
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඉන්දීය ජාතිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තවදුරටත් වීසා බලපත්‍රයක් හෝ විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීමට අවශ්‍ය නොවන බවට සමාජ මාධ්‍යවල තොරතුරු හුවමාරු වී තිබේ. Fact Crescendo අප ඒ පිළිබඳව සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
වීසා අවශ්‍ය නැත. විද්‍යුත් සංචාරක අවසරය (ETA) අවශ්‍ය නැත. යන තේමාවෙන් පෙබරවාරි 19 වැනිදා පළ කර ඇති පහත සටහනේ දැක්වෙන්නේ, වීසා හෝ විද්‍යුත් සංචාරක අවසරය නොමැතිව ඉන්දීය ජාතිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි බවයි. තව ද මෙම සටහන පළ කර ඇත්තේ, මෙය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහීෂිනී කොලොන්නේ ප්‍රකාශ කර ඇති බව පවසමිනි.

මෙහි නිර්වද්‍යතාව විමසා පාඨකයින්ගෙන් ද ලද ඉල්ලීම් සලකා අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
ඉන්දීය ජාතිකයින්ට වීසා හෝ විද්‍යුත් සංචාරක අවසරය නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි බවට වන ඉහත සමාජ මාධ්‍ය සටහන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනී කොලොන්නේගේ විසින් නිවේදනය කර ඇති බව සඳහන්වීම තුළ අප ප්‍රථමයෙන් මහකොමසාරිස්වරියගේ නිල සමාජ මාධ්‍ය ජාලා පරීක්ෂාවට ලක් කළා. ඒ අනුව ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ඉන්දීය ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේදී වීසා සහ ETA වලින් නිදහස් කර ඇති බවත් අවශ්‍ය වන්නේ, වංගු විදේශ ගමන් බලපත්‍රයක් සහ ගුවන් ටිකට්පත පමණක් බවත් ඇයගේ නිල ෆේස්බුක් සහ X ගිණුම් ඔස්සේ පළ කර ඇති බව නිරීක්ෂණය විය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ෆේස්බුක් පිටුවේද එවැනිම නිවේදනයක් මෙලෙස පළ කර තිබුණා.

මහ කොමසාරිස්වරියගේ පළ කිරීම් උපුටා දක්වමින් පිළිගත් මාධ්‍ය ද එම නිවේදනය පළකර තිබුණේ මේ ආකාරයෙනි.
2023 වසරේදී ඉන්දියාව ඇතුළු රටවල් 7කට නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබූ බැවින් ඉහත පළ කර ඇති නිවේදන ඒ හා සම්බන්ධයක් තිබේ ද සහ වීසා සහ ETA අවශ්‍ය නොවන්නේ කුමන කාලයක් සඳහා ද ආදී වැඩි විස්තර කිසිවක් ඉහත නිල නිවේදනවල සඳහන්ව නොමැත.
ඒ අනුව අප මේ පිළිබඳව තවදුරටත් කරුණු පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා.
විද්‍යුත් සංචාරක අවසර පත්‍රය (ETA)
2025 ඔක්තෝබර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නොමිලේ සංචාරක වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලබන සියලුම විදේශීය ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කෙරිණ. මෙම අනිවාර්ය කිරීම අහෝසි කළ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා හෝ නිල ආයතනික නිවේදන පළ වී නොමැති වීම හේතුවෙන් අප ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය හරහා විමසීමක් සිදු කළා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, පසුගිය දින කිහිපයක සිට ETA වෙබ් අඩවියේ පද්ධතියේ ඇති දෝෂක් හේතුවෙන් Free ETA සඳහා අයදුම්කිරීමේදී අයදුම භාර ගත් බවට නොපෙන්වා තවමත් Pending තත්ත්වයේ පෙන්වන බව ත්, නමුත් Pending approval බවට දන්වා පැමිණෙන විද්‍යුත් ලිපිය ආගමන විගමන නිලධාරීන්ට පෙන්වීමෙන් පසු එම අවස්ථාවේ අදාළ අවසරය ලබා ගත හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.
කෙසේ නමුත් විද්‍යුත් සංචාරක අවසර පත්‍රය (ETA) සඳහා මාර්ගගතව අයදුම් කිරීම අනිවාර්යය වේ. එම අවස්ථාවේම අදාළ අවසරය හිමි නොවූවද, අපේක්ෂිත අනුමැතිය ඉහත සඳහන් කළ ලෙස මෙරට ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරීන්ට පෙන්වීමෙන් පසු එම අවස්ථාවේ අදාළ අවසරය ලබා ගත හැකි වේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව
ඉහත කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අප ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජෙනරාල් චමින්ද පතිරාජ මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. ඔහු ප්‍රකාශ කළේ, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එවැන්නක් පළ කර තිබුණ ද ආගමන විගමන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ එවැනි කිසිදු නිවේදනයක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි. මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද එම නිවේදනය පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ද වැඩබලන පාලක ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.
ETA වෙබ් අඩවියේ සඳහන් පරිදි සෑම අයෙකුම රටට ඇතුළු වීමේදී විද්‍යුත් සංචාරක අවසරයක් සඳහා ඉල්ලුම් කළ යුතු වේ.
කෙසේ වෙතත් මහ කොමසාරිස් කාර්යාලයේ නිවේදනය පිළිබඳව අප තවදුරටත් විමසීමේදී වැඩබලන පාලක ජනරාල්වරයා ප්‍රකාශ කළේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවට එවැනි නිවේදන නිකුත් කිරීමට නොහැකි වුව ද එම පදනම මත ඉන්දීය පුරවැසියන් පැමිණෙන්නේ නම්, ඔවුන්ට පැමිණීමේදී Visit Visa ලබා දිය හැකි බවයි.
ඉන්දියාවට සමානව චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය වැනි රටවල සංචාරකයින්ට ද 2024 මාර්තු 31 දක්වා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා නොමිලේ ETA ලබා දීමට කැබිනට් අවසරය හිමිව තිබූ අතර පසුව අවසරය නැවත දැනුම් දෙන තුරු යළිත් දීර්ඝ කෙරිණ. ඒ පිළිබඳව ද අප වැඩබලන පාලක ජනරාල්වරයාගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, අදාළ අවසරය තවදුරටත් වලංගු බවත් එය ඉන්දියාවට පමණක් වලංගු කරුණක් නොවන බවත් එම රටවලට ද, ETA නොමිලේ ලබා දෙන බවයි. නමුත් පෙර සඳහන් කළ පරිදි ETA සඳහා අයැදුම්කළ යුතු වේ.
මේ අතර T20 ලෝක කුසලානය සඳහා නොමිලේ වීසා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ දැයි අප ඔහුගෙන් වැඩිදුරටත් විමසා සිටියා. රට තුළ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා T20 ලෝක කුසලානය අතරතුර ETA යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කරන බවත් එය ඉන්දියාවට පමණක් නොව පකිස්ථාන තරග අතරතුර ද සිදුකළ බවත් ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) සඳහා අයදුම් කිරීම අනිවාර්ය බව ඔහු පෙන්වා දුන්නා.
රටවල් 7කට නොමිලේ සංචාරක වීසා
2024.03.31 දක්වා ක්‍රියාත්මක කිරීම සඳහා 2023.10.24 වැනිදා කැබිනට් අනුමැතිය හිමි වූ ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල් 7 සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ මෙලෙස සඳහන්ව ඇත.
එම නිවේදනයට අනුව රාජතාන්ත්‍රික, නිල, මහජන කටයුතු, සේවා සහ සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන් මේ යටතේ දින 30ක් සඳහා නොමිලේ වීසා ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන අතර එක් වරක් පමණක් ඇතුළුවීම සඳහා මෙම වරප්‍රසාදය හිමිවේ. තවද වීසා දීර්ඝ කර කරගැනීමේදී ගාස්තු අය කිරීමක් සිදුවන බව ද එහි සඳහන් වේ.

කෙසේ වෙතත් මීට පෙර අන්‍යෝන්‍ය/ද්විපාර්ශ්වික විධිවිධානවලට අනුව, සීෂෙල්ස්, මාලදිවයින සහ සිංගප්පූරුවේ ගමන් බලපත්‍ර හිමියන් ගාස්තු වලින් නිදහස් කර තිබුණත්, මේ වන විට ETA නොමිලේ ලබා ගත් හැකිව ඇත්තේ සාක් රටවලට පමණි.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
මේ අතර ඉන්දීය ජාතිකයින්ට වීසා හෝ විද්‍යුත් සංචාරක අවසරය නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි බවට වන සටහන් සම්බන්ධ වැඩිදුර තොරතුරු එහි නොමැතිවීම සහ විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) සඳහා අයදුම් කිරීම අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ඉන්දියානුවන් වැරදි ලෙස අවබෝධකර ගැනීමේ හැකියාවක් පවතී. ඒ අනුව නිල ගිණුම්වල සඳහන් කරුණ පිළිබඳව අප ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් සිදු කර ඇති අතර ඔවුන්ගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.
විදේශ කටයුතු අමාත්‍යාංශය
විද්‍යුත් සංචාරක අවසර පත්‍රය (ETA) සම්බන්ධව පළ වන වාර්තා පිළිබඳව අප විදේශ කටයුතු අමාත්‍ය විජිිත හේරත් මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද විමසීමක් සිදු කළා. මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තවල සුළු ගැටගලුසහගත බවක් පවතින බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය පුරවැසියන් විද්‍යුත් සංචාරක අවසර පත්‍රය ලබා ගැනීම අනිවාර්ය නමුත් ඒ සඳහා ගාස්තු අය කිරීමක් සිදු නොවන බව ද ඔහු සඳහන් කළා.
ඉන්දීය පුරවැසියන් ඇතුළු සාක් රටවල පුරවැසියන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී අදාළ වන සංචාකර වීසා ගාස්තු ක්‍රමය
සංචාරක වීසා ගාස්තු (SAARC රටවල්):
සාක් රටවල් යටතේ ගැනෙන බැවින් ඉන්දියාවට ද බලපැවැත්වෙන්නේ, සාක් රටවල් සඳහා වන විශේෂ ගාස්තු ක්‍රමයයි. ඒ අනුව ETA ක්‍රමවේදය පැමිණීමට පෙර දින 30 ක් සඳහා වලංගු දෙවරක් ඇතුළු විය හැකි (Double Entry) සංචාරක වීසා වල මිල ගණන් මෙසේය.
- තෙවන පාර්ශවයක් විසින් අයදුම් කිරීමේදී අමෙරිකානු ඩොලර් 20යි (US$ 20).
- විදේශීය තනාපති කාර්යාල/ මහකොමසාරිස් කාර්යාල හෝ ආගමන විගමන ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගන්නා විට අමෙරිකානු ඩොලර් 20යි (US$ 20).
- ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ගුවන් තොටුපොළ හෝ වරායයේදී (On arrival) ලබා ගන්නා විට අමෙරිකානු ඩොලර් 25යි (US$ 25).
- වයස අවුරුදු 12ට අඩු ඕනෑම රටක දරුවන්ට නොමිලේ සංචාරක වීසා නිකුත් කරන අතර ඉන්දියාව ඇතුළු රටවල් 7ක් සඳහා විශේෂ නොමිලේ වීසා ක්‍රමයක් පවතී. එහෙත් දීර්ඝ කිරීමේදී ගාස්තු අය කළ හැකියි.
