මෙරට පොල් අස්වැන්නක ඡායාරූපයක් ද?

Insight Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෙරට පොල් අර්බුදය කාලයක සිට කතාබහට ලක්වන අතර පසුගිය දිනවල මෙරට පොල් අස්වැන්නක ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනක් සමාජ මාධ්‍යයේ කතාබහක් ඇතිවී තිබෙනවා. එබැවින් අප එම සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media)

ෆේස්බුක් පරිශීලකයෙකු විසින් සිය වත්තේ පොල් අස්වැන්න බව දක්වමින් පළකල ජායාරූපයක් සහ ඒ සමඟ සටහනක් පළකර තිබුණේ  මෙසේ ය.

“අද වත්තෙ පොල් කැඩුව. ගස් තිහකින් ගෙඩි 480යි. එක ගහක අස්වැන්නේ සාමාන්‍ය ගෙඩි 16යි. වසර දෙකක මහන්සියක ප්‍රතිඵලය.

අතහැර දමා තිබූ පොල් ගස් පනහකින් යුතු අක්කර එකහමාරක ඉඩමට මම බැස්සෙ 2023 මාර්තුවල. මුළු ඉඩමම ප්‍රතිසංස්කරණය කරල පොල් ගස් වලට පොහොර දාල වැඩ පටන් ගත්ත. ඉඩමට මනුස්ස ආශ්‍රය ලැබෙන කොට පොල් අස්වැන්න වැඩි වෙන්න ගත්ත. යන්තම් ගස් විස්සකින් එක ගහකින් ගෙඩි හත අටක් වගේ නෙලපු අස්වැන්න දැන් ගස් තිහක් දක්වා එක ගහනින් ගෙඩි 16 දක්වා වැඩිවෙලා. මේ ටික කාලයට කුකුල් පොහොර, සැකසූ කාබනික පොහොර දෙවරක් දැම්ම. රසායනික පොහොර ද දෙවරක් දැම්ම. දැන් අස්වැන්න වැඩිවීමේ ගමනේ මැද ඉන්නෙ. අතුරු බෝගයක් ලෙස කුරුදු වගාව ස්ථාපිත කළා. නළ ළිදකුත් හැදුව නිසා ගිය සතියේ සිට ජල සම්පාදනය කරනවා භෝග දෙකටම. ඔවාලත් මං වගේ වෙන්න.”

Fb|Archive

මෙම පළ කර තිබෙන පොල් සහිත ඡායාරූපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද කතාබහක් ගොඩනැඟී ඇති බැවින් අප ඒ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පිලිප් ශාන්ත නම් පුද්ගලයා සිය ගිණුමේ තමාගේ වත්තේ අතහැර දැමූ පොල් ගස් නැවත ඒවාට නිසි සාත්තුවක් කර පොහොර දමා පලදාව වැඩි කරගත් බවටත්, ඉන් පොල් ගෙඩි 480ක පලදාවක් ලබාගත් බවටත් දක්වමින් පළකළ ඡායාරූපය සත්‍ය අවස්ථාවක ඡායාරූපයක් ද, යන්න අප  Reverse Image සෙවුමක් සඳහා පරීක්ෂා කරනු ලැබුවා. 

ඒ අනුව එය 2008 වසරේ අන්තර්ජාලය වෙත එක්කරනු ලැබූවක් බව අපට දැක ගන්නට ලැබුණු අතර මෙය පිලිපීනයේ පොල් අස්වැන්න සම්බන්ධයෙන් පළ වූ ලිපියක මෙම ඡායාරූපය මීට වසර 16කට පෙර පළකර තිබුණේ මෙලෙසින්.

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මෙම සටහන සිය ගිණුමේ හුවමාරුකර ගැනීමත් සමඟ මෙම ඡායාරූපය මේ කෙරෙහි බොහෝදෙනාගේ අවදානය යොමු වීමෙන් හාස්‍ය ජනක සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වීමත් නිසා පිලිප් ශාන්ත නම් මෙම සටහන පළකළ මුල් හිමිකරු නැවත සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ, 

පොල් නෙලීම ගැන විස්තරයක් ලියල පෝස්ට් එකක් දාන්න පොල් ගොඩේ පින්තූරයක් ගන්න බලන විට කැමරාව අක්‍රිය වී තිබූ නිසා අන්තර්ජාලයෙන් පින්තූරයක් ගෙන එම සටහන පළ කළ බවයි.

ඔහු පළ කළ එම සටහන මෙසේ ය.

ඒ අනුව මෙම පොල් සම්බන්ධයෙන් පළ කළ සටහනත් සමඟ පළකළ ඡායාරූපය අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයක් බව පැහැදිලිවනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා පවසන පරිදි ඔහුගේ පොල් වගාවේ  ඵලදාව සම්බන්ධ කතාව හෝ ඡායාරූපයක් ගැනීමට නොහැකි වූ බව පවසන කතාව ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකි අතර ඒ සඳහා යොදා ගෙන ඇති ඡායාරූපය පමණක් අන්තර්ජාලයෙන් ලබා ගෙන ඇති බවට අපට පෙන්වා දිය හැක.

එම පුද්ගලයා සිය වත්තේ පොල් අස්වැන්න බව දක්වමින් පළ කර තිබූ ඡායාරූපය සහිත සටහන  නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ “ඩොලර් වවලා.. ඉඩ තියන විදිහට හැමෝම එක ගහක් පැළ කලොත් රටට මොනතරම් සේවයක් වෙයිද ?” යනුවෙන් සටහනක් තබමින් සිය ෆේස්බුක් ගිනුමේ හුවමාරු කරගෙන තිබුණු බවට ද, ෆේස්බුක් සටහන් මෙලෙසින් පළ වී තිබුණා.

Facebook | Archived Link

පොල් හිඟය

මාස කිහිපයක සිට ලංකාවේ පොල් මිල ඉහළ යාමෙන් ජනතාව දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

පසුගිය කාලයේ පොල් වගාවට අවශ්‍ය නිසි පොහොර නොලැබීම, පොල් වතු නිසි පරිදි නඩත්තු නොවීම, සුදු මැස්සා මර්ධනය කිරීම නිසි පරිදි සිදුකරගත නොහැකිවීම වැනි තත්වයන් පොල් හිඟයට හේතු වී තිබෙන බවයි පොල් සංවර්ධන මණ්ඩලය පවසන්නේ.

ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, දැනට පවතින පොහොර මිල ගණන් ඉහළ යාමත් පොල් හිඟයට බලපා ඇති බවයි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව ද ඒ මහතා පවසනවා.

මෙරට මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250ක් බවත්, ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය සඳහා ද, ගෙඩි මිලියන 100ක් කර්මාන්ත අංශයට යොදා ගන්නා බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000ක් වූවත්, ඉකුත් වසරේදී එය පොල් ගෙඩි මිලියන 2,680ක් දක්වා අඩු වී තිබෙන බවත්, මේ වසරේදී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2400ක් 2600ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවන බවට පොල් පරේෂණායතනය පුරෝකථනය කර ඇති බවත් ඔහු කියා සිටියා.

මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළදී පොල් ගෙඩි මිලියන 200ක නිෂ්පාදන අඩුවක් සිදුවන බවට පොල් පරේෂණායතනය පුරෝකථනය කර ඇති බව ජයන්ත සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසුවා.

ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසනවා.

එයට විසඳුමක් ලෙස රජයට මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බව පැවසූ සභාපතිවරයා හිඟ පොල් ගෙඩි මිලියන 200ට සාපේක්ෂව පොල් කිරි, පොල් මද, වියළි පොල් මද හෝ ලෙලි ගසන ලද පොල් ආනයනය කඩිනමින් සිදුකළ යුතු බව රජයට යෝජනා කළ බවත් කියා සිටියා.

මේ අතර පොල් පොහොර කිලෝ 50ක ඇසුරුමක් රු 1,500 සිට රුපියල් 12,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින් පොල් වගාවට පොල් පොහොර දැමීම සිදුකරන්නේ වගාකරුවන් සියයට 10කට අඩු සංඛ්‍යාවක් බවද එය පොල් හිඟයට ප්‍රධානත්ම හේතුව බවත් ඔහු පැවසනවා.

Also Read – පොල් සහ සහල් හිඟයක් නොමැති බව අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජ් ප්‍රකාශ කළා ද?

Also Read – සමාජ මාධ්‍යයේ පළ වූ පොල් පෝලිමක ඡායාරූපයේ ඇත්ත කතාව!

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:මෙරට පොල් අස්වැන්නක ඡායාරූපයක් ද?

Fact Check By: Piumika Lakshani 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *