කොළඹ අවටින් නිවසක් ඉල්ලා හේමා ප්‍රේමදාසගෙන් ජනපතිට ලිපියක්? 

False Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

කාලීන සිදුවීම්වලට අදාළව විශේෂයෙන් දේශපාලනික චරිත යොදා ගනිමින් අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන ආකාරය අද්‍යතනයේ බහුලව දැකගත හැකියි. ඒ යටතේ ව්‍යාජ ලිපි සකසා සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පළ කිරීමේ ප්‍රවණතාවක් දැකගත හැකියි. මේ එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ සිදු කළ විමසා බැලීමක්.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

වත්මන් විපක්ෂ නායකතුමාගේ මෑණියන්ගේ ඉල්ලීම යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ පළ කර ඇති මෙම ලිපිය කොළඹ අවටින් නිවසක් ලබා ගැනීම සම්බන්ධව යන ශීර්ෂය යටතේ ඊයේ (11) ජනාධිපතිවරයාට යොමු කර ඇති බව සඳහන් ය. 

හිටපු ජනපති ආර්යාව හේමා ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට යොමු කර ඇති බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන මෙම ලිපියේ සඳහන් වන්නේ, හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මතවීමත් සමග හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹු භාර්යාවන්ගේ ද හිමිකම් අහිමි වී ඇති බවත්  ඒ හේතුවෙන් දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන තමන්ට ද  දැනට පදිංචි නිවසින් ඉවත් වීමට සිදු වන බවයි. දැනට කොළඹ අවට හෝ වෙනත් ප්‍රදේශයක හෝ  තමන්ට හෝ තමාගේ පවුලට අයිති වෙනත් නිවසක් නොමැති බවත් ඒ අනුව දැඩි අර්බූදකාරී තත්ත්වයකට පත්ව සිටින බවත් නව නිවසක් ලබා ගැනීම සඳහා මූල්‍යමය ශක්තියක් තමන් සතුව නොමැති බවත් එහි සඳහන් ය. හේමා ප්‍රේමදාස විසින් ජනපතිට යොමු කර ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මේ පිළිබඳ සොයා බලා කොළඹ අවටින් ජීවත් වීමට සුදුසු නිවසක් ලබා දෙන මෙන් ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි. 

Facebook | Archived Link

WhatsApp ඔස්සේ ද හිටපු ජනපති ආර්යාව විසින් ජනාධිපතිවරයාට යොමු කළ බව කියන මෙම ලිපිය හුවමාරු වී තිබුණේ මේ අයුරිනි. 

ඒ අනුව හිටපු ජනපති ආර්යාව හේමා ප්‍රේමදාස මහත්මිය නිවසක් ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව කියන මෙම සමාජ මධ්‍ය සටහන්වල නිර්වද්‍යතාව පරීක්ෂා කර බැලීමට පියවර ගත්තේ මෙලෙසිනි. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉකුත් 10 වැනිදා සිට බලාත්මක වූ 2025 අංක 18 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත යටතේ හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනපතිවරයින්ගේ වැන්දඹුවන්ට මෙතෙක් ලබාදී තිබූ වරප්‍රසාද රැසක් අහිමි වූ අතර ඒ යටතේ ඔවුන්ට හිමිව තිබූ නිල නිවාස වරප්‍රසාදය ද අහිමි වීම සමාජයේ දැඩිව කතාබහට ලක්වූ මාතෘකාවක් විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන සහ ඩී.බී විජේතුංග යන මහත්වරුන්ගේ සහ ඔහුගේ වැන්දඹුවන් තවදුරටත් ජීවතුන් අතර නොමැති හෙයින් දැනට මෙම හිමිකම ලැබූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට ද නව නීතිය යටතේ එම නිල නිවාස ඇතුළු අනෙකුත් වරප්‍රසාද අහිමි වේ.  මෙවැනි තත්ත්වයක් යටතේ හිටපු ජනපතිවරුන්ට වරප්‍රසාද අහිමිවීම මෙන්ම ඔවුන් සිය නිල නිවාසවලින් ඉවත්ව යාම පිළිබඳ පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ප්‍රමුඛතම පුවතක් බවට පත්ව තිබුණා. 

