මාලිමා ආණ්ඩුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරල ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තියේ සඳහන් වන්නේ බලයට පත් වන රජයක් බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත්, බුද්ධාගම ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම සිදු කරන බවත් ය. එහෙත් මේ වන විට විවිධ කණ්ඩායම් සහ සමාජ මාධ්‍ය චෝදනා කරනු ලබන්නේ වත්මන් ආණ්ඩුව බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කර ඇති බවක්. මෙහි සත්‍ය අසත්‍යතාව අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මාලිමා ආණ්ඩුව හොර රහසේම බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අහෝසි කරලා” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් පෙළක් සංසරණය වී තිබුණා. 

Facebook | Archived Link

බුද්ධ ශාසනය පිළිබඳ අමාත්‍යාංශයක් රටේ දැන් නෑ. තිබ්බ එක අහෝසි කලායනුවෙන් අමාත්‍ය සුනිල් සෙනවි පැවසු බව සඳහන් කරමින් තව ත් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන්වල නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාශය අහෝසි කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවා. නමුත් එම අමාත්‍යාංශ ඉවත් කර ඇති බව කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක හෝ ඉහත දක්වා ඇති පරිදි පුවත්පතක් වාර්තා කර නොතිබුණි.

අමාත්‍ය හිනිදුම සෙනෙවි පැවසුවේ කුමක් ද?

අප ඉහත සටහන් සඳහා මුල් වී තිබු පරිදි රූපවාහිනී වැඩසටහනක් අතරතුර දී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය භාර ඇමතිවරයා වන ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙලෙසින් බුද්ධ ශාසන කටයුතු අමාත්‍යංශය වත්මන් රජය විසින් අහෝසි කල බවට ප්‍රකාශයක් සිදු කළා ද යන්න මුලින්ම පරික්ෂා කර බැලුවා.

පසුගිය ජූලි 17 වන දා ස්වර්ණවාහිනි නාලිකාවේ ‘රතුඉර’ වැඩ සටහනක් අතරතුර අමාත්‍යංශයේ වපසරිය අමාත්‍යවරයා විස්තර කිරීමට සැරසෙන විට, වැඩසටහන් පුරකයා ප්‍රශ්නයක් නගා සිටින්නේ ” හැබැයි දැන් බුද්ධ ශාසන කටයුතු අමාත්‍යංශයක් දැන් නෑ නේද” යනුවෙන්.

එයට “නෑ” යනුවෙන් අමාත්‍යවරයා පවසන කොටස පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර ඒ සඳහා දක්වා ඇති හේතු දැක්වීම එම සටහන් මගින් දැක්වෙන්නේ නැහැ. එසේම අමාත්‍යවරයා විසින් බුද්ධ ශාසන අමත්‍යංශය අහෝසි කළ බවක් ද කිසිඳු අවස්ථාවක දී සඳහන් කරන්නේ නැහැ.

මෙහිදී කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා පවසන්නේ, වත්මන් ආණ්ඩුව අමාත්‍යාංශ විසි ගණනකට සීමා කළ නිසා ඔවුන්ට අමාත්‍යාංශ ගණනාවක් එක් අමාත්‍යාංශයක් ලෙස ස්ථාපනය කිරීමට සිදු වූ බව ත්, වර්තමානයේ පවතින්නේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වන අතර ඒ යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවතින බවයි.

මේ ආකරයෙන්ම මීට පෙර රජයන්හි ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය ලෙස අමාත්‍යංශයක් ද තිබුණු බවත් මෙම ජාතික උරුමයන් පිළිබඳව ද සංස්කෘතික කටයුතු යටතේ තම අමාත්‍යංශයට එකතු වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

නැවත වැඩසටහන් පුරකයා විසින් බුද්ධ ශාසන අමාත්‍යාශයක් නැතිව බුද්ධාගම සුරකින්නේ කෙසේද යනුවෙන් අසා සිටින අතර පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසන්නේ, ඒ සියළු කටයුතු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ යටතේ සිදුවන බවයි.

එසේම බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදෙන ප්‍රමුඛතාවය මත මෙන්ම ලංකාවේ වැඩි ජන අනුපාතයක් ද බෞද්ධාගමිකයින් වීමත් නිසා එයට ප්‍රමුඛතාවයක් දීමට අමාත්‍යශයේ නමට “බුද්ධ ශාසන” කොටස මුලට එකතු කර “බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය” ලෙස සිය අමාත්‍යංශය නම් කර ඇති බවත්, අනෙකුත් සියළු ආගම් පිලිබඳ කටයුතු “ආගමික” කොටසින් නියෝජනය වන බවත්, ඒ අනුව නම් තැබීමේ දී ද මෙම ප්‍රමුඛතාවය රජය හඳුනාගෙන තිබෙන බවයි, අමාත්‍ය සුනිල් සෙනෙවි පවසන්නේ.

මේ අවස්ථාව ඇතුළත් වීඩියෝව පහතින්.

අමාත්‍ය නලින්ද ජයතිස්ස

මේ පිළිබඳ  වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍ය සංස්කෘතික අරමුදල, බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල,  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක් ගැසට් කර ඇති බවය.

මෙම අමාත්‍යාංශයෙන් බෞද්ධ ශාසනයට අදාළ සියලු කටයුතු සිදු වෙමින් පවතින බව ද අවධාරණය කළ ඔහු තවදුරටත් පවසා සිටියේ මේ සම්බන්ධව කිසිදු මහා නායක ස්වාමීන් වහන්සේ නමකගෙන් හෝ නායක අනුනායක හාමුදුරුවන් වහන්සේ නමකගෙන් චෝදනා එල්ල වී නොමැති බවයි. 

එමෙන් ම සියම්, රාමඤ්ඤ, අමරපුර ඇතුළු සියලු නිකායන්හි නායක, මහානායක, අනුනායක ස්වාමීන්වහන්සේළා  ප්‍රාදේශීය වශයෙන් නිරන්තරයෙන් ම තම ආණ්ඩුව විසින් ගොස් හමුවන බවත් මෙම චෝදනා දේශපාලනිකව ආණ්ඩුවට එල්ල කරන බොරු චෝදනා පමණක් බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටිනන ලදි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ පවසා සිටියේ රටේ අද වන විටත් ආගමික හා සංස්කෘතික යන විෂයයන් එක්ව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවතින බවත්, කිසිඳු ගැටළුවක් නොමැති බවත්, ජනමාධ්‍ය මගින් වැරදි ලෙස ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රකාශය විකෘති කර ඇති බවත් ය.

එසේම අප කළ පරික්ෂාවේ දී ද පැහැදිලි වන්නේ මෙම නව අමාත්‍යංශය මෑතක දී හෝ හොර රහසේ පිහිටුවීමක් නොව, නව රජය අමාත්‍යංශ ගණන අඩු කරමින් අමාත්‍යංශ පිහිටවූ අවස්ථාවේ දී ම අමාත්‍යවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ ලේකම්වරයෙකු අනුයුත්ක්ත කරමින් පිහිටවූ අමාත්‍යංශයක් බවයි.

2020 වසරේ සිට මේ නමින් ගැසට් කරන ලද අමාත්‍යංශයක්!

ඒ වගේම මීට පෙර රජයන්හි දී ද මේ නමින් අමාත්‍යංශයක් පැවති අතර අංක 2187/27 දරණ 2020 අගෝස්තු මස ගැසට් පත්‍රය යටතේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු යනුවෙන් අමාත්‍යංශයක් නම් කෙරෙන අතර එවකට අගමැති මහින්ද රාජපක්ෂ මහතා යතේ මෙම අමාත්‍යංශය ක්‍රියාත්මක විය. 2020 වර්ෂය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ කාර්යසාධන වාර්තාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පළකර තිබුනේ මෙලෙසින්. එහිද බුද්ධ ශාසන හා ආගමික අංශ සහ සංස්කෘතික අංශ මෙම අමාත්‍යංශය යටතේ අදාළ දෙපාර්තමේන්තු, ආයතන, අරමුදල් ඔස්සේ තිබු අයුරු පැහැදිලිව දක්වා තිබෙනවා.

එසේම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් 2023 වසරේ දී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ , ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තනතුරු සඳහා සුදුසු නිලධාරින් පත්කරගැනීම සඳහා සිදුකළ නිවේදනයක් ද අපට මෙසේ දැකගන්නට ලැබෙනවා.

ඒ අනුව ද පැහැදිලිව ම මේ නමින් මීට පෙර මෙම අමාත්‍යංශය, ඉහත පරිදි විෂයන් අනුබද්ධිත කර්තව්‍යයන් වෙනුවෙන් ක්‍රීයාත්මක වී තිබු බව පැහැදිලිය.

2022 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරයට පත්වීමෙන් පසුව 2024 දක්වා විදුර වික්‍රමනායක මහතා එම අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරන ලදී. ඉන්පසුව අනුර කුමාර ජනතිපති වී පාර්ලිමේන්තු මැතිවරණය තෙක් පැවති කෙටි කාලයේ මෙම විෂය පථය විජිත හේරත් අමාත්‍යවරයා යටතේ තිබු අතර ඉන්පසුව 2024 වසර නොවැම්බර් සිට එම අමාත්‍ය ධුරය හොබවන්නේ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවියි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, බෞද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අහෝසි කළ බවට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වන ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශ කළ බවට දක්වමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් නොමග යන සුළු බවයි.

එලෙසින් බෞද්ධ කටයුතු පිලිබඳ අමාත්‍යංශය අහෝසි කළ බවක් අමත්‍යවරයා පවසන්නේ නැති අතර ඔහු කියා සිටියේ පෙර පැවති නම යටතේ අමාත්‍යංශය නොමැති වුවත්, බෞද්ධාගමට ප්‍රමුඛතාවය ද ලබාදෙමින්, නව රජයේ අමාත්‍යංශය ගණන අඩු කිරීමේ ප්‍රතිපත්තිය ද යටතේ, “බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු” ලෙස “බුද්ධ ශාසන” කොටස ද ඇතුළත් කරමින් අමාත්‍යංශය නම් කළ බවත් ඒ යටතේ සියළු බෞද්ධාගම සහ බෞද්ධ දර්ශනයේ උන්නතියට අදාළ වැඩකටයුතු සිදුකෙරෙන බවයි.

එසේම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු යනුවෙන් අමාත්‍යංශයක් 2020 වසරේ දී ගැසට් කෙරෙන අතර එම අමාත්‍යංශය යටතේ මීට පෙර රජයන්හි දී ද පිළිවෙලින් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සහ විදුර වික්‍රමනායක මහතා අමාත්‍යධුර ද දරා තිබුණි.

Avatar

Title:බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශයක් මෙරට නැද්ද?

Fact Check By: Factcrescendo Team 

Result: Misleading


Leave a Reply