ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් පසු එම ස්ථානයේ ඉදිකළ ආරක්ෂිත වැට ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය මැයි 11 වන දින පුද්ගයින් 22 කට මරු කැඳවමින් නුවරඑළිය – මහනුවර ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, රම්බොඩ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමේ ඛේදවාචකයක පුවතක් වාර්තා විය.

එම පුවතෙන් අනතුරුව එම අනතුර සිදු වූ ස්ථානයේ ආරක්ෂාව සඳහා ඉදිකළ තාවකාලික වැටක් බවට දක්වමින්, එය විවේචනය කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළ වී තිබූ බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

2025 මේ මස 15 වන දින මෙම  වීඩියෝව ටික් ටොක් ඔස්සේ පළ කර තිබුණේ, “නුවරඑළියේ අනතුරු බහුල ප්‍රදේශයේ ඉදිකළ ආරක්ෂක වැට” යනුවෙන්  සඳහන් සටහනක් ද සහිතවයි.

මෙම වීඩියෝවේ සඳහන් වන්නේ, දින කිහිපයකට පෙර සිදු වූ බස් රථ අනතුරෙන් පසුව මෙම වැට ඉදිකර ඇති බවයි. ආරක්ෂාව උදෙසා ඉනි වලින් වැටක් නිර්මාණය කර තිබීම මෙහි විවේචනයට ලක් කරනු ලබනවා.

TikTok|Archive

මෙය සත්‍ය බවට විශ්වාස කරමින් ඇතමුන් අදහස් දක්වා තිබූ අතර මෙම වීඩියෝව බොහෝදෙනා හුවමාරුකරගෙන ද තිබුණා. එබැවින් මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, රම්බොඩ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරෙන් පසුව එම ස්ථානයේ ඉදිකළ වැටක් ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

කොත්මලේ, රම්බොඩ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පසුගිය 11 වන දින අලුයම සිදුවූ අනතුරින් පුද්ගලයින් 22ක් මිය ගිය අතර පුද්ගලයින් 52ක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා. 

ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව එම ස්ථානයේ අනතුරෙන් පසුව තාවකාලික ඉනි වැටක් ඉදිකිරීමක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම් සිදුකර තිබේ ද යන්න පරීක්ෂා කළ නමුත් එවැනි පුවතක් වාර්තා වී ඇති ආකාරයක් දැකගත නොහැකි විය. 

එසේ නම් මෙම ස්ථානයේ එදින අනතුරෙන් පසුව ඉදිකළ බවට සඳහන් කරන ඉනි වැටෙහි වීඩියෝව කුමක් ද? අප ඒ සම්බන්ධයෙන් විමසා බැලීමක් කළා.

ඒ අනුව මෙම වීඩියෝවේ රූපරාමු Reverse Search Image ඔස්සේ,  අප පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ මෙම වීඩියෝව, 2023 දී එනම් මීට වසරකට  ඉහතදී නෝට්න් පාලම ප්‍රදේශයේ සිදු වූ අනතුරෙන් ඊට දින කිහිපයකට පසු ඉදිකරන ලද තාවකාලික ආරක්ෂක වැට විවේචනය කරමින්  පළකල වීඩියෝවක් බවයි. එම වීඩියෝව මෙතනින්.

ඒ අනුව 2023 වසරේ පෙබරවාරි 20 වන දින ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් පෞද්ගලික බස් රථයක් නෝට්න්බ්‍රිජ් – දියගල ප්‍රධාන මාර්ගයේ හුළංවංගුව නැමති ස්ථානයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 225 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබුණා.

එම අනතුරෙන් පසුව ඉදිකළ තාවකාලික වැට මෙලෙස විවේචනයට ලක් කරමින් එම අවදියේ මෙම වීඩියෝව පළකර තිබෙනවා.

ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථය අනතුරට ලක් වූ ස්ථානයේ වත්මන් තත්වය

අප නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරිය අමතා ගැරඬි ඇල්ල ප්‍රදේශයේ අනතුර සිදු වූ ස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසූ අතර ඔවුන් සඳහන් කළේ, ආරක්ෂාව සඳහා එම ප්‍රදේශයේ තාවකාලික වැටක් ඉදිකර ඇති බවත්, එම ස්ථානයේ කිසිදු කැණීමක් සිදු කර නොමැති බවත් ය.

අනතුර සම්බන්ධයෙන් අද දක්වාම පරීක්ෂණ පැවැත්වෙන බැවින්, එම ප්‍රදේශයට කිසිදු වෙනසක් සිදු කළ නොහැකි බවත්, එම ප්‍රදේශය නැරඹීමට පැමිණෙන පුද්ගලයින්ට අනතුරු ඇඟවීම සඳහා කණු සහිත තාවකාලික වැටක් ඉදිකර ඇති බවත් ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා.

ගැරඬි ඇල්ල ප්‍රදේශයේ ස්ථිර ආරක්ෂක වැටක් සවි කිරීමට සැලසුම් කරමින් සිටින බව ද නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරනු ලැබුවා.

නොටන් පාලම අසල 2023 වසරේ අනතුර සිදුවූ ස්ථානයේ වත්මන් තත්ත්වය

මේ බව තහවුරු කර ගැනීම සඳහා අපි නෝටන් පාලම ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු සම්බන්ධ කර ගත් අතර, ඔහු සඳහන් කළේ, එම ප්‍රදේශයේ ස්ථිර ආරක්ෂක වැටක් ඉදිකර ඇති බවයි.

එම ස්ථානයේ ඡායාරූපයක් අපට එවන ලෙස අපි ඔහුගෙන් ඉල්ලා ඇති අතර, එය ලැබුණු වහාම මෙම ලිපියට උඩුගත කිරීමට අප බලාපොරොත්තු වනවා.

ඒ අනුව, අපගේ විමර්ශනයට අනුව, ගැරඬි ඇල්ල ප්‍රදේශයේ ආරක්ෂක වැටක් ලෙස සංසරණය වන වීඩියෝ දර්ශන ඇත්ත වශයෙන්ම 2023 වසරේදී දී නොටන් පාලම ප්‍රදේශයේ ඉදිකරන ලද තාවකාලික වැටක් බව පැහැදිලි වනවා. 

මධ්‍ය කඳුකරයේ අනතුරු බහුල ස්ථානවල මාර්ග දෙපස ආරක්ෂිත වැටවල් ඉදිකිරීම

මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල අවදානම් සහිත ස්ථානවල මාර්ග දෙපස ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කරන්නේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් කිලෝමීටර් 500ක පමණ එවැනි ස්ථාන ඇති බවයි.

ඉන් කිලෝමීටර් 15ක ආරක්ෂිත වැට ඉදිකිරීම අවසන් කර ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරනු ලබනවා.

පසුගිය කාලයේ රිය අනතුරු සිදුවූ ප්‍රදේශ  කෙරෙහි මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු කරනු ඇති අතර මේ යටතේ මහනුවර , මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කවල මාර්ගවල අවදානම් ස්ථානවලද ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ, කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරෙන් පසුව නුවර එළිය මාර්ගයේ ඉදිකළ ආරක්ෂක වැටක් ලෙස සංසරණය වන වීඩියෝ දර්ශන ඇත්ත වශයෙන්ම 2023 දී නොටන් පාලම ප්‍රදේශයේ ඉදිකරන ලද තාවකාලික වැටක් බවයි.

Avatar

Title:ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් පසු එම ස්ථානයේ ඉදිකළ ආරක්ෂිත වැට ද?

Written By: Piumika Lakshani  

Result: False


Leave a Reply