එහෙත් ඉහත සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය ජීවත්වීම සඳහා නිවසක් ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබුණේ නම්, එය ඉකුත් දින කිහිපයේ මාධ්‍ය වාර්තාවල ප්‍රමුඛතම පුවතක් විය යුතු ය. මන්ද 2025 අංක 18 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ඉකුත් 10 වැනිදා සිට බලාත්මක වීමත් සමග හිටපු ජනාධිපතිවරුන් නිල නිවාසවලින් ඉවත්වීමේ ප්‍රවෘත්ති සඳහා ප්‍රධාන ධාරාවේ ඇතුළු සියලු මාධ්‍ය ප්‍රමුඛ ප්‍රවෘත්ති ලෙස ප්‍රචාරණයක් ලබා දී තිබූ බැවිනි. එහෙත් මෙම මධ්‍ය වාර්තාවල පනත සම්මත වීමෙන් පසු  හිටපු ජනපති ආර්යාය නිල නිවසකින් ඉවත්ව ගිය බවක් හෝ ඇය පදිංචියට නිවසක් ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවට කිසිදු මාධ්‍ය වාර්තාවක් හමු නොවී ය. 

හිටපු ජනපතිවරුන් නිල නිවාසවලින් ඉවත්ව යයි

ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත බලාත්මක වීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) දහවල් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් ඉවත් වී තංගල්ල කාල්ටන් නිවසට පිටත්ව ගියේ ය. ඊට අමතරව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමන් පදිංචිව සිටින නිල නිවසින් ඉවත්ව යාම සඳහා තවත් සති දෙකක් හෝ තුනක් ගතවනු ඇති බව මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. ඒ ඇය ඊට සති කීපයකට ඉහතදී සැත්කමකට භාජනය කර ඇති බැවිනි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද නිල නිවස රජයට භාර දී ඉන් පිටත්ව ගොස් තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබෙනු දැකගත හැකි වුණා. හිටපු ජනාධිපතිවරුන් සිය නිල නිවාසවලින් ඉවත් යාමට අදාළව දෙරණ ප්‍රවෘත්ති වාර්තාතාවේ දැක්වුණේ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පමණක් නිල නිවාසවල රැඳී සිටි බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික නිවාසවල රැඳී සිට ඇති බවත් හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය ද පසුගිය වසරේ සිට නිල නිවසින් ඉවත් සිටින බවයි.  

ඒ අනුව අප තවදුරටත් හේමා ප්‍රේමදාස මහත්මිය ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත යටතේ නිල නිවසක හිමිකම භුක්ති විඳීම පිළිබඳ මාධ්‍ය වාර්තා කර තිබේ දැයි විමසා බැලී ය. ඒ අනුව, හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය   2023 වසරේදී නිල නිවස රජයට භාර දී ඇති බව මෙලෙස වාර්තා කර තිබුණා. එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ, ඇය එම නිවස භාවිත කර නොමැති බවත් ඇය පදිංචිව සිට ඇත්තේ, ඇයගේ පෞද්ගලික නිවසක බවත් ය. හිටපු ජනපති ආර්යාව මීට ඉහතදී තමන්ට හිමිව තිබූ නිල නිවස රජයට ලබා දී තිබූ බවට වන තවත් පුවත් වාර්තා කිහිපයක් මෙතැනින් සහ මෙතැනින්  ඒ අනුව ඇය ඉකුත් 2023 වසරේ සිටම නිල නිවසින් ඉවත්ව ගොස් සිටියේ නම්, පනත අහෝසි වීමෙන් පසු ජීවත් වීමට තැනක් නොමැති බව කියමින් නිල නිවසක් ඉල්ලා ඇති බවට වන සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ලිපිය සත්‍ය නොවන බවට යම්තාක් දුරකට තහවුරු වේ. 

