බාල ගල්අඟුරු ගෙන්න හේතුව නොරොච්චෝලේ බලාගාරය ඉදිකළ තැනේ වැරැද්ද නිසා බව නි. ඇමති අක්‍රම් ප්‍රකාශ කළා ද?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

‘බාල ගල්අඟුරු’ මේ දිනවල දේශපාලන වේදිකාව ඇතුළු රටේ බෙහෝ පිරිසකගේ අවධානය යොමු වී ඇති මාතෘකාවයි. මීට අදාළව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද විවිධ සටහන් හුවමාරුවන අතර එකී සටහන් අතර ව්‍යාජ මෙන්ම සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් ද බහුලව පවතී. මේ එලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් සිදුකළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවනසුළු ආකාරයේ සටහනක් පිළිබඳව අප සිදුකළ විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජනාධිපතිවරයා, නියෝජ්‍ය ඇමති අක්‍රම් ඉල්යාස් සහ අමාත්‍ය කුමාර ජයකොඩි පෙනී සිටින ඡායාරූපයක් සහිත පහත සටහන සමාජ මාධ්‍යට මුදා හැර ඇත්තේ, “බාල ගල්අගුරු ලංකාවට ගෙන ඒමට හේතුව නොරොච්චෝලේ බලාගාරය හදපු තැනේ වැරැද්ද බව හොයාගත් ඒ මහා විද්වතා නියෝජ්‍ය ඇමති අක්‍රම් ඉල්යාස් සහෝදරායාගේ පිට අතගාන දෑ හිතකාමී අනුර සහෝදරයා’’ යන සඳහන සහිතවයි. මෙම සටහන මගින් ප්‍රකාශ  වන්නේ, ලංකාවට බාල ගල්අඟුරු ගෙන ඒමට හේතුව නොරොච්චෝලේ බලාගාරය ඉදිකරන ලද ස්ථානයේ ඇති වරදක් බවයි. 

Facebook | Archived Link

ලංකාවට බාල ගල්අඟුරු ගෙන ඒමට හේතුව නොරොච්චෝලේ බලාගාරය ඉදිකරන ලද ස්ථානයේ ඇති වරදක් බවට වන ප්‍රකාශය තවදුරටත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පහත පරිදි සංසරණය වී තිබුණා. 

Facebook | Archived Link     Facebook | Archived Link  

Facebook | Archived Link   Facebook | Archived Link

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු පිළිබඳ සමාජයේ කතාබහත් සමග නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා  ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ බලශක්ති විසින් සිදුකර තිබේ දැයි අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ විමසා බැලීමක් සිදු කළා. එහිදී පසුගිය පෙබරවාරි 24 වැනිදා දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ වාද පිටිය වැඩසටහන සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සහභගී වී ඇති බව නිරීක්ෂණය විය. එම වැඩසටහනේදී නියෝජ්‍ය අමාත්‍යවරයා නොරොච්චෝලේ බලාගාරය පිළිබඳව අදහස් පළ කරන ආකාරයක් දැකගත හැකියි. 

වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදියා විමසන ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, බලාගාරය ඉදිකර ඇත්තේ වසරේ ඕනෑම කාලයකදී ගල්අඟුරු ගෙන ඒමට හැකි ස්ථානයක නොවන බවත් ඒ අනුව රට තුළට ගල්අඟුරු ගෙන ඒමට සිදුවන්නේ, වාරකන් කාලය මගහැරීමෙන් බවත් ය.  

ප්‍රශ්නය : 8 වන නෞකාව සම්බන්ධයෙනුත් ප්‍රමිතියෙන් බාලයි කියලා චෝදනා එල්ල වෙද්දි 9 ත් ගේනවා. 9ට චෝදනා එල්ල වෙද්දි 10ත් ගේනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුර : නොරොච්චෝලේ බලාගාරය ගහලා තියෙන තැන පෝට් එකක් නෑ. එතන තියෙන්නේ පොඩි බහාලුම් ස්ථානයක් එතන තමයි බාන්න පුළුවන්, පළවෙනිම වැඩේ බලාගාරය ගහපු තැන වැරදියි. වාරකන් කාලය මගහැරලා තමයි ලංකාව ඇතුළට ගල්අඟුරු ටික ගේන්න ඕන කාලය ඉතාමත්ම සීමිතයි. දවස් 5න් 5ට නැව් ටික එන්න ඕන උපරිම වශයෙන් නැව් 38-40 අතර ප්‍රමාණයක් තමයි අපිට එක වාරෙකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ, ඒ දවස් ගාන අනුව ෂෙඩියුල් කරලා තියෙනවා. අදාළ පෝට් එකෙන් ඉදන් ලංකාවට එන්න සති 2ක් වගේ යනවා. ඒ ෂෙඩියුල් එකේ දවසක් හරි පරක්කු වුණොත් වාරකන් කාලෙ පටන් ගත්තොත් අපට අවශ්‍ය නැව් ප්‍රමාණය ගෙන්වා ගන්න බැරි වෙනවා. අදාළ ඕඩර් එකට නැව් ටික එන්න ඕන 

කෙසේ වෙතත් වැඩසටහනේ කිසිදු අවස්ථාවක නොරොච්චෝලේ බලාගාරය ඉදිකරන ලද ස්ථානයේ වරදක් නිසා ගල්අඟුරු පිළිබඳ අර්බුදය ඇතිවූ බවට නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ නොකරයි. 

26 වැනිදා රතු ඉර දේශපාලන වැසටහනනේ දී ද අදාළ මාධ්‍යවේදියා, නොරොච්චෝලේහි බලාගාරය ඉදිකිරීමත් වැරැද්දක බවට නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කර තිබූ ප්‍රකාශය පිළිබඳව විමසා සිටින අතර එහිදී ද නියෝජ්‍ය අමාත්‍යවරයා පහත පරිදි ඊට කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා. 

බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය  අක්‍රම් ඉල්යාස් 

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පිළිබඳ විමසීම සඳහා අප නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. 

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සමාජ සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ගල් අඟුරු බාලවීම සහ බලාගාරය පිහිටුවන ලද ස්ථාන අතර සම්බන්ධයක් ඇති බවට තමන් එම අවස්ථාවේ ප්‍රකාශයක් සිදු නොකළ බවයි. 

තව ද ඔහු කියා සිටියේ, අප්‍රේල්වලින් පසු වාරකන් ඇරඹෙන බැවින් එම ස්ථානයේ නැව් ගොඩබෑමට හැකිවන්නේ, අප්‍රේල් වනතුරු පමණක් බවයි.  

කෙසේ වෙතත් ගැඹුර සහිත ස්ථානයක, සාමාන්‍ය වරායක් සහිත ස්ථානයක බලාගාරය පිහිටා තිබුණේ නම්, එවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවත් ඒ අනුව වසරේ ඕනෑම අවස්ථාවක ගල්අඟුරු ගොඩබෑමේ හැකියාවක් පැවතීම, ශීත ඝෘතුවේදී ගල්අඟුරු සඳහා වැඩි ඉල්ලුමක් පවතින බැවින් එම කාලය මගහැර ගල්අඟුරු මිලදී ගන්නේ නම්, අඩු මුදලකට මිලදී ගැනීමට හැකිවීම ඇතුළු තවත් කරුණු ගණනාවක් නිසා නොරොච්චෝලේ බලාගාරය පවතින ස්ථානයට වඩා වෙනත් තැනක පිහිටා තිබුණේ නම් වඩාත් හොඳ බව තමන් එහිදී අදහස් කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

බාල ගල්අඟුරු ආනයනය කළ බවට විපක්ෂයේ චෝදනා සහ රජයේ ප්‍රතිචාර 

පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ජනවාරි 07 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ, වත්මන් ආණ්ඩුව බාල ගල්අඟුරු ආනයනය කර ඇති බවයි. නිසි දිනවකවානු තුළ ගල්අඟුරු ටෙන්ඩරය කැඳවීමේ සිදු නොකළ බවත් එහි ද අක්‍රමිකතා සිදුව ඇති බවටත් මන්ත්‍රීවරයා චෝදනා කළා. 

කෙසේ වෙතත් පසුව දකුණු අප්‍රිකාවේ සිට නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙනා පළමු ගල්අඟුරු නැව්  ලක්විජය බලාගාරයෙන් පරීක්ෂා කර ඇති බවත්, එහිදී කැලිරිෆික් අගය නියමිත අගයට වඩා අඩුවෙන් තිබී ඇති බවත්, එම ගල් අඟුරු දහනය කිරීමේදී ද ඒවා තත්තවයෙන් බාල බව තවදුරටත් තහවුරු වී ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. 

මේ අනුව අවශ්‍යතාව සපුරා ගැනීමට නම් තවත් අමතර නැව් 6ක් ගෙන ඒමට සිදුවන බවත් ඊට විශාල වූ අමතර මුදලක් වැය වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 

මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එදිනම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙනවිත් ඇති බවට වන ප්‍රචාරයන්ට ප්‍රතිචාර දැක්වීමක් සිදු කළ අතර අමාත්‍යවරයා පැවසුවේ, ගෙන්වන ලද පළමු ගල්අඟුරු නැව් දකුණු අප්‍රිකාවේ පැටවුම් වරායේ පිරිවිතරයන්ට අනුකූලව ඉදිරිපත්වී ඇති බැවින් එය ගොඩබා ඇති බවයි.  

නැව ගොඩබැමෙන් පසු තත්ත්ව වාර්තා ගැළපේනම් 80%ක ගෙවීම් සිදු කරන නමුත් ලිපි ලේඛනවල තිබූ අඩුපාඩු නිසා ඒවන තෙක් ගෙවීම් අවසන් කර නොමැති බව අමාත්‍යවරයා එදින ප්‍රකාශ කළා. 

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අවසන් ගෙවීම් සිදු කරනු ලබන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් තෝරා ගන්නා ලද ගොඩබෑම් වරායේ තත්ත්ව සහතික වාර්තාව නිකුත් කිරීමෙන් පසුව බවයි. යම් හෙයකින් පැටවුම් වරායේ තත්ත්ව සහතිකයට වඩා ගොඩ බෑම් වරායේ තත්ත්ව සහතිකයේ ගුණාත්මක බව අඩුවුවහොත් දඩ අය කර ගන්නා ක්‍රමවේදය ද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළා. 

කෙසේ වෙතත් තොග ගොඩ බෑම අවසන් කිරීමට ප්‍රථම ලක්විජය බලාගාරයේ රසායනාගාරය සිදු කරන ලද නියැදි පරීක්ෂණයකින් කැලරිෆික් අගයන් ප්‍රමිතිගත පරාසයට වඩා අඩුවෙන් පෙන්වා ඇති නමුත් අයිතමය පරීක්ෂා කිරීම සදහා බලාගාරය සතු පර්යේෂණගාරය අදාළ සහතිකය නොමැති නිසා  එම ප්‍රතිඵලය අදාළ සැපයුම හා ගැලපීමට නොහැකියි බව ද අමාත්‍යවරයා ද ප්‍රකාශ කළා. 

තව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, පෙබරවාරි අග වන තෙක් අවශ්‍ය කරන මීට පෙර ඇණුවම් කළ තොග තිබියදී අලුත් නැව ගොඩබා අවසන් කිරීමටත් පෙර, පරීක්ෂා කිරීම සහ බලශක්ති නිෂ්පාදනයට යොදා ගැනීම පිළිබඳව වෙනම පරීක්ෂණයක් සිදු කරන බවයි. 

රටට ගෙන්වන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බවට විවිධ පාර්ශවවලින් චෝදනා   

මේ අතර බාල ගල්අඟුරු ආනයනයෙන් වංචාවක් සිදුව ඇති බව පවසමින් සමගි ජනබල වේගයේ දූෂණ විරෝධි කමිටුව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 

පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන්නේ, බාල තත්ත්වයේ ගල්අඟුරු එවීම සහ නියමිත කාල සීමාවට ගල්අඟුරු නොඑවීම යන කොන්දසෙි කඩ කිරීම  අදාළ ගිවිසුම අවලංගුකිරීමට ප්‍රමාණවත් බවයි. මේ අතර සමගි ජනබලවේග මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ප්‍රකාශ කරන්නේ, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනයෙන් මිලියන 1800ක පමණ පාඩුවක් ජනතාව මත පැටවෙන බවයි. මේ අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසන්නේ නැව් අතරින් අවම වශයෙන් නැව් 10ක් හෝ 9ක් පුළුස්සා බලශක්තිය නිපදවා අවසන් බවයි. කොටෙක්නා සමාගමට එරෙහිව කූඨ ලේඛන සැකසීමේ චෝදනාවට අනාගතයේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

මේ අතර හිටපු අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක මහතා පෙබරවාරි 18 වැනිදා ගල්අඟුරු ප්‍රසම්පාදනය තුළ මහා පරිමාණ වංචාවක් සිදුව ඇතැයි කියමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් සිදු කර තිබූ අතර මේ වනවිට ඔහු එම වංචාව පිළිබඳව දේශපාලන නායකයින් දැනුවත් කරමින් සිටී. ඒ පිළිබඳ තොරතුරු මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්

මේ අතර හිටපු අමාත්‍යවරයා ලංකා ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව ද සිය ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.   

ගල් අඟුරු සමාගමේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබී ඇති බවත් විදුලිබල අමාත්‍යංශ ලේකම්ගේ අත්තනෝමතික මැදිහත් වීම් සමඟ ගැටලුකාරී බාල ගල් අඟුරු ගෙන්වීමට අදාළ ටෙන්ඩර් කටයුතු සිදු වූ බව එහි සඳහන් බවත් හිටපු අමාත්‍යවරයා පවසයි. 

ගල්අඟුරු හේතුවෙන් සිදුවිය හැකි අලාභය ?

යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පෙබරවාරි 13 වනිදා රැස් වූ අතර එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර තිබුණේ,  නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගෙන්වූ ප්‍රශ්නගත ගල්අඟුරු සම්බන්ධවයි. ඊට ලංකා විදුලිබල මණ්ඩලය , මහජන උපයෝගීතා කොමිසම සහ ලංකා ගල්අඟුරු සමාගම යන රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් ඊට කැඳවා තිබුණා. එදින විපක්ෂ නායකවරයා පවසා තිබුණේ, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙන් වූ  නෞකා පහේම අන්තර්ගතව තිබුණේ බාල ගල්අඟුරු බවයි.  

මේ අතර පසුගිය 19 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය ඒ වනවිට ආනයනය කර ඇති ගල්අඟුරු නැව් 8හි ගල්අඟුරු දහනය මගින් විදුලිය නිෂ්පාදනයේදී ඇස්තමේන්තු කරන ලද ඝෘජු පාඩුව වෙන් වෙන් වශයෙන් දක්වමින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ලිපියක් යොමු කර ඇතැයි, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා.   විපක්ෂ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ, එම කාරක සභාව විසින් එවන ලද වාර්තාව අනුව ගල්අඟුරු නෞකා 8ම නිසි ප්‍රමිතියෙන් තොර බවයි. ඉන් සිදුවිය හැකි ඝෘජු පාඩුව රු.මිි. 7600කට අධික බව ද එම වාර්තාවල සඳහන් වුණා.  

මේ අතර ආනයනික නැව් 8හිම ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බවට වාර්තා මගින් සනාථ වී ඇති බැවින් ඒ සම්බන්ධ ව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පෙබරවාරි 20 වැනිදා විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජනබලවේග මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, පොදුජන පෙරමුණූ මන්ත්‍රී ඩී.වී. චානක ඇතුළු මන්ත්‍රීවරු රැසක් එදින ගල්අඟුරු වංචාවක් සිදුව ඇති බව කියමින් චෝදනා කළ අතර විෂය භාර අමාත්‍යවරයා ද එදින ගල්අඟුරු සම්බන්ධව මෙලෙස අදහස් පළ කිරීමක් සිදු කළා. 

මේ අතර යටිතල පහසුකම් හා උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නියෝගයකට අනුව මහජන උපයෝගීතා කොමිසම පරීක්ෂණය ක් ආරම්භ කර ඇති බම මාධ්‍ය මෙලසෙ වාර්තා කර තිබුණා. 

ගල්අඟුරු අර්බුදෙයේ වත්මන් තත්ත්වය – නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් 

මේ අතර උද්ගතව ඇති ගල්අඟුරු අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව අප නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් තවදුරටත් කරුණු විමසා සිටියා.  

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ගල්අඟුරු ටෙන්ඩරයට අනුව මෙරටට රැගෙන ආ සියලුම නැව්වල පැටවුම් වරායේ වාර්තාවලට අනුව (නිසි ප්‍රමිතිය) කිලෝ කැලරි 5900ට වඩා වැඩි බවත්, මෙරටට රැගෙන ඒමෙන් පසු පළමු නැවේ බෑවුම් වාරයේ වර්තාවට අනුව 5900ට වඩා අඩුවීම හේතුවෙන් ඊට දඩ අය කර ගැනීමක් සිදුකළ බවයි. 

ඉන් පසු ගොඩබාන ලද නෞකා 6 ම ගොඩබෑමේ වාරයේ වාර්තාවලට අනුව ප්‍රතික්ෂේප අගයත් නොවන සහ පිළිගත හැකි අගයත් අතර මධ්‍යස්ථ අගය කිලෝ කැලරි 5900 – 6110 ත් අතර පවතින බවයි. කෙසේ වෙතත් බලාගාරයේ ඉංජිනේරුවන්ට එම නෞකා 6 ගල්අඟුරු දහනයේදී බලාගාරයේ  (performance) කාර්ය සාධනය හා නොගැළපෙන තත්තත්වයක් ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

ඒ අනුව මේවනවිට මේ පිළිබඳ සොයා බැලීම සඳහා විශ්වවිද්‍යාල ආචාරයවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවත් ඔවුන්ගේ වාර්තාව ලබා දීම සඳහා අදාළ කමිටුවට මාසයක පමණ කාලයක් ලබා දී ඇති බවත් එහි වාර්තාවට අනුව කිසියම් හෝ වංචාවක් සිදුව ඇතැයි හෙළි වුවහොත් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණයකට යොමු වන බව අමාත්‍යවරයා අප සමග ප්‍රකාශ කළා. 

සැපයුම්කරු පරීක්ෂණාගාරය තෝරා ගැනීම තනි කැමැත්තට සිදු නොවන බවත් සැපයුම්කරු යෝජනා කරන පරීක්ෂාණාගාර අතරින් එකක් දෙපාර්ශවයේම එකඟත්වයෙන් තෝරා ගන්නා බවත් සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා  වැඩිදුරටත් කියා සිටියේ, 13 වැනි නැවේ සිට මෙරට මැදිහත්වී පැටවුම් වරායේ සාම්පල වාර්තාව තවත් පරීක්ෂණාගාරයට  යොමු කර තවදුරටත් තහවුරු කර ගැනීමට ක්‍රියා කරන බවයි. එහිදී ද කිලෝ කැලරි 5900ට වඩා වැඩි නම්, ගිවිසුම ප්‍රකාරව එය භාර ගැනීමට සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.  

සම්පල් පරීක්ෂාවේදී ප්‍රශ්නයක් සිදුවූවාද? බලාගාරයේ කාර්ය සාධනය අඩුවීමක් සිදුව තිබේ ද? යන ප්‍රශ්න කිසිවකට නිසි විමර්ශශනයක් මගින් කරුණු තහවුරු නොකර පිළිතුරු ලබා දිය නොහැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ පැහැදිලි කිරීම 

පෙබරවාරි 24 කැබිනට් මාධ්‍ය හමුවේදී ද බාල ගල්අඟුරු සම්බන්ධව උද්ගතව ඇති ත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් සිදු කළා. කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, මීට පෙර ගල්අඟුරු ආනයනය ටෙන්ඩර් ක්‍රියාවලියට අනුකූලව සිදු නොවුණත් මෙවර ගල්අඟුරු ආනයන සැපයුම්කරුවන් තෝරා ගැනීම, ඔවුන්ට කාලය ලබාදීම, අභියාචනා සඳහා කාලය ලබා දීම යනාදි සියලු ක්‍රියාපටිපාටිය නිසි පරිදි සිදු කළ බවයි. 

විදුලිබල අමාත්‍යවරයාට එල්ලවන විරෝධය පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියා.  එහිදී කැබිනට් ප්‍රකාශකවරයා පැපසුවේ, කිසියම් ආකාරයේ දේශපාලන ඇඟිලි ගැසීමක් තිබුණේ නම්, අභියාචනා  කිරීමට කාලයක් තිබූ බවයි. එහෙත් අනෙක් පාර්ශව කිසිවක් අභියාචනා කර නොමැති බව ප්‍රකාශකරයා සඳහන්කළා. කැබිනට් ප්‍රකාශකවරයා  පැවුසවේ, මෙහි යම් පාඩුවක් සිදුවන්නේ නම් එය ජනතාව මත පැටවීමෙ බලාපොරොත්තුවක් රජයට නොමැති බව ද කැබිනට් ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියා. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලංකාවට බාල ගල්අඟුරු ගෙන ඒමට හේතුව නොරොච්චෝලේ බලාගාරය ඉදිකරන ලද ස්ථානයේ ඇති වරදක් බවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් විසින් ප්‍රකාශ කර නොමැති බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා රූපවාහිනි වැඩසටහනකදී සිදු කරන ලද ප්‍රකාශයක් නොමගයවන සුළු ආකාරයෙන් මාධ්‍ය මාධ්‍යයේ පළ කර ඇති බවත් ය. 

ප්‍රශ්නගත ගල්අඟුරු ආනයනය තවදුරටත් රට තුළ කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් වන අතර ඊට අදාළව මේ වනවිට විමර්ශන ද ක්‍රියාත්මක වෙමින් පවතී. 

Avatar

Title:බාල ගල්අඟුරු ගෙන්න හේතුව නොරොච්චෝලේ බලාගාරය ඉදිකළ තැනේ වැරැද්ද නිසා බව නි. ඇමති අක්‍රම් ප්‍රකාශ කළා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *