බදු ඉහළයාම් සමග වේගයෙන් මිල ඉහළ යන පරිසර හිතකාමී විදුලි වාහන !

Environment Insight

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

විදුලි වාහන අද වන විට ලෝකයේ ජනප්‍රිය වාහන ප්‍රබේදයක් බවට පත්ව තිබෙනවා . ආරෝපණය කරන ලද බැටරියක ශක්තියෙන් ධාවනය වන මෙම වාහන සාම්ප්‍රදායික පෙට්‍රල්, ඩීසල් වාහනවලට වඩා වඩාත් වේගයෙන් සංවර්ධිත රටවල ජනප්‍රිය වෙමින් තිබෙනවා. 

මෙම වාහන ලෝකයේ බොහෝ සෙයින් ජනප්‍රිය වන්නේ මෙම වාහන ධාවනය කිරීමේදී පොසිල ඉන්ධන දහනය සිදු නොවීම සහ එමගින් ගෝලීය උණුසුම සඳහා හේතුවන හරිතාගාර වායුන් පිට නොවීමයි. ලංකාව ආදී රටවලත් විදුලි වාහන භාවිතය සඳහා උනන්දුවක් පසුගිය දශක එක හමාරක් වැනි කාලය තුල ඇතිවුණා. කෙසේ වෙතත් නව බදු ඉහල යෑම් හා සමගම විදුලි වාහනවල මිල දරා ගත හැකි මට්ටම ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. මේ පිළිබදව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමකි මේ .

විදුලි වාහනවලට බදු ඉහල නැංවූ 2025 ජනවාරි 31 ගැසට් පත්‍රය 

පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවට පිටරටින් වාහන ආනයනය කිරීම තහනම්ව තිබුණා. කෙසේ වෙතත් සංචාරක, සෞඛ්‍ය ආදී විශේෂිත ක්ෂේත්‍ර සඳහා විදුලි වාහන ආනයනය කිරීමට අනුමැතිය විටින් විට හිමිවුණා. නමුත් සාමාන්‍ය ජනතාවට වාහන ආනයනය කිරීමේ අනුමැතිය හිමිව තිබුනේ නැහැ. මෙම තත්ත්වය හමුවේ විවිධ කමිටු නිර්දේශ ආදියෙන් අනතුරුව වාහන ආනයනය සඳහා පෙබරවාරි 2 සිට අනුමැතිය ලබාදීමට රජය කටයුතු කර තිබුණා. එයට සමගාමීව ඒ සම්බන්ධයෙන් වන බදු ආදිය පිලිබදව ගැසට් නිවේදනයක් ජනවාරි තිස් එක් වැනිදා නිකුත් කර තිබුණා. 

එම ගැසට් පත්‍ර අතරින් විදුලි වාහන සඳහා බලපැවැත්වෙන ගැසට් පත්‍රය සැලකිල්ලට ගත්කල අපට පැහැදිලි වන්නේ විදුලි වාහන සඳහා අධික බදු පැනවීමක් සිදුකර ඇති බවයි. අදාළ ගැසට් පත්‍රය මෙතනින්.

ඉහතින් අප සඳහන් කලේ විදුලි වාහනවල වලට එහි මෝටරය වැය කරන  කිලෝ වොට්  ගණන අනුව බදු පනවා ඇති අයුරුයි. ඉහත දක්වා ඇති මිල ගණන් අනුව ඔබට අවබෝධ කරගත හැකි වේවි ජනවාරි 31 පලකල ගැසට් නිවේදනය අනුව කොතරම් අධික ලෙස බදු පනවා ඇතිද යන වග. 

මෝටරය  කිලෝ වොට්  1 ක වේගයෙන් ක්‍රියා කරන විට ඒ  සඳහා අවම බදු මුදල රුපියල් 18,100 ක් වන අතර උපරිමය රුපියල් 144,900 ක් වෙනවා. බදු ප්‍රමාණයන් වෙනස් වන්නේ වාහනය අලුතින්ම නිෂ්පාදනය කරන ලද එකක්ද ? එය වසර කීයක් මීට පෙර පාවිච්චි කර ඇතිද සහ මෝටරය කොපමණ ශක්ති ප්‍රමාණයක් වැයකරමින්  ක්‍රියාකරනවාද යන කරුණු කාරනා මතයි. 

එමෙන්ම බදු පැනවීම් සලකා බැලූ කල වාහනයක සමස්ත මිල ගණනය කිරීමට මෙම වාහනයේ මෝටර ධාරිතාව පදනම් කර ගත බදු පමණක් නොව වෙනත් බදු වර්ග කීපයක්ද අදාළ වෙනවා. ඒ අතර තීරු බදු (Duty Free) , එමෙන්ම එකතුකළ අගය මත බදු (VAT) ආදිය මෙන්ම යම් මිල සීමාවක් ඉක්මවූ වාහන සඳහා ගෙවීමට සිදුවන (Luxury Tax) ආදියද අදාළ වෙනවා. තීරු බදු සලකා බැලීමේදී, මීට පෙර වාහනයක් මිලට ගැනීමේදී පැනවූ තීරුබදු වලට වඩා තීරු බදු මිල මේ වන විට 50% කින් වැඩිකර තිබෙනවා. ඒ අනුව කලින් රේගුවෙන් අය කල තීරු බදු ප්‍රමාණය 20% වන අතර එය මෙවර 30% ක් දක්වා වැඩිකර තිබෙනවා. ඒ වැඩිවීම ඉලෙක්ට්‍රික් වාහන වලටත් අදාලයි. මෙම බදු CIF අගය මත පදනම් වෙනවා. එනම් වාහනයක් වරායෙන් ගොඩබාන විට එහි පවතින මිලයි. CIF යනු Cost(වියදම ), Insurance(රක්ෂණ පිරිවැය ), Freight(නැව් ගාස්තු)  යන අගයන්ගේ එකතුවයි. 

කෙසේ වෙතත් විදුලි වාහන පරිසරයට වඩාත් හිතකරයි. එමෙන්ම ශ්‍රී ලංකාවට ඉලෙක්ට්‍රික්  වාහන භාවිතය වඩාත් ගැලපෙනවා. ඒ කුමන හේතු මතද යන්න සලකා බලමු.

ශ්‍රී ලංකාවට ඉලෙක්ට්‍රික් වාහන භාවිතය වඩාත් සුදුසු ඇයි?

පොදුවේ ගත්කල හරිතාගාර වායු විමෝචනය වන ප්‍රමාණය අවම කරගැනීමට ඉලෙක්ට්‍රික්  වාහන භාවිතය වඩාත් වැදගත් වෙනවා. එය ගෝලීය උෂ්ණත්වය අවම කරගැනීමේ ජාත්‍යන්තර උත්සාහයට සහාය ලබාදීමට වැදගත්. ඊට අමතරව ශ්‍රී ලංකාව පිලිබදව සලකා බැලීමේදී විදුලි කාර් ගැලපෙන්නේ ඇයි ? ඒ පිළිබඳව සොයා බලමු.

ඔබ මාසිකව වාහනයෙන් කිලෝමීටර 3000 ක පමණ දුරක් හෝ ඊට වැඩිදුරක් ධාවනය කරන පුද්ගලයෙක් නම් සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජිමක් සහිත වාහනයක් භාවිතාකරන පුද්ගලයෙක්ට වඩා ඉලෙක්ට්‍රික් වාහනයක් භාවිතා කිරීම වියදම අතින් ඔබට වඩාත් හිතකරයි. මක් නිසාද සාමාන්‍ය වාහනයක් භාවිතා කරන පුද්ගලයෙක්ට නඩත්තු වියදම්, ඉන්ධන වියදම් සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන නිසායි.

ඇමරිකා එක්සත් ජනපදයේ 2020 වසරේදී සිදුකර ඇති පර්යේෂණයකට අනුව ඉලෙක්ට්‍රික් වාහන භාවිතය සාමාන්‍ය වාහන භාවිතයට වඩා අඩු වියදම් ක්‍රමවේදයක්. ඉලෙක්ට්‍රික් වාහනයක් එහි බැටරියේ මුළු ආයු කාලයම භාවිතා කරන විට ඩොලර් දහස් ගණනක ඉතිරියක් සිදුවෙනවා. ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් මෙතනින්.  මූලික වියදමේ යම් ඉහල අගයක් තිබුනත් ඉලෙක්ට්‍රික් වාහන භාවිතය මගින් වාහනයේ මුළු ආයු කාලය සැලකු විට විශාල මුදල් ඉතිරියක් සිදුවෙනවා. ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් මෙතනින්

කෙසේ වෙතත් විදුලි වාහන ආරෝපණය කිරීමට බාධාවක් ලෙස පවතින්නේ ඒවාට සම්බන්ධ බැටරිය ආරෝපණය කරන මධ්‍යස්ථාන ලංකාවේ ඉතාමත්ම සුළු වශයෙන් පැවතීම සහ බොහෝ විට බස්නාහිර පළාත පමණක් කේන්ද්‍ර කරගෙන පැවතීමයි. කෙසේ වෙතත් එයට විසදුමක් ලෙස නිවසේදී විදුලි වාහනවල බැටරිය නිවෙස් වල විදුලි සම්බන්ධතාවය උපයෝගී කරගෙන ආරෝපණය කිරීම සැලකිය හැකියි.

EV Club විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන 5000 ක් පමණ ඇති අතර ඉන් 2000 ක්ම අඩුම තරමින් එක් වරක් හෝ ආරෝපණය කරගැනීම සඳහා ආරෝපණ මධස්ථානයකට නොගොස් ඇති අතර ගෘහස්ථව ආරෝපණය සිදු කිරීමට හුරුව තිබෙනවා.

මේ අතර තවත් මතයකින් කියවෙන්නේ ඉලෙක්ට්‍රික් වාහනයක බැටරිය පාවිච්චි කල හැක්කේ ඉතාමත් කෙටි කාලයක් වන බවයි. කෙසේ නමුත් නිසියාකාරව ඉලෙක්ට්‍රික් වාහනයක් භාවිතා කළහොත් දශකයක පමණ කාලයක් බැටරිය භාවිතා කල හැකියි. 

ඉලෙක්ට්‍රොනික වාහනවල බැටරි සම්බන්ධයෙන් තවත් වැරදි සහගත ප්‍රචාර තිබෙනවා. ඒ පිලිබදවත් සොයා බලමු.

බැටරියක් නිෂ්පාදනය කිරීම සදහා එය දරා ගන්නා ශක්ති ප්‍රමාණයට වඩා 30-40 ගුණයක් ශක්ති ප්‍රමාණයක්  වැයවන බවටද මිත්‍යා මතයක් පවතී. බැටරියක් නිෂ්පාදනයට වැයවන්නේ එය දරා ගන්නා ශක්ති ප්‍රමාණය මෙන් 2-3 ගුණයක ශක්ති ප්‍රමාණයක් පමණි.

තවත් මතයක් මගින් පැතිරෙන්නේ මුළු ලොවම ඉලෙක්ට්‍රික් වාහන භාවිතය ආරම්භ කළහොත් ඒවායේ බැටරි නිෂ්පාදනයට අවශ්‍ය ඛනිජ පෘථිවිය තුල නොමැති බවයි. එය වැරදි සහගත කියමනකි. බැටරි නිෂ්පාදනයට අවශ්‍ය තරම් ඛනිජ පෘථිවිය තුල තිබෙනවාත් මෙන්ම භාවිතා කරන ලද බැටරි ප්‍රතිචක්‍රීකරණය කර සාමාන්‍යයෙන් අලුත් බැටරි නිපදවාගැනීමට භාවිතා කරයි.

ඉලෙක්ට්‍රික් වාහන ගැන Climate Fact Checks වෙබ් අඩවියේ පලවූ ලිපි මෙතනින් සහ මෙතනින් .

මෙම බදු ඉහල නැංවීම ගැන අදහස් දැක්වූ EV Club ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ වරයෙක් වන නිර්මාල් මෙන්ඩිස් අප සමග සඳහන් කර සිටියේ මෙහිදී සිදුකර ඇත්තේ කලින් ඉලෙක්ට්‍රික් වාහන සඳහා පනවා තිබු බදු මුදල් ජනවාරි 31 ගැසට් නිවේදනය මගින් අධික ලෙස ඉහල දමා ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආනයනික වාහන සඳහා ඉහල නැංවූ බදු මිල නිසා පෙර පැවති බදු යටතේ වාහනයක් ආනයනය කරන විට ගෙවිය යුතු මුදලට වඩා සාමාන්‍ය  ඉලෙක්ට්‍රික් වාහනයක  මිල 30% කින් පමණ වැඩිවෙනු ඇති බවයි. එය මෙරට තුල පවතින ඉලෙක්ට්‍රික් වාහන වල සමස්ත මිලටම බලපෑම් ඇතිකරනු හැකි බවත් ඔහු පවසා සිටියා.

ඒ අනුව පෙනී යන්නේ මේ ආකාරයට අලුත් බදු ඉහළ නැංවීම හරහා ඉලෙක්ට්‍රික් වාහන ආනයනය මෙන්ම ඒවා භාවිතා කිරීමද අධෛර්යමත් වන පසුබිමක් මේ වන විට රටේ නිර්මාණය වී ඇති බවක්.

Avatar

Title:බදු ඉහළයාම් සමග වේගයෙන් මිල ඉහළ යන පරිසර හිතකාමී විදුලි වාහන !

Written By: Fact Crescendo Team  

Result: Insight


Leave a Reply