ETA දින 30කට පමණක් වලංගු බැවින් ඉන්පසු අය කෙරෙන ගාස්තු
වීසා කාලය දීර්ඝ කිරීමේ ගාස්තු :
සංචාරක වීසා කාලය දින 30කට වඩා දීර්ඝ කිරීමට අවශ්‍ය නම් පහත ගාස්තු අය කෙරේ. (ඇමරිකාව, සිංගප්පූරුව වැනි ඇතැම් රටවල් හැර)
- දින 30 සිට 60 දක්වා – අමෙරිකානු ඩොලර් 60යි
- දින 61 සිට 180 දක්වා – අමෙරිකානු ඩොලර් 150යි
- දින 181 සිට 270 දක්වා – අමෙරිකානු ඩොලර් 200යි
වීසා කාලය ඉක්මවා රැඳී සිටීමේ දඩ මුදල් (2023 ජුනි 21 සිට සංශෝධිත දඩ මුදල්)
- වීසා කාලය අවසන් වී දින 7ක් ඇතුළත රටින් පිටවුව හොත් වීසා ගාස්තුව පමණක් ගෙවා පිටව යා හැකියි.
- වීසා බලපත්‍රය දින 8 සිට 14 දක්වා ඉක්ම ගියහොත් වීසා ගාස්තුව සමග අමෙරිකානු ඩොලර් 250ක දඩයක්
- වීසා කාලය ඉක්මවා ගොස් දින 14කට වැඩි කාලයක් රට තුළ රැඳී සිටිය හොත් වීසා ගාස්තුව සමග අමෙරිකානු ඩොලර් 500ක දඩයක්.
අනෙකුත් වීසා
ව්‍යාපාරික වීසා – දින 30ක බහු ප්‍රවේශ ව්‍යාපාරික වීසා බලපත්‍රයක් සඳහා ගාස්තුව අමෙරිකානු ඩොලර් 30යි.
Transit Visa – දින 2ක් සඳහා තනි පිවිසුම් Transit Visa බලපත්‍රයක් නොමිලේ නිකුත් කෙරේ.
දැනට ඉන්දීය පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් නිකුත් කරයි.
- ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඉන්දීය පුරවැසියන් සාමාන්‍ය සංචාරක වීසා ගාස්තු ගෙවීම අවශ්‍ය නොවේ.
- කෙසේ වෙතත් විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් ETA සඳහා මාර්ගගතව අයදුම් කිරීම අනිවාර්ය වේ.
- ඒ යටතේ දින 30ක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට අවසර හිමිවේ.
මේ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් සහ මෙතැනින්
නොමිලේ විද්‍යුත් සංචාරක අවසර පත්‍ර (ETA) ලබා ගැනීමේ ක්‍රමවේදය
මුලින්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස Tourist ETA යටතේ නිවැරදි විස්තර ඇතුළත් කර අයදුම්පත්‍රය පිරවිය යුතුය. මෙහිදී සාක් රටවල පුරවැසියන් සඳහා මේ වනවිට ගාස්තු අයකිරීමක් සිදු නොවන බැවින් 0 USD ලෙස පෙන්විය යුතු ය. අයදුම්පත්‍රය යොමු කළ පසු යොමු අංකයක් ලැබෙන අතර පැය 48ක් ඇතුළත ETA අනුමැතිය ඊමේල් මගින් හිමිවේ. එලෙස අනුමැතිය හිමි නොවුණේ නම්, pending approval යන්න පෙන්වීමෙන් පසු ගුවන්තොටුපොළේ දී ETA අවසරය ලබාගත හැකියි.
විද්‍යුත් සංචාරක අවසරය (ETA) යටතේ දින 30ක් දක්වා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකි අතර ඒ සඳහා අවම වශයෙන් මාස 6ක් සඳහා වලංගු ගමන් බල පත්‍රයක් තිබිය යුතු ය. දින 30කට වඩා රැඳී සිටීමට අවශ්‍ය නම්, ගාස්තු ගෙවීමෙන් පසු වීසා දීර්ඝ කර ගත හැකියි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Title:ඉන්දියානුවන්ට වීසා සහ ETA නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකිද?
Fact Check By: Sagarika ChathumaliResult: Insight


