මිනිසුන් අතුරුදන් වන අයුරු බවට දක්වමින් සංසරණය වන වීඩියෝවේ ඇත්ත නැත්ත !

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය පරිශීලකයින් බියට පත්කරන තැතිගැන්මට පත්කර සමාජ මාධ්‍ය සටහන්, වීඩියෝ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම අපට දකින්න ලැබෙනවා. එවැනි අවස්ථා විවිධ කණ්ඩායම්වල අරමුණු අනුව හුවමාරුවන බව ද ඇතැම්විට දකින්න ලැබෙනවා.

ඒ අනුව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මිනිසුන් අතුරුදන්වන ආකාරයේ වීඩියෝවක් සංසරණය වෙමින් පැවති බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

එකවර මිනිසුන් අතුරුදහන්වන ආකාරයේ අවස්ථා කිහිපයක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණේ මෙලෙසින්.

එම වීඩියෝව පළ කිරීමේදී “අදටත් නොවිසිඳුනු මිනිසුන් අතුරුදහන් වීමේ සිදුවීම් කිහිපයක්, පවතින විද්‍යාවට පිළිතුරු නැති, අධ්‍යාත්මික ලෝකය දැකිය හැකි අයට පමණක් පිළිතුරු ඇති සිදුවීම්” යනුවෙන් විවිධ වැකි සහිතවයි එම වීඩියෝව පළකර තිබුණේ. (Fb)

සැබවින් ම මෙම වීඩියෝ සත්‍ය ඒවා ද? අප මෙම වීඩියෝව සම්බන්ධයෙන් සිදුකළ කරුණූ පරීක්ෂාව මෙසේ ය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම රූප රාමු Reverse Search Image ඔස්සේ පරීක්ෂා කර බැලූ අතර ලොව පුරා බොහෝදෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝ හුවමාරුකරගෙන තිබුණා. 

එහිදී එම වීඩියෝ පුදුමසහගත ස්වරූපයක් ඇඟවෙන අයුරින් හුවමාරු කරගෙන තිබූ නමුත් නිසි මූලාශ්‍රයක් හෝ පිළිගත හැකි විදෙස් මාධ්‍යයක් විසින් මෙවැනි සිදුවීමක් සම්බන්ධ‍යෙන් තොරතුරු වාර්තා කිරීමක් සිදුකර තිබුණේ නෑ.

එනමුත් මෙම වීඩියෝව සම්බන්ධයෙන් වැඩිදුර කළ සොයා බැලීමේදී පෙනී ගියේ මෙම වීඩියෝ මුල් දර්ශණ ප්‍රමුඛ දේවගැති ඩේවිඩ් ජෙරමියා විසින් ආරම්භ කරන ලද ක්‍රිස්තියානි සංවිධානයක් වන ටර්නින් පොයින්ට් මිනිස්ට්‍රීස්(Turning Point Ministries) යන සංවිධානයේ වෙබ් අඩවියේ පළකර ඇති ආකාරයයි. 

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන වීඩියෝවලට අමතරව තවත් මිනිසුන් අතුරුදන්වන ආකාරයේ සිදුවීම් සහිත වීඩියෝ ගණනාවක් එම වෙබ් අඩවියේ හුවමාරු කර තිබුණේ මෙලෙසින්.

perhapstoday.org

මෙම වෙබ් අඩවිය තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී පෙනීගියේ මෙවැනි මිනිසුන් අතුරුදන් වීමේ වීඩියෝ ක්‍රිස්තියානි සංවිධානයක් වන ටර්නින් පොයින්ට් මිනිස්ට්‍රීස්හි ආගමික අරමුණු අරඹයා පළකර තිබෙන බවයි. එනම් ඔවුන්ගේ ආගමික සංවිධානය නඟා සිටුවා ගැනීමටත් ඔවුන්ගේ ආගමික පණිවිඩය කෙරෙහි ජනතාව ආකර්ශණය කර ගැනීමටත් මෙම වීඩියෝ දර්ශණ පළකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ වෙබ් අඩවියේ පැහැදිලි කිරීමක් සිදුකර තිබුණේ මෙලෙසින්.

එම වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට මෙවැනි වීඩියෝ වලට නරඹන්නන්ගේ අවධානය ආකර්ෂණය ලැබෙන බැවින් ඒ හරහා නරඹන්නන් තුළ කුතුහලයක් ඇති කර මෙම වෙබ් අඩවියට ඔවුන් ගෙන්වා ගනමින් ‘රැප්චර්’ නමැති ඔවුන්ගේ දේව පණිවිඩය බෙදා හැරීම සිදු කිරීම අරමුණු කෙරෙන බවයි.

‘රැප්චර්’ (The Rapture) ‘ඔසවා ගැනීම’ යන අර්ථය ඇති මෙම වචනය යනු ක්‍රිස්තියානි දේවධර්මයේ, විශේෂයෙන් ඇතැම් එවැන්ජලිකල්(Evangelical) සහ රෙපරමාදු කණ්ඩායම්(Protestant) විසින් දරන සංකල්පයකි. ඔවුන්ගේ විශ්වාසයට අනුව ජේසුස් වහන්සේ යම් දිනක පෘථිවියට නැවත පැමිණෙ බවත්, ඔහු සමගින් ජේසුස් වහන්සේගේ ඇදහිලිවන්තයන් නැවත ස්වර්ගයට ගෙන එනු ඇති බවට වන විශ්වාසයකි. මෙය දේවගැති ඩේවිඩ් ජෙරමියා විසින් ආරම්භ කරන ලද ක්‍රිස්තියානි සංවිධානය විසින් ප්‍රවර්ධනය කරන ලද ආගමික මතයයි.

දේවගැති ඩේවිඩ් ජෙරමියා විසින් ම ඔහුගේ ෆේස්බුක් ගිණුමේ 2023 සැප්තැම්බර් 19 වසරේදී පාසල් සිසුන් බස් රියෙන් අතුරුදන් වීමේ වීඩියෝව පළ කර ඇති ආකාරය ද අපට සොයාගත හැකි විය. (Archived|Fb))

එම වීඩියෝව පළ කිරීමේදී ඔහු තබා තිබූ සටහන මෙසේ ය.

“ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැඟිටීමේ දිනය හෝ පැය අපි නොදනිමු. නමුත් එක් දිනක් බිලියන ගණනක් ජනයා හදිසියේම පොළොවෙන් අතුරුදහන් වනු ඇත. ඔබ සූදානම්ද?”

ඒ අනුව ඔහු මෙය කුමන ස්ථානයක, කුමන රටක සිදු වූ සත්‍ය සිදුවීමක් ද යන්න සම්බන්ධයෙන් හෝ සඳහන් නොකරයි. එමෙන් ම මෙහි දැක්වෙන ආකරයේ පාසල් සිසුන් ගණනාවක් එකවර අතුරුදන් වීමක් සිදුවූයේ නම් එය විදෙස් මාධ්‍ය තුළ වඩාත් ආන්දෝලනාත්මක අයුරින් වාර්තාවන පුවතක් වනු ඇත.

එනමුත් විදෙස් මාධ්‍ය තුළ එවැනි වාර්තා කිරීම් සිදුවී නොතිබුණි.

එසේ ම සමාජ මාධ්‍යයේ සංසරණය වන මෙවැනි සිදුවීම් ඇතුළත් වීඩියොව වුව ද හොඳින් පරීක්ෂා කිරීමේදී එක් අවස්ථාවක ඇසෙන කාන්තා කෑ ගැසීම ඉන් පසු ඇති සෑම රූප රාමුවක ඇසෙන බව. ඒ තුළින් ම මෙම රූප රාමු සංස්කරණය කළ ඒවා බවට පෙනෙන්නට තිබෙනවා.

එමෙන් ම මෙම වීඩියෝ සම්බන්ධයෙන් තවත් කරුණු පරීක්ෂා කන්ඩායම් විසන් සිදු කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

ටර්නින් පොයින්ට් ක්‍රිස්තියානි සංවිධානයක් ප්‍රකාශකයෙකු වන ෂැනන් මෑන්, ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත මෙම වීඩියෝව සම්බන්ධයෙන් විමසීමේදී අදහස් දක්වා තිබුණේ, මෙම වීඩියෝ සැබෑ පටිගත කිරීම් නොව “CGI නාට්‍යකරණය (CGI dramatization)ක් බවයි. එනම් මින් අදහස් කරන්නේ මෙම වීඩියෝව පරිගණකයෙන් ජනනය කරන ලද රූප (CGI- Computer-Generated Imagery) භාවිතා කර ඇති බවයි. බයිබලයේ සඳහන් අනාවැකිවලට සහ ටර්නින් පොයින්ට් හි ඉගැන්වීම් මත පදනම්ව ‘රැප්චර්’ කෙබඳු විය හැකිදැයි පෙන්වීමට, පණිවිඩයක් ලබා දීමට විශේෂ ප්‍රයෝග සහ ප්‍රබන්ධ ඇතුළුත් කරමින් සාදන ලද නිරූපනයක් බවයි.

CGI (පරිගණකයෙන් ජනනය කරන ලද රූප) සැබෑ ජීවිතයේ රූගත කිරීමට නොහැකි ඉතා මිල අධික, භයානක හෝ කළ නොහැකි දර්ශන සඳහා පරිගණක මගින් නිර්මාණය කරන ලද ඩිජිටල් ග්‍රැෆික්ස් වේ. මේවා CGI චිත්‍රපට, වීඩියෝ ක්‍රීඩා සහ සජීවිකරණවල බහුලව භාවිතා වේ.

විදේශීය ජාතිකයෙකු විසින් ඉහත වීඩියෝවේ රූප රාමු එකින් එකට පෙන්වමින් මෙය සත්‍ය සිදුවීමක් නොවන බවට Youtube ඔස්සේ සිදු කළ පැහැදිලි කිරීමක් පහතින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

“අදටත් නොවිසිඳුනු මිනිසුන් අතුරුදහන් වීමේ සිදුවීම් කිහිපයක්” ලෙසට දක්වමින් මිනිසුන් අත්භූත ලෙස එකවර අතුරුදන් වීමේ සිදුවීම් කැමරාවල සටහන් වූ ආකාරය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව සත්‍ය අවස්ථා නොව පරිගණකයෙන් ජනනය කරන ලද වීඩියෝ බවයි. 

ටර්නින් පොයින්ට් නමැති ක්‍රිස්තියානි සංවිධානයක් විසින් ඔවුන්ගේ ආගමික සංකල්පයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙසින් මිනිසුන් ආකර්ශණය කර ගැනීමට  මෙම වීඩියෝ නිර්මාණය කර තිබේ.

Avatar

Title:මිනිසුන් අතුරුදන් වන අයුරු බවට දක්වමින් සංසරණය වන වීඩියෝවේ ඇත්ත නැත්ත !

Written By: Piumika Lakshani 

Result: False


Leave a Reply