මැතිවරණ නීති උල්ලංඝණය කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිට ලිපියක් ?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ළග එන පළාත් පාලන මැතිවරණය හේතුකොට ගෙන දේශපාලනඥයින් දේශපාලන වේදිකාවන් හි සිදු කරන ප්‍රකාශයන් පිළිබඳ නොයෙකුත් විවේචන පළ වෙද්දී මැතිවරණ නීති උල්ලංඝණය වන ප්‍රකාශ වලින් වැළකී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිසම විසින් ලිපියක් යොමු කළ බවට පුවත් පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව විසින් සඳහන් කරන කරුණු ඇතුළත් කරමින් අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මැතිවරණ නීති උල්ලංඝණය වන දේශපාලන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි සඳහන් කරමින් මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇති බවට දක්වමින් ‘මව්බිම’ පුවත් පත පළ කළ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

මව්බිම පුවත්පතේ අද(17) දිනයේ මෙම ලිපිය පළ කර තිබුණේ, “නොදිනන සභාවලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි රැසක් මැතිවරණ නීති කඩන කතා එපා මැ.කො. ජනපතිය ලියයි” යන ශීර්ෂ පාඨයෙනි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමට කළ පැමිණිලි පදනම් කරගෙන මෙම ලිපිය යොමුකර ඇති බව එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගයට පළාත් පාලන මැතිවරණයේදී බලය හිමි නොවන ආයතනවලට ප්‍රතිපාදන වෙන් නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කිරීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය වී ඇති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙසේ පැමිණිලි කර තිබිණි.

එම ප්‍රකාශයේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පනතේ 82සී (අනිසි බලපෑම්) සහ 82 ඩී (උපරිම වාසි පොරොන්දු කිරීම්/දීමනා) වගන්තිවල පැහැදිලි නීති උල්ලංඝණ යක් බව නිරීක්ෂණ සංවිධාන පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා සාමාන්‍ය මන්ත්‍රිවරයෙකු නොවන අතර මුදල් පැවැරුම් සම්බන්ධයෙන් තීරණය කෙරෙන පරිදි බලය ඇත්තේ ඔහු වෙත බව ත් එම නිසා මෙවැනි ප්‍රකාශ වඩාත්ම නීති විරෝධී ජාතික මට්ටමේ බලපෑමක් ඇති කරන බව ත් එහි දැක්වේ.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවරකට යෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35-1 වගන්තිය මගින් අවහිර කර ඇති බැවින් මැතිවරණ කොමිසම මෙසේ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුවත් කර ඇතැයි එම කොමිසම් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

“යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවකදී ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහිලා හෝ නිල තත්ත්වයෙහිලා කරන ලද හෝ නොකරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවැරීම හෝ පවත්වාගෙන යෑම නොකළ යුත්තේය” යනුවෙන් එහි සඳහන් වේ.

මේ පිළිබඳව කරුණු විමසා බැලීමක් අප සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

අද(17) දින මව්බිම පුවත් පතේ හි පළ වී තිබූ මෙම ලිපිය අසත්‍ය බවට දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් සඳහන් කරන්නේ, මෙම පුවත අසත්‍ය බව ත්, අදාළ පාර්ශවයන් විසින් සිදු කළ විමසීමේදී මෙවැනි ලිපියක් නිකුත් නොවූ බව පැහැදිලි වන බවට එහි දක්වා තිබුණේ මෙලෙසින්.

කෙසේ වෙතත් අප මේ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් මෙම නිවේදනයේ නිරවද්‍යතාව පිළිබඳ විමසීමක් කළා.

මැතිවරණ කොමිසම

ඒ මහතා සඳහන් කළේ, මැතිවරණ කොමිසම විසින් මව්බිම පුවත් පතේ දැක්වෙන අයුරින් ජනාධිපති ලේකම්ට ලිපියක් යොමු නොමැති බව ත්, ඒ බවට කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මෙන් ම, ජනාධිපති ලේකම්වරයා ද, තහවුරු කරන බවයි.

මව්බිම පුවත්පත

මව්බිම පුවත් පතේ කතෘවරයාගෙන් අප ඉහත පුවත් ලිපිය සම්බන්ධයෙන් විමසා සිටි අතර,  ඔහු සඳහන් කළේ,  අදාළ පුවත මැතිවරණ කොමිසම තුළින් විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ලැබුණු තොරතුරක් බව ත්, එම තොරතුර  තහවුරු කර අදාළ පුවත පළ කළ බව ත්, එහි වගකීම මව්බිම පුවත් පත භාරගන්නා බව ත් ය‍

පසුගිය අප්‍රේල් 12 වන දා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කන්තලේ නගරයේ පැවති ජන රැළියක් අමතමින් පැවසූ ප්‍රකාශයන් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වී තිබුණා.

මෙහිදී ජනාධිපතිවරයා විසින් කන්තලේ ප්‍රාදේශීය සභාවේ ඉදිරි වැඩකටයුතු යෝජනා, ව්‍යාපෘති කර ගෙන යෑම සඳහා මහ ආණ්ඩුවෙන් මුදල් ඉල්ලන්නේ නම්, ජාතික ජන බලවේගය යටතේ ප්‍රාදේශීය සභාව යටතේ පවතිනවා නම් එම යෝජනා බියෙන් සැකයෙන් තොරව අනුමත කිරීමට හැකි බව සඳහන් කරනවා. එමෙන් ම වෙනත් පක්ෂයක ප්‍රාදේශීය සභාව ඇත්නම් මුදල් අනුමත කිරීමට පෙර දහ පාරකට වඩා ඒ ගැන අවධානයෙන් පසු විය යුතු බව ත්, මීට පෙර සිටි අය මුදල් හොරා කන බැවින් ඔවුන්ට මුදල් ලබා නොදෙන බව ට සඳහන් කරනවා. (1:41:38 සිට)

ජනාධිපතිවරයා පවත්වපු කතා කිහිපයකදී ඔහු විසින් මාලිමාවේ බලය හිමි නොවන පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන හමු නොවන බවට අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් ද, විවේචනය කර තිබුණේ මෙලෙසින්.

මැතිවරණ නිරීක්ෂක මංජුල ගජනායක

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතාගෙන් අප විමසීමක් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ වේදිකාවේදී මෙවැනි ආකාරයෙන් සිදු කරන ප්‍රකාශ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් ලෙස සැලකෙනවා ද යන්නයි.

මෙවැනි ප්‍රකාශ සුලබව මැතිවරණ වේදිකාවල දක්නට ලැබෙන තත්ත්වයක් බව ත්, මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස තමන් මෙම සිදුවීම දකින්නේ, මාලිමාව ආණ්ඩුව බොහෝ විට පොදු දේපළ අවභාවිත නොකට මැතිවරණ නීති උල්ලංඝණය නොකර මීට පෙර සමයන් වල නොතිබූ සාමකාමී මැතිවරණ වටපිටාවක් නිර්මාණය කරමින් මැතිවරණ ප්‍රචාරයන් සිදු කරන බැවින් මෙම සිදුවීමට අනවශ්‍ය ආකාරයේ අවධානයක් ලබා දී ඇති බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පනතේ අයුතු බලපෑම යටත ට අයිතිවිය හැකි බව ත්, ඊට හේතුව වන්නේ, විධායක ජනාධිපතිවරයෙකු වශයෙන් සිදුකරන ප්‍රකාශයක් විසින් අයුතු බලපෑමක් විය හැකි බැවින් මැතිරවරණ වරදක් ලෙස සැලකිය හැකි බව ත් ඒ මහතා පෙන්වා දුන්නා.

Update : 29/04/2025

පසුගිය අප්‍රේල් 23 වන දා ‘දෙරණ නාලිකාවේ’ ‘BIG FOCUS’ – පළාත් පාලන ආයතනවලට පැවැති බාධා ඉවත්වීම හා ඡන්දයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවට එක් ව සිටි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍යවේදී කළිඳු කරුණාරත්න විසින් මේ සම්බන්ධයෙන් පැනයක් යොමු කරන අතර එහිදී මැතිවරණ කොමසාරිස්තුමා විසින් සඳහන් කරනු ලබන්නේ, පණතට අනුකූලව කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිතව දැනුම් දුන් බවයි. එම කොටස පහතින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:මැතිවරණ නීති උල්ලංඝණය කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිට ලිපියක් ?

Written By: Pavithra Sandamali 

Result: Insight


Leave a Reply