දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් පසු IRIS Dena ඉරාන යුද නෞකාව ශ්‍රී ලංකාවට ආසන්න ඉන්දීය සාගරයේ ගිලී යාමේ සිදුවීමත් ඉන් පසු විපතට පත් වූ නැවියන් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව පියවර ගෙන තිබුණා. මෙම සිදුවීම් හා සම්බන්ධ සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. මේ එවැනි සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඉරාන නැවට පහරදීමට ඉඩ සැලසීම නිසා ශ්‍රී ලංකාවට තෙල් අපනයනය නැවැත්වීමට ඉඩ ඇති බවටත් වහාම හැකි තරම් ඉන්ධන රැස් කර ගන්නා ලෙසටත් දන්වමින් මෙම සටහන පළ කර තිබුණේ, මාර්තු 5 වැනිදා ය.

ෆේස්බුක් ගිණුම් හිමියා මුල් අවස්ථාවේම මෙය පළ කර තිබුණේ, මෙලෙසයි.

දෙවන වරට සිදු කළ සංස්කරණයේදී සූදානමක් යන්න ඉඩ ඇත ලෙසත්, තෙවන සංස්කරණයේදී අරාබිකරයෙන් යන්න ද ඉවත් කර තිබුණේ මෙලෙසයි.

අවස්ථා කිහිපයකදී සංස්කරණයට භාජනය කර තිබූ සටහනේ තොරතුරු නිවැරදි බවට විශ්වාස කරමින සැලකිය යුතු පිරිසක් එය හුවමාරු කරගෙන තිබූ අතර තවත් බොහෝ පිරිසක් මෙහි නිර්වද්‍යතාව ප්‍රශ්න කර තිබුණා.
ඒ අනුව පාඨකයින්ගෙන් ද ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අප මෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉරානයට අයත් IRIS Dena ඉරාන යුද නෞකාව ගාලු වරායට නාවික සැතපුම් 19ක් දුරකදී අමෙරිකානු සබ්මැරීනයක් මගින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් විනාශ කර දැමීමේ පුවත මාර්තු 4 වැනිදා දෙස් විදෙස් මාධ්‍ය රැසක් මෙලෙස, මෙලෙස, මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. මේ අතර ප්‍රහාරයට ලක්වූ ඉරාන නෞකාව ශ්‍රී ලංකාවට පැමණීම සඳහා අවසර ