ඉහළ දැමූ මැති ඇමතිවරුන්ගේ ආහාර මිල නැවත පහත හෙළලාද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය වේදිකාවන් මෙන් ම ඇතැම් අවස්ථාවල ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, තොරතුරු නොමග යන අන්දමින් වාර්තා කරනු ලබනවා. පාර්ලිමේන්තු භෝජනාගාරයේ සිදු කළ ආහාරවල මිල සංශෝධනයක් සම්බන්ධයෙන් පළ වන සටහන් වල නිවරැදි කරුණු සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මැතිසබේ කෑම නව මිල ගණන් 1 වැනිදා සිට ඉහළ දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණා.

Facebook | Archived Link

“මැතිසබේ කෑම මිලත් බස්සලා” යනුවෙන් ශීර්ෂ පාඨය සමගින් ඇතැම් පුවත් වෙබ් අඩවි ද, මේ පිළිබඳ වාර්තා කර තිබුණේ මෙලසින්.

Web Link |Archived Link

මැති, ඇමතිවරුන්ට නියම කර තිබූ ආහාර මිල පහත හෙළා ඇති බවට හඟවමින් වාර්තා කළ තව ත්, ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවක් පහතින්.

Facebook | Archived Link

මෙම සටහන් වලින් පෙන්වා දී තිබුණේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සඳහා අය කරන ආහාර මිල ගණන් පහළ දමා ඇති බවටයි. මෙහි කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් මෙම පුවත වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳ පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, “පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩු කරයි” යන තේමා පාඨයෙන් බොහෝ ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇති බවත්, මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන්ගේ පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ලබා ගන්නා ආහාර මිල අඩු කළ බවට දක්වා නොමැති බව ත්ය.  ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

එමෙන් ම ඉහත සටහන් සඳහා දක්වා ඇති පුවත් සබැඳි(Link) පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, එහි ශීර්ෂ පාඨය මැතිසබේ ආහාර පාන මිල අඩු කළ බවට දැක්වූව ද, ලිපියේ අන්තර්ගතයේ සඳහන් වන්නේ, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත ස‍ංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇති බවයි. එම මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු ප්‍රතිශෝධනය කිරීම

මේ පිළිබඳව පසුගිය මැයි 26 වන දා පාර්ලිමේන්තුව විසින් මාධ්‍ය  නිවේදනයක් නිකුත් කර තිබුණු අතර එහි සඳහන් වී තිබුණේ, 2025 මැයි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු ප්‍රතිශෝධනය කිරීමට ගනු ලැබූ තීරණය නැවත සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් පසුගිය මැයි 23 වැනිදා පවත්වා ඇති බවයි.

එම කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් පසුගිය ජූනි 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිශෝධනය කිරීමට තීරණය කළ බව ත්, ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2500ක් වන පරිදි අයකිරීමට තීරණය කර ඇති බවයි දක්වා තිබුණේ.

මෙම මිල ගණන් ප්‍රතිශෝධනය කිරීම, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සපයනු ලබන ආහාරවල පිරිවැය ආවරණය කිරීම සම්බන්ධව භාණ්ඩාගාරය විසින් කරනු ලබන නිර්දේශ පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරනු ලබන ඉල්ලීම මත වසර තුනකට වරක් ගනු ලබන තීරණයක් බව ත්, මෙම ගෘහකාරක සභාව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයන්ගෙන් සංයුක්ත වන කාරක සභාවක් බව ත් එහි සඳහන්.

ආහාර සඳහා වන ගාස්තුව අඩු නොවන ඛාණ්ඩ

එමෙන් ම පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් වැඩිදුරටත් තීරණය කර ඇති බව ත්, එහි සඳහන් වේ. එම නිවේදනය මෙතනින්.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කළ ඉල්ලීම සලකා බැලේ

කෙසේ වෙතත් අද(21) දිනයේදී පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම අද දින කාරක සභාවේදී දීර්ඝ ලෙස සලකා බැලූ බව ත්, ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 3000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2000ක් වශයෙන් අය කිරීමට මෙහිදී තීරණය කළ බවයි. එමෙන් ම මෙම නව මිල ගණන් ජූලි 01 වන දා සිට ක්‍රියාත්මක වන බවයි. එම නිවේදනය මෙතනින්.

පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන

මෙහිදී ද, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමතිවරුන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ලබා ගන්නා ආහාර පාන සඳහා මිල අඩු කිරීමක් දක්වා නොතිබූ බැවින් අප මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන එම්. ජයලත් පෙරේරා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමතිවරුන්ගේ පාර්ලිමේන්තුවේ ආහාර මිල ගණන් වල වෙනසක් නොමැති බව ත්, එම මිඉ වැඩි කිරීම අඩු කර නොමැති බවයි.

පසුගිය මැයි 26 වන දා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් පසුගිය ජූනි 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2500ක් වන පරිදි

 පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව විසින් ඉහළ දැමූ අතර පසුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් මෙය සංශෝධනය කරන ලෙස සිදු කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අද(23) දිනයේ එලෙසින් විධායක ශ්‍රේණියේ  නිලධාරියෙකු සඳහා මාසිකව අය කර ගැනීමට තීරණය කර තිබූ මුදල රුපියල් 1000කින් අඩු කිරීම එනම් සම්පූර්ණ රුපියල් 3000ක් වන ලෙස ත්, සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රු.2500ක් අය කිරීමට තිබූ මුදල රු.500කින් අඩු කිරීම එනම් සම්පූර්ණ මුදල රුපියල් 2000ක් වශයෙන් සංශෝධනය කළ බවයි ඔහු පැහැදිලි කළේ.

පසුගිය මැයි 26 වන දා මෙම ඛාණ්ඩයේ ආහාර මිල ඉහළ දැමීමට ගත් තීරණයට පෙර පැවතියේ පාර්ලිමේන්තු සේවකයින්ගේ නම් මාසිකව රුපියල් 1000 ක් සහ පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ මාසික ආහාර සඳහා බිල රුපියල් 1500ක් වන පරිදි වේ. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් මෙතනින්.

පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන ආහාර වේල්වල මිල ගණන්

පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන ආහාර වේල්වල මිල ගණන් ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරකසභාව පසුගිය ජනවාරි 23 දා තීරණය කර තිබුණා.

ඒ් එතෙක් පැවති රුපියල් 100ක් වශයෙන් පැවති උදෑසන ආහාර වේලක මිල රුපියල් 600ක් දක්වාත්, රුපියල් 300ක් වශයෙන් පැවති දිවා ආහාර වේලක මිල රුපියල් 1,200 දක්වාත්, රුපියල් 50ක් වශයෙන් පැවති තේ පැන් සඳහා වන ගාස්තුව රුපියල් 200ක් දක්වාත් ඉහළ දමමින්.

ඒ් අනුව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දමා තිබූ අතර එය පසුගිය පෙබරවාරි මස සිටි ක්‍රියාත්මක කෙරිණි. කෙසේවෙතත් මෙම ආහාර වේල් සඳහා පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කරන ගාස්තු ඉහළ දැමීමේ තීරණයක් එම රැස්වීමේදී ගෙන නොතිබුණි. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්Archived Link 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට  පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ලබාදෙන ආහාර වේල්වල ඉහළ දැමූ මිළ ගණන් නැවක පහළ දමා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබූ ලිපි නොමග යන සුළු බවයි. එම මිල පහත දැමීම සිදු කර තිබුණේ, පසුගිය මස පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු ප්‍රතිශෝධනයේදී වැඩි කළ මුදල අඩු කරන ලෙස එම සාමාජිකයින්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකාය. එය වසර 3කට වරක් සිදු වන මිල ඉහළ දැමීමක් වේ. කෙසේවෙතත් පසුගිය පෙබරවාරි මස 01 වන දා සිට දිනකට රු. 2000කින් ඉහළ දැමූ මන්ත්‍රී, ඇමති ආහාර වේල්වල මිල ගණන් මෙතෙක් නොවෙනස්ව පවතී.

Avatar

Title:ඉහළ දැමූ මැති ඇමතිවරුන්ගේ ආහාර මිල නැවත පහත හෙළලාද?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply