්‍රීය කර ගැනීම කළ යුතු බවත්, එසේ නොමැතිනම් එවැනි දුරකතන ජනවාරි 29 වන දිනෙන් පසු මෙරට භාවිතාකළ නොහැකි බවත් විදුලි සංදේශ කොමිෂන් සභාව පවසනවා.
පිටරටකදී ඔබ භාවිතා කරමින් සිටි දුරකතනයක් මෙරටට රැඟෙන ආ විට හෝ රටින් ඔබට දුරකතනයක් එව්වොත් TRCSL අනුමැතිය ලබාගන්නේ කොහොම ද?
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අප මේ පිළිබඳව සිදුකළ විමසීමේදී කියා සිටියේ එවැනි අයට TRCSL අනුමැතිය ලබාගැනීමට අදාළ සබැඳියක් ඉදිරියේදී ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ ඇතුළත් කරන බවයි.ඒ අනුව කෙනෙක් තමන් පිටරටකදී භාවිත කළ දුරකතනයක් ලංකාවට ගෙන ආවොත් ඉදිරියේදී TRCSL වෙබ් අඩවියේ ඇතුළත් කිරීමට බලාපොරොත්තුවෙන අදාළ සබැඳිය වෙත ගොස් විදේශ ගමන් බලපත්‍රය වැනි අදාළ ලියකියවිලි ඇතුළත් කර අනුමැතිය ලබා ගැනීමට හැකි බව ඔවුන් පවසනවා.
පිටරටකින් කෙනෙක් ඔබ වෙත දුරකතනයක් එවීමක් කළහොත්, එවැනි අවස්ථාවකදී ද අදාල ඉන්වොයිස වැනි ලියකියවිලි අදාළ සබැඳියට ඇතුළත් කර අනුමැතිය ලබාගැනීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකසන බව ඔවුන් පවසනවා.
මෙම සබැඳිය මෙතෙක් නිල වෙබ් අඩවියට ඇතුළත් කර නොමැති අතර ඉදිරියේදී ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන බවයි ඔවුන් පවසන්නේ. එමෙන් ම එවැනි අවස්ථාවල ඇතුළත් කළ යුතු ලියකියවිලි නිශ්චිතවම මොනවා ද යන්න පිළිබඳවත් ඔවුන් සඳහන් කළේ නෑ. ඉදිරියේදී එය දැනුම්දෙනු ඇති බවයි සඳහන් කරන්නේ.
TRCSL අනුමත දුරකතන භාවිතය අනිවාර්‍ය කිරීමේ මීට පෙර උත්සහයන්
මීට පෙර ද වසර ගණනාවක් ම මෙම නීතිය මෙරට ක්‍රියාත්මක කිරීමට උත්සහ ගනු ලැබුව ද පවතින ප්‍රායෝගික ගැටලු යටතේ එය නිසි පරිදි ක්‍රියාත්මක නොවී ය.
ආනයනය කිරීමේදී TRCSL අනුමැතිය ලබා ගැනීමේදී ඇති තරමක් සංකීර්ණ ක්‍රියාවලිය හේතුවෙන් දුරකතන ආනයනකරුවන්ගේ යම් පසුබෑමක් හෝ අඩුවීමක් ඇති වීමේ තත්වයන් ඇති වීමේ හැකියාවක් තිබෙනවා.
එමෙන් ම TRCSL අනුමැතිය සහිත දුරකතනවල මිල ගණන් ද ඉහළ දැමීමට විකුණුම්කරුවන් උත්සහ කරන බැවින් සාමාන්‍ය ජනතාවට යම් හොඳ තත්වයේ දුරකතනයන් භාවිතය සඳහා මිලදී ගැනීමේ හැකියාව ද අඩු වනවා.
කෙසේ නමුත් ප්‍රධාන වශයෙන් ම මෙම TRCSL අනුමත නොවන දුරකතන හඳුනා ගැනීමේ ක්‍රමවේදයේ සහ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් යම් ගැටලු හේතුවෙන් නිසි පරිදි මීට පෙර වසරවලදී මෙය ක්‍රියාත්මක නොවී ය.
නමුත් මෙම අරමුණ සාර්ථක කරගැනීමට විදුලි සංදේශ කොමිෂන් සභාව ස්වයංක්‍රීය පද්ධතියක් මේ මස අවසානයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා පවසනවා. කෙසේ වෙතත්, මෙම නීතිය මෙවර නිසි පරිදි ක්‍රියාත්මක වේ යැයි අප බලාපොරොත්තු වනවා.
විදුලි සංදේශ ක්‍රියාකරුවන්ගේ ජාලය
ජනවාරි 29 දිනෙන් පසු මෙරට සන්නිවේදන ජාල තුළ TRCSL අනුමැතිය නොමැති දුරකතන සක්‍රීය වීම අවහිර කිරීම පිළිබඳව අප Dialog ආයතනයෙන් විමසීමක් සිදුකළ අතර එහිදී අප විමසා සිටියේ, ජනවාරි 29 දිනයෙන් පසු මෙම TRCSL අනුමැතිය නොමැති දුරකතන/ සන්නිවේදන උපාංග නිශ්චිතව හඳුනාගැනීමේ ක්‍රමවේදයක් පවතී ද යන්නයි.
එහිදී ඔවුන් පෙන්වාදුනේ, දැනට එම ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතින බවත් ඉදිරියේදී තොරතුරු ලබාදිය හැකි බවත් ය.
ඒ අනුව එම තොරතුරු ලද විට මෙම ලිපිය එම තොරතුරු සහිතව යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.
ජංගම දුරකථන/උපාංග පෞද්ගලික භාවිතය සඳහා මෙරටට ගෙන ඒමේදී TRCSL අනුමැතිය ලබාගැනීම
SIM එකක් ඇතුළු කරන සෙලියුලර් ජාලවලට සම්බන්ධ ඕනෑම ආකාරයක ජංගම දුරකථන/උපාංග පෞද්ගලික භාවිතය සඳහා මෙරටට ගෙන ඒමේදී හෝ ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRCSL) අනුමැතිය ලබාගත යුතු ආකරය ද එහි නිල වෙබ් අඩවියේ සවිස්තරාත්මකව තොරතුරු සඳහන් කර තිබෙනවා. ඔබට එම තොරතුරු මෙතනින් කියවිය හැකි ය.
ඒ අනුව ඔබ පෞද්ගලික භාවිතය සඳහා පිටරටකින් ගෙන එන සන්නිවේදන උපාංග සඳහා අනුමැතිය ලබාගැනීමේ පියවර මෙසේ ය.
- පුද්ගලික භාවිතය සඳහා ගෙන ආ හැක්කේ ඒකක පහක් (5) දක්වා පමණි.
- අයදුම්පත සලකා බැලීම සඳහා පහත සඳහන් ලියකියවිලි සමඟ ලිඛිතව TRCSL වෙත යොමු කළ යුතුය.
- නිසි පරිදි පුරවා ඇති අයදුම්පත
- පුද්ගලයාගේ නම සහ ආනයනය කිරීමට/නිෂ්කාශනය කිරීමට අදහස් කරන උපකරණ ලැයිස්තුව පැහැදිලිව සඳහන් කරන ඉන්වොයිසිය/ රැඳවුම් කුවිතාන්සිය/ ගුවන් මාර්ග බිල්පත/පාර්සල් රිසිට්පත.
- ආනයනය කරන උපකරණවල තාක්ෂණික පිරිවිතර
- ජාතික හැඳුනුම්පතේ/ ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ පිටපතක්
- ඉහත (ii) හි සිටින පුද්ගලයා වෙනුවෙන් වෙනත් අයෙකුට අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නම්, බලය පැවරීමේ ලිපිය සහ පුද්ගලයන් දෙදෙනාගේම ජාතික හැඳුනුම්පතේ/ ගමන් බලපත්‍රයේ පිටපත් අවශ්‍ය වේ.
- අයදුම්පත TRCSL විසින් සකසනු ලැබේ
- ආනයනය කිරීමට/නිෂ්කාශනය කිරීමට අදහස් කරන උපකරණ සඳහා ගාස්තු අදාළ වන්නේ නම් සහ අනුමැතිය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු වන්නේ නම් බදු ඉන්වොයිසිය TRCSL මගින් සකස් කර අයදුම්කරු වෙත ලබා දෙනු ඇත.
- ඉහත අයිතම 2 (ii) හි සඳහන් උපකරණ ආනයනය කිරීමට අවසර දෙමින් පහත ලිපි දෙක අයදුම්කරු වෙත නිකුත් කරනු ලැබේ.
- පාලක/ආනයන සහ අපනයන වෙත යොමු කරන ලද විරෝධතා නොමැති ලිපියක්
- රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද විරෝධතා නොමැති ලිපියක්
ජංගම දුරකථන/උපාංග තොග වශයෙන් ආනයනය කිරීමේදී අනුමැතිය ලබා ගැනීම.
ජංගම දුරකථන/උපාංග තොග වශයෙන් ආනයනය කිරීමේදී අනුමැතිය ලබා ගැනීමට පහත පියවරයන් අනුගමනය කළ යුතු ය.
- ජංගම දුරකථන/උපාංග තොග වශයෙන් ආනයනය කිරීමට TRCSL විසින් නිකුත් කරන ලද වලංගු විකුණුම් බලපත්‍රයක් තිබිය යුතුය
- ආනයනය කිරීමට අවසර ඇත්තේ අනුමත වර්ගයේ ජංගම දුරකථන/උපාංග පමණි. වර්ගය අනුමැතිය ලබා ගැනීම සඳහා විස්තර
- ඉල්ලීම සලකා බැලීම සඳහා පහත සඳහන් ලේඛන සමඟ ලිඛිතව TRCSL වෙත යොමු කළ යුතුය
- ආනයනය කිරීමට අදහස් කරන උපකරණ පිළිබඳ විස්තර සඳහන් ඉල්ලීම් ලිපියක්
- Pro-forma ඉන්වොයිසිය (මුල් පිටපත් 3, මුල් පිටපත සත්‍යාපනය මත ආපසු ලබා දෙනු ඇත.)
- අනුමත අංකය සහ දිනය ටයිප් කරන්න හෝ TRCSL විසින් නිකුත් කරන ලද වෙනත් ලේඛනයක් වර්ගය අනුමැතියට අදාළව (අදාළ නම්)
- වලංගු විකුණුම් බලපත්‍රයේ පිටපතක්
- ආරක්ෂක නිෂ්කාශනය සඳහා අයදුම්පත ආරක්ෂක අමාත්‍යාංශය (MOD) වෙත යොමු කරනු ලැබේ (අදාළ නම්)
- TRCSL මගින් බදු ඉන්වොයිසිය සකස් කර අයදුම්කරු වෙත ලබා දෙනු ඇත. (ගාස්තු අදාළ නම්)
- අයිතම 3(i) සහ 3(ii) හි සඳහන් උපකරණ ආනයනය කිරීමට ඉඩ සලසමින් TRCSL විසින් ඉල්ලුම්කරුට අමතනු ලබන, පාලක/ආනයන සහ අපනයන පාලක වෙත විරෝධතා නොමැති ලිපියක් නිකුත් කරනු ඇත.
- TRCSL විසින් පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසු රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කරන ලද අයදුම්කරුට විරෝධතා ප්‍රතික්ෂේප කිරීමේ ලිපියක් නිකුත් කරනු ඇත.
- පාලක විසින් ලබා දුන් අවසර ලිපියේ පිටපත (ආනයන බලපත්‍රය)
- වාණිජ ඉන්වොයිසිය (මුල් පිටපත්, මුල් පිටපත සත්‍යාපනය මත ආපසු එවනු ලැබේ හෝ LC හි TT විසින් ප්‍රේෂණ/ගෙවීම් සිදු කර ඇති බව සනාථ කරමින් බැංකුව විසින් නිසි පරිදි සහතික කරන ලද වාණිජ ඉන්වොයිසියේ පිටපතක්.)
- පාලක/ආනයන සහ අපනයන වෙත යොමු කරන ලද TRCSL විසින් නිකුත් කරන ලද ලිපියේ පිටපත (ඉහත අයිතම 6)
- ප්‍රොෆෝමා ඉන්වොයිසියේ පිටපත (ඉහත අයිතම 3(ii))
- IMEI ජංගම දුරකථන/උපාංග අංක ඇමුණුම 1 ආකෘතියෙන් [email protected] වෙත විද්‍යුත් තැපෑලෙන් යැවිය යුතුය.
- ඉහත අයිතමය 05 හි දක්වා ඇති ඉන්වොයිසිය සම්පූර්ණයෙන් පියවීම පිළිබඳ සාධනය (අදාළ නම්)
- ජංගම දුරකථන/උපාංග ආනයනය කිරීමේදී, TRCSL විසින් යොමු අංකයක් නිකුත් කරනු ලබන අතර එය පාරිභෝගිකයාගේ යොමුව සඳහා ස්ටිකරයක් ආකාරයෙන් ජංගම දුරකථනයේ/උපාංගයේ පෙට්ටිය මත අලවනු ලැබේ .
දුරකතන මිල ඉහළ යනවා ද?
ලංකාවේ වෙළඳපොළ තුළ සාමාන්‍යයෙන් TRCSL අනුමැතිය සහිත දුරකතන TRCSL අනුමැතිය නොමැති දුරකතනවලට වඩා මිලෙන් ඉහළ ය. දුරකතන ආනයනයේදී බදු ගෙවීමක් සිදුකර TRCSL අනුමැතිය ලබාගැනීම සිදුවන අතර එය සිදුකරන ක්‍රමවේදයේ ද යම් සංකීර්ණත්වයක් පවතින බැවින් TRCSL අනුමැතිය සහිත දුරකතන මිලෙන් තරමක් ඉහළ ය. නමුත් මෙවැනි නීතියක් ගෙන ඒමේදී අසාධාරණ ලෙස අලෙවිකරුවන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මිල වැඩි කිරීමට ඉඩකඩ පවතිනවා.
ඔබේ ජංගම දුරකතනයේ ඇති IMEI අංකය කියන්නේ මොකක් ද?
වෙළඳපොලේ ඇති සෑම ස්මාර්ට් ජංගම දුරකතනයකටම අනන්‍ය වූ අනන්‍යතාවයක් ක්‍රියාත්මක කර ඇති අතර එය ජාත්‍යන්තර ජංගම උපකරණ අනන්‍යතා (IMEI) අංකය ලෙස හැඳින්වෙනවා.
සෑම දුරකථනයක් ම මෙම අංකය සමඟ නිපදවන අතර ඒ අනුව සෑම දුරකථනයකටම එම අංක කට්ටලය අද්විතීය වනවා. IMEI අංකයේ ඉලක්කම් 15 ක් අඩංගු වන අතර එය ලෝකයේ ඕනෑම තැනක දුරකථන සොයා ගැනීමට භාවිතා කළ හැකි ය.
ජංගම දුරකථනයේ *#06# ඇතුළත් කිරීමෙන් දුරකථනයේ තිරය මතද IMEI අංකය පෙන්විය හැකි ය.
ඔබගේ දුරකතනය හදිසියේ නැතිවුනහොත හෝ හොරකම් කිරීමක් සිදුවුවහොත් ඔබගේ දුරකතන සේවා ආයතනයට IMEI අංකය ලබාදී මේ පිළීබඳ පැහැදිලි කර දුන් විට නැවත එය වෙන අයෙක්ට භාවිත කළ නොහැකි ලෙස අසාදු ලේඛනයට එක් කරනු ඇත. එබැවින් දුරකතනය සොරකම් කළ කෙනාට වැඩක් වෙන්නෙ නෑ.
එමෙන් ම ඔබේ දුරකතනය ලොක් වුනොත් එවිටත් මෙම IMEI අංකය වැදගත් වෙනවා.
ඉලක්කම් 15 කින් හෝ 17කින් යුත් IMEI අංකය මඟින් ඔබගේ ජංගම දුරකථනය පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කළ හැකිය. එනම්, දුරකතනයේ ආරම්භක රට, නිෂ්පාදකයා, මිලදී ගැනීමේ දිනය සහ තවත් දේ මෙම IMEI අංකයෙන් බලාගත හැකි වනවා.
ව්‍යාජ IMEI අංක සහිත දුරකතන ද පවතින අතර ලෝකයේ බොහෝ රටවල් එම ව්‍යාජ, වංචා සහගත ලෙස රටවල් තුළට පැමිණෙන දුරකතන භාවිතය වැළැක්වීමට පියවරගෙන තිබෙනවා.
ඉතින් ලංකාවේ ද මෙරටට ආනයනය කරන දුරකතනවල මෙම එමි අංක ලියාපදිංචිය අනිවාර්‍ය කිරීමේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අරමුණ වන්නේ ප්‍රමිතියෙන් යුත් සන්නිවේදන උපාංග භාවිතයට පාරිභෝගිකයින්ට ඉඩ සැලසීමයි.
කෙසේ වෙතත් මීට පෙර වසරවල සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවරගත් නමුත් එම උත්සහන් නිසිපරිදි ක්‍රියාත්මක නොවී ය. නමුත් මෙවර එය නිසි පරිදි ක්‍රියාත්මක වේ ද යන්න පිළිබඳව අප බලාසිටිමු.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:ජංගම දුරකතන IMEI අංක ලියාපදිංචිය අනිවාර්ය කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් !
Written By: Piumika LakshaniResult: Insight
