දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, සත්‍ය නොවන අන්තර්ගතයන් සත්‍ය ලෙස හුවා දක්වමින් ඒවා සමාජගත කිරීමට දරන උත්සාහයන් දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතිකව ද බහුලව දැකගත හැකියි. බොහෝ අවස්ථාවල වෙනත් රටවල සමාජ මාධ්‍ය පරිශීලකයින් පළ කරන ලද අන්තර්ගතයන්, කිසිදු විමර්ශනයකින් තොරව මෙරට පරිශීලකයින් ද සිය ගිණුම් ඔස්සේ පළ කර ගන්නා ආකාරයක් දැකගත හැකියි. මේ දිනවල එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන සටහන් පෙළක් පිළිබඳ විමසා බැලීමක් මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“Killer Whale පුහුණුකරු ජෙසිකා රැඩ්ක්ලිෆ්ගේ අවසන් මොහොත කැමරාවට හසු විය – ප්‍රේක්ෂකයින් කම්පනයට පත් විය ඒ භයානක අවසාන මොහොතේ ඇත්තටම මොකද වුණේ? ” යනුවෙන් සඳහන් කරමින් සජීවි ඔර්කා සංදර්ශනයක් අතරතුර ඔර්කා තල්මසෙකු විසින් සිය පුහුණුකාරිය මරා දමන ලද බව හඟවන ෆේස්බුක් සටහනක් වයිරල් වී තිබෙනවා.
අවස්ථා 4ක් එකතු කරමින් ඉදිරිපත් කර ඇති මෙම ඡායාරූපයට අනුව අවස්ථා දෙකකදී ජෙසිකා රැඩ්ක්ලිෆ් නම් එම පුහුණුකාරිය ඔර්කා තල්මසකු සමගින් විනෝදජනක ලෙස ඉදිරිපත්කිරීම සිදුකරන බවක් සහ අනෙක් අවස්ථා දෙක නිරූපණය වන ඡායාරූපවලට අනුව ඔර්කා ඇයට අනතුරක් සිදු කර ඇති බවක් පෙනී යයි. ඒ, ඔර්කාගේ කටින් රුධිරය බේරෙමින් තිබෙන අවස්ථාවක් සහ අනෙක් අවස්ථාව දැක්වෙන ඡායාරූපයේ පුහුණුකාරියගේ ශරීරයේ කොටසක් ඔර්කාගේ මුව තුළ ඇති බව පෙනවන අවස්ථාවක් නිසාවෙනි.
මෙම ෆේස්බුක් සටහන පළ කර ඇත්තේ, වැඩි විස්තර සඳහා වන පුවතක ප්‍රවේශයක් ද සහිතවයි. ජූලි 28 වනදා පළ කරන ලද මෙම සමාජ මාධ්‍ය සටහන සඳහා පදනම් වී අදාළ පුවතේ දැක්වෙන්නේ, Marine Arena සාගර උද්‍යානයේ ඉතා සතුටින් ආරම්භ වූ සංදර්ශනය නරඹන්නන් සියලු දෙනා කම්පාවට පත් කරමින් ඉතා ඛේදජන සිදුවීමකින් අවසන් වූ බවයි. ඒ දශකයකකට වඩා වැඩි අධික අත්දැකීම් සහිත Jessica Radcliffe ඔර්කා තල්මසුන් පුහුණුකාරිය Dakari නම් ඔර්කාගේ ප්‍රහාරයෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි.
තවත් ෆේස්බුක් පරිශීලකයෙකු විසින් Jessica Radcliffe නමැති ඔර්කා පුහුණුකාරිය සිය ඔර්කා තල්මසා සමග සංදර්ශනයක් ඉදිරිපත් කරමින් සිටියදී තල්මසාගේ ප්‍රහාරයට ලක්ව මියගිය බව කියන වීඩියෝවක් මෙලෙස පළ කර තිබිණ. එහි සටහන් වන්නේ, ජූලි 8 වැනිදා ප්‍රසංගයක් අතරතුර අනපේක්ෂිත ලෙස ආක්‍රමණශීලි වූ Dakari නම් ඔර්කා ජෙසිකා ජලය තුළට ඇදගෙන ගිය බවත් නරඹන්නන් එය ද ප්‍රසංගයේ කොටසක් බව සිතා ඇති බවත් කෙසේ වෙතත් ඇයගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහය ව්‍යර්ථ වූ බවත් මෙහි සඳහන් ය.
මේ අතර ජෙසිකාගේ මරණය සත්ත්වයින් මිනිස් යටත්භාවයේ තබා ගැනීමේ අවදානම් සහ සමුද්‍රීය සංදර්ශනවල ආචාර ධර්ම පිළිබඳ කතිකාවක් ඇති කළ බව ද මෙහි සඳහන් ය.
මෙම දර්ශනවලට අනුව ප්‍රධාන වශයෙන් ඔර්කා පුහුණුකාරියන් කිහිප දෙනෙකු සිය ඔර්කා තල්මසුන් සමග සමුද්‍රිය උද්‍යානයක ප්‍රසංගයක නිරතව සිටින අකාරයක් දැකගත හැකියි. කෙසේ වෙතත් එක අවස්ථාවක පුහුණුකාරියක් ඔර්කා තල්මසෙකුගේ ප්‍රහාරයකට ලක්ව ඇති බවක් පෙන්නුම් කෙරේ. මීට අමතරව ප්‍රහාරයෙන් මියගිය බව කියන ජෙසිකාගේ බව කියන වෙනත් ඡායාරූපයක ද මෙම වීඩියෝවට ඇතුළත් කර තිබෙනු දැකගත හැකියි.
එසේ බහුලව හුවමාරු වූ තවත් වීඩියෝවක් මෙලෙසින්.
ඒ අනුව සමාජ මාධ්‍ය ජාලාවල බහුලව සංසරණය වෙමින් පවතින මෙම සමාජ මාධ්‍ය සටහන් පෙළ පිළිබඳව අප කරුණු විමර්ශනයක් සිදු කළේ ය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම):
ඔර්කා තල්මසෙකු විසින් සජීවි ඉදිරිපත් කිරීමක් අතරතුර සිය පුහුණුකාරිය මරා දැමීමේ ඛේදනීය පුවතක් ලොව කොතැනක හෝ සිදුවූවේ නම්, පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය සියල්ලම පාහේ එය වාර්තා කර තිබිය යුතු ය. එහෙත් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ ඛේදජනක සිදුවීමක් පිළිබඳව මෑතකාලීනව පිළිගත් මාධ්‍ය ආයතන කිසිවක් වාර්තා කර නොමැත. මේ අතර සමාජ මාධ්‍ය පරිශීලකයින් සිය සටහන් සඳහා තොරතුරු හෝ දර්ශන ලබා ගත් මූලාශ්‍ර පිළිබඳව පැහැදිලි කරුණු සඳහන්ව නොමැත.
එසේම ඉහත සමාජ මාධ්‍ය සටහනේ නම සඳහන් Jessica Radcliffe නමින් ලොව කොතැනක හෝ ඔර්කා පුහුණුකාරියක සිටී දැයි අප කරුණු සොයා බැලූ නමුත් එවැනි නම සඳහන් පුහුණුකාරියක ගැන ද තොරතුරු හමු නොවේ.
තව ද ඉහත සමාජ මාධ්‍ය සටහන් දෙකෙන්ම කියවෙන එකම සිදුවීමකට අදාළ ඛේදජනක සිදුවීමට මුහුණු දුන් බව කියන Jessica Radcliffe නමැති පුහුණුකාරියගේ මුහුණුවර එකිනෙකට වෙනස් බව නිරීක්ෂණය විය.
ඒ අනුව පළමු සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පුහුණුකාරිය සහ දෙවන සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පුහුණුකාරියගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් ද යන්න සොයා බැලීම සඳහා අදාළ රූපරාමු AI මෙවලමක් වෙත යොමු කළ අතර එහිදී පැහැදිලි වූයේ, ඔර්කා විසින් ඝාතනය කළ බව කියන සමාජ මාධ්‍ය සටහන් 2ක සිටි පෙනුමෙන් වෙනස් Jessica Radcliffe කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.
මේ අතර Seaworld Marine Arena නමින් සාගර උද්‍යානයක් තිබේ දැයි කරුණු පරීක්ෂා කළ අතර එම නම සඳහන් සාගර උද්‍යානයක් ඇති බවට තොරතුරු කිසිවක් ද හමුනොවී ය.
තවදුරටත් සිදු කළ විමර්ශනයේදී ඔර්කා ප්‍රහාර ලැයිස්තුගත කර ඇති විකිපීඩියා පිටුවේ Jessica Radcliffe නම් පුහුණුකාරියක හෝ Dakari නම් ඔර්කා තල්මසෙකු පිළිබඳව සඳහනක් නොමැති බව තහවුරු වූ අතර ඒ අනුව ද පැහැදිලි වන්නේ, මෙම සමාජ මාධ්‍ය සටහන්වල අන්තර්ගතයන් සම්පූර්ණයෙන් ම ගොතන ලද ප්‍රබන්ධයන් බවයි.
වීඩියෝවක් සහිතව පළ කර ඇති සමාජ මාධ්‍ය සටහනේ Jessica Radcliffe ඡායාරූපයක් බව කියමින් ඇතුළත් කර ඇති තරුණිය කවුරුන් ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කළ අතර එහිදී තහවුරු වූයේ, ඔර්කා තල්මසුන් පුහුණූ කරන තැනැත්තියක් නොවන අමෙරිකානු සහ දකුණු කොරියානු පුරවැසිභාවය හිමි Jessica Jung නමැති කලාකාරිනියක බවයි.
තව ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව සැකසීම සඳහා ජපානයේ Kamogawa Sea World හි දර්ශන යොදාගෙන ඇති බව ද පැහැදිලිව දැකගත හැකියි.
ඔර්කා තල්මසා විසින් මිනිසුන් ආහාරයට ගන්නවා ද?
සාගරයේ හෝ මිනිසුන් යටතේ (සාගර උද්‍යානවල) සිටියදී ඔර්කා තල්මසුන් මිනිසුන් සිය ආහාරය කර ගන්නා බවට ජීව විද්‍යාත්මක හෝ චර්යාත්මක සාධක කිසිවක් නොමැත. ඔවුන්ගේ ස්වාභාවික ආහාර වන්නේ, මාළු, දැල්ලන්, සීල් මත්සයින් සහ තල්මසුන් ය. වැඩි විස්තර මෙතැනින්
ඔර්කා තල්මසුන් මිනිසුන් මරා දමනවා ද?
ඔර්කා තල්මසුන් හෙවත් මිනීමරු තල්මසුන් සාගරයේ වෙසෙන ප්‍රධානතම විලෝපිකයෙකි. නමුත් සාගරයේ වෙසෙන ඔර්කා තල්මස් ප්‍රහාරයකින් මිනිසුන් ජීවිතක්ෂයට පත්වූ බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත. Naturaliste Charters සාගරයේ වෙසෙන ඔර්කා තල්මසුන් මිනිසුන් පිළිබඳව උනන්දුවක් දක්වන නමුත් සාමාන්‍යයෙන් ඔවුන් මිනිසුන් අසලට පැමිණීමෙන් වැළකී සිටින මුහුුදු සත්ත්වයෙකි. විශේෂඥයින් පවසන්නේ, මෙම තල්මසුන් බුද්ධිමත් සහ ප්‍රවේසම්සහගත මත්ස්‍ය විශේෂයක් බවයි.
කෙසේ වෙතත්, මිනිසුන් යටතේ ඇති කරන ලද ඔර්කා තල්මසුන් සම්බන්ධයෙන් ඛේදජනක සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබේ.
2010 වසරේදී ඔර්කා විශේෂයක් වන Tilikum විසින් SeaWorld Orlando සාගර උද්‍යානයේදී සිය පුහුණුකරු Dawn Brancheau ඇතුළු තිදෙනකු මරා දැමූ බව වාර්තා විය. BBC,CNN,NBC
මේ අතර Loro Parque උද්‍යානයේ Keto ඔර්කා සහ Sealand of the Pacific උද්‍යානයේ Nootka IV, Haida II යන ඔර්කා තල්මසුන් ද පුහුණුකරුවන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කළ බවට තොරතුරු පවතී. මෙතැනින් සහ මෙතැනින්.
මෙලෙස ඔර්කා තල්මසෙකු විසින් සිය පුහුණුකාරිය මරා දැමු අවස්ථා බවට වීඩියෝ ඇතුළත් දර්ශන ඉංග්‍රීසි භාෂාවෙන් ද විවිධාරයේ අර්ථකතන සහිතව මීට පෙර ද හුවමාරු වූ අතර අප ඒ පිළිබඳව ද විමර්ෂණයක් සිදුකරමින් පෙන්වා දුන්නේ ඒවා කෘතීම බුද්ධිය ආශ්‍රිතව සිදුකළ ව්‍යාජ නිර්මාණ බවයි. එම කරුණු දැක්වීම පහතින්.
No Evidence of Orca Attack Involving Its Trainer As Claimed
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, Jessica Radcliffe නම් පුහුණුකාරියව, ඔර්කා තල්මසා විසින් පහරදී ඝාතනය කළ බව කියමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝවල හෝ ඡායාරූපවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඒවා වෙනත් සාගර උද්‍යානවල දර්ශන සහ කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ලද සටහන් බවයි.

Title:සජීවි සංදර්ශනයක් අතරතුර ඔර්කා තල්මසෙක් පුහුණුකාරිය මරා දැමුවා ද?
Fact Check By: SagarikaResult: False
