දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඉතා ශීඝ්‍රයෙන් වැඩිවෙමින් වෙමින් පවතින පිළිකා රෝගය නිසා ජීවිත අහිමිවන පිරිස අතිවිශාලයි. තම සමීපතමයෙකුට හෝ දන්නා කියන කෙනෙකුට පිළිකාවක් වැළඳී ඇත්නම් රෝගියා වටා සිටින සියලුදෙනාගේම අපේක්ෂාව කුමන හෝ ප්‍රතිකාර ක්‍රමයකින් රෝගියා සුව කර ගැනීමයි. සමාජ මාධ්‍ය වේදිකාවල ද පිළිකා සඳහා ගුණදායක බව කියමින් බොහෝ ආහාර පාන පිළිබඳ සටහන් සංසරණය වන අතර ඒවා බහුතරය වෛද්‍ය විද්‍යාත්මකව සනාථ නොකරන ලද නොමග යවන සුළු ආකාරයේ සටහන් ය. මේ එවැනි සටහනක් පිළිබඳ සිදු කළ සොයා බැලීමක්
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඇතිවන්නට පෙර , නැති කර ගන්න. සමීපතමයින් ඇතුළු සියල්ලන් දැනුවත් කරන්න යනුවෙන් සඳහන් කරමින් පසුගිය ජුලි 9 වැනිදා පළ කර ඇති මෙම සමාජ මාධ්‍ය සටහන පළ කරමින් අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයා පවසන්නේ, තමන් පිළිකා රෝගයෙන් මිදුණු හැටි යනුවෙනි. මෙම සටහනට අනුව පිළිකාව යනු විටමින් ඌණතාවක් නිසා හටගන්නා රෝගයක් බවත් එකී ඌණතාව මගහරවා ගැනීමට මෙම සටහනේ සඳහන් උපදෙස් පරිදි අහාරපාන ලබා ගන්නා ලෙසට උපදෙස් ලබාදීමක් සිදු කර ඇත. මෙම සටහනේ අන්තර්ගතය දෙස අවධානය යොමු කිරීමේදී කීමෝ ප්‍රතිකාරයට පෙර ගත යුතු ආහාර ඇතුළු ආහාර පාන වට්ටෝරු රැසක් පිළිබඳ විස්තරාත්මකව තොරතුරු සඳහන් කර තිබේ.
අදාළ ෆේස්බුක් සටහනේ පිළිකා රෝගයෙන් සුවවීම සඳහා ගතයුතු ආහාර ඇතුළත් අනත්ර්ගතය මෙසේයි.
බොහෝ පිරිසක් මෙහි අන්තර්ගතය සත්‍ය යැයි සිතා උපදෙස් සහිත මෙම සටහන සිය ගිණුම් වෙත හුවමාරු කරගෙන තිබුණේ මේ අයුරිනි.
ඒ අනුව මෙහි සඳහන් පරිදි සත්‍ය ලෙසම මෙහි සඳහන් උපදෙස් පිළිපැදීමෙන් පිළිකාවෙන් සුවය ලැබිය හැකි ද යන්න පිළිබඳව අපි සොයා බැලුවෙමු.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
එ් අනුව මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අහාර පාන භාවිත කිරීමෙන් පිළිකාවලින් සුවවිය හැකි බවට වන විද්‍යාත්මක් පර්යේෂණ තිබේ ද යන්න පිළිබදව සොයා බැලීමට පියවර ගත්තේ ය.
සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි සකසන ලද මඤ්ඤොක්කා යුෂ භාවිතයෙන් පිළිකා සුව වන බවට විද්‍යාත්මක පර්යේෂණ තිබේ ද යන්න පිළිබඳව සොයා බැලී ය. ඒ අනුව මෑතකදී National library of Medicine හි පළ වූ පර්යේෂණ වාර්තාවක දැක්වෙන්නේ, මඤ්ඤොක්කා කොළවල අඩංගු ජෛව සක්‍රිය සංයෝගයට, මොලයේ පිළිකා වර්ගයක් වන Glioblastoma සෛලවලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවක් පෙන්නුම් කරන බවයි.
මෙම අධ්‍යනය සඳහා යොදා ගෙන ඇත්තේ, Glioblastoma සෛලවලට (LN229) එරෙහිව මඤ්ඤොක්කා සයනයිඩ් සාරයේ (CCE) යයි. කෙසේ වෙතත් මෙය පර්යේෂණාගාර මට්ටමේ පර්යේෂණයක් පමණක් වන අතර තවදුරටත් මේ පිළිබඳ පර්යේෂණ සිදු කිරීම භාවිත කරන මාත්‍රාව පිළිබඳව මෙන්ම අතුරු පිළිබඳ තහවුරු කර ගැනීම අවශ්‍ය බව ද එහි සඳහන් ය. විස්තර මෙතැනින්
Indonesian Journal of Medical Chemistry and Bioinformatics හි පළ කර ඇති ඉන්දුනීසියානු පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලද තවත් පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ, මඤ්ඤොක්කා පොතු ආශ්‍රිතව සකසන සාරයකින් ගැබ්ගෙල පිළිකා සෛලවලට විෂාත්මක ලෙස ප්‍රතික්‍රියා කරන බවයි. මෙම පර්යේෂණයේදී මඤ්ඤොක්කා මගින් ethanol සහ ethyl acetate වැනි ද්‍රාවකවලින් සාරයන් දෙකක් සකස් කර ඇති අතර එම සාරයන් දෙකෙන් අඩංගු tannin, flavonoid, alkaloid සහ triterpenoid වැනි සෞඛ්‍යට හිතකර ජෛව සංයෝග හඳුනාගෙන ඇති බවත් සඳහන් ය.
කෙසේ වෙතත් මෙම අධ්‍යයනය පර්යේෂණාගාර මට්ටමේ අධ්‍යනයක් පමණක් වන අතර සත්ත්වයින් හෝ මිනිසුන් යොදාගෙන ඉදිරියට ගිය හොත් පමණක් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි බවත්, වෛද්‍ය උපදෙස් නැතිව මෙවැනි සාර භාවිතය අවදානම් විය හැකි බවත් සඳහන් කර තිබේ. විස්තර මෙතැනින්
ඇමරිකානු පිළිකා සංගමයට අනුව, ‘පිළිකා වැළැක්වීමට හෝ ප්‍රතිකාර කිරීමට මඤ්ඤොක්කා ඵලදායී බවට කිව හැකි විද්‍යාත්මක සාක්ෂි නොමැත.
මේ අතර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අනුරුද්ධ අබේගුණසේකර මඤ්ඤොක්කා පුරස්ථි පිළිකා පාලනයට උපකාරී වේද? යනුවෙන් ResearchGate හි පළ කරන ලද ලිපියක දැක්වෙන්නේ, බොහෝ රටවල් පුරස්ථි ග්‍රන්ථියේ සහ මුත්‍රාශයේ පිළිකා සඳහා ප්‍රතිකාරයක් ලෙස මඤ්ඤොක්කා යොදා ගන්නා ආකාරයක් සමාජයේ දක්නට ඇති බවයි. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවල ක්‍රියාකාරීත්වය මනිනු ලබන්නේ, PSA රුධිර පරීක්ෂාවෙන් වන අතර ඔහුගේ ලිපියට අනුව පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් ඇති රෝගියෙකු දීර්ඝකාලීනව මඤ්ඤොක්කා තම්බා ආහාරයට ගත්ත ද ඔහුගේ PSA මට්ටම ඉහළ යාම නතර වීමක් හෝ අඩුවීමක් සිදුව නොමැත. අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පිළිකා වැළැක්වීම සඳහා මඤ්ඤොක්කා ආහාරයට ගැනීම විද්‍යාත්මකව තහවුරු කරන ලද ඵලදායි පිළියමක් නොවන බව බවයි.
මේ අනුව මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පිළිකා සුව වන බවට කිසිදු පිළිගත හැකි අධ්‍යනයක් මගින් මේ වනතෙක් තහවුරු කර නොමැති අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ මඤ්ඤොක්කා අල ජූස් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් පිළිකා සුව වන බවට වන විද්‍යාත්මක පර්යේෂණ හෝ සායකින පරීක්ෂණ කිසිවක් ද නොමැත.
අනතුරුව සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් පිළිකාවලින් සුව වන්නේ ද යන්න පිළිබඳ සොයා බැලිණ. එහිදී National library of Medicine හි පළ කරන ලද අධ්‍යන වාර්තාවක දැක්වෙන්නේ, මුරුංගා කොළ, පොතු සහ බීජවලින් ලබා ගන්නා ලද සාරයන් Breast cancer (MDA-MB-231) සහ Colorectal cancer (HCT-8) සෛල මත පරීක්ෂා කළ විට මුරුංගා කොළ, පොතු පිළිකා සෛලවලට එරෙහි බලපෑම් ඇති කළ බවයි. එහි දැක්වෙන්නේ, සෞදි අරාබියේ වගා කරන ලද මුරුංගා ගසේ කොටස් යොදා ගැනීමේන කරන ලද මෙම අධ්‍යනයෙන් හෙළි වී ඇත්තේ, මෙම සාරයන් Breast සහ Colorectal පිළිකා පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියා කරන බවයි. කෙසේ වෙත්ත මෙය පර්යේෂණාගාර මට්ටමේ පිළිකා රෝගීන් යොදා ගනිමින් සිදුකරන ලද පර්යේෂණයක් නොවේ. ඒ අනුව මෙම මුරුංගා ශාඛයේ කොටස්වලින් පිළිකා සුව වන බව කිව නොහැක.
මුරුංගා ඔබට හොඳ ඇයි? ශීර්ෂය යටතේ MedicalNewsToday වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියක දැක්වෙන්නේ, මුරුංගාවල පිළිකා වැළැක්වීමට උපකාරී වන ගුණාංග අඩංගු බවයි. එහි පිළිකා සෛල වර්ධනය බාල කරන සංයෝගයක් වන niazimicin අඩංගු බව එහි සඳහන් ය. ඇතැම් විද්‍යාඥයින්ට අනුව, මුරුංගා කොළ සාරය, පොතු සහ ශාකයේ අනෙකුත් කොටස්වල පිළිකා සෛල විනාශ කළ හැකි ගුණාංග තිබිය හැකි බව එහි සඳහන් ය. කෙසේ වෙතත්, එය සෛලීය මට්ටමින් ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමට වඩාත් සවිස්තරාත්මක පර්යේෂණ අවශ්‍ය බව ද එහි සඳහන් ය.
ScienceDirect හි පළ කරන ලද තවත් පර්යේෂණයකින් පෙන්නුම් කරන්නේ, මුරුංගා කොළ සාරය මගින් පෙනහළු පිළිකා (A549) සෛල වර්ධනය නවතා වර්ධනය බාල කරන බව හෙළි වී ඇති බවයි. කෙසේ වෙතත් මෙය ද පර්යේෂණාගාර මට්ටමේ සිදු කරන ලද අධ්‍යනයක් වන අතර පිළිකා රෝගීන් යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යනයක් නොවේ. ඒ අනුව සඳහන් කළ හැක්කේ, මුරුංගා කොළ හෝ සමාජ මාධ්‍ය සටහනේ සඳහන් අකාරයට සකසා ගත් යුෂ පාලනය කිරීමෙන් පිළිකා සුව වන බවට පිළිගත හැකි සාධක නොමැති බවයි.
සමාජ මාධ්‍ය සටහනේ සඳහන් තවත් උපදෙසක් වන රතු හාල් පමණක් ආහාරයට ගැනීමෙන් පිළිකා සුවවනවාය යන්න සම්බන්ධයෙන් සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණ තිබේද යන්න පිළිබඳව අප සොයා බැලුවේ ය. National library of Medicine පළ කරන ලද එක් පර්යේෂණ වාර්තාවක් හමු වූ අතර එය Chinese Red Yeast Rice යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යනයකි. එම අධ්‍යනයට අනුව Chinese Red Yeast Rice වල ඇති Monacolin K පමණක් නොව වෙනත් රසායනික පදාර්ථද මහා බඩවැලේ පිළිකා සෛලවල වර්ධනය අවහිර කිරීමට උපකාරීවන බව සඳහන් ය.
මේ අතර මෙහි සඳහන් පරිදි දෙළුම් ආහාරයට ගැනීමෙන් පිළිකා රෝගයෙන් සුව විය හැකි බවට වන පර්යේෂණ සිදුකළ පර්යේෂණ වාර්තා තිබේ ද යන්න පිළිබඳව අප කරුණු සොයා බැලී ය. National library of Medicine හි පළ කරන ලද වාර්තාවක දැක්වෙන්නේ, විශාල ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඇති දෙළුම් පලතුර Anthocyanins, ellagitannins, සහ tannins වැනි සෞඛ්‍යයට හිතකර රසායනිකයන් අඩංගු වේ. තව ද දෙළුම් පිළිකා වැළැක්වීමේ සහ ප්‍රතිකාර සඳහා ඉතා භාවිත කළ හැකි ස්වාභාවික විකල්පයක් ලෙස යොදා ගත හැකි බව එහි සඳහන් ය. අප මීට පෙර සිදුකරන ලද කරණු විමසා බැලීමක්. දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් හුවමාරු වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!
මෙම සමාජ මාධ්‍ය සටහනේ සඳහන් පළතුරු, එළවළු, ඇට වර්ග මිනිස් ශරීරය විවිධාකාර පෝෂණයන් ලබා දෙන නමුත් ඉහත පරිදි අදාළ සමාජ මාධ්‍ය සටහනේ සඳහන් පරිදි සකසන ලද ආහාර පාන අනුභව කිරීමෙන් පිළිකාවලින් සම්පූර්ණයෙන් සුව වන බවට කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් හෙළි වී නොමැත.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක මහතා
බොහෝ පිරිසක් සත්‍ය යැයි සිතා හුවමාරු ගෙන ගෙන ඇති පිළිකාව සුව කර ගත හැකි බව කියන අදාළ ෆේස්බුක් සටහනේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් අප කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක මහතාගෙන් විමසීමක් කළේ ය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පැවසුවේ, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කිසියම් පිළිකා රෝගියෙකු එම උපදෙස් පිළිපැද පිළිකා සුව කරගැනීමට උත්සාහ කරන්නේ නම්, එය සම්පූර්ණයෙන්ම වැරදිසහගත සහ හානිකර බවයි. තව ද විවිධ වර්ගයේ පිළිකා රැසක් ඇති බව සඳහන් කළ වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේ, විවිධ පිිළිකා සඳහා විවිධ හේතු සාධක බලපාන බවත් ඒ අනුව ලබාදෙන ප්‍රතිකාර ද විවිධ සාධක මත රඳා පවතින බවයි.
සමාජ මාධ්‍ය සටහනේ සඳහන් ඇතැම් ආහාර ඇතැම් අවස්ථාවලදී ගුණදායක නමුත් මෙහි සඳහන් ක්‍රමයන්ට ඇතැම් ආහාර පාන ලබා ගත හොත් එය ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන බව ද වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක මහතා අවධාරණය කළේ ය.
වෛද්‍යවරයා සිය අදහස් දැක්වීමේදී වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් පිළිකා සුව කළ හැකි නමුත් ඇතැම් පිළිකා සුව කළ නොහැකි බවත් ඇතැම් පිළිකා වර්ධනය පාලනය කළ හැකි ඒවා බවත් එය විවිධ සාධක මත රඳා පවත බවත් ය.
ජාතික පිළිකා මර්ධන ඒකකය
මොවුන් පෙන්වා දෙන්නේ, යම්කිසි පිළිකාවක් සෑදී ඇති රෝගියෙකුට ඔවුන්ගේ පිළිකා තත්ත්වය, පැතිරී ඇති ප්‍රමාණය, කුමන පිළිකාවක් ද යන්න සහ අනෙකුත් සාධක මත වෛද්‍ය නිර්දේශ යටතේ ආහාර ලබා ගත යුතු බවයි. පිළිකා, රෝගීන්ගෙන් රෝගීයාට වෙනස් වන බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රතිකාර ක්‍රම හෝ ආහාර වර්ග හෝ සීමාවක් නොදැන පිළිකාවලින් සුව වීමට සිතා අනුභව නොකළ යුතු බව ත්, සෑම විටම වෛද්‍ය නිර්දේශය මත කටයුතු කරන ලෙස ත්, ඔවුන් අදහස් පළකරනවා.
Also Read:
පිළිකා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වෛද්‍ය ගුප්තාගේ උපදෙස් බවට හුවමාරු වන පෝස්ටුවේ ඇත්ත නැත්ත!
පිළිකා ප්‍රතිකාරකයක් ලෙස ‘අහු’ ශාක නිස්සාර යොදාගන්නා ලෙස වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නැහැ!
‘පිළිකා සෛල නසන විස්මිත කැඳ’ ලෙස පවසමින් හුවමාරු වූ ප්‍රතිකාරය සඳහා යොමු වීම සුදුසු ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, ඇතිවන්නට පෙර , නැති කර ගන්න. සමීපතමයින් ඇතුළු සියල්ලන් දැනුවත් කරන්න යනුවෙන් පිළිකාවෙන් සුව විය හැකි බව කියන මෙම උපදෙස් මාලාවේ සඳහන් පරිදි ආහාර අනුභව කිරීමෙන් පිළිකා සුව වන බවට මෙතෙක් කිසිදු අධ්‍යනයකින් තහවුරු වී නොමැති බවයි. එමෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මෙහි සඳහන් උපදෙස් වැරදි සහගත සහ එහි සඳන් ක්‍රමවේදයට ඒවා අනුගමනය කිරීම ශරීරයට අහිතකර වේ. ඒ අනුව මෙය පිළිකා රෝගය සම්බන්ධයෙන් සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහනක් බව පැහැදිලි වේ.

Title:මඤ්ඤොක්කා,මුරුංගා, රතුහාල් වැනි ආහාර පිළිකාවට පිළියම් ආහාරද?
Fact Check By: Fact Crescendo TeamResult: Misleading
