දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ජීවිතක්ෂයට පත් වූ බවට මෙරට මෙන් ම, ජාත්‍යන්තර වශයෙන් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය තුළත් කටකතා පැතිරෙන්නට විය. මේ පිළිබඳ මෙතෙක් තහවුරු කර ඇති තොරතුරු සම්බන්ධයෙන් අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ඉම්රාන් ඛාන් පාකිස්තානයේ බන්ධනාගාරයක් තුළ රහසිගතව ඝාතනය කර ඇති බව”ට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා.

ඔහු මියගිය අවස්ථාවේ ඡායාරූප බවට දක්වමින් සටහන් ද, පළ වී තිබුණේ මෙලෙසින්.


මේ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
පාකිස්ථානයේ Pakistan Tehreek-e-Insaf පක්ෂයේ නායක හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්ථානයේ රාවල්පින්ඩි හි ආඩියාලා බන්ධනාගාරයේ අත්අඩංගුවේ සිටියදී මිය ගිය බවට සමාජ මාධ්‍යවල සංසරණය වී තිබුණා.
Afghan Times නමින් හැඳින්වෙන මාධ්‍ය ආයතනයක ඔවුන්ට බන්ධනාගාරය තුළ විශ්වසනීය මූලාශ්‍රයකින් තොරතුරු ලැබී ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම කටකතා ආරම්භ වී තිබිණ.
ඔහුගේ දේහය රැගෙන ගොස් ඇති බවට කටකතාවල සඳහන් කර තිබූ අතර කිසිදු පිළිගත් ප්‍රවෘත්ති සංවිධානයක්, බන්ධනාගාර අධිකාරියක් සහ කිසිදු නිල රජයේ මූලාශ්‍රයක් මෙම මරණයක් තහවුරු කර නොතිබුණි.
2013/2022 ඡායාරූප පැරණි ඡායාරූප
2013 සහ 2022 පැරණි ඡායාරූප දෙකක් මේ කටකතාව සඳහා භාවිත කර ඇති බව පෙනී යනවා.
මින් එක් රූපයක් 2013 වසරේදී, ඉම්රාන් ඛාන් මැතිවරණ රැලියක් අතරතුර ෆෝක්ලිෆ්ට් වේදිකාවෙන් වැටුණු අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයකි.

අනෙක් රූපය 2022 නොවැම්බර් 4 වන දින ඔහුව වසිරාබාද්හි ඝාතන උත්සාහයේදී කකුලට සිදු වූ තුවාල අවස්ථාව විය.

හිටපු අගමැති හොඳින් – පාකිස්ථාන රජය
හිටපු අගමැති හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත්, ඔහුව වෙනත් ස්ථානයකට ගෙන යාමේ කිසිදු සැලසුමක් පිළිබඳව තමා නොදන්නා බවත් බන්ධනාගාර නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණා.
කෙසේ වෙතත් මේ පිළිබඳ සමාජ මාධ්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරමින් පාකිස්ථානයේ තොරතුරු සහ විකාශන අමාත්‍යාංශය නිල කරුණු පරීක්ෂාවක් නිකුත් කර ඇති අතර, ඉම්රාන් ඛාන් සම්බන්ධ කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙය ඇෆ්ගන් සහ ඉන්දියානු ජාල වලින් ආරම්භ වූ සම්බන්ධීකරණය කරන ලද වැරදි තොරතුරු ව්‍යාපාරයක කොටසක් බවත් කියා සිටී.
අමාත්‍යාංශයට අනුව, ඇෆ්ගන් සහ ඉන්දියානු සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රකාශ ආරම්භ වූයේ නිර්නාමික ඇෆ්ගන් ගිණුම් මගින් ඉම්රාන් ඛාන් අත්අඩංගුවේ සිටියදී මරා දමා ඔහුගේ දේහය ගෙන යන බවට තහවුරු නොකළ කටකතාවක් පතුරුවා හැරීමෙන් බව ත්, සඳහන් කර තිබුණා.
https://twitter.com/FactCheckerMoIB/status/1993756587421561316
‘ඉම්රාන් ඛාන් කොහෙද?’
ඛාන්ගේ පවුලේ අය සහ පක්ෂ සාමාජිකයින් පසුගිය දිනවල රාවල්පින්ඩි ආරක්ෂක නගරයේ බන්ධනාගාරයෙන් පිටත ඉම්රාන් ඛාන් හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතා දක්වා තිබුණා.
බන්ධනාගාර නීති මගින් ඛාන්ට සතියකට වරක්වත් බාහිර පුද්ගලයින් හමුවීමට ඉඩ ලබා දෙන නමුත් ෙම් වන විට බන්ධනාගාර බලධාරීන් එවැනි ප්‍රවේශයක් අත්හිටුවා ඇති බවයි.
ඛාන්ගේ පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ප්‍රකාශක සුල්ෆිකාර් බුහාරි පවසා ඇත්තේ, නොවැම්බර් 4 වනදා සිට කිසිවෙකු ඛාන් දැක නොමැති බවත් ය. හිටපු අගමැතිවරයෙකුගේ තත්ත්වය තිබියදීත් ඉම්රාන් ඛාන්ට ලබා දිය යුතු සංචාර සහ වෛද්‍ය ආධාර ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් කර තිබුණා.
බුහාරි රොයිටර් පුවත් සේවයට තව දුරටත් පවසා තිබුණේ, පාකිස්ථානු රජය ඛාන්ගේ පවුලට වහාම ඔහුව හමු වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.
ඛාන්ගේ තත්ත්වය සමාජ මාධ්‍යවල කතාබහට ලක්වන කරුණක් බවට පත්ව ඇති අතර #WHEREISIMRANKHAN අද(27) සිට X හි ජනප්‍රිය වී තිබුණි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
මීට ඉහතදී ද, ඉම්රාන් ඛාන් මිය ගිය බවට, පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇති බවට දක්වමින් x පණිවිඩයක් පළ වී තිබුණේ මෙලෙසින්.

එහි වැඩිදුරටත් දැක්වුණේ, හිටපු අගමැති ඉම්රාන් ඛාන් අධිකරණ අත්අඩංගුවේ සිටියදී මිය ගිය බව පකිස්ථාන රජය දැඩි කණගාටුවෙන් නිවේදනය කරන බව ත්, ඔහුගේ මරණයට හේතු වූ කරුණු පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුවෙමින් පවතින බවයි. කෙසේ වෙතත් අමාත්‍යාංශය විසින් එවැනි නිවේදනයක් නිකුත් නොකර ඇති බව ත්, එය අසත්‍ය තොරතුරක් බව ත් හෙළි වී තිබුණි. මේ සම්බන්ධ කරුණු පරීක්ෂණ වාර්තාවක් මෙතනින්.
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට පත් වීම
හිටපු පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ දේශපාලනඥයෙකු වූ ඉම්රාන් ඛාන් 2018 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර පකිස්ථානයේ 22 වන අගමැති ලෙස කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත්, 2022 දී, පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්වීමෙන් පසු ඛාන් බලයෙන් නෙරපා හරින ලදී. 2023 අගෝස්තු මාසයේදී, රාජ්‍ය තෑගි නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධ දූෂණ නඩුවකදී වසර තුනක සිර දඬුවමක් ලැබීමෙන් පසු ඛාන් ඔහුගේ ලාහෝර් නිවසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම වරද පිළිගැනීම හේතුවෙන් ඛාන් වසර පහක් දේශපාලන තනතුරු දැරීමට නුසුදුස්සෙකු විය.
මීට පෙර 2023 මැයි මාසයේදී තවත් දූෂණ නඩුවකින් අත්අඩංගුවට ගත් ඛාන්, කිසිදු වරදක් ප්‍රතික්ෂේප කළ අතර, ඔහු තෑගි නීත්‍යානුකූලව ලබා ගත් බව ප්‍රකාශ කළා. 2022 අප්‍රේල් මාසයේදී ඔහු බලයෙන් පහ කිරීමෙන් පසු ඔහුට එරෙහිව නීතිමය නඩු 150 කට අධික සංඛ්‍යාවක් අනුගමනය කිරීමෙන් පසුව, ඒවායින් බොහොමයක් දූෂණ සහ ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමේ චෝදනාවලට සම්බන්ධ විය.
2024 ජනවාරි මාසයේදී, නිල රහස් පනත යටතේ රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිට වසර 10 ක සිර දඬුවමක් නියම විය. වසරකට පසුව, 2025 ජනවාරි මාසයේදී, අල්-කදීර් භාරය සම්බන්ධ දූෂණ නඩුවකදී ඛාන්ට වසර 14 ක සිර දඬුවමක් නියම වූ අතර, එය ඔහු මෙතෙක් ලබා ඇති දීර්ඝතම දඬුවම බවට පත්විය. ඔහුට පවුම් 4,000 කට වැඩි දඩයක් ද නියම වූ අතර, ඔහුගේ බිරිඳ බුෂ්රා බිබිට වසර හතක සිර දඬුවමක් සහ දඩයක් නියම විය. ඒ සම්බන්ධයෙන් විස්තර මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
ඉම්රාන් ඛාන් මිය ගොස් ඇති බවට කරන ප්‍රකාශයන්ට සහාය දැක්වීමට විශ්වාසදායක සාක්ෂි මෙතෙක් නොමැත. ඔහුගේ මරණය සම්බන්ධ කටකතාව අසත්‍ය බවට, බන්ධනාගාර බලධාරීන් සහ පාකිස්ථාන රජයේ අමාත්‍යාංශ දෙකම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත. සත්‍යාපනය කළ හැකි, විශ්වාසදායක මූලාශ්‍ර වෙනත් ආකාරයකින් තහවුරු කරන තුරු, ඉම්රාන් ඛාන් මැරුණු බවට ප්‍රකාශය සත්‍ය බව පැවසිය නොහැක.
Title:ඉම්රාන් ඛාන් ජීවිතක්ෂයට පත් වූ බවට මෙතෙක් සාක්ෂි නැහැ
Fact Check By: Pavithra SandamaliResult: Insight