ජනාධිපති මාධ්‍ය අංශය

අප මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ, මෙතෙක් එවැනි ලිපියක් ජනාධිපතිට ලැබුණු බවට තොරතුරු නොමැති බවයි. ලිපිය ඊයේ(11) දින සඳහන් කර ඇති බැවින් එය තැපැල් මාර්ගයෙන් ලැබෙනවානම් ඒ සඳහා ද දින කිහිපයක් ගත විය යුතු බව ත්, දිනකට අධික ලියුම් ප්‍රමාණයක් ජනාධිපති කාර්යාල වෙත ලැබෙන බැවින් ඒවා අදාළ අංශ වලට යොමු කෙරනු අතර ඒ සඳහා දින කිහිපයක් ගත වන බව ත්,තවමත් හේමා ප්‍රේමදාස මහත්මිය විසින් ජනපතිට ලිපියක් යොමු කරාද නැද්ද පැවසිය නොහැකි බව සඳහන් කරනු ලැබුවා.

විපක්ෂ නායක මාධ්‍ය ඒකකය 

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැණීයන් වන හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර තිබේද යන්න සම්බන්ධව තවදුරටත් කරණු දැනගැනීමේ අවශ්‍යතාව මත අප විපක්ෂ නායක මාධ්‍ය ඒකකයෙන් ද මේ පිළිබඳව විමසීමක් සිදු කළේ ය. ඒ අනුව විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ හිටපු ජනපති ආර්යයාව හේමා ප්‍රේමදාස මහත්මිය එවැනි ලිපයක් යොමු කර නොමැති බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපිය ව්‍යාජව සකසා සමාජ මාධ්‍යට මුදා හැර ඇති අසත්‍ය ලිපියක් බවත් ය. තව ද හේමා ප්‍රේමදාස මහත්මිය කොළඹ පිහිටි සිය පෞද්ගලික නිවසේ ජීවත් වන බවත් ඇයට හිමිව තිබූ නිල නිවසේ ඇය පදිංචිව නොසිටි බවත් විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.  මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු ජනපති ආර්යාවට හිමිව තිබූ නිල නිවස 2023 වසරේදී යළි රජයට භාර දුන් බවයි.  

මේ අතර ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත යටතේ හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය භුක්ති විඳි හිමිකම් පිළිබඳ අප ජනාධිපති කාර්යාලයෙන් තොරතුරු විමසා ඇති අතර එම කාර්යාලයෙන් අදාළ තොරතුරු ලද පසු මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අපේක්ෂා කරමු  

2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පසුගිය 9 වැනිදා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවත්, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කතානායකවරයා එහිදී දැනුම් දුන්නේ ය.

ඒ අනුව ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත ඉකුත් 10 වැනිදා  පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150 කින් සම්මත වූ අතර  එදිනම පස්වරුවේ,  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කිරීමත් සමග එකී පනත් කෙටුම්පත 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක විය.

මේ අනුව ඉවත් කරන ලද පනතේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව; ඉවත් කරන ලද පනතේ 3 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්, සහ ඉවත් කරන ලද පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප අහෝසි වේ.  නව පනත සඳහා මෙතැනින් පිවිසෙන්න 

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දෙන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණේ,  2025-06-16 වැනිදායි. 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් ජූලි  21 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒ අනුව 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පතක් වන මෙම නව පනත් කෙටුම්පත එනම් 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බලාත්මක වීමත් සමග 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත අහෝසි විය.  

ඒ අනුව 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ක්‍රියාත්මක විය. අදාළ පනත මෙතැනින් ක්‍රියාත්මක වූයේ, හිටපු  ජනාධිපතිවරයන්ට සහ හිටපු ජනාධිපතිවරයන්ගේ වැන්දඹුවන්ට නිල නිවාස සහ වෙනත් දීමනා සහ පහසුකම්  ප්‍රදාන කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද එවැනි වැන්දඹවුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා විධිවිධාන සැලැස්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසයි.  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, හිටපු ජනපති ආර්යාව පදිංචියට නිවසක් ඉල්ලා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද බව කියන ලිපිය ව්‍යාජව සකසන ලද අසත්‍ය ලිපියක් බවයි. තව ද හිටපු ජනපති ආර්යාව තමන්ට හිමිවූ නිල නිවස 2023 වසරේදී රජයට භාරදී ඇති බවත් ය.

Avatar

Title:කොළඹ අවටින් නිවසක් ඉල්ලා හේමා ප්‍රේමදාසගෙන් ජනපතිට ලිපියක්?

Fact Check By: Sagarika 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *