මහින්ද රාජපක්ෂ බැලීමට, කොළඹට පැමිණි පිරිසක් ගැන හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට ඔහුගේ රජරට පාක්ෂිකයින් පසුගිය දා ඔහුගේ විජේරාම නිවසට පැමිණ තිබුණා. කෙසේ වෙතත් මෙම පැමිණි පිරිස විසින් රාජපක්ෂ මහතාට ගෙන ආ ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතක් ගොඩ නැගී තිබූ අතර ඒ ඔස්සේ අසත්‍ය හා නොමග යවන සුළු සටහන් ද, පළ වී තිබුණා. එවැනි සටහන් කිහිපයක් පිළිබඳ අප සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා මහා සංඝරත්නය ඇතුළු පිරිසක් අනුරාධපුරේ සිට රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසට පැමිණ තිබුණා. මෙම පැමිණීමට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ සටහන් කිහිපයක් පහතින්.

Claim 1:

අප්පච්චිට ගෙනා මී කිරි ඇතුළු කෑම නගරසභා කුණු ලොරියට දාලා ආරක්ෂක හේතු මත විසිකරා හිටපු ජනපති මාධ්‍ය අංශය කියයි”  යනුවෙන් ඉරි ෆේස්බුක් පිටුවේ පළ වූ පුවතක් ලෙසට දක්වමින් සටහනක් සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

Claim 2:

“අපිට මුලු කොලඹම පෙන්නුවා… බස් එක ගෙදරටම එව්වා. තැඹිලි වලු කුරුණෑගලින් දුන්නා. කැවිලි පන් මලු වල පැක් කරල කඩවත ස්වීට් හවුස් එකෙන් දුන්නා. කෑම බීම එක්ක හැම කෙනාටම රුපියල් පන් දහක් දුන්නා. අපි නෙලුම් කුලුනත් බැලුවා. මහින්ද මහත්තයාවත් හමු වුනා. තිස්සකුට්ටි මැතිතුමාට අපි පින් දෙනවා” යනුවෙන් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමගින් හිටපු ජනපති මහින්දගේ සුවදුක් බැලීමට පැමිණි පුද්ගලයෙක් ප්‍රකාශ කළ බවට දක්වමින් සහ එම ප්‍රකාශය HIRU TV NEWS ඔස්සේ විකාශය වූ බවට හඟවමින් සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

Claim 3:

“ජනතාව කෙරෙහි කිසිම අවිශ්වාසයක් නෑ කිරි විසික්කේ පණුවෝ නිසා” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. එහි අද දෙරණ පුවත් වල සඳහන් වී ඇති අයුරු බවට පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් වල නිරවද්‍යතාව සොයා පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට පැමිණි පිරිස ගෙනා මී කිරි ඇතුළු ආහාර වර්ග නගරසභා කුණු ලොරියට ආරක්ෂක හේතු මත විසිකළ බවට හිටපු ජනපති මාධ්‍ය අංශය පැවසූ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය වාර්තාවක් වාර්තා කර නොතිබුණි.

Claim 1 (Fact Check):

ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දී තිබුණේ, හිටපු ජනපති මාධ්‍ය අංශය මෙම ප්‍රකාශය කළ බවයි. මේ හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ වත්මන් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කිරීමට පියවර ගනු ලැබුවා.

ඒ මහතා සඳහන් කළේ මෙය සම්පූර්ණ අසත්‍ය සටහනක් බව ත්, මහින්ද රාජපක්ෂ මහතා විසින් කිසිදු අවස්ථාවක තමා වෙනුවෙන් ජනතාව ආදරයෙන් තමන් වෙත රැගෙන ආ අහාර ද්‍රව්‍ය ඉවත නොදමන බවයි. එමෙන් ම මහින්ද රාජපක්ෂ මහතාගේ වත්මන් මාධ්‍ය ප්‍රකාශක තමා බැවින් තමන් විසින් සිදු නොකළ ප්‍රකාශයක් මෙලෙසින් ප්‍රකාශ කළ බව දැක්වීම මගින් ම මෙය තවදුරටත් අසත්‍ය බවට තහවුරු වන බව සඳහන් කළා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ මහතා…

එමෙන් ම මෙම සටහන පළ කර ඇති බවට දක්වා තිබුණු IRI News ෆේස්බුක් පිටුවේ ද, අප සිදු කළ පරීක්ෂාවේදී මේ ආකාරයේ පුවතක් පළ කර ඇති බව දැක ගන්නට නොලැබුණි. IRI News ෆේස්බුක් පිටුවේ ඇඩ්මින් විසින් ද අපට තහවුරු කරනු ලැබුවේ, එවැනි සටහනක් තම ෆේස්බුක් පිටුවේ පළ කර නොමැති බව ත්, මෙය තම ෆේස්බුක් පිටුවේ ආකෘතිය හා ලෝගෝ භාවිත කරමින් ව්‍යාජ ලෙස සකසන ලද සටහනක් බවයි.

එමෙන් ම මෙම සටහන අසත්‍ය බවට මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය විසින් ‘X’ හි සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

Claim 2 (Fact Check):

ඉහත දෙවන සටහනේ දක්වා ඇති ලෙස හිටපු ජනපති බැහැ දැකීමට පැමිණි පුද්ගලයෙක් විසින් කළ ප්‍රකාශයක් එදින හිරු පුවත් ඔස්සේ විකාශය වූවාදැයි අප පරීක්ෂා කරනු ලැබුවා.

මේ පිළිබඳ පසුගිය අගෝස්තු 18 වන දා රාත්‍රී 9.55 පුවත් විකාශයේ මෙම සිදුවීමට අදාළ පුවත් වාර්තාකරණයේදී ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයේ දැක්වෙන ලෙස පුද්ගලයෙකු විසින් සිය අදහස් දැක්වීමක් කළ බවට දැක ගන්නට නොලැබුණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට අනුරාධපුරයේ සිට පැමිණි පිරිස සම්බන්ධයෙන් අද දෙරණ පුවත් විකාශයේ පළ වූ පුවතේ ඉහත ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයාගේ ප්‍රකාශය ඇතුළත් ව ඇති බවට අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණා.

එම ඡායාරූප අවස්ථාවේ සිටින්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බටහිර අනුරාධපුර ආසන සංවිධායක කේ. විජේවීර බව එම පුවතේ දක්වා තිබුණා.

කෙසේ වෙතත් ඉහත සටහනේ දැක්වෙන ලෙස ප්‍රකාශයක් ඔහු විසින් සිදු නොකර ඇති බව දැක ගන්නට ලැබුණේ මේ අයුරින්. 

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප අනුරාධපුර සංවිධායක කේ. විජේවීර මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු පවසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් වල දැක්වෙන ලෙස තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් සිදු නොකර බව ත්, රජරට මිනිසුන් සිරිතක් ලෙස නිවෙස්වලට යෑමේදී තමන්ගේ නිවසින් නෙලා ගත් ඵලදාවක් හෝ මිලදී ගෙන හෝ යෑම සිරිත බැවින් ‘සර්’ බලන්න යන්න මිනිසුන් කල් තියාම සූදානම් වුණු බව ත්, තමන්ට හැකි අයුරින් රජරට මිනිසුන් ගෙන ආ ද්‍රව්‍ය මිසක් වෙනත් පුද්ගලයන් ලබා දුන් දේවල් නොවන බව ත් ඒ මහතා සඳහන් කළා.

Claim 3 (Fact Check):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මූලිකව මෙම ගමන සංවිධානය කර තිබුණා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පිළිබඳව අප දෙරණ පුවත් හරහා පරීක්ෂා කළ ත්, එවැනි ප්‍රකාශයක් සහිත පුවතක් පළ වී ඇති බව දැක ගන්නට නොලැබුණි. එමෙන් ම කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක මේ ආකාරයෙන් පුවතක් පළ වී ඇති බව දැක ගන්නට නොහැකි වුණි.

අද දෙරණ පුවත් ලෙස පළ වී ඇති කුට්ටිආරච්චි මහතාගේ ඡායාරූපය 2024 වසරේ ජූලි 30 වන දා මාධ්‍ය වෙත පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් දක්වන අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බව දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

ඒ අනුව මෙම ඡායාරූප අවස්ථාව මෑතකදී මෙම සිදුවීමෙන් පසුව ලබා ගත් ඡායාරූපයක් නොවන බව පැහැදිලි වේ. දෙරණ පුවත් ආකෘතිය යොදා ගනිමින් මෙම සටහන ව්‍යාජ ලෙස සකසා තිබේ.

එමෙන් ම මේ පිළිබඳව අප කළ විමසීමේදී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙම සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බව ත්, තමන් එවැනි ප්‍රකාශයක් සිදු කළ නොමැති බව ත් ය‍.

මේ පිළිබඳව තිස්ස කුට්ටිආරච්චි මහතා රූපවාහිනී වැඩසටනක දී සිදුකළ කරුණු දැක්වීම පහතින්.

සැ.යු : ඉහත සමාජ මාධ්‍ය සටහන් දෙකෙහි සත්‍ය වශයෙන් ම මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසින් ඒ මහතා බැහැ දැකීමට පැමිණි පිරිස විසින් ගෙන ආ ආහාර ද්‍රව්‍ය ඉවත් කරා ද, නැද්ද යන්න සහ තිස්සකුට්ටි මහතා විසින් එම පිරිසට ගෙන ඒමට බඩු බාහිරාදිය ගෙන දුන්නේ ද, නැද්ද යන වග අපට ස්වාධීනව සත්‍යාපනය කළහැකි කරුණක් නොවේ. නමුත් ඉහත පළමු සටහනේ එලෙසින් ආහාර ද්‍රව්‍ය ඉවත් කර බවට ප්‍රකාශ කර තිබූ පාර්ශවයන් ඒ ආකාරයේ ප්‍රකාශයන් සිදු නොකිරීමත් එම තොරතුරු සනාථ කිරීමට වෙනත් නිසි මූලාශ්‍ර එම සටහන් වල පෙන්වා නොමැති නොමැති වීමත් එය අසත්‍ය සටහනක් බවට පෙන්වා දිය හැක.

ඉහත දෙවන සමාජ මාධ්‍ය සටහනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බටහිර අනුරාධපුර ආසන සංවිධායක සිදු නොකළ ප්‍රකාශක් ඔහු විසින් කළ බව දැක්වීම යන කාරණා මත ඉහත දෙවන සටහන ද, අසත්‍ය බවට පෙන්වා දිය හැක.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Avatar

Title:හිටපු ජනපති මහින්දගේ සුවදුක් බැලීමට පාක්ෂිකයින් විජේරාමෙට පැමිණිම හා සම්බන්ධ නොමග යවන සුළු සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply