දේශබන්දුට දුන් තීන්දුව ගැන රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරන බව කියමින් ලිපියක්? 

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේද ප්‍රධාන මාතෘකාවක්. දිනෙන් දින මොහු සම්බන්ධ පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධයයේ ද පළවන ආකාරයක් දැකගත හැකියි. දේශබන්දු තෙන්නකෝන් සහ එක්සත් ජාතික පක්ෂයට අදාළව මේ දිනවල සමාජ මාධ්‍යෙය් හුවමාරු වන නොමග යවන සුළු ආකාරයේ සටහනක සත්‍යතාව පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“දේශබන්දු තෙන්නකොන් මහතාට ලබා දුන් අත්තනෝමතික තීන්දුව සම්බන්ධව” යන ශීර්ෂය යටතේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය 22 වනදා මාධ්‍යයට යොමු කරන ලද  ලිපියක් බව හඟවමින් මෙම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණා.

ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට කළු පැල්ලමක් එකතු කිරීමින් ආණ්ඩුව ඉතිහාසගත තීන්දුවත් ලබා දී ඇති බවත් පොලිස් ඉතිහාසයේ ක්‍රියාශීලීම සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට දිවි හිමියෙන් කැප වූ දේශබන්දු තෙන්නකෝන් මහතා එක්තරා කමිටුවක අනුහසින් ධූරයෙන් පහ කිරීමට වැරදි පිට වැරදි පටවා ඔහුගේ ප්‍රතිරූපයට භානී වන අකාරයට රජය කටයුතු කිරීම අයුක්ති සහගත බවත් එම ලිපියේ සඳහන් ය. තව ද ඉතිහාසයේ අඳුරුතම යුගවලදී පවා රනිල් වික්‍රමසිංහ වැනි නායකයන් ආරක්ෂා කරමින් එවැනි නායකයන්ගේ උපදෙස් අනුව යමින් මාතෘභූමිය, පිරිසිදු රටක් කිරීමට ජනාතාව අතර රැඳෙමින් ඔහු රාජකාර්යට එහාගිය කාර්යභාරයක් ඉටු කළ බව ත් එහි සඳහන් වේ.  මීට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද සඳහන් කර තිබූ එම ලිපිය පහතින්. 

X | Archived Link

ෆේස්බුක් ඔස්සේ ද, මෙම සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙම ලිපිය බහුලව හුවමාරු කර ගෙන තිබුණේ මේ අයුරින්.

ඒ අනුව මෙම ලිපිය සත්‍ය ලෙසම එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමට පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මේ වනවිට සමාජයේ වැඩි අවධානයක් යොමුවී ඇති චරිතයක් වන දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය 22 වැනිදා මෙවැනි ලිපියක් නිකුත් කළේ නම්,  අනිවාර්යයෙන්ම එය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පුවතක් විය යුතුය. මන්ද ඊයේ (22) දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධව පාර්ලිමේන්තුව පත් කළ කමිටු වාර්තාවේ තීන්දුව කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර එය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පුමුඛ පුවතක් විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනීසිටිමින් එම පක්ෂය මෙවැනි ලිපියක් නිකුත් කර තිබුණේ නම්, එය අවිවාදයෙන්ම මෙරට සියලු මාධ්‍යවල පුමුඛ පුවතක් ලෙස වාර්තා කළ යුතුය. එහෙත් ඊයේ මෙවැනි ලිපියක් පිළිබඳව කිසිදු පිළගත් මාධ්‍යක් වාර්තා කර නොතිබිණ. 

තව ද සමාජ මාධ්‍යයේ පළ කර ඇති ඉහත ලිපියේ කිසිදු තැනක එය නිකුත් කරනු ලැබුවේ, කාට ද යන්න සම්බන්ධව සඳහන්ව නොමැති අතර සාමාන්‍යයෙන් මෙවැනි ලිපියක් නිකුත් කරනු ලබන්නේ, මාධ්‍ය වෙතයි. තවද මෙහි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වා ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී මේ පිළිබඳව ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ තවදුරටත් ජනාධිපති බව හැඟවීමට මෙමගින් උත්සාහ දරා ඇති බවක් පෙන්නුම් කරයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් මෙතරම් නොසැලකිලිමත් ආකාරයේ ලිපියක් නිකුත් කරයි ද යන්න සම්බන්ධව  ද පැන නගින්නේ ද ගැටලුකාරී තත්ත්වයකි. 

ඒ අනුව මේ ලිපියේ නිර්වද්‍යතාව පිළිබඳ ඇති වූ ගැටලුකාරීතත්වය නිසාම අප  මේ සම්බන්ධව විමසීම සඳහා වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සම්බන්ධ කර ගත්තා.  ලේකම්වරයා  සඳහන් කළේ, වජිර අබේවර්ධන මහතා මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති බවත්  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ලිපිය එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂය යොදාගනිමින් ව්‍යාජව සකස් කර ඇති බවත් ය. එහි අනතර්ගත කරුණු පක්ෂය විසින් හෝ සභාපතිවරයා විසින් කිසිදු ස්ථානයකදී ප්‍රකාශ කර හෝ නොමැති බව ද ඔහු සඳහන් කළා. 

මේ අතර වජිර අබේවර්ධන මහතා සිය ෆේස්බුක් පිටුවේ ද , මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වා තිබූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදුන් අත්තනෝමතික තීන්දුව සම්බන්ධව යනුවෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපියේ ඡායාරූපයක් ද සහිතව පළ කර තිබූ  එම සටහනේ  දැක්වෙන්නේ, අදාළ ලිපිය සම්පූර්ණයෙන්ම ව්‍යාජ්‍ය එකක් බවයි. එය එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂය යොදාගනිමින් ව්‍යාජව සකස් කර ඇති බවත් එවැනි ලිපියක් තමා හෝ එක්සත් ජාතික පක්ෂ විසින් නිකුත් කර නොමැති බවත් එහි සඳහන් ය.  ඊට අදාළව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ද වජිර අබේවර්ධන මහතා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.  

 

Archived Link

තව ද මෙම ලිපිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සිය නිල ෆේස්බුක් පිටුවෙහි ද සටහනක් පළ කර තිබුණා. එහි සඳහන් කර තිබුණේ මෙය ව්‍යාජ ලිපියක් බවත් පක්ෂය හෝ පක්ෂ සභාපතිවරයා මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති බවයි. මෙතැනින් Archived Link

දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ  පාර්ලිමේන්තු තීරණය

අනිවාර්ය නිවාඩු යවා සිටින දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුව අදාළ චෝදනාවලට ඔහු වරදකරු කර ඇති බව අදාළ කමිටු වාර්තාව සභාගත කරමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (22) පාර්ලිමේන්තුවට පැවසී ය. ඒ අනුව අදාළ කමිටුව ඒකමතිකව නිර්දේශ කර ඇත්තේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සුදුසු බවයි. විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා 20කට අධික සංඛ්‍යාවක් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල කර තිබුණා. 

මෙවැනි පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට වන යෝජනාව පසුගිය අප්‍රේල් 8 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඒ අනුව මෙම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරිණ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණු අතර   අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක මෙහි සෙසු සාමාජිකයෝ වූහ. 

මෙම කමිටුව, සිය විමර්ශන පවත්වා, පනතේ 8 ( 2) වගන්තියට අනුකූලව, අදාළ නිලධාරියාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට ඒකමතිකව තීරණය කර ඇතැයි කතානායකවරයා (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති විධිවිධාන යටතේ පොලිස්පතිවරයෙකු ඉවත් කිරීම නිර්දේශ කරමින් මෙවැනි කමිටුවක් සිය නිල තීරණය ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය බව කතානායකවරයා සිය කතාවේදී පැවසී ය. විස්තර මෙතැනින් 

දේශබන්දු තෙන්නකෝන්  

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා  රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 නොවැම්බර් 29 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළ අතර පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව 2024 පෙබරවාරි 26 වැනිදා රජය නිවේදනය කළේ ය. 

මේ අතර වැලිගම පිහිටි W15 හෝටලයට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා යාමේ සිද්ධියට අදාළවපොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේ,  2025 පෙබරවාරි 28 වැනිදායි. 

පසුව තමා අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණයදී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කළේ ය. තෙන්නකෝන් ඉදිරිපත් කළ රීට් පෙත්සම අභියාචනාධිකරණය නිශ්ප්‍රභ කළේ, ගාස්තුවකට යටත්වයි. 

ඒ අනුව 2025 මාර්තු 19 වැනිදා අධිකරණයට භාර වීමෙන් පසු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය 2025 අප්‍රේල් 10 නියම කළේ ය. විස්තර මෙතැනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදුන් අත්තනෝමතික තීන්දුව සම්බන්ධව යන මැයෙන් සමාජ මාධ්‍යයේ පළ කර ඇති අදාළ ලිපිය එම පක්ෂය හෝ පක්ෂ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියක් නොවන බවයි.  

 

 

 

Avatar

Title:දේශබන්දුට දුන් තීන්දුව ගැන රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරන බව කියමින් ලිපියක්?

Fact Check By: Fact Crescendo Team 

Result: False


Leave a Reply