HSBC බැංකුව, ලංකාව අතහැර ගියා ද?

Economy Misleading

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නව්‍යකරණ විධික්‍රම යටතේ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් ලංකාවේ ජනගත කිරීම වැනි කර්තව්‍යන් හි පුරෝගාමියෙකු වූ, HSBC බැංකුව,  ලංකාවෙන් ඉවත්ව යාමට තීරණය කළා ද? 

මේ ගැන ප්‍රශ්න කරමින්, ඒ සඳහා විවිධාකාරයේ අර්ථකතනත් ලබාදෙමින්  සටහන් රැසක්ම මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණ වෙමින් පවතින අයුරු අපට දැක දන්නට ලැබුණා. එසේ හුවමාරු වන සටහන් කිහිපයක් දෙස බලමු.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“HSBC ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අකුලයි.. නේෂන් ට්‍රස්ට් කොටස් විකුණයි..!” යනුවෙන් මෙන්ම “HSBC බැංකුව ලංකාව හැර යයි”  යනාදී තේමා යටතේ ප්‍රවෘති සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය අපට දැක ගැනීමට හැකි විය.

Facebook | Archived Facebook 

මෙම පුවත සත්‍යයක් බැව් විශ්වාස කළ හා මෙය අසත්‍යක් බව විශ්වාස කළ සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් දක්වා තිබූ අදහස් අපට දැක ගත හැකි විය.

ඒ වගේම HSBC ලංකාව හැර ගොස් ඇති බව දක්වමින් පළවු තවත් සටහනක් පහතින්.

FB | Archived FB

මෙහිදී ඇත්තෙන්ම සිදුව ඇත්තේ කුමක්ද යන්න සහ එහි නිර්වද්‍යතාව පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද මුල් කරමින් මෙලෙස කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබී ය. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) 

අප මේ පුවතේ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට මෙරට ලැයිස්තුගත වාණිජ බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා ශ්‍රී ලංකාවේ HSBC (හොංකොං සහ ෂැංහයි බෑංකින් කෝපරේෂන්) බැංකුවල නිළ වෙබ් අඩවි පරීක්ෂා කිරීමට මුලින්ම කටයුතු කළා.

HSBC බැංකුව

මෙහිදී අපට අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ HSBC බැංකුව සිය සම්පූර්ණ පාරිභෝගික බැංකුකරණ කටයුතුවලින් (Retail Banking) ඉවත්වීමට තීරණය කර ඇත අතර එම ව්‍යාපාර කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට විකිණීමට එකඟ වී ඇති බවයි. ඒ පිළිබඳව පහත නිවේදනය නිකුත් කර පැහැදිලි කිරීමක් සිදුකර තිබුණි.

මෙම නිවේදනයේ දැක්වෙන්නේ යටතේ ලක්ෂ දෙකක් පමණ වන HSBC බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම්, ක්‍රෙඩිට් කාඩ්පත්, සිල්ලර ණය නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත පැවරෙනු ඇති බවක්. 

ඒ අනුව, ලංකාවේ බැංකු ව්‍යාපාර කටයුතු පිළිබඳව උපායමාර්ගික සමාලෝචනයකින් පසුව HSBC සමූහයට, එහි සේවකයන්ට සහ ගනුදෙනුකරුවන්ට මේ ආකාරයට බැංකුවේ පාරිභෝගික බැංකු ව්‍යාපාර කටයුතු විකිණීමෙන් හොඳ ම ප්‍රතිඵලය ලැබෙනු ඇති බවට නිගමනය කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව ද ඉහත නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

තව ද මෙම ගනුදෙනුවේ කොටසක් ලෙස පාරිභෝගික බැංකු ව්‍යාපාරයට සහාය දක්වන සියලුම HSBC ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයට රැකියා ලබා දීමට ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) එකඟ වී ඇත.

බැඳීම් ගිවිසුමක් යටතේ වන මෙම ගනුදෙනුව නියාමන අනුමැතියන්ට යටත්ව එළැඹෙන 2026 වසරේ පළමු භාගයේදී අවසන් කිරීමට අපේක්ෂා කරනු ඇති බවත්, ගනුදෙනුකරුවන්ට සහ සේවකයින්ට සුමට සංක්‍රාන්තියකට සහාය වීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ බැංකු දෙක එක්ව කටයුතු කරනු ඇති බවත් සඳහන් වෙනවා.

එසේම HSBC හි ශ්‍රී ලංකාවේ ආයතනික සහ ආයතනික බැංකු ව්‍යාපාරයට (Corporate and Institutional Banking) මෙම තීරණයෙන් බලපෑමක් ඇති නොවන බව HSBC බැංකුව තහවුරු කර සිටියි. 

ඒ අනුව HSBC බැංකුව සම්පුර්ණයෙන්ම ලංකාවෙන් ඉවත්ව යන බව පැවසීම නොමඟ යවන සුළුය.

එනම්, HSBC බැංකුවේ ජාත්‍යන්තර ආයතනික සේවාදායකයින්ට සහ ගෝලීය ජාලයට එහි වැදගත්කම සැලකිල්ලට ගනිමින්, මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා ක්‍රියාත්මක වන සේවාදායකයින් අතර ද්වි-මාර්ග වෙළඳාම සහ ආයෝජන ප්‍රවාහයන් සක්‍රීය කිරීමට, HSBC බැංකුව තවදුරටත් ලංකාවේ සිය ආයතනික සහ ආයතනික සේවාදායකයින්ට අඛණ්ඩව සහාය වනු ඇත.

HSBC බැංකුව සහමුලින් ම ලංකාවේන් ඉවත්ව යන්නේ නැහැ!

අප මේ ගැන වැඩිදුරටත් කරුණු වටහා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ HSBC බැංකුවේ නියෝජිතවරයෙක් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනු ලැබුවා. එහිදී ඒ මහතා ප්‍රකාශ සිටියේ HSBC බැංකුව සහමුලින් ම ලංකාවේන් ඉවත්ව නොයන බවත් එලෙස HSBC බැංකුව ලංකාවෙන් ඉවත් වන බවට වන ප්‍රවෘතිය අසත්‍ය බවත් ය.  

HSBC බැංකුවේ පාරිභෝගික (Retail) බැංකු සේවා කොටස පමණක් නේෂන් ට්‍රස්ට් බැංකුව විසින් මිලදී ගත් බවත්, HSBC බැංකුවේ ආයතනික සහ ගෝලීය බැංකු සේවාවන් ලංකාවේ තවදුරටත් පෙර පරිදිම පවත්වාගෙන යන බවත් ඒ මහතා පවසන ලදි.  

පුද්ගලික ගනුදෙනුකරුවන්ගේ බැංකු ගිණුම් 2026 වසරේ පළමු කාර්තුවෙන් පසු නේෂන් ට්‍රස්ට් බැංකුවට අනුගත කිරීමට බලාපොරොත්තු අතර මෙය නියාමන අනුමැතියට යටත්වේ. මෙමගින් ගනුදෙනුකරුවන්ට අපහසුතාවයක් ඇති නොවන ලෙස බැංකු කටයුතු අපහසුතාවයකින් තොරව කරගෙන යාමට හැකියාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඔහු තවදුරටත්  ප්‍රකාශ කරන ලදි. 

HSBC හි ගෝලීය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපායමාර්ගික සැලැස්ම සහ ලංකාවේ සිල්ලර බැංකුකරණයෙන් ඉවත් වීම

HSBC විසින් ආසියාව මුල් කරගනිමින් පාරිභෝගික (Retail) බැංකුකරණ කටයුතුවලින් ඉවත් වීම ප්‍රථම වරට සංඥා කරන ලද්දේ 2023 මැයි මාසයේදීයි. බැංකුව එහි දී ආසියානු හැරවුම් උපාය මාර්ගයේ කොටසක් ලෙස රටවල් 12ක් “පිටවීමේ මුර ලැයිස්තුවකට” ඇතුළත් කළ විටය. 

ඉන්පසුව, විධිමත් උපායමාර්ගික සමාලෝචනයකින් පසු 2024 ඔක්තෝබර් මාසයේදී ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරිගේ “සරල කිරීමේ උපායමාර්ගය” යටතේ HSBC හි පාරිභෝගික බැංකුකරණ කටයුතුවලින් ඉවත්වීමේ මුල් පියවර ආරම්භ වූ අතර එහි කොටසක් ලෙස 2025 සැප්තැම්බර් මාසයේදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට රුපියල් බිලියන 18 කට ශ්‍රී ලංකාවේ පාරිභෝගික බැංකු මෙහෙයුම් විකිණීමේ නිවේදනය සිදුවිය. 

මෙය HSBC හි ලොව පුරා විවිධ රටවල දී සිල්ලර වෙළඳපොළවලින් ඉවත් වීමේ ගෝලීය ප්‍රතිපත්තිය සමඟ සමපාත වේ. එනම් දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය (2021), කැනඩාව (2022), ප්‍රංශය (2024), ආර්ජන්ටිනාව (2024) සහ බහරේනය (2025) හි සිල්ලර බැංකුකරණ කටයුතුවලින් HSBC ඉවත් වී ඇත. 

මේ අනුව HSBC ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකුකරණ කටයුතුවලින් ඉවත්වීම HSBC හි ගෝලීය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපායමාර්ගික රටාවක් ක්‍රියාත්මක කිරීම පෙන්නුම් කරයි. 

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඇතැම් සටහන්හි කොටස් විකිණීමක් ගැන ද සඳහන් වුවද , එවන්නම් සිදුව නැහැ. මේ ආකාරයට ව්‍යාපාරික කොටසක් (සිල්ලර බැංකුකරණය වැනි) විකුණන විට, මුල් බැංකුවේ කොටස් ද අනෙක් බැංකුවට මාරුවීමක් සිදුනොවන අතර, කොටස් හිමියන් හිමිකාරිත්වය රඳවා ගන්නා අතර, අදාළ ව්‍යාපාරික අංශයේ ගනුදෙනුකරුවන්, වත්කම් සහ කාර්ය මණ්ඩලය පමණක් ගැනුම්කරු බැංකුවට මාරු වීමක් සිදුවෙනවා. කෙසේවෙතත් මෙම ගණුදෙනුව හරහා මෙම බැංකු දෙකෙහි කොටස් හිමියන්ගේ කොටස්වල වටිනාමකට යම් වෙනස්කමක් ඇතිවීමේ හැකියාවක් තිබේ.

NTB බැංකුව

HSBC ශ්‍රී ලංකා බැංකුවේ සිල්ලර බැංකු ව්‍යාපාරය අත්පත් කර ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව බැඳීම් ගිවිසුමකට එළඹී බවත්, එය නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අපට මෙය සන්ධිස්ථානීය මොහොතක් වන අතර එමඟින් අපගේ ගනුදෙනුකරුවන් සඳහා වඩා හොඳ බැංකු අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව NTB බැංකුවේ කළමනාකරණය නිවේදනය කර සිටිනවා. 

මේ ගැන වැඩිදුර කරුණු පැහැදිලි කරමින් පළකර තිබු පහත කොළඹ කොටස් වෙළඳපල වෙත යැවූ නිවේදනයේ ඉහත HSBC නිවේදනයේ දැක්වෙන කරුණුම බොහොමයක් සඳහන් වනවා. 

එසේම, නේෂන්ස් ට්‍රස්ට් විසින්, HSBC හරහා ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සිල්ලර බැංකු ව්‍යාපාරය රුපියල් 18,000,000,000 (ශ්‍රී ලංකා රුපියල් බිලියන දහඅට) කට සහ අදාළ බදු මත ලබාගැනීමේ එකඟතාවයකට එළඹී බවත් ඒ සඳහා අභ්‍යන්තරව ජනනය කරන ලද අරමුදල් මගින් අවශ්‍ය අරමුදල් සපයනු ලැබෙන බවත්,  මෙයට NTB අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය දක්වා තිබෙන බවත් සඳහන්. 

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්.

NTB BANK

මේ පිළිබද වැඩිදුර නිවැරදි තොරතුරු  ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසින්.   අද දෙරණ හිරු News    මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙතනින්  මෙතනින් මෙතනින් .

පාර්ලිමේන්තුවේ ද HSBC ගැන කතාබහට ලක්වුණා

එසේම, බ්‍රිතාන්‍යයේ මුලස්ථානය පිහිටි, ලංකාවේ විශාල කාලයක සිට මෙහෙයුම් ක්‍රීයාත්මක කරන පැරණිතම වාණිජ බැංකුවක් වන HSBC ශ්‍රී ලංකා, ලංකාවෙන් සිල්ලර බැංකු කටයුතුවලින් ඉවත්වීම පිළිබඳව පාර්ලිම්නේතුවේ ද උණුසුම් මාතෘකාවක් වූ අතර ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂ සහ විපක්ෂය අදහස් දක්වා තිබුණා. සමාජ මාධ්‍ය ඔස්සේ ද HSBC බැංකුවේ තීරණය, රජයේ ක්‍රියාකලාපය ට ඈඳා ගනිමින් ද සටහන් පළවී තිබු අතර මේ ගැන අදහස් දක්වමින්, ඇමති බිමල් රත්නායක පවසා තිබුනේ ආයතනික සැලැස්මක් සමඟ HSBC ලංකාවේ පාරිභෝගික බැංකුකරණයෙන් ඉවත් වී ඇති බවත්, අපිට ඔවුන් අතින් අල්ලලා නවත්තන්න බැරි බවත්, මෙවැනි උපායමාර්ගික තීරණ ලොව විවිධ ගෝලීය ආයතනය විසින් ගන්න බවයි. අදාළ පාර්ලිමේන්තු සංවාදය පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ෂණයෙන් තහවුරු වන්නේ HSBC ලංකා බැංකුවේ පුද්ගලික බැංකු සේවා කටයුතු පමණක් නේෂන් ට්‍රස්ට් බැංකුව විසින් මිලදී ගත් අතර, HSBC බැංකුවේ ආයතනික (Corporate and Institutional Banking) බැංකු සේවාවන් ලංකාවේ තවදුරටත් පෙර පරිදිම පවත්වාගෙන යන බවයි.

ඒ අනුව පැහැදිලි වන්නේ  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන HSBC බැංකුව සම්පුර්ණයෙන්ම ලංකාවෙන් වී යයි යනුවෙන් හුවමාරු වන සටහන් නොමඟ යවන සුළු බවයි.

Avatar

Title:HSBC බැංකුව, ලංකාව හැර ගියා ද?

Fact Check By: Achini 

Result: Misleading


Leave a Reply