දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රට තුළ වඩාත් අවධානයක් දිනා ගන්නා කාලීන සිදුවීම් හා සම්බන්ධව දේශපාලනඥයින් අදහස් පළ කිරීම සාමාන්‍ය තත්ත්වයකි. ප්‍රධාන ධාරවේ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන එම අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද සංසරණය වනු දැක ගත හැකියි. කෙසේවෙතත් දේශපාලනඥයින් විසින් ප්‍රකාශ නොකරන ලද අදහස් ද ඒ අයුරින් ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන අතර මේ එලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් සිදුකරන ලදැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව සිදු කළ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts)
සුරේෂ් සලේ පමණක් නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහාත් සියලු කටයුතු සූදානම් බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදු කර ඇතැයි කියමින් මෙම සටහන පළ කර තිබේ.

මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම)
නොවැම්බර් 25 වනදා උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සලේ මහතා දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ. සලේ පමණක් නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු සූදානම් බවට මහජන ආරක්ෂක අමත්‍යවරයා ප්‍රකාශයක් සිදු කර ඇතැයි සමාජ මාධ්‍යයේ සටහන් හුවමාරු වන්නේ, එවන් පසුබිමකදී ය.
ප්‍රථමෙන්ම සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන NewsCenter නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබේදැයි, පරීක්ෂා කර බැලූ අතර එහෙත් එහි මෙවැනි සටහනක් එහි පළ කර නොමැති බව තහවුරු විය. තව ද සලේ අත්අඩංගුවට ගැනීමෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය අත්අඩංගුවට ගැනීමේ සූදානම් බවට අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද වාර්තා කර නොමැති බව අප සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි විය. මේ අනුව අප අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ද මේ පිළිබඳ කරුණු විමසීමට පියවර ගත්තා.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා සියල්ල සූදානම් බවට මහජන ආරක්ෂ ආමාත්‍යවරයා සිදුකර ඇතැයි, සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් පිළිබඳව අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගෙන් ද විමසීමක් සිදු කළ අතර ලේකම්වරයා ප්‍රකාශ කළේ, එම සටහන ව්‍යාජ සටහනක් බවයි. අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බව ඔහු තහවුරු කර කියා සිටියා.
බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සලේ රඳවාගෙන ප්‍රශ්න කෙරේ
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව පෙබරවාරි 25 වනදා උදෑසන බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි අංශ ප්‍රධානියා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කෙරුණු අතර පසුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන ඇත. ඉකුත් යුද සමයේ සුරේෂ් සලේ මහතා හමුදා බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කර තිබු අතර 2019 වසරේ අප්‍රෙල් 21 වනදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වන විට ඔහු මැලේසියාවේ මහකොමසාරිස් කාර්යාලයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරමින් සිට තිබුණා. පසුග ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මේජර් ජෙනරාල් සලේ මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පත් කළා.
බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ මතභෝදාත්මක වාර්තා චිත්‍රපටය මගින් සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරයට ඝෘජුව සම්බන්ධ බවට ද ප්‍රකාශ වී තිබුණා. එම වීඩියෝව කේන්ද්‍ර කර ගනිමින් රෝහාන්ද සිල්වා පියතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර එම පරීක්ෂණවල ප්‍රගතිය කොටුව මහේස්ත්‍රාත් හමුවේ දැනුම්දෙමින් 2024 නොවම්බර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබුණේ, සුරේෂ් සලේ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක බවයි. මේ අතර වත්මන් රජය පත්වීමෙන් පසුව 2024 ඔක්තෝබර් මාසයේදී සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරෙන් විශ්‍රාම ගැන්වීමට පියවර ගත්තා. මේ පිළිබඳ පුවත් වාර්තා මෙතැනින්, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
පොලිසියේ විශේෂ මාධ්‍ය හමුව
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් බව පෙබරවාරි 25 වැනිදා උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිසිය ප්‍රකාශ කළා. එම මාධ්‍ය හමුවේදී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ,පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති පැහැදිලි සාක්ෂි මත ඔහු අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත් මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දීන් පුන පුනා ප්‍රශ්න කරනු ලැබුවේ, කුමනාකාරයේ හේතුවක් මත හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට ගත්තේ ද යන්න පිළිබඳවයි. තව ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ද යන්න මාධ්‍යවේදී විමසා සිට අතර එහිදී පොලිසිය පැවසුවේ, මහ මොළකරු ඔහු ද වෙනත් අයෙකු ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශනවලදී තීරණය විය හැකි බවයි.
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන කතෝලික සභාවේ ප්‍රතිචාරය
පෙබරවාරි 25 වැනිදා කතෝලික සභාව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම දේශපාලනීකරණය කරමින් එම තමන්ගේ වාසියට හරවා ගැනීමට උත්සාහ දරන්නේ නම් එය කිසිදු දේශපාලන පක්ෂයකට සුදුසු නොමැති බවයි. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ගෝඨාභය ජනාධිපති තනතුරට පත්වීමත් සමග සම්පූර්ණයෙන් ඇනහිටි බවත් වත්මන් රජය බලවට පත්වීමෙන් පසු අදාළ විමර්ශන පිළිවෙළට සිදුවන බව පෙන්නුම් කරන බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළා.
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් පළ කරමින් සිරිල් ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් පැවසුවේ, අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ විය හැකි ද යන්න පිළිබඳව සැකකුරුවෙකු පමණක් බවත් ඔහු වැරදිකරුවෙකු ද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ, අධිකරණය විසින් බවයි. ඒ අනුව මෙම අවස්ථාවේ කලබල වී අවසන් තීන්දුවක් දෙන ප්‍රකාශ නිකුත් කිරීම හෝ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය මත පැතිරවීම කිසිසේත්ම සුදුසු නොමැති බව සඳහන් කළ පියතුමා වැඩිදුරටත් කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ විමර්ශක ස්වාධීනව සිදුකිරීමට ඉඩදිය යුතු බවයි.
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ විවිධ පාර්ශව පළ කළ අදහස්
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමේ අරමුණ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අවස්ථාව නිර්මාණය කර ගැනීම සඳහා බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. සලේ කුමක් ද කලේ යන මැයෙන් පැවති වැඩසටහනකදී ඔහු මෙලෙස අදහස් පළ කළා. “ඊළඟට මේගොල්ල ගන්න තීරණය රකලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සලේ මගින් ඊළඟට පොට පාද ගන්න හදන්නේ එතනට”
මේ අතර සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජික කර්නල් කැලුම් මද්දුමගේ ඉදිරිපත් කළ පෙත්සම සලා බැලීමේ අවස්ථාවේදීය. මේ අතර පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ, අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විධිමත් සාක්ෂි තිබේ නම්, විමර්ශන සිදු කර හැකි ඉක්මනින් අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ මහතාට නඩු පැවරිය යුතු බවයි. හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :සුරේෂ් සලේ පමණක් නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහාත් සියලු කටයුතු සූදානම් බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැත. ඒ අනුව මෙම සටහන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් සහ NewsCenter නිල ෆේස්බුක් ගිණුමේ සටහන් ආකෘතිය යොදා ගනිමින් සකසන ලද ව්‍යාජ සටහනක් බව තහවුරු වේ. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරමින් සිටී.


