දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ශ්‍රීලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය” සහ “දකුණු ආසියාවේ ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය” වැනි කලාපීය සම්මාන කිහිපයක්ම දිනා ගැනීම මත දකුණු ආසියාවේ සමස්ත “හොඳම ගුවන් සේවය” ලෙස අර්ථදැක්වීම මත බොහෝ දෙනා නොමග ගොස් තිබුණා. මේ ඒ පිළිබඳ Factcrescendo Sri Lanka අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක්
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ශ්‍රීලංකන් ගුවන් සේවය ‘දකුණු ආසියාවේ හොදම ගුවන් සේවය’ ලෙස තේරී ඇති බවට දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
පාඩුයි කියල විකුණන්න හදපු ශ්‍රී ලංකන් ගුවන් සේවය, දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය බවට පත්ව ඇතැයි ද , ඒ අනුව මෙතෙක් කල් වරද තිබී ඇත්තේ ගුවන් සේවයේ නොව, මීට පෙර රට පාලනය කළ පිරිස මතයි යනුවෙන් ද වැඩිදුරටත් එම වීඩියෝවේ පසුබිම් හඬින් කියවෙනවා.
මෙහි දැක්වෙන ලෙස සැබවින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය ලෙස තේරී පත්වුණි ද සහ එහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
Explainer (කරුණු පැහැදිලි කිරීම):
අප මුලින්ම මෑතක දී ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙලෙස දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය බවට පත්වූ බවට පුවත් වාර්තා වී ඇතිදැයි පරික්ෂා කළා.
APEX හි ඇගයීම්
එහිදී ‘ශ්‍රීලංකන් ගුවන් සේවය 2026 සඳහා මධ්‍යම/දකුණු ආසියාවේ ආහාර-පාන අංශයේ හොඳම APEX සම්මානය දිනා ගනී’ යන තේමාවෙන් ශ්‍රී ලංකන් හි වෙබ් අඩවියේ පළවී ඇති පුවතක් දැක ගන්නට ලැබුණා. ඒ වාර්තාවේ දැක්වෙන්නේ Four Star Major Airline තත්ත්වය ද රඳවා ගැනීමට ශ්‍රී ලංකන් සමාගම සමත් වී ඇති බවත් මෙම සම්මාන මගින් ගෝලීය වශයෙන් ගුවන් සමාගම් 600 කට අධික සංඛ්‍යාවක් ඇගයීමට ලක් කරන බවයි.ආසන සුවපහසුව, කැබින් සේවාව, ආහාර සහ පාන වර්ග, විනෝදාස්වාදය සහ Wi-Fi යන ක්ෂේත්‍රවල එක් එක් කලාපයේ හොඳම ගුවන් සේවා තේරීමක් එහිදී සිදුකර තිබු බවද සඳහන්.
මෙය ජාත්‍යන්තර ගුවන් සේවා ඇගයීමේ සංගමයක් විසින් ලබාදුන් ශ්‍රේණිගත කිරීමක් වුව ද මෙහි සමස්ත ලෙස ශ්‍රී ලංකන් සමාගම, දකුණු ආසියාවේ ප්‍රමුඛතම හෝ හොඳම ගුවන් සේවය බවට පත්වූ බවක් සඳහන් වන්නේ නැහැ.
එසේම දකුණු ආසියානු කලාපයේ ඇති අනෙකුත් ගුවන් ගමන් සේවා වන Air India, IndiGo වැනි ගුවන් සේවාවන් ද වෙනත් කාණ්ඩ යටතේ මෙහිදී සම්මානයට පාත්‍ර වී ඇති බවත්, සමස්ත ලෙස හොඳම ගුවන් සේවාව ලෙස මධ්‍යම ආසියානු රටක් වන කසකස්තානයේ Air Astana ගුවන් සේවය APEX හි 2026 සඳහා ඇගයීමට ලක්ව ඇති බවත් දැක ගන්නට ලැබෙන්නේ මෙලෙසින්.
ඒ අනුව ඊට පෙර වත්මන් රජය යටතේ සහ ඊට පෙර පාලනයන් යටතේ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමන ලද ඇගයීම් ගැන අප පරීක්ෂාවක් සිදු කළා.
ITCTA කලාපිය ඇගයීම්
පසුගිය 2025 වසරේ ජූලි මාසයේදී, ඉන්දියාවේ නවදිල්ලියේ පැවති ජාත්‍යන්තර සංචාරක සමුළුව සහ සංචාරක සම්මාන (ITCTA) හිදී, ශ්‍රීලංකන් ගුවන් සේවය “දකුණු ආසියාව සඳහා හොඳම ගුවන් සේවය” ලෙස නම් කර තිබේ.
මෙම සම්මානය ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය සහ කලාපය පුරා සංචාරකයින් සමඟ එය වර්ධනය කරන අර්ථවත් සම්බන්ධතා සඳහා ගෞරවයක් ලෙස හිමිවී ඇති අතර කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් සහ ජූරි සභිකයින් විසින් මෙය ලබා දී ඇති බව මාාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
පසුගිය වසර කිහිපයේම පිටපිටම SATA විසින් ලද කලාපිය ඇගයීම්
එමෙන් ම 2023, 2024 සහ 2025 යන වසර වලදී දකුණු ආසියානු සංචාරක සම්මාන (SATA) එනම්, දකුණු ආසියාවේ ආගන්තුක සත්කාර හා සංචාරක කර්මාන්තයේ විශිෂ්ටත්වය සැමරෙන වාර්ෂික උත්සවයක් වන අතර, එය කලාපයේ ප්‍රමුඛතම සංචාරක සම්මාන අතරින් එකකි. මෙම සම්මාන උත්සවය කලාපීය සංචාරක සංවිධාන 18කට වැඩි සංඛ්‍යාවක් විසින් අනුමත කර ඇත.
ජයග්‍රාහකයින් තේරීම ගුවන් ගමන් ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ ගුවන් මගීන් දෙපාර්ශවයේම ඡන්ද මත පදනම්ව සිදු කරන අතර, එමඟින් මෙම සම්මානය කර්මාන්තයේ විශිෂ්ටත්වය සහ පාරිභෝගිකයන්ගේ ගුවන් සෙවයට ඇති තෘප්තිය පිළිබිඹු කරයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වෙබ් අඩවියේ ගුවන් සමාගමට හිමිව ඇති කලාපීය සම්මාන කිහිපයක් (SATA, ITCTA, PAX, APEX) සම්මාන පිටුවේ ලැයිස්තුගත කර ඇති නමුත් මේවා සංචාරක සහ මගී අත්දැකීම් මත තෝරා ගන්නා සම්මාන වන අතර, සියලුම දකුණු ආසියානු ගුවන් සේවා සඳහා විධිමත් නියාමකයෙකු විසින් සිදු කරන ලද හෝ ආරක්ෂක අධිකාරියේ ශ්‍රේණිගත කිරීමක් නොවේ.
ගුවන් සේවාවල ආරක්ෂිත බව ශ්‍රේණිගත කිරීම, මූල්‍ය ශක්තිය, නියමිත වේලාවට ගුවන් ගමන්, ගුවන් යානා වයස හෝ නියාමන අනුකූලතාව වැනි සම්පූර්ණ මිනුම් මත සියලුම ගුවන් සේවා තක්සේරු කිරීමක් හෝ සංසන්දනය කිරීමක් සිදු කොට මෙම සම්මාන පිදුම් ලබා නොදෙයි.
Skytrax ශ්‍රේණිගත කිරීම්
අනෙකුත් ගුවන් සේවා සඳහා ගෝලීය මිණුම් සලකුණු සහ ශ්‍රේණිගත කිරීම් සිදු කෙරෙන Skytrax, Airline Ratings හි ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලබාදී ඇති ශ්‍රේණිගත කිරීම් ද අප පරික්ෂා කර බැලුවා.
Skytrax විසින් පිරිනමන ලද ලෝක ගුවන් සේවා සම්මාන ලැයිස්තුව සහ AirlineRatings.com ආරක්ෂණ දත්ත වල 2025 සඳහා ලොව හොඳම ආරක්ෂිතම පූර්ණ සේවා ගුවන් සේවා දක්වා තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
පරිපූර්ණ සංචාරක අත්දැකීම් සඳහා ගුවන් සමාගම් ඇගයීමේදී, ආරක්ෂාව සහ සේවා ගුණාත්මකභාවය තීරණාත්මක පදනමක් සාදයි. නිරීක්ෂණය කරන ලද ගුවන් සේවා 385 න්, මෙම වසරේ ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ ආරක්ෂක වාර්තාව, ගුවන් යානා බලඇණියේ වයස, අනතුරු ඉතිහාසය සහ නියමු පුහුණු ප්‍රමිතීන් පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් මත ය.
කෙසේ වෙතත් මෙහි ශ්‍රී ලංකන් හෝ දකුණු ආසියානු ගුවන් සේවා දැක ගන්නට නොලැබුණු බැවින් දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා ගැන සඳහන් අනෙකුත් ඇගයීම් වෙත ද අප අවධානය යොමු කළා.
දකුණු ආසියාවේ ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවා
ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම් බොහෝ විට ගුවන් සමාගම් සඳහා ගෝලීය මිණුම් ලකුණක් ලෙස භාවිතා කරනු ලැබේ. මෙහිදී ගුවන් සේවාවේ බරපතල සිදුවීම්, විගණන සහ අනුකූලතාව නිරීක්ෂණය කිරීම ගෝලීය මිණුම් සඳහා සලකා බැලේ.
ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය AirlineRatings.com හි 7/7 ආරක්ෂිත ශ්‍රේණිගත කිරීමක් සමඟ ලැයිස්තුගත කර ඇති අතර එය ගුවන් සමාගම් සඳහා පුළුල් ලෙස යොමු කරන ලද ගෝලීය ආරක්ෂිත ශ්‍රේණිගත කිරීමේ වේදිකාවකි.
2024 දී දකුණු ආසියාව සඳහා Skytrax ලෝක ගුවන් සේවා සම්මාන කලාපීය දත්ත වලට අනුව, Vistara ගුවන් සේවාව ඉන්දියාවේ/දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය ලෙස ශ්‍රේණිගත කරන ලද අතර, ශ්‍රීලංකන් ගුවන් සේවය එහි 4 වන ස්ථානයේ ශ්‍රේණිගත කර තිබුණා. මෙම ශ්‍රේණිගත කිරීම Skytrax මගී සේවා තක්සේරු කිරීම් සහ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් පිළිබිඹු කරයි. skytraxratings Avian Voice
භූගෝලීය කලාපය අනුව 2025 දී ලොව හොඳම ගුවන් සේවා ද ස්කයිට්‍රැක්ස් ලැයිස්තුගත කර ඇති අතර 2025 ඉන්දියාවේ / දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවා අතර ශ්‍රී ලංකාව 03 වන ස්ථානයේ පසුවූ අතර 1 වන ස්ථානයේ Indigo සහ 2 වන ස්ථානයේ Air India පසුවුණා.
APEX (Airline Passenger Experience Association) යනු ගුවන් සේවා මගී අත්දැකීම් සංගමය වන අතර එය ගෝලීය ලාභ නොලබන කර්මාන්ත ආයතනයක් වේ. මෙම සංගමය, මගී අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ගුවන් සමාගම් සහ සැපයුම්කරුවන් සමඟ කටයුතු කරන අතර ප්‍රධාන ගුවන් සේවා සම්මාන සහ ප්‍රමිති වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් වන (Four Star™, Five Star™ සහ World Class™ ඇතුළුව) මූලික වශයෙන් TripIt හරහා එකතු කරන ලද සහතික කළ මගීන් ලබාදෙන තොරතුරු සහ දත්ත මෙන්ම වෙනත් විගණනය කරන ලද තෙවන පාර්ශවීය දත්ත මත පදනම් වේ. එහිදී ආසන, ආහාර පාන, විනෝදාස්වාදය, Wi‑Fi, ආරක්ෂාව/යහපැවැත්ම, තිරසාරභාවය සහ පටන්ගැනීමේ සිට අවසානය දක්වා අමුත්තන්ගේ අත්දැකීම් වැනි සාධක හරහා සමස්ත පියාසැරි අත්දැකීම් ඇගයීමට ලක් කරයි.
APEX විසින් නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් කාණ්ඩ හතරකින් ගුවන් සේවා හඳුනා ගෙන තිබේ. එනම්, ගෝලීය ගුවන් සේවා , ප්‍රධාන ගුවන් සේවා ,කලාපීය ගුවන් සේවා, අඩු වියදම් ගුවන් සේවා ලෙසයි.
ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම්වල තරු පහේ සහ තරු හතර ලබාගත් ගුවන් සේවා ලෙස ඔවුන් ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙලට ලැයිස්තුගත කර තිබේ. එහි නවතම වාර්තාවට අනුව, 2026 වසර සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය තරු හතරක් ලබා ගත් APEX ප්‍රධාන ගුවන් සේවා කාණ්ඩයට ඇතුළත් වී තිබුණා. එසේම දකුණු ආසියාවෙන් මෙහිදී Air India නම් කර තිබුනේ APEX හි තරු හතරක් ඇති ගෝලීය ගුවන් සේවා කාණ්ඩයේ යි.
කෙසේවෙතත්, මෙම වර්ගීකරණය යටතේ, තරු පහ කාණ්ඩයේ ඇති ගුවන් සේවා අතර දකුණු ආසියානු වෙනත් ගුවන් සේවා හෝ දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
එසේම 2025 වසර සඳහා Cirium හි නියමිත වේලාවට කාර්ය සාධන ශ්‍රේණිගත කිරීම්වලින් පෙන්නුම් කරන්නේ වඩාත්ම වෙලාවට වැඩ කරන ආසියා-පැසිෆික් ගුවන් සේවාවන් වන අතර IndiGo සහ Air India එහි සඳහන් වී තිබේ. Cirium දත්ත සාමාන්‍යයෙන් කර්මාන්ත විශ්ලේෂකයින් විසින් භාවිතා කරනු ලැබේ. ඒ සම්බන්ධ ලිපියක් මෙතනින්.
|
දකුණු ආසියාවේ හොඳම / උසස්ම ගුවන් සේවය |
ශ්‍රී ලංකන් ගුවන් සේවයට හිමි ව ඇති ස්ථානය |
|
|
ITCTA 2025 කලාපීය සම්මානය (“දකුණු ආසියාව සඳහා හොඳම ගුවන් සේවය”) |
ශ්‍රී ලංකන් ගුවන් සේවය (ජූරි සභාව පදනම් කරගත් සංචාරක සම්මානය). |
ගෝලීය ශ්‍රේණිගත කිරීමක් නොව, මෙම නිශ්චිත කාන්ඩයක පමණක් ජයග්‍රාහකයා |
|
SATA “ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය – දකුණු ආසියාව” |
2023–2025 ශ්‍රීලංකන් ගුවන් සේවයට පිරිනමන ලද කාණ්ඩ ශූරතාව. (Visitors’ Choice) |
එම කාණ්ඩයේ වසර ගණනාවක් ජයග්‍රාහකයා |
|
ස්කයිට්‍රැක්ස් “ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය” 2024 |
Vistara (tataworld) |
2024 දකුණු ආසියාවේ 4 වන හොඳම ලෙස ශ්‍රේණිගත කර ඇත |
ශ්‍රීලංකන් ගුවන් සේවය
ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මාරියා සතාසිවම් මහත්මිය සඳහන් කරනු ලබන්නේ, ඉහත සඳහන් කරන ලද APEX ශ්‍රේණිගත කිරීම, සාධක රැසක් සැලකිල්ලට ගනිමින් ගුවන් සේවා වර්ගිකරණට කරන බවත්, ශ්‍රී ලංකාව වසර ගණනාවක් සිව්වන කාණ්ඩයේ සිටින බවත්, කලාපයේ තවත් ගුවන් සේවා ද සිව්වන කාණ්ඩයේ සිටින බවයි.
එසේම APEX විසින් විවිධ කාණ්ඩන් යටතේ සම්මනා ලබාදෙන බවත්, පසුගිය නොවැම්බරයේ ආහාර පාන කාණ්ඩයේ වෙනුවෙන් ශ්‍රී ලංකන් ලද සම්මානයට අමතරව මීට පෙර වසර වලදී ද එහි විවිධ ඇගයීම් දිනා දෙන ඇති බවයි.
පසුගිය වසර 5 තුළ දී ශ්‍රීලංකන් ගුවන් සේවාව ලබා ඇති කලාපිය සහ ගෝලීය ඇගයීම්, ඔවුන්ගේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙලෙසින්. ඒ අනුව ද කලාපිය වශෙයන් හොඳම ගුවන් සේවාව ලෙස, කාණ්ඩ කිහිපයක් ඔස්සේ වසර කිහිපයේ දී ම ඔවුන් ඇගයීමට ලක්ව ඇති බව පෙනී යනවා.
එසේම ඇය වැඩිදුරත් පැහැදිලි කර සිටියේ දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවා සමාගම් තියෙනවා කියලා අපිට කියන්න බැහැ, එයට හේතුව එවැනි නිල සම්මානයක් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ලබා නොදීමයි. කෙසේනමුත් කලාපය තුළ ශ්‍රීලංකන් සමාගම බහු සම්මානලාභීන් ලෙස හඳුන්වා දිය හැක. එම ඇගයීම්, වත්මන් ආණ්ඩුව පැමිණීමට පෙර සිටම අතීතයේදීත් අපට හිමිවී තිබෙනවා. විශේෂයෙන්ම අප මගී අත්දැකීම් සහ ප්‍රතිපෝෂණ මත පදනම් ලබාදෙන Apex සම්මානයට, කාණ්ඩ කිහිපයක් ඔස්සේ ම පසුගිය වසර කිහිපයේ දී ම පාත්‍ර වී තිබෙනවා.
Skytrax ආයතනයට අනුව 2025 සඳහා ආසියාවේ හොඳම ගුවන් සේවා
ඉතිහාසයේ නවවන වරටත් ලොව පුරා ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ කටාර් එයාර්වේස්වේ, නමුත් ආසියාවේ නැගී එන ගුවන් සේවාව වන්නේ, සිංගප්පූරු ගුවන් සේවයයි. එය මීට පෙර පස් වතාවක් ඉහළම ගෞරව දිනා ඇත, නමුත් මෙවර ලොව පුරා දෙවන ස්ථානයට පත්ව ඇත. කෙසේ වෙතත්, එය ලොව හොඳම කැබින් කාර්ය මණ්ඩලය, ලොව හොඳම පළමු පන්තිය සහ ආසියාවේ හොඳම ගුවන් සේවය සඳහා සම්මාන ලබා ගෙන තිබේ.
පසුගිය වසරේ #5 සිට මේ වසරේ #3 දක්වා ඉහළ ගිය කැතේ පැසිෆික් එයාර්වේස් වේ. එය ආසියාවේ දෙවන හොඳම ගුවන් සේවය බවට පත් කර ඇත.
AirAsia යනු ලොව අඩු වියදම් ගුවන් සේවා සම්මානය නැවත නැවතත් දිනා ගත් සමාගමකි, එය දැන් අඛණ්ඩව 16 වතාවක් දිනා ඇති සම්මානයකි. එය ගෝලීය ලැයිස්තුවේ #28 වන ස්ථානයේ සිටින අතර, තායි එයාර්වේස් (#29) සහ වියට්නාම් එයාර්ලයින්ස් (#62) වැනි විශාල ජාතික ගුවන් සමාගම් අභිබවා යයි. මේ සම්බන්ධ වාර්තා මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය , විවිධ කලාපිය සහ ගෝලීය සංවිධාන මගින් “දකුණු ආසියාවේ හොඳම / ප්‍රමුඛ ගුවන් සේවය” ලෙස ගණනාවක් සම්මානයන්ට පාත්‍ර වී ඇති බව පැහැදිලි අතර එය වත්මන් ආණ්ඩුව යටතේ පමණක් ලැබුණු ඇගයීමක් නොවේ.
එසේම ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ තනි සමස්ත හොඳම ගුවන් සේවය සම්මාන ලබා ගත් බව පැවසීම ද නොමඟ යවන සුළුය. එයට හේතුව වන්නේ එවැනි නිල ශ්‍රේණිගත කිරීමක් නොතිබීම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙන්ම කලාපයේ වෙනත් ගුවන් සේවා ද කලාපිය මෙන්ම ගෝලීය සංවිධාන මගින් විවිධ ක්ෂේත්‍ර යටතේ දකුණු ආසියාවේ හොඳම/ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස සම්මානවලට පාත්‍ර වී තිබීමයි.
Title:දකුණු ආසියාවේ සමස්ත හොඳම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය ද?
Fact Check By: Pavithra SandamaliResult: Insight


