ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂාවට ජනපතිගෙන් නියෝග ?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂා කිරීමට ජනපති නියෝග කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

සියලු ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂාවට ජනපතිගෙන් නියෝග, තරග පාවාදී මුදල් බැර වූ බැංකු ගිණුම් සොයන්න ජනපතිගෙන් අලුත් පනතක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වනු ලැබුවා.

“🔴 ක්‍රිකට් “සුද්දයකට” ජනපති සැරසෙයි 💥

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් ක්‍රීඩා කළ සැකකටයුතු විලාශය පදනම් කරගනිමින්, ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සහ තරඟ පාවාදීම් මුලිනුපුටා දැමීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෘජුවම මැදිහත් වී තිබේ.​ ඊයේ (26) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ක්‍රිකට් පරිපාලන නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී ක්‍රීඩාවේ විනිවිදභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට නව පනතක් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා නිල වශයෙන් දැනුම් දුන්නේය.

​හඳුන්වා දීමට නියමිත නව පනත යටතේ තරඟ පාවාදීම්වලට සම්බන්ධ වන ක්‍රීඩකයන්ට කිසිදු සමාවක් හිමි නොවන අතර, වරදකරු වන ඕනෑම ක්‍රීඩකයෙකුට නැවත කිසි දිනක ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි වන සේ ජීවිතාන්තය දක්වා තහනමක් සහ වසර 04කට නොඅඩු කාලයක බරපතල වැඩ සහිත සිර දඬුවම් ද ලැබේ. විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත අතර, 2015 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබූ සියලුම ක්‍රීඩකයන්ගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂාවට ලක් කිරීමටද මෙහිදී නියෝග කර ඇත.

Source-: Newssecond”

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් බහුලව හුවමාරු වී තිබුණා.

Facebook | Facebook |Facebook 

Instagram ඔස්සේ මෙම සටහන පළ වී තිබුණේ මෙලෙසින්.

Instagram

මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන මේ වන විට අවසන් වී තිබේ. සත්කාරක රටක් ලෙස තරග වැදුණු ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව මූලික වටයේදී දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළද, සුපිරි 8 වටයේදී දැඩි පසුබෑමකට ලක් වූ අතර, අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට අපොහොසත් විය. 

සුපිරි 8 වටයේදී එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වීම ත්, ලෝක මට්ටමේ කණ්ඩායම් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වීම ත්,  ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සහ හිටපු ක්‍රීඩකයින් වර්තමාන ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලය (SLC) කෙරෙහි දැඩි ලෙස කලකිරීමට මෙන් ම, ප්‍රේක්ෂකයින්ගේ දැඩි දෝෂාරෝපණයටත් ලක් විය. ‍

ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ පවතින දූෂණ චෝදනා, විනිවිදභාවයක් නොමැතිකම සහ දේශපාලන ඇඟිලි ගැසීම් ගැන ද, ජනතාව තුළ ඇත්තේ විශාල අප්‍රසාදයකි. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක්වීම පවා සිදුවූයේ මෙම පරිපාලන දුර්වලතා නිසා බව ICC වාර්තා පෙන්වා දෙයි.

එමෙන් ම ක්‍රීඩකයින් කණ්ඩායමට වඩා තමන්ගේ පෞද්ගලික ලීග් තරග (LPL, IPL වැනි) සහ මුදල් පසුපස හඹා යන බවට චෝදනා ද, මේ අතර වේ.

මෙවන් පසුබිමක ඉහත සඳහන් ලෙස තීරණයක් ජනපති විසින් ගත් බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සමග බොහෝ පිරිසක් මෙය සත්‍ය බවට උපකල්පනය කොට සමාජ මාධ්‍ය තුළ එම සටහන් හුවමාරු කර ගෙන තිබුණේ, එහි ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් එම පුවත පළ කල බවට දක්වා ඇති බැවිනි.

ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් නැහැ

මේ හේතුවෙන් අප වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරා වල සියලු ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂාවට ජනපති නියෝග කළ බවට පුවතක් පළ වී ඇත්ද යන්න පිළිබඳ අප පරීක්ෂා කළ අතර කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් එවැනි පුවතක් වාර්තා කර නොමැති බව දැක ගන්නට නොලැබේ.

එමෙන් ම මෙම සටහන් වල පෙන්වා දෙන පරිදි පෙබරවාරි 26 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ක්‍රිකට් පරිපාලන නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බවට ද, කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර නොතිබුණි.

Newsfirst නව මාධ්‍ය කළමණාකරු

සිරස Newsfirst හි නිල ෆේස්බුක් පිටුවේ ඉහත සඳහන් ලෙස පුවතක් පළ කර ඇත්ද , යන්න පිළිබඳව ද, අප  පරීක්ෂා කළ ත්, ඒ ආකාරයේ පුවතක් පළ නොවී තිබුණි. එමෙන් ම මෙම පුවත පසුගිය පෙබරවාරි 26 යන හෝ ඒ ආසන්න දිනවලදී  ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශයේ ද, පළ වී නොතිබුණු බැවින්, අප මේ පිළිබඳව එහි වෙබ් පුවත් කළමණාකරුවෙකුගෙන් විමසීමක් කරනු ලැබුවා. ඔහු තහවුරු කළේ ද, මෙය අසත්‍ය පුවතක් බව ත්, Newsfirst විසින් මෙවැනි පුවතක් පළ කර නොමැති අතර එහි සමාජ මාධ්‍ය ගිණුම් වල පුවත් ආකෘතිය යොදාගෙන මෙලෙසින් ව්‍යාජ පුවතක් පළ කර ඇති බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති මාධ්‍ය අංශය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ක්‍රිකට් පරිපාලන නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවති බවට Factcrescendo Sri Lanka අප මාධ්‍ය ආයතනයට මෙන් ම කිසිදු මාධ්‍ය ආයතනයකට මාධ්‍ය නිවේදනයක් යොමු කර නොතිබුණි. එමෙන් ම ජනාධිපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවියේ ද, එවැනි නිවේදනයක් පළ වී නොතිබුණි.

ක්‍රීඩාවේ විනිවිදභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට නව පනතක් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා නිල වශයෙන් දැනුම් දුන් බවට පළ වන එම පුවත් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ත්, ක්‍රීඩකයන්ගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ලබා ගන්නා බවද, ක්‍රිකට් පරිපාලන නිලධාරීන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කළ බවට පළවන පුවත් ද, අසත්‍ය බව සඳහන් කළා.

ක්‍රීඩා අමාත්‍යාංශය

ක්‍රීඩා ආමත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරිය සඳහන් කළේ, මෙය අසත්‍ය පුවතක් බවයි. නව ක්‍රීඩා පණතක් ගෙන ඒමට නියමිත බවට තොරතුරු ද, අසත්‍ය බවයි ඇය පැවසුවේ.

ශ්රී ලංකා ක්රිකට් ආයතනය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතා ද, ඉහත නිල පාර්ශව සඳහන් කළ පරිදි එම කරුණු තහවුරු කරමින්, එම පුවත අසත්‍ය බවටයි අප කළ විමසීමේදී පවසා සිටියේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සියලු ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂාවට ජනපතිගෙන් නියෝග, තරග පාවාදී මුදල් බැර වූ බැංකු ගිණුම් සොයන්න ජනපතිගෙන් අලුත් පනතක් ලෙසට දක්වමින් පළ වන සටහන් අසත්‍ය බවයි. එවැනි තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය, ක්‍රීඩා අමාත්‍යාංශය,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.

Avatar

Title:ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂාවට ජනපතිගෙන් නියෝග ?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *