දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කාලීන පුවත්, තොරතුරු ඔස්සේ බොහෝ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරවීම සඳහා සටහන් නිර්මාණය කරන අතර, මෙවැනි තොරතුරු වල විශ්වසනීයත්වය පිළිබඳ බොහෝ පරිශීලකයින්ගේ නොදැනුවත් භාවය මත මෙවැනි සටහන් හරහා නොමග යෑම සිදු වේ. මේ දිනවල ජාත්‍යන්තරව ද, අවධානය හිමි වී ඇති අමෙරිකාවේ DOGEආයතනය සහ USAIDඅරමුදල් පිළිබඳව කතා බහේදී එම අරමුදල් ලබා ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙරට සමාජ මාධ්‍ය වල සටහන් පැතිරෙනවා. මෙම සටහන් වල නිරවද්‍යතාව පිළිබඳ අප සිදු කරන ලද කරුණු විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
USAID හරහා මුදල් ලබා ගත් දේශපානඥයින් ඇතුලු පිරිසකගේ නම් අමෙරිකාවේ DOGE (Department of Government Efficiency) ආයතනය විසින් හෙළි කර ඇති බවට දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මේ අයුරින්.
ඉහත සටහනේ සඳහන් නම් ඇතුළත් තව ත්, සටහනක් ද පළ වී තිබුණේ මෙලෙසින්.
“ලංකාවතුල LGBTQ+ සම ලිංගික මාන සික ලෙම්ඩුන් බෝ කරන්න සල්ලි ගත්තු ලංකාවෙ වර්තමාන ආණ්ඩුව ඇතුලු පොලිටිකල් කාක්කො සහ උන්ගෙ හිතවතුන් නම් එලියට දාලා තියෙනවා.
මෙන්න ඒ නම්,
1. මංගල සමරවීර
2. මානෝ තිත්තවෙල්ල
3. මලික් සමරවික්‍රම
4. රනිල් වික්‍රමසිංහ
4. සාගල රත්නායක
5. රෝසි සේනානායක
6. වජිර අබේවර්ධන
7. නේරංජන් දේවා අදිත්‍ය
8. පාටලි චම්පක
9. හස්සනා සේගු ඉස්සදින්
10. රොසන්න ෆ්ලේමර්-කල්දේරා
11. ජේක් ඕර්ලොෆ්
12. හර්ෂ ද සිල්වා
13. එරාන් වික්‍රමරත්න
14. රොහාන් සමරජීව
15. සුජාතා ගමගේ
16. ඉන්දි සමරජීව
17. ධනනත් ප්‍රනාන්දු
18. මුර්තාසා ජාෆර්ජී
19. අෂ්රොෆ් ඕමාර්
20. අජිත් ගුණවර්ධන (PickMe සහ Bluestone Capital)
21. රුචි ගුණවර්ධන
22. ඔටාරා ගුණවර්ධන
23. චන්න ද සිල්වා (Economy Next සහ සර්වෝදය ෆිනාන්ස්)
24. ලක්ෂ්මන් බණ්ඩාරනායක (Founder LBO)
25. ශෙහාරා ද සිල්වා (Family Planning Sri Lanka, Sarvodaya සහ BOI හි හිටපු සබඳතා)
26. ප්‍රසාද් පෙරේරා (හිටපු US එම්බසි නිලධාරියෙක්, Twitter @BuduMalli)
27. නිශාන් ද මැල් (Verité Research)
28. චරිඳ්‍ර චන්ද්‍රසේන (ලිෂා ද සිල්වාගේ පුත්‍රයා – SLT හි හිටපු සභාපති)
29. රන්ජන් රාමනායක
30. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
31. හිටපු මධ්‍යම බැංකු නියෝජ්‍ය අධිපති W.A. විජේවර්ධන
32. හිටපු මධ්‍යම බැංකු සහකාර අධිපති සහ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම
33. රෙන්ෆෝඩ් මැල්කම් කල්දේරා
34. දිනයේෂ් චන්ද්‍රසේන (Raffles Fashion College වංචාවට සම්බන්ධ වූ බව සඳහන්)
35. මිය ගිය අනුර බණ්ඩාරනායක
36. ෂර්මන් ද රෝස්
37. ජයන්ති කුරු-උතුම්පල
38. චානු නිමේෂා
39. සෝනාලි දෙරණියගල
40. මැරි ඇන් මොහන්රාජ්
41. ෂ්‍යාම් සෙල්වදුරායි
42. අකිල විරාජ් කාරියවසම්
43. දිලිත් ජයවීර (JVP සම්බන්ධ Pulse Magazine හි හිමිකරු)
44. වර්දාස් තියාගරාජා
45. ලලිත් ධර්මවර්ධන (Heart to Heart Foundation)
46. ජූඩ් ප්‍රනාන්දු (Heart to Heart Foundation)
47. ටැනියා කුමාර (Heart to Heart Foundation)
48. ආගස්ටින් සිල්වා (Heart to Heart Foundation)
49. උපේක්ෂා තබ්‍රේව්
50. දිලිත් ජයවීර”
මෙම සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අතර WhatsApp ඔස්සේ ද, මෙය හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
මෙම සටහන් සත්‍යය ද, යන්න පිළිබඳ විමසමින් අප වෙත විමසීම් බහුලව ලැබුණු අතර ඒවා ද, මුල් කරගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ලැයිස්තුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) අරමුදල් සපයන දේශපාලන චරිත ලෙස තහවුරු කරන රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (DOGE- Department of Government Efficiency), USAID හෝ කිසිදු එක්සත් ජනපද රජයේ ආයතනයකින් ප්‍රසිද්ධියේ ලබා ගත හැකි දත්ත, නිල මූලාශ්‍ර ඇත් ද, යන්න අප පරීක්ෂා කළ ත්, අපට ඒ සඳහා සහය දක්වන කිසිදු නිල මූලාශ්‍රයක් දැක ගැනීමට නොහැකි වුණි. එමෙන් ම මේ සම්බන්ධයෙන් කිසිදු ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරාවක් හෝ මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් හෝ ඉහත සඳහන් ලැයිස්තුවේ ඇති පිරිසට USAID අරමුදල් සැපයූ බවට සඳහන් නොවුණි.
DOGE ශ්‍රී ලංකාව ගැන ඇත්තටම සඳහන් කර ඇත්තේ කුමක්ද?
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් DOGE විසින් තහවුරු කරන ලද එකම ක්‍රියාමාර්ගය වූයේ රට තුළ ස්ත්‍රී පුරුෂ භාවය සහ මාධ්‍ය ආශ්‍රිත වැඩසටහන් සඳහා USAID විසින් කරන ලද වියදම් ඉස්මතු කිරීමයි.
ස්ත්‍රී පුරුෂ භාවය මධ්‍යස්ථ මාධ්‍ය පුහුණුව සඳහා USAID අරමුදල් සපයන ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් ඇතුළු ව්‍යාපෘති කිහිපයක් එලොන් මස්ක් පුද්ගලිකව විවේචනය කර ඇති අතර එය “බදු ගෙවන්නන්ගේ මුදල් නාස්තියක්” ලෙස ඔහු විසින් සිය ‘X’ ගිණුමේ සඳහන් කර තිබුණා. කෙසේ වෙතත්, ඔහු විසින් ඒ සඳහා දක්වා තිබූ ලේඛනයේ හෝ කිසිදු නිල එක්සත් ජනපද ප්‍රකාශයක USAID හරහා දේශපාලනිකව අරමුදල් ලබා ගන්නා ශ්‍රී ලාංකික දේශපාලනඥයින් හෝ ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන හෝ ඔවුන්ගේ නම් පිළිබඳ සඳහනක් එහි නොවුණි.
මස්ක් විසින් බෙදාගත් ඒ ලේඛනයකට අනුව, USAID ආයතය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය බලගැන්වීම (MEND) ව්‍යාපෘති සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 7.9 ක් වෙන් කර ඇති බව සඳහන් කර තිබේ. එමෙන් ම USAID විසින් ඉරාකයේ නව සෙසමි වීදි සංදර්ශනයක් සඳහා ඩොලර් මිලියන 20 ක්, කසකස්තානයේ “දුස් තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට” ඩොලර් මිලියන 4.5 ක් සහ ස්ත්‍රීවාදී ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිළිබිඹු කිරීම සඳහා ඩිජිටල් අවකාශයන් පරිවර්තනය කිරීම සඳහා ඩොලර් මිලියන 6 ක් ඇතුළුව ගෝලීය වශයෙන් ව්‍යාපෘති ගණනාවක් සඳහා අරමුදල් සැපයූ අයුරු එහි සඳහන්.
එමෙන් ම මුදල් නාස්තිකරන කොන්ත්‍රාත්තු 199ක් අවසන් කළ බව ත්, ඒවා අතර ඩොලර් මිලියන 250ක් ඉතිරි කර ගත් ව්‍යාපෘති ලෙස දක්වා තිබූ DOGE හි X සටහනක පෙන්වා දුන්නේ, “ආසියා පැසිෆික් – ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වන සේවා අනුවර්තනය සහ ඔරොත්තු දීමේ සම්බන්ධීකාරක සේවා” සඳහා කොන්ත්‍රාත්තුවමෙන් ම “වෙනස්කම් හරහා සන්නිවේදනය කරන අන්තර් සංස්කෘතික සන්නිවේදන විවිධත්ව සංවාද කවය” සඳහා වන වැඩමුළු ද, ඒ අතර ඇති බවයි.
DOGE සහ USAID පිළිබඳ පසුබිම
DOGE යනු කුමක්ද?
රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (DOGE) යනු 2025 ජනවාරි 20 වන දින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයක් මගින් පිහිටුවන ලද එක්සත් ජනපද රජය යටතේ තාවකාලික සංවිධානයකි. එලොන් මස්ක් විසින් මෙහෙයවන ලද DOGE හි ප්‍රකාශිත අරමුණ වන්නේ නාස්තිකාර සහ වංචනික ෆෙඩරල් වියදම් අඩු කිරීම සහ අධික රෙගුලාසි ඉවත් කිරීමයි. එම දෙපාර්තමේන්තුව නිර්මාණය කිරීම සහ එය විසින් පසුව ගන්නා ලද ක්‍රියාමාර්ග සඳහා බොහෝ විරෝධතා පැවතුණ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයින් සහ නීති විශේෂඥයින් ප්‍රකාශ කර ඇත්තේ DOGE හට එවැනි ක්‍රියාවන් සිදු කිරීම සඳහා බලයක් නොමැති බවයි, එය ඔවුන් “පවරගැනීමක්”,” හෝ “කුමන්ත්‍රණයක්” ලෙස සඳහන් කරයි. නමුත් ධවල මන්දිරය සහ රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයින් DOGE සහ Musk ආරක්ෂා කරමින් පවසන්නේ ඔවුන්ගේ ක්‍රියාකලපාය ෆෙඩරල් නීතියට සම්පූර්ණයෙන්ම අනුකූල බවයි. මේ සම්බන්ධයෙන් පළ වන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින් විකිපීඩියා වාර්තාව මෙතනින්.
DOGE විසින් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
එලොන් මස්ක්ගේ නායකත්වයෙන් යුත් රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (DOGE) එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) සම්බන්ධයෙන් සැලකිය යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ.
ඒවා නම්,
USAID අරමුදල් අවහිර කිරීම:
ට්‍රම්ප් පරිපාලනය, DOGE ගේ බලපෑමෙන්, බොහෝ විදේශ ආධාර දින 90 ක ට අත්හිටුවීම ආරම්භ කළ අතර, මෙම කාලය තුළ USAID හි අරමුදල් නතර කර තිබේ.
USAID මූලස්ථානය වසා දැමීමට උත්සාහ කිරීම:
වොෂින්ටන් ඩී.සී. මූලස්ථානය USAID සේවකයින්ට වසා දමමින් දුරස්ථව වැඩ කිරීමට උපදෙස් දෙන ලදී. මෙම පියවර රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ USAID ප්‍රතිසංවිධානය කිරීමේ පුළුල් උපාය මාර්ගයක කොටසක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.
USAID හි සමාජ වැඩසටහන් වියදම් පිළිබඳ විවේචනය:
සමාජ ව්‍යාපෘති සඳහා USAID හි වියදම්, විශේෂයෙන් විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීමේ (DEI) වැඩසටහන් සඳහා වන වියදම් පිළිබඳ විවේචනය කර තිබේ.
USAID වෙත භාණ්ඩාගාර ගෙවීම් අත්හිටුවීම:
පරිපාලනය විසින් USAID වෙත යොමු කරන ලද භාණ්ඩාගාර ගෙවීම් අත්හිටුවීම ට උත්සාහ කළ අතර, එමඟින් ආයතනයේ මූල්‍ය මෙහෙයුම් තවදුරටත් සීමා වී තිබේ.
මෙම ක්‍රියාමාර්ග USAID හි මෙහෙයුම් වලට සැලකිය යුතු ලෙස බලපා ඇති අතර නීතිමය අභියෝග සහ මහජන විරෝධතාවලට ද, මුහුණ දීමට සිදු වී තිබේ.
කෙසේ වෙතත්, DOGE හි නිල සන්නිවේදනයේ කිසිදු තැනක දේශපාලන අරමුදල් ලබන්නන් ලෙස ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ගේ ලැයිස්තුවක් සඳහන් කර නොමැත.
DOGE විසින් මේ වන තෙක් ඉලක්ක කරගත් ආයතන මොනවාද?
එලොන් මස්ක් සහ DOGE ෆෙඩරල් ආයතන සහ වැඩසටහන් කිහිපයක් විසුරුවා හැරීමට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට දරන උත්සාහයක නියැලෙන අතර මේ වන විට එමගින් බලපෑමකට ලක් වී ඇති ආයතන මෙසේය.
USAID:
ලොව පුරා මානුෂීය කටයුතු සඳහා වගකිව යුතු ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය වසා දැමීමට යන බව මස්ක් පෙබරවාරි 2 වන දින නිවේදනය කළ අතර ඔහුගේ නිවේදනයට පෙර ආයතනයේ වෙබ් අඩවිය වසා දමන ලද අතර, බොහෝ ආධාර කණ්ඩායම් සහ විදේශයන්හි ඇමරිකානු ආධාර සේවකයින් ඔවුන්ගේ වැඩසටහන් සහ අනාගතය පිළබඳ කනස්සල්ල දක්වා තිබේ
USAID සේවකයින් ඔවුන්ගේ රැකියාවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට මුහුණ දීමට දිනකට පෙර මෙම පියවර වැළැක්වීම සඳහා පෙබරවාරි 6 වන දින නඩුවක් ගොනු කරන ලදී. දිනකට පසුව ට්‍රම්ප් විසින් නම් කරන ලද ෆෙඩරල් විනිසුරුවරයෙකු වන විනිසුරු කාල් ජේ. නිකොල්ස්, ට්‍රම්ප් සහ DOGE සේවකයින් 2,200 ක් පරිපාලන නිවාඩු මත තැබීම වළක්වන තාවකාලික තහනම් නියෝගයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
වත්මන් සහ හිටපු USAID නිලධාරීන්ට අනුව, පෙබරවාරි 7 වන දින ලොව පුරා සියලුම USAID මානුෂීය කටයුතු නතර කර තිබුණි. මේ සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතනින්.
අධ්‍යාපන දෙපාර්තමේන්තුව:
DOGE එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට පියවර ගෙන ඇති අතර, එය ෆෙඩරල් අධ්‍යාපන වැඩසටහන්වල අනාගතය පිළිබඳ කනස්සල්ලට හේතු තිබේ. මේ සම්බන්ධ වාර්තාවක් මෙතනින්.
පාරිභෝගික මූල්‍ය ආරක්ෂණ කාර්යාංශය (CFPB):
DOGE හි නියෝග යටතේ (CFPB- Consumer Financial Protection Bureau) හි වොෂින්ටන් මූලස්ථානය වසා දමා තිබේ. ඒ පිළිබඳ ලිපියක් මෙතනින්.
වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පරිපාලනය (OSHA):
DOGE හි ක්‍රියාවන් හේතුවෙන් OSHA (Occupational Safety and Health Administration) විසුරුවා හැරීමට හේතු විය හැකි බවට කනස්සල්ලක් පවතින අතර එය සේවක ආරක්ෂාව සහ කම්කරු අයිතිවාසිකම් සඳහා සැලකිය යුතු බලපෑම් ඇති කළ හැකි බව යි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ. එම ලිපිය මෙතනින්.
මහජන විකාශන සංස්ථාව(Corporation for Public Broadcasting):
PBS සහ NPR වැනි පොදු මාධ්‍ය ආයතන සඳහා සහාය දක්වන මහජන විකාශන සංස්ථාව සඳහා අරමුදල් ඉවත් කිරීමට DOGE යෝජනා කර ඇති බවට සඳහන් වාර්තාවක් මෙතනින්.
සැලසුම් කළ මාතෘත්වය(Planned Parenthood):
Planned Parenthood වැනි ප්‍රගතිශීලී කණ්ඩායම් සඳහා ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලක් කපා හැරීමට ඔවුන් අදහස් කර ඇති අතර Planned Parenthood ආයතනයට ෆෙඩරල් රජයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 50 ක් පමණ ලැබේ. මේ සම්බන්ධ වාර්තාව මෙතනින්.
ජාත්‍යන්තර සංවිධාන:
නිශ්චිත ආයතන විස්තර කර නොමැති වුවද, විවිධ ජාත්‍යන්තර සංවිධාන සඳහා ඩොලර් බිලියන 1.5 ක ප්‍රදාන අඩු කිරීමට DOGE සැලසුම් කර ඇති බවට ද, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්වේ.
අභ්‍යන්තර ආදායම් සේවය (IRS):
බදු කේතය සරල කිරීම සහ නොමිලේ බදු ගොනු කිරීමේ යෙදුමක් නිර්මාණය කිරීම ඇතුළුව IRS ප්‍රතිසංස්කරණය කිරීමට මස්ක් අදහස් කර තිබේ.
ෆෙඩරල් වෙළඳ කොමිසම, අධිකරණ දෙපාර්තමේන්තුව සහ සුරැකුම්පත් සහ විනිමය කොමිසම:
මස්ක් මෙම ආයතන සඳහා ඔවුන්ගේ සැලසුම් සෘජුවම පවසා නොමැති අතර, නමුත් ඔවුන්ට කප්පාදු කිරීමට අපේක්ෂා කරන බව Wall Street Journal වාර්තා කළ බවට Forbes විසින් වාර්තා කර තිබෙනවා.
NASA:
නාසා ආයතනයෙන් නිශ්චිත කප්පාදු හඳුනාගෙන නොමැති නමුත් ආයතනයට යම් අරමුදල් සැපයීම සඳහා කොංග්‍රස් අනුමැතිය මෙම වසරේ කල් ඉකුත් වීමට නියමිත අතර නිලධාරීන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට උපයා නොගත් ප්‍රසාද දීමනා ලබා දීම සඳහා වියදම් කරන ලද ඩොලර් මිලියන 500 කට වඩා කප්පාදු කළ හැකි බව ට සඳහන් කර ඇති බව Forbes වාර්තාවේ තවදුරටත් පෙන්වා දී තිබෙනවා.
DOGE විසින් ඉවත් කර ඇති ආයතන බවට ඔවුන්ගේ නිල X ගිණුමේ දක්වා තිබූ සටහන පහතින්.
ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය
අප මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුර සමග මෙම ලිපියා යාවත්කාලීන කෙරෙනු ඇත.
ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන පරිදි නම් හෙළි කිරීමක් මෙතෙක් සිදු වී නොමැති අතර එලෙසින් හෙළිදරව් කිරීමක් සිදු වුවහොත් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන අතර මෙම කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දී ඇත්තේ, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පුද්ගලයන් USAID අරමුදල් ලබා ගත් හෝ නොගත් බවට තහවුරු කිරීමක් නොවන අතර මෙවැනි පිරිසක් සම්බන්ධයෙන් නම් හෙළි කිරීමක් මේ සඳහා මූලික වී ඇති DOGEආයතනය විසින් හෝ සිදු කර නොමැති බවයි.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අමෙරිකාවේ DOGE විසින් ශ්‍රී ලාංකික දේශපාලනඥයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ලැයිස්තුවක් USAID දේශපාලන අරමුදල් ලබන්නන් ලෙස හඳුනාගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය වේ.
DOGE විසින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම ඇතුළුව USAID හි වියදම් විවේචනය කර ඇතත්, දේශපාලන අරමුණු සඳහා USAID අරමුදල් සඳහා තනි ශ්‍රී ලාංකික දේශපාලනඥයින් සම්බන්ධ බව හෙළි කළ බවට නිල සාක්ෂි නොමැත.

Title:USAID හරහා මුදල් ලබා ගත් මෙරට දේශපානඥයින් ඇතුලු පිරිසකගේ නම් හෙළිකරල ද?
Written By: Pavithra SandamaliResult: Misleading
