හිටපු ජනපති රනිල්ගේ සමයේ ලාභ ලැබූ ශ්‍රීලංකන් සමාගම, ජනපති අනුරගේ පාලනය කාලයේ විශාල පාඩුවක් ලැබුවා ද? 

Economy Insight Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ලොව පුරා රටල් රැසක ගමනාන්ත සියයකට වඩා වැඩි ප්‍රමාණයක් පුරා විහිදෙන ගෝලිය ජාලයක් ඔස්සේ මගී සහ භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධතා පවත්වන මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් පිළිබඳව, විවිධ මාතෘකා ඔස්සේ බොහෝ අවස්ථාවල සමාජයේ කතාබහට ලක්වෙනවා. මේ දිනවල ශ්‍රීලංකන් ලාභ අලාභ පිළිබඳ කතිකාවක් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වී ඇති අතර මේ ඒ පිළිබඳව සිදු කළ කරුණු විමසා බැලීමක්.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :‍

 “සීයාගේ කාලේ ශ්‍රීලංකන් ලාභය බිලියන 3.8 යිකයියාගේ කාලයේ පාඩුව 7.6” යනුවෙන් සඳහන් කරමින් ශ්‍රීලංකන් ලාභය සහ පාඩුව පිළිබඳ මෙම ෆේස්බුක් සටහනින් ප්‍රකාශ වන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ පාලන කාලය තුළ ශ්‍රීලංකන් ලාභ ලබා ඇති බවත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලන කාලය තුළ ශ්‍රීලංකන් පාඩු ලබා ඇති බවත් ය.  

Facebook | Archived Link

ගිය අවුරුද්දේ ලාභ ලැබූ ශ්‍රීලංකන් මේ අවුරුද්දේ පාඩු ලබා ඇති බවට වන තවත් ෆේස්බුක් සටහනක් පහතින් 

Facebook | Archived Link

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ලාභ අලාභ පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වූ තවත් සටහනක් මෙතැනින් Archived Link 

ශ්‍රීලංකන් ලාභ අලාභ පිළිබඳ පළ වී තිබූ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධව අපි සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්.   

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

2024/25 මුල්‍ය වර්ෂය සඳහා ශ්‍රීලංකන් පාඩු ලබන්නේ ජනපති අනුරගේ පාලනය තුළදී ද? 

පසුගියදා ශ්‍රීලංකන් නිකුත් කර ඇති වාර්ෂික වාර්තාව 2024/25 මූල්‍ය වර්ෂය සඳහා එනම්, 2024 අප්‍රේල් 01 සිට 2025 මාර්තතු 31 දක්වා වන මූල්‍ය වර්ෂය සඳහා නිකුත් කර ඇති අතර සමාජ මාධ්‍ය සටහන් තුළ මෙය ජනාධිපති අනුර කුමාර යටතේ පාඩු ලබා ඇති බවට හුවා දක්වමින් සටහන් පළ කර තිබුණ ද මෙරට 09 වැනි ජනාධිපතිවරයා ලෙස  අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ, 2024 වසරේ සැප්තැම්බර් 23 වැනිදාය. එනම් 2024/25 මූල්‍ය වර්ෂය ආරම්භ වී (2025 අප්‍රේල් 1 වැනිදා සිට) මාස 6කට ආසන්න කාලයක් ඉක්ම ගිය පසුවයි. එහි මුල් මාස 6 හි පරිපාලනය වුයේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනපති ආණ්ඩුව යටතේයි.

තව ද ශ්‍රීලංකන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා සිය සමාලෝචනයේදී පවසන්නේ, තමන් ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය 2024 ඔක්තෝබර් මාසයේදී පත්වීම් ලද බවත් ගෝලීය වශයෙන් ගුවන් සේවා කර්මාන්තය යථා තත්ත්වයට පත්වීම සහ දේශීය ආර්ථිකය ස්ථාවර වීම හමුවේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස්  2024/25 මූල්‍ය වර්ෂයේදී ඔරොත්තුදීමේ හැකියාව, අනුවර්ථනයවීමේ හැකියාව සහ උපායමාර්ගික දුරදක්නාභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ බවයි. 

ඒ අනුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලන කාලය තුළ දී පමණක්, ශ්‍රීිලංකන් පාඩු ලබා ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන් සමාජය නොමග යවන සුළු ය.

ශ්‍රීලංකන් සමාගමේ මුල්‍ය තොරතුරු – පසුගිය මුල්‍ය වර්ෂ දෙකෙහි සමාලෝචනයක්

ශ්‍රීලංකන් සමාගමේ මුල්‍ය තොරතුරු ගැන සමාජ මාධ්‍ය සටහන්හි පළකර තිබීම නිසා අප ඒ ගැන පරික්ෂා කිරීමේ දී මුල්‍ය වාර්තාවේ දත්ත අනුව ද ශ්‍රීලංකන් ගුවන් සමාගම 2024/25 මූල්‍ය වර්ෂයේ රු. මිලියන 7,594.56 ක (රු බි.7.59) ශුද්ධ අලාභයක් Net Loss ලබා ඇති බවත් 2023/24 මූල්‍ය වර්ෂයේදී ශ්‍රීලංකන් සමාගම රු. මිලියන 3,870.86ක (බි.3.87) ශුද්ධ ලාභයක් Net Profit ලබා බවත් දැක ගන්නට ලැබෙනවා. 

ඒ කරුණු ඇතුළු මුල්‍ය විශේෂ තොරතුරු පහතින්.

2024/25 ශ්‍රීලංකන් වාර්ෂික වාර්තාව 

කෙසේනමුත්, පසුගිය මුල්‍ය වර්ෂ දෙකෙහි මුල්‍ය තොරතුරු ගැන, සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බොහොමයක් ඔස්සේ ද පෙන්නුම් කර තිබුනේ ගුද්ධ ලාභ / අලාභය ගැන පමණයි. නමුත් සමාගමේ මෙහෙයුම් සහ එකී මෙහෙයුම්හි ලාභ/ ආලාභ ඇතුළු මෙහෙයුම් හි කාර්ය සාධනය ගැන විශේෂ සඳහනක් සිදුකර තිබුනේ නැහැ.

මෙහෙයුම් ලාභ/අලාභ සහ ශුද්ධ ලාභ/අලාභ 

ගුවන් සේවා කර්මාන්තයේ, මෙහෙයුම් ලාභය හෝ අලාභය (Operating Profit /Loss) යනු ඉන්ධන, කාර්ය මණ්ඩල වැටුප්, නඩත්තුව සහ ගුවන් තොටුපළ ගාස්තු වැනි සියලුම සෘජු මෙහෙයුම් වියදම් අඩු කිරීමෙන් පසුව, නමුත් ණය, බදු වැනි අයිතම සඳහා පොලිය ගණනය කිරීමට පෙර, මගී සහ භාණ්ඩ සේවා වැනි මූලික ගුවන් ගමන් මෙහෙයුම් වලින් ජනනය වන ආදායමයි. 

නමුත්, ශුද්ධ ලාභය හෝ අලාභය (Net Profit /Loss) යනු ණය සඳහා පොලිය, විදේශ විනිමය බලපෑම්, බදු සහ සුවිශේෂී ලාභ හෝ අලාභ ඇතුළු අනෙකුත් සියලුම වියදම් තවදුරටත් අඩු කිරීමෙන් පසු අවසාන Bottom Line අගයයි. 

මේ හේතුවෙන්, අධික පොලී පිරිවැය, මුදල් පාඩු හෝ බදු බැඳීම් යනාදිය මෙහෙයුම් ඉපැයීම්වලට වඩා වැඩි නම් ධනාත්මක මෙහෙයුම් ලාභ ඇති ගුවන් සමාගම් වුවද ශුද්ධ පාඩු වාර්තා කළ හැකි බැවින් මේ වෙනස තීරණාත්මක වේ.

ශ්‍රීලංකන් සමාගමේ මුල්‍ය තොරතුරු ගැන වැඩිදුර විශ්ලේෂණය

මේ සඳහා පසුගිය වසර කිහිපයේ ශ්‍රීලංකන් සමුහයේ මුල්‍ය වාර්තා ඔස්සේ ශ්‍රී ලංකන් සමාගමේ ගිනුම්කරගන ඇගයීමකට ලක්කරන ලදී.

මෙම විශ්ලේෂණයේ දී පෙනී යන්නේ ශ්‍රීලංකන් සමාගම, විශේෂයෙන්ම පසුගිය වසර 3 කදී පමණ මූලික මෙහෙයුම් හි සැලකිය යුතු ප්‍රගතියක් ලබාගනිමින් යම්කිසි මෙහෙයුම් ස්ථාවරත්වයක් පවත්වා ගෙන ලාභ ලබා ඇති බවයි.

එහෙත් විශේෂයෙන් 2023/24 මුල්‍ය වර්ෂයේ දී දක්නට ලැබුණු හිතකර විදේශ විනිමය හේතුවෙන් ලැබුණු වාසිය 2024/25 වසරේ දී නොලැබීම මුල් කරගනිමින්, මෙහෙයුම් නොවන පිරිවැයෙහි විශාල බලපෑම හේතුවෙන්, අවසානෙය් දී ශුද්ධ අලාභයකට පරිවර්තනය වී ඇති බව විශ්ලේෂණයේ දී දැක ගන්නට ලැබෙනවා. 

මේ කරුණු ශ්‍රීලංකන් සමාගමේ පසුගිය වසර දෙකෙහි ප්‍රධාන මුල්‍ය දර්ශක (financial indicators) ඔස්සේ පෙන්වා දිය හැක.

FY 2023/24 (Profit)FY 2024/25 (Loss)වෙනස (LKR Mn)වෙනස ප්‍රතිශතයක් ලෙස (%)
Revenue (ආදායම)333,614.09296,506.00(37,108.09)(11%)
Operating Profit (OPBEE)මෙහෙයුම් ලාභය –  විදේශ විනිමය බලපෑම හැර22,360.5922,472.37111.780.5%
Net Profit/(Loss) ශුද්ධ ලාභය / (අලාභය)3,870.86(7,594.56)(11,465.42)(296%)
Net Finance Cost (Net Charge)
ශුද්ධ මූල්‍ය පිරිවැය 
(9,913.39)(31,591.01)(21,677.62)(219%)
Exchange Gain/(Loss) on Debt26,687.55 (Gain)(3,903.32) (Loss)(30,590.87)N/A
Unscheduled Repair Cost (Accrued)*(14,795.36)(8,363.33)6,432.0343% (Reduction)
Penalty Charges on Agreement Breach (Accrued)*(11,837.12)(13,451.21)(1,614.09)(14%) (Increase)

OPBEE = Operating Profit before Exchange Gain/Loss

සම්මත OPBEE (ශුද්ධ විදේශ විනිමය බලපෑම හැර මෙහෙයුම් ලාභ) ගණනය කිරීමේ දී පෙනී යන්නේ මූලික මෙහෙයුම් කාර්ය සාධනය ස්ථාවරව පැවතුන අතර, 2023/24 දී රු. බිලියන 28.15 සිට 2024/25 දී රු. බිලියන 28.42 දක්වා ඉතා සුළු වශයෙන් (0.5%) මෙහෙයුම්හි ලාභය වැඩි වී ඇති බවයි.

එසේනම් මෙහෙයුම් හි ලබා ඇති ලාභය, ශුද්ධ පාඩුවක් බවට පරිවතනය වීමට බලපෑ කරුණු කවරේ ද ?

  1. විදේශ විනිමය අලාභය – Foreign Exchange Loss : ප්‍රධානතම කරුණයි

2023/24 මූල්‍ය වර්ෂයේ ලාභ ලැබීමට හේතුව: 2023/24 මූල්‍ය වර්ෂයේ ඓතිහාසික ශුද්ධ ලාභය, එහි ඇමරිකානු ඩොලර්-නිර්ණය කරන ලද පොලී දරන වගකීම් මත වාර්තා වූ රුපියල් බිලියන 26.69 ක සැලකිය යුතු විනිමය ලාභය (Exchange Gain) මත රඳා පැවතුණි, එය රුපියලෙහි අගය ඉහළ යාම හේතුවෙන් සිදු විය (රුපියල් 327.28 සිට 300.50 පමණ දක්වා).

2024/25 මූල්‍ය වර්ෂයේ පාඩු වීමට හේතුව: පෙර වසරේ ලැබුණු දැවැන්ත විනිමය ලාභය, 2024/25 මූල්‍ය වර්ෂයේදී දක්නට නොලැබුණි. රුපියල තරමක් ශක්තිමත් වුවද (රුපියල් 300.50 සිට 296.25 පමණ දක්වා), ශ්‍රී ලංකන් සමාගම එහි පොලී දරන වගකීම් මත රුපියල් බිලියන 3.90 ක ශුද්ධ විනිමය අලාභයක් (Exchange Loss) වාර්තා කළේය.

ශුද්ධ මූල්‍ය පිරිවැය වැඩිවීම: මේ හේතුවෙන් පෙර වසරේ විදේශ විනිමය අනපේක්ෂිත ලාභය ඉවත් වීම නිසා ශුද්ධ මූල්‍ය පිරිවැය (Net Finance Cost) 219% කින් (රුපියල් බිලියන 21.68කින් අහිතකර ලෙස) වැඩි විය. 

ප්‍රධාන විධායක නිලධාරී සමාලෝචනයේ ද පැහැදිලිවම සඳහන් කරන්නේ 2024/25 දී ශුද්ධ මූල්‍ය පිරිවැය රුපියල බිලියන 31.6 ක් වූ අතර,  එය ශක්තිමත් මෙහෙයුම් ප්‍රතිඵල අභිබවා ගිය ප්‍රාථමික පිරිවැය වූ බවත්, එය අලාභ තත්වයට මුලිකව බලපෑ බවයි.

  1. ආදායම උත්පාදනය කිරීමේ හැකියාව සීමා වීම:

2024/25 මූල්‍ය වර්ෂයේ ශ්‍රීලංකන් සමාගමේ ආදායම රු. මිලියන 296,506 ක් (බි.296.5)  වන අතර 2023/24 වසරේ ආදායම රු. මිලියන 333,614 (බි.333.6) ක් ලෙස සටහන්ව ඇත. එනම් පෙර මුල්‍ය වර්ෂයට සාපේක්ෂව 2024/25 වසරේ දී ශ්‍රී ලංකන් සමාගමේ මුළු ආදායම 11% කින් අඩු විය (LKR බිලියන 37.1) 

මගී ආදායම විශේෂයෙන් 15% කින් අඩු වී තිබුණි. මෙය හේතු වූ කරුණු අතර ගුවන් යානා සීමා කිරීම් පැවතීම මුල් විය. මේ නිසා, ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ ප්‍රබෝධය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගැනීමට ශ්‍රී ලංකන් සමාගමට හැකිවී නැහැ.

මේ අනුව සමස්තයක් වශයෙන් ගත්කළ පෙනී යන්නේ, පසුගිය වසර කිහිපයක දී මෙහෙයුම් ලාභයක් ලබාගත්ත ද 2023/24 වසර හැරුණු විට, දැනට දශකයකටත් වඩා වැඩි කාලයක් පුරාවටම ශ්‍රී ලංකන් සමාගම ශුද්ධ අලාභයක් ලබා ඇති බවත්, 23/24 වසරේ ලාභයටත් ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබුනේ සැලකිය යුතු විදේශ විනිමය ලාභය සහ ලංකා රජය විසින් ණය කළමනාකරණයට සිදුකළ දායකත්වයන් බවයි. 

එනම් 2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රීලංකන් ගුවන් සේවයට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන්හි කොටසක් ලෙස රජයෙන් ප්‍රධාන ඇපකරයක් ලැබුණි. ශ්‍රී ලංකා රජය ඒ අනුව රුපියල් බිලියන 102.5ක් ශ්‍රී ලංකන් සමාගමට යෙදවූ අතර, එය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) ගුවන් සමාගමේ හිඟ ඉන්ධන ණය පියවීම සඳහා සම්පූර්ණයෙන්ම භාවිතා කරන ලදී. මෙම ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකන් සමාගමේ වගකීම් සැලකිය යුතු ලෙස අඩු විය. Annual Report 2023/24

ශ්‍රීලංකන් ගුවන්සේවයේ පරිපාලනය දැක්වූ අදහස් !

මේ අතර ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපති සරත් ගනේගොඩ මහතා වාර්ෂික වාර්තාව පිළිබඳ සිය  සමාලෝචනය ඉදිරිපත්කරමින් පවසන්නේ, ජාත්‍යන්තර ගුවන් යානා සමග තරගකාරීත්වය ඉහළ යාම, ගුවන් යානා සීමා වීම හේතුවෙන් ආන්තිකය සහ මුදල් ප්‍රවාහය මත තවත් බලපෑම් ඇති වූ බවත්, ගෝලීය වශයෙන් ගුවන් යානා උපාංග හිඟවීම සහ  නඩත්තු කිරීමී සඳහා දිගු කාලයක් ගතවීම වැනි හේතු මත ගුවන් යානා සේවයේ යෙදවීමට තිබූ හැකියාව සීමා වූ බවයි. කල්බදු ලෙස භාවිත කළ ගුවන් යානා හිඟය ඉදිරි වසර තුළදී ද පැවතිය හැකි බව සභාපතිවරයාගේ සමාලෝචනයේ වැඩිදුරටත් සඳහන් ය. 

වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහයේ මූල්‍ය කළමනාකරණ ප්‍රධානී යසන්ත දිසානායක මහතා සිය විවරණය මගින් පෙන්වා දී ඇත්තේ, 2024 වසරේදී ශ්‍රී ලංකාව වෙත සංචාරක පැමිණීම මිලියන 2.1 ඉක්මවා ගිය බවත් එය 2019 සිට වාර්තා වූ ඉහළම අගය නිරූපණය කිරීමක් බවයි. එහෙත්  ගුවන් යානා සීමා කිරීම් වැනි අභියෝග හමුවේ වර්ධනය වන ඉල්ලුමෙන් අපේක්ෂිත ප්‍රතිලාභ කාර්යාක්ෂමව සපුරා ගැනීමට නොහැකි වූ බව ඔහු  පෙන්වා දී තිබේ. 

තව ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමක් පෙන්නුම් කළ බැවින් විනිමය අනුපාතයේ බලපෑම, ධාරිතා සීමා වීම ගෝලීය වශයෙන් ආදායම අඩුවීම හේතුවෙන් 2023/24 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව 2024/25 මූල්‍ය වර්ෂයේදී මගී ආදායම 15%කින් පහත වැටුණු ද භාණ්ඩ අංශය 2023/24 වසරට සාපේක්ෂව 2% ආදායමක් වාර්තා කළ බව ප්‍රධාන විධායක නිලධාරී සමාලෝචනයේ සඳහන් ය.  

ශ්‍රීලංකන් සමුහය විසින් සිදුකළ වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීමක්..

2024/25 වාර්ෂික වාර්තාව පදනම් කරගනිමින් නිකුත් වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රීලංකන් සමාගම කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. 

සමාගම නිකුත් කළ  නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, 2024/25 මූල්‍ය වර්තාවේ දැක්වෙන පරිදි, එකී මුල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් සමුහය රුපියල් මිලියන 2,735 ක ශුද්ධ පාඩුවක් වාර්තා කර ඇති බවත්, එය 2023/24 මූල්‍ය වර්ෂයේ ලැබුණු රුපියල් මිලියන 7,925 ක ශුද්ධ ලාභයට සාපේක්ෂව පහත වැටීමක් බවයි. 

එම වෙනසට ප්‍රධාන හේතුව විදේශ විනිමය ලාභය (Exchange Gain) අඩුවීම බවත් එම නිවෙදනයේ සඳහන්ව ඇති අතර 2024/25 වර්ෂයේදී එම විදේශ විනිමය අලාභය (Exchange Loss)  රුපියල් මිලියන 3,925ක් වූ අතර, පෙර වර්ෂයේදී එය රුපියල් මිලියන 26,717ක ලාභයක් වූ බව ද පැහැදිලි කර තිබේ. 

විදේශ විනිමය ලාභය ලැබෙන්නේ විදේශ මුදල් මත පදනම් වූ පොලී සහිත බැඳීම් නැවත අගය කිරීමෙන් (revaluation) වන අතර, රුපියල ශක්තිමත් වීමකින් (appreciation) එවැනි ලාභයක් ඇතිවිය හැකියි. 

විදේශ විනිමය ලාභය නොසලකා බලන විට, 2024/25 වර්ෂය සඳහා ශ්‍රී ලංකන් සමූහයේ පාඩුව රුපියල් මිලියන 6,660ක් වන අතර, 2023/24 මූල්‍ය වර්ෂයේ විදේශ විනිමය ලාභය ගණන් ගැනීමට පෙර වාර්තා වූ රුපියල් මිලියන 18,792 ක පාඩුවට සාපේක්ෂව එය සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රීලංකන් සමාගමේ ණය බර සහ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ඇති ගැටළුකාරී තත්වයන්

සමාගමේ මූල්‍ය සෞඛ්‍යය, රජයේ සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මත තීරණාත්මක ලෙස රඳා පවතිනවා.

• 2008 වසරේ පමණ සිට අලාභ ලබමින් සිටින ශ්‍රීලංකන් සමාගමට මේ වන විට ලබා ඇති සමුච්චිත අලාභය (Accumulated Loss) රුපියල් බිලියන හයසිය ද ඉක්මවා තිබෙනවා.

• ද්‍රවශීලතා අර්බුදය: සමාගමේ වත්මන් වගකීම්, එහි වත්මන් වත්කම් ඉක්මවා ගොස් ඇති අතර එය 2023/24 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව නරක අතට හැරෙන ද්‍රවශීලතා තත්වයක් නිරුපනය කරයි.

• ශ්‍රී ලංකා රජය (GoSL) අඛණ්ඩ මූල්‍ය ආධාර ලබා දෙන බවට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන බවට සහතික වීමෙන් සහාය වන, Going Concern උපකල්පනය මත රඳා පවතී. 

2023/24 දී ගුවන් යානා 21ක් සමඟ ශ්‍රී ලංකන් සමාගම ක්‍රියාත්මක වූ අතර එය 2024/25 දී ගුවන් යානා 22 වී තිබුණ ද කොවිඩ් වසංගතයට පෙර පැවති 27 ට වඩා අඩුය. දිගු නඩත්තු චක්‍ර සහ එන්ජින් ගැටළු හේතුවෙන් ගුවන් යානා ලබා ගැනීමේ හැකියාව සීමා වී ඇති අතර, එමඟින් මගීන්ගේ අපහසුතාවයන්ට හේතු වී තිබුණි. 

මේ අනුව සියලු කරුණු සැලකිල්ලට ගැනීමේ දී පැහැදිලි වන්නේ, ශ්‍රී ලංකන් සමාගමේ ශුද්ධ ලාභදායි තත්වයක් පවත්වාගැනීම පසුගිය වසර ගණනාවක් තිස්සේ ද අපහසු වී තිබෙන්නේ, මෙහෙයුම් හි යම්කිසි ලාභදායි තත්වයක් හෝ ලබාගත් වසරවලදී පවා, දැඩි ව්‍යුහාත්මක ණය ගැටළු හේතුවෙන්, බොහෝ අවස්ථාවලදී එය ලාභදායී තත්වය ද, අවසාන ගිණුම්කරණයේ දී, ශුද්ධ අලාභයක් බවට පරිවර්තර්තනය වීම හේතුවෙනි. එනම් ශුද්ධ ලාභදායි තත්වයක් ලබාගැනීම, විනිමය අනුපාතයන්හි වාසිදායක තත්වය, රජය ණය පියවීමට මැදිහත් වීම ඇතුළු බාහිර ආර්ථික කරුණු රැසක් මත රඳා පැවති ඇති බව පැහැදිලියි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Avatar

Title:හිටපු ජනපති රනිල්ගේ සමයේ ලාභ ලැබූ ශ්‍රීලංකන් සමාගම, ජනපති අනුරගේ පාලනය කාලයේ විශාල පාඩුවක් ලැබුවා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *