වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම භාවිතා කරමින් පළවන ව්‍යාජ ලිපියක් !

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ, රාජ්‍ය ආයතනවල ලාංඡන, නම් සහ විවිධ පුද්ගල නාම භාවිතා කරමින් ව්‍යාජ ලිපි, පුවත් සංසරණය වීම නිරන්තරයෙන් සිදුවන්නක්.  ඒ අනුව මේ දිනවල ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පැවති බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ් සටහන් (Social Media):

ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය හා ශ්‍රී ලංකා පොලිස් නිල ලාංඡනයට සමාන ලෙස ලාංඡන භාවිතා කරමින්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එම සම්පූර්ණ ලිපිය මෙසේ ය.

ළමා කාමුක දර්ශණ, ළමා අපරාධවලට සම්බන්ධ පින්තූර ළඟ තබා ගැනීම ඇතුළු වැරදි කිහිපයකට ඔබ නීතියෙන් වැරදිකරුවෙක් බවත්, පැය 72ක් ඇතුළත අත්අඩංගුවට ගත හැකි බවටත් අවවාද කරමින් වැඩබලන පොලිස්පතිවරයාගේ නම භාවිතා කර මෙම ලිපිය සකස් කර තිබෙනවා.

මෙම ලිපිය ඊමේල් පණිවිඩයක් මඟින් ලැබුණු එකක් බවට මේ සම්බන්ධව විස්තරයක් සහිතව සටහනක් ද LinkedIn ඔස්සේ පළකර තිබුණේ මෙලෙසින්.(Archive)

එබැවින් මෙම ලිපිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදුකිරීමට අප තීරණය කරනු ලැබුවා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

මෙවැනි ආකාරයක යම් වරදකරුවෙක් වෙත අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නම් එය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් එම ක්‍රියාමාර්ග නොගන්නා අතර එය නිසි නෛතික පදනමක් ඔස්සේ විධිමත්ව සිදුකිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. 

එමෙන් ම මෙවැනි පොදු ලිපියක් පළ නොකරන අතර එය නිශ්චිත සැකකරුවන් හඳුනාගෙන ඔවුන් වෙත නිසි දැනුම්දීම් සිදුකරනු ලබයි.

එබැවින් මෙම ලිපිය නෛතික එකක් නොවන බව පෙනී යනවා.

කෙසේ වෙතත් මෙම ලිපියේ අන්තර්ගතය වෙත අප අවධානය යොමු කරනු ලැබුවා.

මෙම ලිපිය ආරම්භයේ “Central Office for the Fight Against Crime Related To Information and Communication Technology” නම් ආයතනයක් විසින් මෙම ලිපිය යොමු කරන ලෙස දක්වා තිබුණ ද ලිපිය අවසානයේ පවතින්නේ, Cyber Crime Headquarters Colombo, Sri Lanka ලෙසයි.

එනමුත් ලංකාවේ මෙවැනි නම් වලින් ආයතන ද්විතවයක් නොමැති අතර ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනයක් ලෙස පවතින්නේ ශ්‍රී ලංකා CERT (ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම) ආයතනයයි. එය ජාතික සයිබර් ආරක්ෂාව සඳහා වගකිව යුතු රජය සතු පෞද්ගලික සමාගමකි.

ඊට අමතරව National Child Protection Authority යටතේ ඇති ශ්‍රී ලාංකික දරුවන්ට එරෙහි මාර්ගගත ප්‍රචණ්ඩත්වය” ඇතුළු සියලු ආකාරයේ ක්‍රියාකාරකම් සඳහා කටයුතු කරන Cyber Crime Division යන ඒකකය ද පවතී. 

එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපියේ දැක්වෙන ලෙස ආයතන ලංකාවේ නොපවතී. 

එමෙන් ම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හෝ බාලවයස්කරුවන්ගේ ආරක්ෂාව සඳහා අධිකරණ මධ්‍යම අධ්‍යක්ෂ යන ආකාරයේ තනතුරු ද දරනු නොලැබේ.

ශ්රී ලංකා පොලිසිය

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන මෙම ව්‍යාජ ලිපිය සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය නිවේදනයක් මඟින් දක්වා තිබෙනවා.

“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලීසිය පවසනවා.

මෙහි සඳහන් කරුණු කිසිදු නෛතික පදනමක් නොමැති එකිනෙකට නොගැලපෙන වචන භාවිතා කර පසුබිමින් ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය හා ශ්‍රී ලංකා පොලිස් නිල ලාංඡනයට සමාන ලෙස ලාංඡන මුද්‍රණය කර සකස් කර ඇති බවට ද නිරීක්ෂණය වී ඇති පොලීසිය නිවේදනය කරනවා.

මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් “Cyber Crime Headquarters Colombo, Sri lanka” නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ශ්‍රී ලංකා පොලීසිය මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බවට ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත දන්වා සිටී.

මෙය හිතාමතාම ඉතා සැලසුම් සහගත ලෙස ශ්‍රී ලංකා පොලීසිය අපහසුතාවයට පත් කිරීම හා මහජනතාව නොමග යැවීම අරමුණු කරගෙන සකස් කරන ලද ලිපියක් බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන්ය.

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද මේ පිළිබඳව මහජනතාව දැනුවත් කර තිබුණේ මෙලෙසින්.

මෙම ලිපියේ ආකෘතියට සමාන ලෙස මීට පෙර වසරවලදී ව්යාජ ලිපි සංසරණය වීම

මෙම ලිපිය ම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස කටයුතු කරන සමයේ ද ඔහුගේ නම සහිතව  සංසරණය වී තිබෙනවා. මෙම ව්‍යාජ ලිපිය විද්‍යුත් තැපෑල මගින් සහ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බවට 2024 වසරේ ජූලි 24 වන දින ද ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාව දැනුවත් කර තිබුණේ මෙලෙසින්.

මෙම ලිපියේ අන්තර්ගතය සහිතව ම එනමුත් එහි ශීර්ෂ පාඨය පමණක් වෙනස් කර එනම් ‘CONVOCATION – සම්මන්ත්‍රණය’ ලෙස සඳහන් අයුරින් ද  2024 ජූලි 01 දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කල බවට හැඟවෙන ආකාරයෙන් ද පළ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව දැනුවත් කර තිබුණේ මෙලෙසින් 

මෙම ලිපියම 2025 වසරේ මාර්තු 10 වන දින ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. නමුත් එහි සඳහන් වුණේ, දේශබන්දු තෙන්නකෝන්ගේ නමයි. (Fb|Archive)

එම සටහනේ ද මෙම ලිපිය ඊමේල් ඔස්සේ සංසරණය වන බව දක්වා තිබු අතර, අප වැඩිදුරටත් කළ සොයා බැලීමේදී මෙම ලිපිය පැමිණි ඊමේල් පණිවිඩයක් අපට ද සොයාගත හැකි විය.එම ඊමේල් පණිවිඩය මෙසේ ය.

එහි සඳහන් වන්නේ, ශ්‍රී ලංකා සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඔබට එරෙහිව ඇති මෙහි අමුණා තිබෙන අධිකරණ නියෝගයට ප්‍රතිචාර අවශ්‍ය බවයි. කරුණාකර මෙම ඇමුණුමේ ඇති ලේඛනය කියවා වහාම අප හා සම්බන්ධවන ලෙස එහි ඊමේල් ලිපිනයක් දක්වා ඇත.

මෙම ව්යාජ ලිපිය වෙනත් රටවල   හුවමාරු වීම

මෙම ව්‍යාජ ලිපියම මෙම ආකෘතියෙන් ම 2024  සැප්තැම්බර් 16 දින එක්සත් රාජධානියේ ද හුවමාරු වී තිබුණේ මේ අයුරින්. එය Scam සම්බන්ධ වෙබ් අඩවියක පළ කර තිබුණේ මෙලෙසින්.

මෙය Scam එකක් බවට පෙනී යන බැවින් අප මේ සම්බන්ධයෙන් ද කරුණු විමසා බැලීමක් සිදුකරනු ලැබුවා.

විද්යුත් තැපැල් වංචා

විද්‍යුත් තැපැල් වංචාකරුවන් විවිධ සබැඳි ඔස්සේ වින්දිතයින්ගෙන් සංවේදී දත්ත රැස් කිරීමට උපායශීලීව ක්‍රියාත්මක වන අවස්ථා රැසක් අපට මේ දිනවල දැකගනන්ට ලැබෙනවා.

ඔබ වෙබ් අඩවියකට පිවිසිය යුතු බව හෝ ඔබගේ ගිණුම වසා දමන බව ප්‍රකාශ කිරීම, හදිසිතාවේ හෝ රහස්‍යභාවයේ හැඟීමක් ඇති කිරීම, ඔබගේ ගෙවීම් තොරතුරු වලංගු නොවන බව ප්‍රකාශ කරන අතර, ගිණුම ක්‍රියාකාරීව තබා ගැනීම සඳහා ඔබ ඔබගේ ගිණුමට ලොග් වී තොරතුරු වෙනස් කළ යුතු බව දැන්වීම, පුද්ගලික තොරතුරු සාවද්‍ය බවත්, එය පිළිතුරු පණිවිඩයක් භාවිතයෙන් හෝ වෙබ් අඩවියක් හරහා දැනුම් දිය යුතු බවත්, ඉක්මනින් ඔවුන් සමඟ සම්බන්ධ වියයුතු බවත් ඔබට කියයි. 

ඇතැම් විට ඔබට මුදල් ලබාගත හැකි බව ප්‍රකාශ කරන අතර බැංකු ගිණුම් වැනි  වැනි සංවේදී දත්ත ඉල්ලා සිටී. නොමිලේ නිෂ්පාදන, කූපන් පත් හෝ මුදල් ලබා ගැනීම සඳහා ඔබෙන් පුද්ගලික දත්ත ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ. ඉතාම සූක්ෂම ලෙස රජයේ ආයතන ලෙස හෝ වගකිවයුතු පුද්ගලයින් එවන ලෙස ඊමේල් ඔබ වෙත එවා ඔබේ තොරතුරු සූක්ෂමව ලබාගැනීමට මෙහිදී උත්සහ කරනු ලබයි.

සැක සහිත මෙවැනි ඊමේල් පණිවිඩ ලැබෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් අදාළ නිල ආයතනවලින් පළමුව තොරතුරු තහවුරු කර ගැනීම අවශ්‍ය වන අතර කිසිසේත් එම ඊමේල් පණිවිඩ ඔස්සේ එවන සබැඳිවෙත පිවිසීම නොකළ යුතු ය. මූලාශ්‍ර 

අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචා වලින් ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න හා එවැනි වංචාවන් මොනවාද යන්න පිළිබඳ Factcrescndo Sri Lanka අප කණ්ඩායම හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමග එක්ව සමාජය දැනුවත් කරමින් සිදු කරණ වීඩියෝ නැරඹීම මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම භාවිතා කරමින් පළවන ව්‍යාජ ලිපියක් !

Fact Check By: Piumika Lakshani  

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *