හෘද සෞඛ්‍ය සඳහා මධ්‍යසාර භාවිතය යහපත් ද?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

හෘද රෝග සම්බන්ධයෙන් තොරතුරු නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරුවනවා. ඉතින් අපේ ජීවය පවතින වැදගත් ම ඉන්ද්‍රිය වන හදවත අප ආරක්ෂා කර ගැනීමත්, එහි නිසි යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීමත් ඉතාමත් වැදගත් කාරණාවක්. විශේෂයෙන් වර්තමානයේ හෘදබාධ හේතුවෙන් බොහෝදෙනා මිය යාමේ වැඩි ප්‍රවණතාවක් ද පවතින බැවින් හෘද රෝග සම්බන්ධයෙන් මෙන් ම හෘදය ආශ්‍රිත රෝග වළක්වා ගැනීම කෙරෙහිත් අප අවදානය යොමු කිරීම වැදගත්වනවා.

ඒ අනුව හදවතේ යහපත් සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් බොහෝදෙනා අතර යම් කතිකාවතක් පවතිනවා. ඇත්තට ම හදවතට මධ්‍යසාර භාවිතය හොඳ ද? අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media) :

හෘද රෝග සඳහා යම් සුළු ප්‍රමාණයක මධ්‍යසාර භාවිතය සුදුසු බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත හෙට්ටිආරච්චි පැවසූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

මෙහි වෛද්‍යවරයා  මධ්‍යසාර බෝතලයක්, තුන්කාලක් භාවිතය අක්මාවට නුසුදුසු බවත්, නමුත් මධ්‍යසාර යම් ප්‍රමාණයක් ගැනීම ශරීරයට අහිතකර නොවන බවටත් සඳහන් කළ බවටයි දක්වා තිබෙන්නේ.

Fb|Archive

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ අර්ථකතනයන් යටතේ සටහන් හුවමාරු වී ඇති  බවත් එම සටහන සඳහා දක්වා තිබූ අදහස් වලින් පෙනීගියේ මෙලෙසින්.

මේ හේතුවෙන් මෙහි දක්වා ඇති කරුණ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

හෘද රෝග සඳහා යම් සුළු ප්‍රමාණයක මධ්‍යසාර භාවිතය සුදුසු බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත හෙට්ටිආරච්චි ජාතික රූපවාහිනියේ ‘නුග සෙවණ’ වැඩසටහනේදී පැවසූ බවට සඳහන්ව තිබූ බැවින් වෛද්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළා ද යන්න අප පළමුව පරීක්ෂා කළා. 

ඒ අනුව 2023 සැප්තැම්බර් 20 වන දින ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘නුගසෙවණ’ වැඩසටහනේදී වෛද්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

මෙම වැඩසටහනේදී වෛද්‍යවරයා හෘද සෞඛ්‍ය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන අතර වෛද්‍ය වසන්ත පැහැදිලිව ම පවසන්නේ, දිනකට මධ්‍යසාර සුළු ප්‍රමාණයක් භාවිතය එනම් පමණට මධ්‍යසාර භාවිතය අහිතකර නොවන බවයි. ඉන් ආතතිය පාලනය කරගත හැකි බවත් වෛද්‍යවරයා පවසනවා. 

කෙසේ වෙතත් හෘද සෞඛ්‍ය සඳහා මධ්‍යසාර භාවිතය යහපත් ද යන්න පිළිබඳව අප වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බලමු.

හෘද සෞඛ්‍ය සඳහා මධ්‍යසාර භාවිතය යහපත් ද?

මත්පැන් පරිභෝජනය සහ එහි සෞඛ්‍ය බලපෑම අතර සම්බන්ධතාවය දිගු කලක් තිස්සේ විවාදයට හා පර්යේෂණයට භාජනය වූ මාතෘකාවක් වී ඇති බව අප කළ විමර්ශණයේදී පැහැදිලි විය. මත්පැන් හා සම්බන්ධ විවිධ සෞඛ්‍ය ගැටළු අතර, හදවතට එහි බලපෑම් සැලකිය යුතු අවධානයක් දිනාගෙන තිබෙනවා. 

මධ්‍යස්ථ මත්පැන් පානයෙන් හෘද වාහිනී පද්ධතියට ඇති විය හැකි ප්‍රතිලාභ අතීත අධ්‍යයනවලින් පෙන්වාදී ඇති අතර ම අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් හදවතට සහ සමස්ත සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවටත් එම අධ්‍යයන මඟින් පෙන්වාදී තිබෙනවා. 

නමුත් නවතම පර්යේෂණවලට අනුව සහ හෘද රෝග විශේෂඥයන් පෙන්වාදෙන ලෙස මධ්‍යස්ථ ප්‍රමාණයන්ගෙන් හෝ නිතර මධ්‍යසාර ලබාගැනීම හෘද සෞඛයයට යහපත් නොවේ.

ඒ අනුව අතීත අධ්‍යයනයන්ට අනුව, කාන්තාවන් සඳහා දිනකට එක් වීදුරුවක් පමණ පානය කිරීම දක්වා සහ පිරිමින් සඳහා දිනකට  වීදුරු දෙකක් දක්වා මධ්‍යස්ථ මධ්‍යසාර පරිභෝජනය  හදවතට ප්‍රයෝජනවත් විය හැකි අතර රුධිරයේ HDL හෙවත් “හොඳ” කොලෙස්ටරෝල් මට්ටම වැඩි කළ හැකි බවටත් පෙන්වා දී තිබෙනවා. 

තව ද 2011 වසරේ පර්යේෂණයකින් පෙන්වා දී ඇත්තේ, මධ්‍යස්ථ මත්පැන් පානය කිරීටක හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට හේතු විය හැකි බවයි. එමෙන් ම රුධිර කැටි ගැසීම වැළැක්වීම, ඉෂ්මික් ආඝාතය සහ හෘදයාබාධ වැනි තත්වයන් ඇතිවීමේ අවදානම අඩු කිරීම, ආතතිය අවම කිරීම වැනි යහපත් ප්‍රතිලාභ ගෙන දෙන බවටත් අතීත අධ්‍යයන ඔස්සේ පෙන්වා දී තිබෙනවා.

නමුත් නවතම පර්යේෂණ මූලාශ්‍ර අධ්‍යයනයේදී පෙනී ගියේ අතීත පර්යේෂණ ඔස්සේ පෙන්වාදී ඇති නිරත්නරයෙන්ම මධ්‍යස්ථ ලෙස හෝ මත්පැන් භාවිතය පවා හෘදයේ යහපත් සෞඛ්‍යයට හිතකර නොවන බවයි.

ඒ අනුව අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි cedars-sinai හි ස්මිඩ් හෘද ආයතනයේ නිවාරණ හෘද රෝග අධ්‍යක්ෂිකා මාර්තා ගුලාටි පෙන්වා දී ඇත්තේ අතීත අධ්‍යයන මඟින් මධ්‍යස්ථ මධ්‍යසාර පරිභෝජනය හදවතට ප්‍රයෝජනවත් වන රුධිරයේ HDL හෙවත් “හොඳ” කොලෙස්ටරෝල් මට්ටම වැඩි කළ හැකි බවට පෙන්වා දී ඇති නමුත් ප්‍රතිලාභ තවමත් ඔප්පු කර නොමැති බවයි.

ඇය පෙන්වාදී ඇත්තේ, මේවා සායනික අත්හදා බැලීම් නොවන බවත්, නිරීක්ෂණ අධ්‍යයනයන් බවත් ය. මෙම අධ්‍යයනයන්හි වයින් පානය කළ අය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුගමනය කිරීම වැනි වෙනත් ආකාරවලින් සෞඛ්‍ය සම්පන්න වූවා විය හැකි බවටයි ඇය පෙන්වා දී ඇත්තේ.

වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, මධ්‍යස්ථ හෝ සැහැල්ලු මධ්‍යසාර පරිභෝජනය හෘද රෝග සහ ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරන බවට මෑත කාලීන වෙනත් අධ්‍යයනවලින් හෙළි වී ඇති බවයි.

මත්පැන් සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම සෞඛ්‍ය සම්පන්නම සහ අවම අවදානම් සහිත විකල්පය බවට ඇය පෙන්වා දී ඇත. ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්. Archived Link

2022 මාර්තු මාසයේදී JAMA Network Open හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින්  , මධ්‍යස්ථ මත්පැන් පානය අවදානම් නොවන බවට කරන ලද ප්‍රකාශය අභියෝගයට ලක් කර තිබෙනවා. 

ඒ අනුව මෙම අධ්‍යයනයට එක්සත් රාජධානියේ වැඩිහිටියන් 370,000 කට වැඩි පිරිසක් යොදාගෙන තිබෙන අතර පර්යේෂකයන් සොයා ගෙන තිබෙන්නේ, අධික ලෙස මත්පැන් පානය කිරීම එනම්, සතියකට බීම 21 ක් හෝ ඊට වැඩියෙන් පානය කරන පුද්ගලයන්ට හෘද රෝග ඇතිවීමේ ඉහළම අවදානමක් පවතින බවයි. එනමුත් සතියකට බීම 7 සිට 14 දක්වා ප්‍රමාණයක් සමඟ ද හෘදයට වැඩි අවදානමක් පවතින බවටත් ඔවුන් සොයාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්

2023 දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ,“මිනිස් සෞඛ්‍යය සම්බන්ධයෙන් කිසිදු මධ්‍යසාර පරිභෝජනයක් ආරක්ෂිත නොවේ” යනුවෙනි. මෙම අනතුරු ඇඟවීම පිටුපස ඇති දත්ත 2021 අධ්‍යයනයකින් ලැබී ඇති අතර එමඟින් ඇස්තමේන්තු කර ඇත්තේ සුළු හෝ මධ්‍යස්ථ මධ්‍යසාර පරිභෝජනය හේතුවෙන් නව පිළිකා රෝගීන් වර්ධනය වී ඇති බවය.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජ්‍යේෂ්ඨ උපදේශක හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ

මධ්‍යස්ථ වශයෙන් හෝ මත්පැන් පානය හෘද සෞඛ්‍ය සඳහා යහපත් ද යන්න පිළිබඳව අප ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජ්‍යෂ්ඨ උපදේශක, හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහගෙන් විමසීමක් සිදුකරනු ලැබුවා.

වෛද්‍ය ගෝඨාභය රණසිංහ ද පෙන්වාදුන්නේ සුළු හෝ ප්‍රමාණයකින් මධ්‍යසාර භාවිතය අපගේ ශරීරයට අහිතකර බවයි. වෛද්‍යවරයා  පෙන්වාදෙන්නේ, අතීත අධ්‍යයන ඔස්සේ කාන්තාවක් සඳහා දිනකට එක් පානයක් සහ පිරිමි පුද්ගලයෙක්ට පාන දෙකක් ගැනීම අහිතකර නොවන බවට පෙන්වා දී තිබූ බවයි. 

නමුත් එය නවතම පර්යේෂණ ඔස්සේ පිළි නොගන්නා බව වෛද්‍යවරයා පෙන්වාදෙනවා. ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, සුළු ප්‍රමාණයකින් හෝ අප දිනපතා මධ්‍යසාර භාවිතා කරන්නේ නම්, එය හෘද සෞඛ්‍ය සඳහා අයහපත් වන බවයි. 

එනම් හෘදයේ රිද්මය වෙනස් වීම, හෘදය දුර්වල වීම, හෘද රෝග (Heart Attack), ඇති විය හැකි බවයි. මධ්‍යසාර භාවිතය ඔස්සේ  හෘදයේ ඇතුල් ස්ථරවල කොලොස්ට්‍රෝල් ඇති වී අවහිරතා ඇති විය හැකි බව වෛද්‍යවරයා පෙන්වාදෙනවා. 

මධ්‍යසාර කිසිසේත් ම හදවතට හොඳ බවට අනුමත කළ නොහැකි බවත්, එලෙස හදවතට මධ්‍යසාර හොඳ බවට අතීතයේ සිට පවතින්නේ, මිත්‍යාවක් බවත් වෛද්‍යවරයා පවසනවා. මධ්‍යසාර හදවතේ සෞඛ්‍යයට හොඳ බවට පවසන කාලයේ සිට ම තමන් එය ප්‍රතික්ෂේප කළ බවයි හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසන්නේ.  මධ්‍යසාර හදවතට පමණක් නොව මොළයේ ක්‍රියාකාරිත්වයට අහිතකර බවත්, ඩිමෙන්ෂියා වැනි තත්ව ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට බලපාන බව ඔහු පෙන්වාදෙනවා.

නවතම අමෙරිකානු පර්යේෂණවලින් පවා මධ්‍යසාර සුළු ප්‍රමාණයන්ගෙන් හෝ ගැනීම යහපත් නොවන බවට තහවුරු කර ඇති බවයි හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පෙන්වාදෙන්නේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා සඳහන් කළේ, ඉහත ප්‍රකාශය සාවද්‍ය බවයි.ඒ් මහතා පෙන්වා දුන්නේ දිගු කාලයක් කුඩා ප්‍රමාණවලින් මත්පැන් පානය කළහොත් ශරීරයට විශේෂයෙන් අක්මාවට, ස්නායු පද්ධතියට හානි සිදු වන අතර කෙටි කාලයකට වුවද මත්පැන් වැඩි ප්‍රමාණවලින් පානය කළහොත් ද එම හානියම ඇති වන බව ත් ඒ් මහතා සඳහන් කරනු ලැබුවා. නමුත් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිශ්චිත රෝග සඳහා නියමිත මාත්‍රාවලින් සහ කාලසීමාව තුළ භාවිතා කළ හැකි බව ත් ඒ් මහතා පෙන්වා දුන්නා.

මත්පැන් වලින් හෘදයට වන හානිකර බලපෑම්

මත්පැන් පානය හෘදයට සහ හෘද වාහිනී පද්ධතියට අහිතකර බලපෑම් ද සිදුකරන බවට සොයාගෙන ඇත.

  1. අධි රුධිර පීඩනය 

අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් අධි රුධිර පීඩනය (අධි රුධිර පීඩනය) ඇති විය හැකි අතර එය හෘද රෝග, ආඝාත සහ අනෙකුත් හෘද වාහිනී ගැටළු සඳහා සැලකිය යුතු බලපෑමක් සිදුකරනු ලබයි.

  1. අක්‍රමවත් හෘද ස්පන්දනය


මත්පැන් හෘදයේ සාමාන්‍ය රිද්මයට බාධා කළ හැකි අතර, එය අක්‍රමවත් හෘද ස්පන්දන (අරිතිමියාව) ඇති කරන බව ද සඳහන්වනවා. එය ආඝාතය හා හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කළ හැකිය.

  1. හෘද පේශි දුර්වල කිරීම

නිදන්ගත අධික මත්පැන් පානය හෘද පේශි දුර්වල කළ හැකි අතර එය හෘද මයෝපති නම් තත්වයට හේතු විය හැක. එය හෘද ක්‍රියාකාරිත්වය අඩුවීම, හෘදයාබාධ ඇතිවීම සහ අනෙකුත් බරපතල සංකූලතා ඇති කළ හැකිය.

  1. හෘද රෝග 

අධික ලෙස මත්පැන් පානය කිරීම කිරීටක ධමනි රෝග සහ හෘදයාබාධ ඇතිවීමට හේතු විය හැකි නිහඬ හෘදයාබාධ ඇතුළු විවිධ හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරනු ලබනවා.

  1. ආඝාතය ඇතිවීම

අධික ලෙස මත්පැන් පානය කිරීම රුධිර කැටි ගැසීමට දායක විය හැකි අතර මොළයට රුධිර ප්‍රවාහය අවහිර වූ විට ඇතිවන ඉෂ්මික් ආඝාත අවදානම වැඩි කරනු ලබයි.

  1. තරබාරුකම 

මත්පැන් කැලරි බහුල වන අතර බර වැඩිවීමට සහ තරබාරුකමට දායක විය හැකි අතර හෘද රෝග අවදානම වැඩි කරනු ලබනවා.

  1. අක්මාවට හානි වීම 

නිදන්ගත මත්පැන් පානය අක්මාවට හානි කළ හැකි අතර එමඟින් මේද අක්මා රෝග, මධ්‍යසාර හෙපටයිටිස් සහ සිරෝසිස් වැනි තත්වයන් ඇති විය හැක. අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වී හෘද වාහිනී සංකූලතා ඇති විය හැක.

මෙම විභව අවදානම් සැලකිල්ලට ගෙන, විශේෂයෙන් හෘද රෝග හෝ අවදානම් සාධක ඇති අය සඳහා, මෙන් ම සාමාන්‍ය පුද්ගලයින්ට ද මත්පැන් පරිභෝජනය සීමා කිරීම සාමාන්‍යයෙන් නිර්දේශ කරන බවයි හෘද රෝග විශේෂඥයන් පෙන්වාදෙනු ලබන්නේ. මේ සම්බන්ධ තොරතුරු මෙතනින්.

හෘදයේ යහපත් සෞඛ්‍ය පවත්වාගන්නේ කොහොම ද?

මත්පැන් පානය නොකිරීම සහ අවම කිරීම මෙන් ම හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරන ආහාර ඇතුළු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ඇතුළත් සමබර ජීවන රටාවක් සහ දුම්පානය වැනි අවදානම් සාධක වළක්වා ගැනීම හෘද වාහිනී යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වනවා.  හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ව්‍යායාම කිරීම ද වැදගත් බවටයි වෛද්‍යවරු යෝජනා කරනු ලබන්නේ.

කෙසේ වෙතත් මෙම කරුණ සම්බන්ධයෙන් නවතම අධ්‍යන පිළිබඳ හෘද රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත හෙට්ටිආරච්චි මහතාගේ අදහස පිළිබඳ දැන ගැනීම සඳහා එම වෛද්‍යවරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කරන අතර ඔහුගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීසට අප බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, මධ්‍යසාර මධ්‍යස්ථ ප්‍රමාණයන්ගෙන් හෝ නිරන්තරයෙන්ම පානය කිරීම හෘද සෞඛ්‍ය සඳහා මෙන් ම සමස්ත සෞඛ්‍ය සඳහා ම අහිතකර බවට නවතම අධ්‍යයන ඔස්සේ පෙන්වාදී ඇති බවයි. එමෙන් ම මේ බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් ද තහවුරු කරනු ලැබී ය.

Avatar

Title:හෘද සෞඛ්‍ය සඳහා මධ්‍යසාර භාවිතය යහපත් ද?

Written By: Piumika Lakshani  

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *