දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දරුවන්ට ඔවුන්ගේ බුද්ධිය ලැබෙන්නේ කෙසේ ද? එය මවගේ ජානවලින් සම්පූර්ණයෙන් උරුම වන දෙයක්ද? මේ සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල දැක්වෙන්නේ, දරුවකුගේ සම්පූර්ණ බුද්ධිය සිය මවගෙන් උරුම වන බවයි. ඒ අනුව අප සැබෑ ලෙසම දරුවකුගේ බුද්ධියේ එකම හිමිකාරීත්වය ඇත්තේ මවට ද යන්න පිළිබඳව කරණු විමසා බැලීමක් සිදු කිරීමට අප පියවර ගත්තා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අධ්‍යයනයකින් පෙනී යන්නේ දරුවන්ට ඔවුන්ගේ සියලු බුද්ධිය උරුම වන්නේ..
ඔවුන්ගේ මවගෙන් බවයි..! යනුවෙන් සඳහන් කරමින් මෙම ෆේස්බුක් සටහන පළ කර තිබේ.

ඉංග්‍රීසී භාෂාවෙන් ද මෙම ෆේස්බුක් සටහන මෙලෙස සංසරණය වී තිබෙනු දැකගත හැකි වුණා.

ඒ අනුව දරුවාගේ බුද්ධිය සම්පූර්ණයෙන් ම හිමි වන්නේ මවගෙන් ද යන්න විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර ඇති සත්‍යයක් ද යන්න පිළිබඳව අප කරුණු විමසීමක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
බුද්ධිය යනු බහු ජාන මත පදනම් වූවක් (Polygenic) – මවගෙන් හෝ පියාගෙන් පමණක් තීරණය වන්නක් නොවේ
නූතන ජාන විද්‍යාව මගින් පෙන්වා දෙන්නේ, බුද්ධිය යනු බහුජනක ගුණයක් බව සහ මව සහ පියා යන දෙදනාගෙන්ම උරුව වූ දහස් ගණනක් වූ ජානමත පදනම් වී ඇති බවයි. Genome-Wide Association Studies (GWAS) පර්යේෂණ මගින් බුද්ධියට බලපාන සියගණනක් ප්‍රභේද හඳුනාගෙන ඇති අතර මෙම ප්‍රභේද මවගෙන් පමණක් ලැබෙන බවට කිසිදු සාක්ෂියක් නොමැත. The Nature Reviews Genetics හි The New Genetics of Intelligence මගින් ද තහවුරු කර තිබෙන්නේ, බුද්ධිය යනු මවගෙන් හෝ පියාගෙන් පමණක් උරුම නොවන්නක් වන අතර කුඩා බලපෑමක් සහිත බොහෝ ජාන මගින් ඇති වන්නක් බවයි. ඒ අනුව බුද්ධිය සඳහා බලපෑම් කරනු ලබන ජාන මවගෙන් පමණක් ලැබෙනවා ය යන්න මේවනතෙක් විද්‍යාත්මකව සනාථ වී නොමැති බවයි.
නිවුන් දරුවන්, දරුකමට හදාගත් දරුවන් පිළිබඳ අධ්‍යයන් මගින් සොයාගෙන ඇත්තේ බුද්ධිය අර්ධ වශයෙන් උරුමයක් ලෙස හිමිවන බවත්, වයස සහ පරිසරය අනුව ජානමය සාධක දළ වශයෙන් 40-80% ක් පමණ වන බවත් ය.
- ළදරු කාලයේදී – ජානමය බලපෑමෙන් 20% ක් පමණ
- ළමා කාලයේදි – 40% ක් පමණ
- වැඩිහිටි වයසේදී – 60–80% ක් දක්වා
ඉතිරි ප්‍රමාණය පෝෂණය, අධ්‍යාපන පහසුකම්, නිවසේ වාතාරවණය, ආතතිය සහ දෙමව්පියන් සහ දරුවන් අතර බැඳීම වැනි පාරිසරික බලපෑම් මගින් හැඩගැසී ඇති අතර මෙකී සාධක බුද්ධි වර්ධනය වැඩිවීමට සහ අඩුවීමට බලපෑ හැකිය.
ඒ අනුව පැහැදිලි වන්නේ, බුද්ධිය බහුජනක ගති ලක්ෂණ, ලිංගික වර්ණ දේහවලට බැඳීමක් නොමැති බවයි. දරුවගේ බුද්ධිය මවගේ ජානවලින් පමණක් බුද්ධිය තීරණය වෙනවා ය යන්න එක විද්‍යාත්මක පදනමක් නොමැත.
X- වර්ණදේහ තර්කය වැරදි ලෙස වටහා ගැනීමක්
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල දැක්වෙන්නේ, මවගෙන් X වර්ණදේහ 2ක් සහ පියාගෙන් එක් වර්ණ දේහයක් පමණක් ලැබෙන බැවින් දරුවාට සම්පූර්ණ බුද්ධිය මවගෙන් ලැබිය යුතු බවයි. මොළයේ වර්ධනයට අවශ්‍ය කරන ඇතැම් ජාන X වර්ණදේහයේ පිහිටා ඇති නමුත් බුද්ධිය හා සම්බන්ධ වන ලක්ෂණ මව්වරුන්ගෙන් පමණක් උරුම වන බවක් අදහස් නොකරයි. MedlinePlus ජාන විද්‍යාවට අනුව බුද්ධිය ඇති වන්නේ සාමාන්‍ය වර්ණ දේහ හා ලිංගික වර්ණදේහවල ඇති ජාන අන්තර් ලෙස ක්‍රියා කිරීම මගිනි.
එමෙන් ම X-අක්‍රිය කිරීම (X-inactivation) නිසා, කාන්තාවන්ට දරුවන්ට සජීවී X-වර්ණ දේහ 2 ම ලබා දීමට නොහැක. විද්‍යාත්මක සමීක්ෂණ මගින් පෙන්වා දෙන්නේ, මවගේ X-සම්බන්ධ ජාන බලපෑම පියාගේ සාමාන්‍ය (autosomal) ජාන බලපෑමට වඩා වැඩි බවට කිසිදු සාක්ෂියකින් තහවුරු වී නොමැති බවයි. KQED හි සඳහන් වන්නේ, දරුවෙකුට බුද්ධිය මවගෙන් පමණක් ලැබෙනවා යන්න ජාන විද්‍යාවේ ක්‍රියාකාරිත්වය වැරදි ලෙස ඉදිරිපත් කරන්නක් බවයි.
මවගේ සහ දරුවගේ IQ අගයන්හි සහසම්බන්ධතා ඇති නමුත් තනිකරම ජානමය පමණක් නොවේ
ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ, මවකගේ IQ අගය දරුවෙකුගේ IQ අගය සමග ශක්තිමත් සහසම්බන්ධතාවක් ඇති බවයි. තරුණයින් 12,000 කට වැඩි පිරිසක් සම්බන්ධ කර ගනිමින් සිදු කරන ලද ග්ලාස්ගෝ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ, මවගේ IQ අගය දරුවගේ IQ අගය සඳහා ප්‍රබල අනාවැකියක් සපයන බවයි.
කෙසේ වෙතත්, The Independent දෙන පරිදි , මෙම සහසම්බන්ධය මවගේ අධ්‍යාපනය, නිවසේ ඉගෙනම් පරිසරය, දරුවා කුස තුළ සිටියදී සැලසුම්, ක්‍රියා කලාපය සහ දරුවාගෙ මුල් ළමාවිය උත්තේජනය වැනි ජානමය සාධක මෙන්ම පාරිසරික බලපෑම් යන දෙකම පිළිබිඹු කරන බවයි. පර්යේෂකයින් අවධාරණය කරන්නේ, මෙය දරුවෙකුට බුද්ධිය පැමිණෙන්නේ මවගෙන් පමණක් වන බවට සාක්ෂියක් නොවන බවත් කුඩා කළ දරුවා රැක බලා ගන්නා කෙනා ද දරුවගේ බුද්ධි වර්ධනයට වැදගත් භූමිකාවක් ඉටු කරන බවයි.
මව සමග වන බැඳීම සහ මොළයේ වර්ධනය ජානමය තත්ත්වයක් නොව පාරිසරික තත්ත්වයක්
මව හා දරුවා අතර ශක්තිමත් මානසික බැඳීම ශක්තිමත්වීම තුළ එය දරුවාගේ මතකය , ඉගෙනීම සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කරනවන බව පැහැදිලි කෙරෙන පර්යේෂණ පවතී. මෙම සොයාගැනීම් සත්‍ය නමුත් ඉන් පෙන්නුම් කරන්නේ, යහපත් පාරිසරික කරුණු නිසා දරුවා වඩා හොඳින් වර්ධනය වීම මිස ජානමය උරුමයක් නිසා සිදු වන්නක් නොවන බවයි.
උදාහරණයක් ලෙස පර්යේෂණයකින් පෙන්වා දී ඇත්තේ, දරුවා කෙරෙහි මවගේ ඇති ආදරය, ආකල්ප මෙන්ම දරුවා කෙරෛහි මවගේ ක්‍රියා කලාපය දරුවාගේ (hippocampus) මතකය හා ඉගෙනීම සම්බන්ධ මස්තීෂ්ක කොටස වර්ධනයට බලපාන බවයි. එහෙත් මෙම තත්ත්වය මවගේ වර්ණදේහ නිසා හෝ ජාන නිසා සිදු වන්නක් නොව මව ලබා දෙන ආදරය සහ රැකබලා ගැනීම තුළින් අත්වන දෙයකි.
දරුවාගේ බුද්ධිය මවගෙන් පමණක් ලැබෙන බවට විද්‍යාත්මක සාධක නොමැත
දරුවාට බුද්ධිය මවගෙන් පමණක් ලැබෙන බවට වන සමාජ මාධ්‍ය සටහන් පිළිගත් විද්‍යා ලේඛකයින් මෙන්ම ජාන විද්‍යාඥයින් ද ප්‍රතික්ෂේප කරනු ලබයි. Forbes සඟරාව පවසන්නේ, ඇතැම් ප්‍රසිද්ධ ලිපි මගින් මීයන් පදනම් කරගනිමින් සිදු කරන ලද මූලික පර්යේෂණ වැරදි ලෙස අර්ථකථනය කරමින් අතිශයෝක්තියෙන් යුතුව ගෙනහැර දක්වා ඇති බවයි. එමෙන්ම UC Davis සහ ජාත්‍යන්තර විද්‍යා වාර්තාකරුවන්ගේ මෑත කාලීන වාර්තා මගින් අවධාරණය කරන්නේ, දරුවන්ගේ බුද්ධිය සැකසී ඇත්තේ, මව සහ පියා යන දෙදෙනාගේ ජාන සහ පාරිසරික බලපෑම් එකට ක්‍රියා කිරීමෙන් බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාවට අනුව පැහැදිලි වන්නේ, දරුවෙකුට ඔහුගේ හෝ ඇයගේ සම්පූර්ණ බුද්ධිය මවගෙන් උරුම වන බවට වන ප්‍රකාශ අසත්‍ය බවයි. බුද්ධිය යනු මව සහ පියා යන දෙදෙනාගෙන්ම උරුම වූ දහස් ගණනක් ජාන මගින් මෙන්ම අධ්‍යාපනය, පෝෂණය වගේම රැක බලාගැනීම ඇතුළු සැලකිය යුතු පාරිසරික සාධක මගින් ද බලපෑමට ලක් වන සංකීර්ණ ලක්ෂණයක් බවයි. මවගේ ජානමය සහ මව හා සම්බන්ධ පාරිසරික තත්ත්වයන් යන දෙකම ළමා මනස සංවර්ධනයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ ද බුද්ධිය සම්පූර්ණයෙන් හෝ ප්‍රධාන වශයෙන් මවගෙන් දරුවාට ලැබෙන බවට වන අදහසට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත්ව නොමැත.
Title:දරුවෙකුට සම්පූර්ණ බුද්ධිය උරුම වන්නේ අම්මාගෙන් පමණක් ද?
Fact Check By: Sagarika ChathumaliResult: False


