දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සෙවනගල සීනි කර්මාන්තශාලාව සම්බන්ධයෙන් විවිධ වකාවානුවල කතාබහට ලක්වන අතර මේ දිනවලත් මෙම සීනි කර්මාන්තශාලාව වැසී යෑමේ අවදානමක් ඇති බවට තොරතුරු වාර්තා වී තිබූ බැවින් අප ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ දැඩි අවදානමක.. සීනි හදන්න නොගෙන උක් අස්වනු කුණුවෙයි”යනුවෙන් සඳහන් කරමින් සෙනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් පවතින බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණේ මෙලෙසින්.
“ ලුණුවලට වගේ සීනිවලටත් බඩු හරි..සෙවණගල වැඩ නවතී” යනුවෙන් ද සඳහන් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.
“සෙවණගල සීනි කර්මාන්තශාලාව උක් ගොවීන්ගෙන් සීනි මිලදී ගැනීම නැවැත් වූ බවට ද සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසී යාමේ අවදානමක් පවතින බවට මෙරට ප්‍රධාන මාධ්‍ය ද වාර්තා කර තිබූ අතර එම පුවත්වල සඳහන් වුණේ, අක්‍රමවත් පරිපාලනය සහ කළමණාකරණ දුර්වලතා නිසා සෙවනගල සීනී කර්මාන්ත ශාලාව වැසී යාමේ දැඩි අවධානමක් මතුවී ඇති බව උක්වගා කරුවන් පවසන බවයි.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට පත් කර ඇති ප්‍රධාන නිලධාරීන් කිසිවෙකුට මෙම කර්මාන්තය සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැති බවට ද ඔවුන් සඳහන් කළ බවයි මෙම පුවත්වල වාර්තා කර ඇත්තේ.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආශ්‍රිතව අක්කර 25,000කට අධික ප්‍රමාණයක උක් වගා කරන අතර ගොවීන් චෝදනා කරන්නේ, සෙවනගල සීනි කර්මාන්ත ශාලාවෙන් සීනි නිශ්පාදනය කිරීම සඳහා උක් ලබා නොගන්නා බවත් ඒ හේතුවෙන් ඇතැම් ස්ථානවල උක් අස්වනු ගොඩ ගසා ඇති බවත් ය.
මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
ගොවි සංගම් සහ ගොවීන්
ගොවි සංගම් පවසන්නේ, මෙම ආයතනයේ යන්ත්‍රෝපකරණ මෙවලම් පසුගිය මැයි 21 වන දා සිට අක්‍රිය වී ඇති බවත් ආයතනය පාඩු ලබන බව පවසමින් තම අස්වනු මිලට ගැනීම ප්‍රතික්ෂේප කරන බවයි. මෙම තත්වය මත සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසී යාමේ අවදානමක් පවතින බවයි ගොවි සංගම් සහ ගොවීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සමාජ මාධ්‍ය තුල දැනට සංසරණය වන “සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් ” පුවත යම් කණ්ඩායමක් විසින් ප්‍රචාරණය කරන හිතළුවක් වන අතර එම පුවත අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
ලංකා සීනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡා කොට නොමැති බව ද මෙම නිවේදනයේ සඳහන් කරනු ලබනවා. මෙම පුවත තුළ අඩංගු උක් අස්වැන්න මිළදී නොගන්නා බවට පළවන කරුණුද සාවද්‍ය වන අතර දැනට ගොවීන් විසින් ලබා දෙන අස්වැන්න කර්‌මාන්ත ශාලාව මිළදී ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යංශය සඳහන් කරනු ලබන්නේ.
පසුගිය රජය යටතේ පාඩු ලබමින් තිබුණු මෙම ආයතනය නව පරිපාලනය මගින් නව අළෙවි සැලස්මක් යටතේ පාඩුව අවම කරගනිමින් සිය මෙහෙයුම් කටයුතු ඉදිරියටත් කරගෙන යන අතර මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබෙන බව ද එහි සඳහන්.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ සෙවණගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් පවතින බවට හුවමාරුවන තොරතුරු ප්‍රතික්ෂේප කරන බවයි.
අමාත්‍යංශය මඟින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු ම උපුටා දක්වමින් ඔහු මේ බව සඳහන් කරනු ලබනවා.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවෙන් සීනි නිශ්පාදනය කිරීම සඳහා උක් ලබා නොගන්නා බවට උක් ගොවීන් චෝදනා කරන බවට පුවත්වල වාර්තා වන නමුත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය සහ එහි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ, උක් අස්වැන්න මිළදී නොගන්නා බවට පළවන කරුණුද සාවද්‍ය වන බවත්, දැනට ගොවීන් විසින් ලබා දෙන අස්වැන්න කර්‌මාන්ත ශාලාව මිළදී ගැනීමට කටයුතු කරන බවත් ය.
එබැවින් මේ සම්බන්ධයෙන් අප සෙවනගල ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් විමසීමක් කරනු ලැබුවා.
සෙවනගල ප්‍රාදේශීය වාර්තාකරුවන්
ඔවුන් සඳහන් කරන්නේ, පසුගිය කාලයේ සෙවනගල කර්මාන්ත ශාලාවේ යන්ත්‍රයක් කැඩී තිබීම හේතුවෙන් උක් මිලදී ගැනීම සිදු වී නොමැති බවයි. නමුත් අද (30) දිනයේ නැවත උක් මිලදී ගැනීමට සෙවනගල කර්මාන්තශාලාව කටයුතු කරන බවට ආරංචියක් පවතින බවට ඔවුන් සඳහන් කරනවා.
අමාත්‍යංශය මෙහි ගැටලුවක් ඇති බව පෙන්වීමට අකමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අද දිනයේ ද (30) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඔවුන් සඳහන් කළ අතර ඒ පිළිබඳව ද වැඩිදුර තොරතුරු ලද විට මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තුවනවා.
සෙවණගල සීනි කර්මාන්තශාලාව
1986 වසරේ ලංකා සීනි සමාගමට අනුබද්ධව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නේ, මෙරට සීනි අවශ්‍යතාව සීයයට සීයයක් දේශීයව සපුරා ගැනීමේ අරමුණින්.
නමුත් 1957 වසරේ ආරම්භ කෙරුණු කන්තලේ සීනී කර්මාන්ත ශාලාවේ සිදු වූ විවිධ කඩා වැටීම් සමග සෙවනගල සීනී කර්මාන්ත ශාලාවද අඩපණ වුණා අවස්ථා රැසකදී විවිධ ගැටලු හේතුවෙන් විටින් විට නිෂ්පාදන ක්‍රියාවලිය නවතා දමන සෙවනගල සීනි කම්හල පසුගිය වසර කිහිපය පුරා සිය නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන්නේ මෙරට සමස්ථ සීනි අවශ්‍යතාවයෙන් සියයට 10ක ප්‍රමාණයක් සපුරාලමින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ දැඩි අවදානමක් පවතිනවා ද?
Written By: Piumika LakshaniResult: Insight
