දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගියදා අපරාධ සංවිධාන වලට සම්බන්ධ ප්‍රබල අපරාධකරුවන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් සම්බන්ධ සිදු කෙරෙන විමර්ශන වලදී අයිස් මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනද්‍රව්‍ය සැගවීම යටතේ පොදුජන පෙරමුණේ, මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු වනවා. මෙම මන්ත්‍රීවරයා පිළිබද එම පක්ෂයේ දේශපාලඥයන් මෙන් ම වෙනත් පක්ෂ වල දේශපාලඥයින් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල සත්‍යතාවය පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“පක්ෂයේ වියදම් පියවා ගන්න අපේ මන්ත්‍රීවරු යම් ව්‍යාපාර වලට යොමු වුනා” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මේ අයුරින්.

එමෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් “රටේ ආර්ථිකය ගොඩනගන්න සම්පත් මනම්පේරේ වගේ තරුණ ව්‍යවසායකයෝ අපේ රටට අවශ්‍යයි” යනුවෙන් ප්‍රකාශ කළ බවට දක්වමින් සටහනක් ද, ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජරි අබේවර්ධන මහතා විසින් ද, ලිපියක් යොමු කරමින් සම්පත් මනම්පේරි හේතුවෙන් පොදුජන පෙරමුණ සමග ඇති සම්බන්ධතා නවත්වන බවට දක්වමින් ලිපියක් පළ වී තිබුණේ මෙලෙසින්.

ඉහත සටහන් වලට බොහෝ දෙනෙක් උපහාසාත්මකව ප්‍රතිචාර දක්වා තිබුණ ද ඇතැම් අය මෙවන් ප්‍රකාශ අදාළ දේශපාලනයන් විසින් ඇතැම් විට සිදුකර ඇතැයි උපකල්පනය කරනමින් අපහාසාත්මක ප්‍රතිචාර ද රැසක් පළකර තිබුණා. මේ ගැන අප සොයා බැලීමක් සිදුකලේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත පොදුජන පෙරමුණ සම්බන්ධ සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වීමට හේතුව
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් ගැන මේ දිනවල සිදු කරන විමර්ශන අතරතුර දී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන ආ බවට සැකකරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000 කට ආසන්න ප්‍රමාණයක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ සහ තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශවල සඟවා ඇති බවට හෙළි වී තිබුණි.
මෙම රසායන ද්‍රව්‍ය තොගය සඟවා ඇත්තේ පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි සහ ඔහුගේ සොහොයුරා වන පියල් මනම්පේරි විසින් බවත්, විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර මෙම සොහොයුරන් දෙදෙනා අදාළ රසායන ද්‍රව්‍ය තොගය පසුගිය 01 වැනිදා මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක් වෙත ට්‍රැක්ටර්වලින් ගෙනත් දමන ආකාරයත් ඒවා බැකෝ යන්ත්‍ර යොදාගෙන වළ දැමූ ආකාරයත් සී.සී.ටී.වී. කැමරාවල තිබියදී පොලිසිය සොයාගෙන තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ බාල සොහොයුරා වන පියල් මනම්පේරි නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරුවකු වන සම්පත් මනම්පේරි ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
නුවරඑළිය ප්‍රදේශයේ රහසිගත ස්ථානයකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නිෂ්පාදනය කර ඒවා අලෙවි කර ඇති බවත්, මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් රසායන ද්‍රව්‍ය යොදාගෙන ඇති බවද මේ වන විට අනාවරණය වී ඇති බවයි පොලීසිය සදහන් කළේ. මේ පිළිබද පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, සාගර කාරියවසම්
මෙවැනි පසුබිමක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, සාගර කාරියවසම් විසින් “පක්ෂයේ වියදම් පියවා ගන්න අපේ මන්ත්‍රීවරු යම් ව්‍යාපාර වලට යොමු වුනා” යනුවෙන් ප්‍රකාශයක් සිදුකළ බව විශ්වාස කිරීමට අපහසු අතර එවැන්නක් පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ඔස්සේ හෝ පුවතක් පළ වී නොතිබිණි.
එමෙන් ම සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී හෝ දේශයපාලන වේදිකාවකී හෝ දේශයපාලන රූපවාහිනි වැඩසටහනකදී හෝ මෙවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු තැනකදී දැක ගන්නට නොලැබුණි.
ඉහත සටහන් හිරු පුවත් ඔස්සේ පළ කරන ලද දක්වා තිබුණත්, එම නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී එවැනි පුවතක් පළ වී නොමැති බව ද, දැක ගන්නට ලැබුණු අතර අප ඒ පිළිබඳ ඒම මාධ්‍ය අංශයෙන් කළ විමසීමේදී ඔවුන් ද, තහවුරු කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන සටහන අසත්‍ය බව ත්, හිරු පුවත් ලෝගෝ නම අවභාවිත කරමින් මෙලෙසින් ව්‍යාජ සටහනක් වෙනත් පාර්ශයක් විසින් නිර්මාණය කර ඇති බවයි.
එසේම, තම පක්ෂයේ සාමාජිකයකු වන සම්පත් මනම්පේරි වෙත එල්ල වී ඇති මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි සදහන් වූයේ පොදුජන පෙරමුණ කිසිවිටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන් හට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බැවින් සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවයි.

මෙම නිවේදනය සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණත්, “පක්ෂයේ වියදම් පියවා ගන්න අපේ මන්ත්‍රීවරු යම් ව්‍යාපාර වලට යොමු වුනා” යනුවෙන් කාරියවසම් මහතා කළ බවට වාර්තා කර නොතිබුණි.
අප මේ පිළිබදව පොදුජන පෙරමුණෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, සාගර කාරියවසම් මහතා ඉහත සදහන් ලෙස ප්‍රකාශයක් කර නොමැති බව ත්, එම සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව ත් ය.
දිලිත් ජයවීර සහ සමාජ මාධ්‍ය සටහන්
සර්වජන බලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් ද, “රටේ ආර්ථිකය ගොඩනගන්න සම්පත් මනම්පේරේ වගේ තරුණ ව්‍යවසායකයෝ අපේ රටට අවශ්‍යයි” යනුවෙන් ප්‍රකාශයක් කර තිබේදැයි යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට නොලැබෙන අතර ඔහු විසින් කිසිදු තැනක මෙවන් ප්‍රකාශයක් කළ බවට ද, දැක ගන්නට නොලැබේ.
මේ පිළිබදව වැඩි දුරටත් කළ පරීක්ෂාවේදී නිරීක්ෂණය වූයේ, මෙය ව්‍යාජ සටහනක් බවට දිලිත් ජයවීර මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර ඇති බවයි.

එමෙන් ම අප මේ පිළිබදව දිලිත් ජයවීර මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් ද, මෙවැනි ප්‍රකාශයක් ජයවීර මහතා කළා ද, යන්න විමසූ අතර ඔහු ද, තහවුරු කළේ, මෙම පුවත අසත්‍ය බව ත්, ඔහු ඒ ආකාරයෙන් ප්‍රකාශයක් නොකර ඇති බවයි.
වජිර අබේවර්ධන සහ ලිපිය
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන විසින් මෙවැනි ලිපියක් මාධ්‍ය වෙත යොමු කර නොතිබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ අනිකුත් සාමාජිකයන් හෝ මේ ආකාරයේ ප්‍රකාශයක් හෝ කර නොතිබුණි. එමෙන් ම එවැනි ලිපියක් එම පක්ෂයෙන් මාධ්‍ය වෙතට යොමු කළේ නම්, ඒ පිළිබවඳ මාධ්‍ය වාර්තා කරනු ඇත. නමුත් ඒ් ආකාරයෙන් කිසිදු සඳහනක් දැක ගන්නට නොලැබේ.
මේ ව්‍යාජ ලිපිය පිළිබඳ වජිර අබේවර්ධන මහතාගේ ෆේස්බුක් පිටුවේ ද, පළ වී තිබුණේ මේ අයුරින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Title:පොදුජන පෙරමුණේ සම්පත් මනම්පේරි ගැන දේශපාලනඥයින් සිදු කළ ප්‍රකාශ ද?
Fact Check By: Pavithra SandamaliResult: False
