මෙරට කාලගුණ අනාවැකි පළ කර “BBC” වීඩියෝව නිල වීඩියෝවක් නොවන බවට සංසර‍ණය වන වීඩියෝව අසත්‍යයි!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

මිනිස් ජීවිත 650කට දිවි අහිමි ව තවත් පිරිසකට උන් හිටි තැන් අහිමි කරමින් පසුගිය දා මෙරටට ඇද හැලුණු අධික වර්ෂාපතනය හමුවේ රටක් මුහුණ දුන් ගංවතුර සහ නායයෑම් තත්ත්වය රටක් ලෙස අපගේ පෙර සූදානම අල්ප බව මතක් කරනු ලබයි. මේ අතර මෙරට ට මුහුණ පෑමට සිදුවන වර්ෂාපතනය මීට පෙර  දැනුවත් කිරීමක් සිදු කළ බව කියන BBC සේවයේ වීඩියෝවක් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද,  කතා බහට ලක් වූ අතර මේ වීඩියෝව සම්බන්ධයෙන් පළ වූ නොමග යන සුළු සටහන් සහ වීඩියෝ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පසුගියදා මෙරට මාධ්‍ය වාර්තා කර තිබූ එක්සත් රාජධානියේ BBC පුවත් සේවය මෙරට කාලගුණය ගැන කලින් ම අනතුරු හැඟවූ බවයි. නමුත් මේ සඳහා පාදක වී තිබූ කාලගුණ ප්‍රකාශය BBCය විසින් නිකුත් කළ නිල වීඩියෝවක් නොවන බවට තවත් සමාජ මාධ්‍ය වීඩියෝවක් සංසරණය වුණා.

“සුන්බුන් විපක්ෂය කරේ තියාගෙන ගිය බොරු BBC එකට වැඩ වරදී..! රට ගිනි තියන්න සුන්බුන් විපක්ෂය පාවිච්චි කළ “BBC VIDEO” එක නිළ එකක් නොවේ..!” යනුවෙන් සඳහන් කළ එම වීඩියෝව පහතින්.

Facebook | Archived Link

මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කළේ මේ අයුරින්

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මෙරට මාධ්‍ය වාර්තා බොහොමයක් සඳහන් කර තිබුණේ, 2025 නොවැම්බර් 25 වන බ්‍රහස්පතින්දා BBC පුවත් සේවයේ කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කරන අතර ශ්‍රී ලංකාවට මි.මී. 300, 400, 500 දක්වා වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව ත්, ගංවතුර තත්ත්වයක් ඇති විය හැක බවට පුරෝකථනය කළ බව ත් ය.

විපක්ෂයේ දේශපාලනඥයින් චෝදනා කරන්නේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවපීඩන තත්ත්වයක් පිළිබඳව අනාවැකි පළ කර තිබියදී ආණ්ඩුව ඊට මුහුණ දීමට අවශ්‍ය නිසි පියවර නොගත් බව ය.

සමාජ මාධ්‍ය ඔස්සේ ද,  BBC පුවත් සේවයේ කාලගුණය සම්බන්ධයෙන් දක්වා තිබූ එම වීඩියෝව හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන් සඳහා පාදක වී තිබූ Youtube වීඩියෝව පහතින්.

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ වීඩියෝවේ දක්වා ඇති පරිදි BBC ය විසින් ඉදිරිපත් කර තිබූ කාලගුණ වාර්තාව BBC යට අයත් ඔවුන් විසින් ඉදිරිපත් කළ නිල වීඩියෝවක් නොවේද, යන්න අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

වීඩියෝව BBC හි නිල පුවත් සේවය විසින් නිකුත් කළ කාලගුණ අනාවැකියක්

අප කළ පරීක්ෂාවේදී තහවුරු වූයේ, ඉහත වීඩියෝව පසුගිය නොවැම්බර් 24 වන දා එක්සත් රාජධානියේ පොදු සේවා විකාශකයා වන නිල BBC පුවත් සේවය විසින් නිකුත් කළ ආසියාවේ ඉදිරි දින කිහිපයට අයත් කාලගුණ වාර්තාවක් බවයි.

bbc.co.uk

චන්ද්‍රිකා ඔස්සේ ලබා ගත් ඡායාරූපයේ වලාකුළු රාශියක් සහ අඩු පීඩන ප්‍රදේශයක් ශ්‍රී ලංකාව ආසන්නයේ අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව ත්, එහිදී ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී තද වැසි, මිලිමීටර් 300, 400, ඇතැම් විට මිලිමීටර් 500 දක්වා වර්ෂාපතනයක් වර්ධනය වන බවත්, එබැවින් යම් ගංවතුරක් ඇති විය හැකි බව සඳහන් කරනු ලබනවා. තවද මෙම ප්‍රදේශයේ, නිවර්තන සුළි කුණාටුවක් හැඩයට පත්වීමට පටන් ගන්නා ආකාරය දැකගත හැකි බවයි එහිදී ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කාලගුණය පුරෝකථනය කර තිබුණේ.

එමෙන් ම මෙම කාලගුණ වාර්තාව ඉදිරිපත් කර තිබූ Ben Rich, BBCයේ කාලගුණ අනාවැකිකරුවෙකු ලෙසට BBC, කාලගුණ වෙබ් අඩවියේ ද, සඳහන් කර තිබුණේ මේ අයුරින්.

ඔහු සම්බන්ධ තොරතුරු විකිපීඩියා පිටුවේ හා LinkedIn හි ද, සඳහන් කර තිබුණේ, BBC කාලගුණ අනාවැකිකරුවෙකු, කාලගුණ නිවේදක ලෙසයි.

ඒ අනුව, තහවුරු වන්නේ, BBC නිල කාලගුණ වාර්තාවක් මෙලෙසින් පසුගිය නොවැම්බර් 24 වන දා ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය හරහා ඇතිවිය හැකි වර්ෂාපතනය හා ගං වතුර සම්බන්ධයෙන් පුරෝකතනය කර තිබූ බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අනාවැකිය

තව ද,  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පසුගිය නොවැම්බර් 12 වන දා දෙරණ BIG FOCUS වැඩසටහනට පැමිණ, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයන් ඇතිවිය හැකි බවට ද, අනාවැකි පළ කර තිබුණා.

ගණිත ආකෘති භාවිතයෙන් මුලින්ම මෙම අනාවැකිය ලබා දුන් අතර, වායුගෝලයේ වෙනස් වීම් අනුව කැළඹෙන ස්වභාවයන් ඉස්මතු වන බව ඔහු පැහැදිලි කරමින්, ලංකාවට ගිනිකොණ දිශාවෙන් ඇති බෙංගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් පවතින බව පැහැදිලිව පෙනෙන බව ත්, මෙය පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඇතිවන බව සඳහන් කළා.

මෙම තත්ත්වය හේතුවෙන් වර්ෂාපතනය ඉහළ යෑමක් අනිවාර්යයෙන්ම සිදුවන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බව ත්, මෙම වර්ධනය නොවැම්බර් 14 වන දාට පසු සිදුවනු ඇතැයි ප්‍රකාශ කර නමුත් නොවැම්බර් 14 වනදා නොව, එම දින කීපය තුළ දැනට තිබෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වනු ඇති බව ට පැහැදිලි කරනු ලැබුවා.

එකපාරට සුළි කුණාටුවක් ඇති නොවන බවත්, වර්ධනයක් සිදු විය යුතු බවත්, එම වර්ධනයත් සමගම ගමන් මාර්ගය පරීක්ෂා වන බවත් ඔහු අවධාරණය කරනවා.

අතුල කරුණානායක මහතා සඳහන් කරන්නේ, තමන්ගේ අත්දැකීම් අනුව, ඉදිරි දින කීපය තුළ මෙම කැළඹෙන ස්වභාවය අඩු පීඩන කලාපයක් (පහළ මට්ටමට) දක්වා යාමට ඉඩ ඇති බවයි.

ඔහු දැනට “සුළි කුණාටුව” යන වචනය භාවිත කිරීමට නොහැකි බව පවසන නමුත්, ලංකාවේ කාලගුණික තත්ත්වය දැනට තිබෙනවාට වඩා වැඩි වීමක් සිදුවන බවත්, වර්ෂාපතනය ඇතිවිය හැකි බවත්, එය සාමාන්‍යයෙන් සැලකිල්ලෙන් සිටිය යුතු මට්ටමේ වර්ෂාවක් බවත් ප්‍රකාශ කරනු ලබනවා.

වාසනාවට, බොහෝ විට ලංකාවට පැමිණ ඇත්තේ අඩු තීව්‍රතාවයකින් යුත් සුළි කුණාටු බව ද ඔහු මෙහිදී සඳහන් කරනවා.

නොවැම්බර් 11 කිව්වේ දිට්වාගැන නෙවෙයි‘- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ

මේ අතර, නොවැම්බර් 11 වන දා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේ, ‘දිට්වා’ සුළි කුණාටුව සම්බන්ධයෙන් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් BBC සිංහල පුවත් සේවයට පවසා තිබුණා.

“පෙර දැනුම් දෙන්න විදිහක් නෑනෙ. හඳුනා ගත්තට පස්සෙ එපැයි දැනුම් දෙන්න. මේක හරි ඉක්මනින් වර්ධනය වෙච්ච එකක්. දැන් අපට කියන්න බැහැ ලබන සතිය වෙනකොට සුළි කුණාටුවක් එනව කියල. ඒ හැසිරීම හඳුනා ගත්තට පස්සෙ තමයි කියන්න පුළුවන්. ඕක සංකීර්ණ ක්‍රියාවලියක්. ඕක කියන තරම් සරල දෙයක් නෙවෙයි. දත්ත විශ්ලේෂණ හරහා නෙ හඳුනා ගන්නෙ. ඒ නිසා දත්ත විශ්ලේෂණ හරහා අපි හඳුනා ගන්නවා 25 වෙනි දා වගේ වෙනකොට මෙවැනි තත්ත්වයක් එන්න පුළුවන් කියන එක. අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නෙ ඒක වර්ධනය වුණාට පස්සෙ. 25 තමයි අඩුපීඩන තත්ත්වය හැදෙන්නෙ. 25 තමයි සුළි කුණාටුවක් වෙන්නෙ.” මේ සම්බන්ධ සම්පූර්ණ මාධ්‍ය වාර්තාව මෙතනින්.

BBC යේ නවතම කාලගුණ අනාවැකිය

දෙසැම්බර් 10 වන දා BBC ය ඉදිරිපත් කළ කාලගුණ වාර්තාව අනුව වසරේ මෙම කාලය තුළ, දකුණු ආසියාව පුරා ඊසාන දිග මෝසම සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් සහ හිරු එළිය පතිත වන නමුත් වර්ෂාපතනය බොහෝ දුරට ශ්‍රී ලංකාවට සහ ඇතැම් විට මාලදිවයිනට සීමා වන බව ත් සඳහන් කරනවා. 

කෙසේ වෙතත්, ඉන්දියාව පුරා, හිරු රශ්මිය ආධිපත්‍යය දරනු ඇත, මාලදිවයින ආසන්නයේ ඉඳහිට වැසි පමණක් පවතින අතර, වර්ෂාවෙන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට සහ ඈත දකුණු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට බලපාන බව ත්, අධික වර්ෂාපතනයක් ශ්‍රී ලංකාව වෙත යොමුව පවතින බවට ඔවුන් මෙහිදී පුන පුනා පවසනු ලබයි. එම විකාශය මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර පුවත් සේවයක් වන BBC ය විසින් පසුගිය නොවැම්බර් 24 වන දා පුරෝකථනය කර තිබූ පරිදි ලංකාවට වැසි සහිත ගංවතුර තත්ත්වයක් එළැඹෙන බවට පැවසූ කාලගුණ අනාවැකිය BBC මාධ්‍ය ජාලයේ නිල කාලගුණ අනාවැකියක් නොව එම පුවත් සේවයට අයත් නොවන වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කර ඇති අනාවැකියක් බවට පෙන්වා දී තිබූ මෙරට ඇතැම් සමාජ මාධ්‍ය සටන් සහ වීඩියෝ අසත්‍ය බවයි. BBCයේ කාලගුණය පිළිබඳ සඳහන් නිල වෙබ් අඩවියේ මෙරට වැසි සහිත ගංවතුර තත්ත්වය සම්බන්ධ අනාවැකිය පසුගිය 24 වන දා පළ කර ඇති බවට දැක ගන්නට ලැබේ.

Avatar

Title:මෙරට කාලගුණ අනාවැකි පළ කර “BBC” වීඩියෝව නිල වීඩියෝවක් නොවන බවට සංසර‍ණය වන වීඩියෝව අසත්‍යයි!

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *