දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඇතැම් විට සිතා මතා හෝ නොදැනුවත්කම මත හෝ තොරතුරු නිවැරදිව පළ නොකිරීම මත සිදු වන්නේ, සමාජය නොමගයාමකි. මේ පසුගිය දා ගනු ලැබූ කැබිනට් තීරණයකට අදාළව සමාජය නොමග යවන සුළු ආකාරයෙන් පළ කර ඇති සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පිළිබඳව සිදුකළ කරුණු විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
” කොළඹ කොටුව ඕල්කට් මාවතේ අක්කර 9ක ඉඩම – අවුරුදු 99 කට බදු දෙයි : අනුරගේ කැබිනට් එක තීන්දුව අරගෙන! ” යන ශීර්ෂයෙන් මේ පිළිබඳ වැඩි විස්තර ඇතුළත් පුවත් ප්‍රවේශයක් ද සහිතව ඉකුත් 5 වැනිදා Newshub.lk ෆේස්බුක් පිටුව ඔස්සේ මෙම සටහන පළ කර තිබිණ. ඡායාරූපයක් ද සහිතව පළ කර ඇති මෙම සටහනේ දැක්වෙන්නේ, ආණ්ඩුව කොළඹ කොටුව ඕල්කට් මාවතේ අක්කර 9ක ඉඩම අවුරදු 99 කට බදු දී ඇති බවයි. ඒ සඳහා වන කැබිනට් තීන්දුවට අනුමැතිය ලැබී ඇති බවත් එහි සඳහන් ය.
බොහෝ පිරිසක් අතරේ හුවමාරු වී ඇති මෙම සමාජ මාධ්‍ය සටහන පිළිබඳ වැඩි විස්තර සඳහා ලබාදී ඇති පුවත් විස්තරයේ පළමු ඡේදයේ සඳහන් වන්නේ, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඕල්කට් මාවතේ පිහිටි අක්කර 9ක පමණ වන චාර්මස් ධාන්‍යාගාර ඉඩම වසර 99ක බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ, යනුවෙනි.
දෙවැනි ඡේදයේ සඳහන් වන්නේ, ඒ සඳහා උනන්දුවක් දක්වන අයෝජකයින්ගෙන් ආයෝජන යෝජනා කැඳවීමට නියමිත බවත් රජය පවසයි යනුවෙනි. යළිත් එම පුවතේ ම අවසන් ඡේදයේ සඳහන් වන්නේ, මෙම ඉඩම වසර 99ක බදු පදනම මත ලබා දීමට නියමිත අතර, ආයෝජන යෝජනා කැඳවීම සඳහා අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ, යනුවෙනි.
කෙසේ වෙතත් මෙම පුවත් වර්තාව අනුව එක් අවස්ථාවක 99 අවුරුද්දට බදු දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් තවත් අවස්ථාවක ආයෝජන යෝජනා කැඳවීමට නියමිත බවත් සඳහන්ව තිබීම තුළ මෙම පුවත් වාර්තාවේ ඇත්තේ, ව්‍යකූලභාවයිකි. ඒ අනුව අදාළ කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ කුමක් සඳහා ද යන්න පිළිබඳව පාඨකයා සිතා ගත නොහැක. කෙසේ වෙතත් එකවර හැඟී යන්නේ මේ වනවිට අදාළ ඉඩම බදු දී ඇති බවයි.
මේ අතර මීට අමතරව මේ හා සම්බන්ධ තවත් සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය පරිශීලකයින් සිය ගිණුම් ඔස්සේ පළ කරගෙන තිබුණේ මේ ආකාරයෙනි.
(Facebook | ArchivedLink) (Facebook | Archived Link) (Facebook | Archived Link)
ඒ අනුව සැලකිය යුතු සමාජ මාධ්‍ය පරිශීලයින් පිරිසක් විසින් පළ කරන ලද සහ බොහෝ පිරිසක් අතරේ හුවමාරු වී ඇති ඉහත සමාජ මාධ්‍ය සටහන්වල නිර්වද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ ය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඒ අනුව සමාජ මාධ්‍ය සටහන්වල පළ වන ආකාරයට රජය කොළඹ කොටුව ඕල්කට් මාවතේ අදාළ ඉඩම මේ වනවිට බදු දී ඇති බවට ජාතික මාධ්‍ය පුවත් වාර්තා පළ වී තිබේ දැයි අප මූලිකව විමසා බැලී ය.
එහිදී පුවත් වාර්තා කිහිපයක් අපගේ විමර්ශනයට ලක්වූ අතර ඉන් ඉකුත් 5 වැනිදා ලංකාදීප වෙබ් අඩවිය චාර්මස් ධාන්‍යාගාර ඉඩම බදු දෙන්න යයි යන ශීර්ෂයෙන් ඊට අදාළ පුවතක් වාර්තා කර තිබිණ. එහි සඳහන් වූයේ, කොළඹ කොටුව ඕල්කට් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් චාර්මස් ධාන්‍යාගාරය නමැති ඉඩම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි.
ඒ අනුව අනුමැතිය හිමිව ඇත්තේ, බදුදීමට නොව, බදුදීම සඳහා වන ආයෝජන යෝජනා කැඳවීම සඳහායි.
එහි වැඩිදුරටත් සඳහන් වූයේ, කොළඹ කොටුව ඕල්කට් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් චාමර්ස් ධාන්‍යාගාරය නමැති ඉඩම බදු පදනම මත බැහැර කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇති බවත් ඒ අනුව රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ යාවත්කාලීන තක්සේරු වටිනාකම මත පදනම්ව අදාළ ඉඩම 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා, ආයෝජකයින්ගෙන් ආයෝජන යෝජනා කැඳවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් ය. මෙම කැබිනට් තීරණයට අදාළ තවත් පුවත් වාර්තා කිහිපයක් මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
මේ අතර ඉකුත් 05 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පහතින්.
අමාත්‍ය මණ්ඩල කාර්යාල වෙබ් අඩවියේ ද පැහැදිලිව සඳහන්ව ඇත්තේ, අදාළ ඉඩම අදාළ ඉඩම 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා, උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් ආයෝජන යෝජනා කැඳවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව ක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි චාමර්ස් ධාන්‍යාගාරය නමැති අදාළ ඉඩම අක්කර 09 රූඩ් 02 පර්චස් 31.75 යුක්ත වේ. මෙය පිහිටා ඇත්තේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශය සඳහා 2022-2031 කාලපරිච්ඡේදයට අදාළව පිළියෙල කර ඇති සංවර්ධන සැලැස්මේ සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළයි.
නේවාසික, සෞඛ්‍ය, කාර්යාල හා ආයතනික, වාණිජ, අධ්‍යාපනික, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, සංචාරක, විනෝදාත්මක හා වෙනත් ක්‍රියාකාරකම් ඇතුළු සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ අවසර ලත් භාවිතයන් අතුරින් මූල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් ඉහළ විභවතාවක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එකී ඉඩම බදු පදනම මත බැහැර කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇති බව ද එහි සඳහන් ය.
ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ යාවත්කාලීන තක්සේරු වටිනාකම මත පදනම්ව අදාළ ඉඩම 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා, උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එහිද සඳහන් වන්නේ, ආයෝජකයින් වෙතින් ආයෝජන යෝජනා කැඳවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද මේ පිළිබඳව විමසා සිටියේ ය. ඒ අනුව ලේකම්වරයා සඳහන් කළේ අදාළ ඉඩම බදු දී ඇති බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බවත් කැබිනට් අමාත්‍ය හමුවේදී අනුමැතිය හිමිව ඇත්තේ, චාමර්ස් ධාන්‍යාගාර ඉඩම සඳහා ආයෝජන යෝජනා කැඳවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවීමක් බවත් ය.
නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රතිචාරය
තවද නාගරික සංවර්ධන අධිකාරියට අයත් අදාළ ඉඩම පිළිබඳ සමාජ මාධ්‍යයේ පළ වන මෙම සටහන්වල සත්‍ය අසත්‍යතාව පැහැදිලි කර ගැනීම සඳහා අප එහි දේපළ වෙළඳාම් සහ ඉඩම් කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය.
එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, අදාළ ඉඩම බදු දී ඇති බවට පළ වී ඇති සමාජ මාධ්‍ය සටහන්වල සත්‍යතාවක් නොමැති බවයි. තව ද කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව ඇත්තේ, ආයෝජන යෝජනා කැඳවීම සඳහා බවත් තවම යෝජනා කැඳවීම හෝ සිදු කර නොමැති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
තව ද ඔහු කියා සිටියේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසු යෝජනා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන බවත් පසුව අදාළ ඉඩම සංවර්ධනය සඳහා විනිවිද ක්‍රියාවලියකින් ආයෝජකයෙකු තෝරා ගැනීම සිදුවනු ඇති බවත් ය. මීට පෙර ද මෙම ඉඩම සඳහා යෝජනා කැඳවීමක් සිදු කර තිබූ නමුත් එහිදී ද කිසිවෙකු ඒ සඳහා ඉදිරිපත් වී නොමැති බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ය.
එදා ආණ්ඩුවේ හාල් ස්ටෝරුව හෙවත් කොළොම්පුරේ චාමර්ස් ධාන්‍යාගාරය
අතීතයේ ආණ්ඩුවේ හාල් ස්ටෝරුව ලෙස හැඳින්වූ චාමර්ස් ධාන්‍යාගාරය පිහිටා ඇත්තේ, කොළඹ කොටුව ඕල්කට් මාවතේ ය. එදා කොළඹ වරායට වෙළඳ දව්‍ය රැගෙන පැමිණි සහ වරායෙන් පිටතට බඩු රැගෙන ගිය කරත්තවල නැවතුම්පොලක් ලෙස යාදාගෙන තිබූ මෙම භූමියේ යුනිවර්සිටි කොලිජියක් ඇරඹීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් චාමර්ස්ගේ පාලන කාලය තුළදි සැලසුම් කර තිබිණ. කෙසේ වෙතත් එදා ඒ සැලසුම ක්‍රියාත්මක නොවුණු අතර. පසුව කොළඹ වරායෙන් ගොඩබාන බඩු ප‍්‍රමාණය එන්න එන්නම වැඩිවීමත් සමග යුනිවසිටි කොලීජිය වෙනුවෙට එැතන ඉදිවුණේ, බඩු ගබඩාවක්. ඒ අනුව අක්කර 9ක් පමණ විශාල මේ භූමියේ ගබඩා 64 ක් ගොඩනගලා චාමර්ස් ධාන්‍යාගාරය (Charmers Granary) නමින් 1916 මැයි 11 වෙනිදා ආහාර ගබඩාවක් විවෘත කර තිබුණා. වාර්තාවලට අනුව දෙවන ලෝක යුද සමයේ රටේ ප‍්‍රධාන ආහාර ගබඩාව බවට පත්ව තිබුණේ, මෙම චාමර්ස් ධාන්‍යාගාරයයි. රටේ සියලුම රජයේ ආහාර ගබඩාවලට හාල්, පිටි, සීනි බෙදාහරින මුලස්ථානය බවට පත්ව තිබුණේ ද එයයි. පසුව කොළඹ නගරය ජනාකීර්ණ වීමත් සමග කොළඹ නගරයෙන් පිටතට ධාන්‍යාගාරය ගෙනයාමට තීරණය වන අතර ඒ අනුව. 1980 දි ඔරුගොඩවත්තේ පිහිටුවන ලද මධ්‍යම ධාන්‍යාගාරය විවෘත වීමත් සමග එදා හැමෝම ආණ්ඩුවේ හාල් ස්ටෝරුව නමින් හැඳින්වූ චාමර්ස් ධාන්‍යාගාරය 1982 වර්ෂයේදි වසා දමා තිබේ. විස්තර මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව අපගේ නිගමනය වන්නේ, චාමර්ස් ධාන්‍යාගාරය නමැති ඉඩම මේ වන තෙක් කිසිදු පාර්ශවයකට 99 අවුරුද්දකට බදු දී නොමැති බවයි. ඒ අනුව කොළඹ කොටුව, ඕල්කට් මාවතේ චාමර්ස් ධාන්‍යාගාරය නමැති ඉඩම බදු දී ඇති බවට සමාජ මාධ්‍ය ජලාවල හුවමාරු වන සටහන් සමාජය නොමග යවන සුළු ඒවා වන අතර සිදුව ඇත්තේ 99 වසරක බදු ගිවිසුමක් සඳහා වන ආයෝජන යෝජනා කැඳවීමට විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවීමයි.

Title:කොටුව, ඕල්කට් මාවතේ අක්කර 9ක ඉඩමක් අවුරුදු 99 කට බදු දීලා ද?
Fact Check By: Sagarika ChathumaliResult: Misleading
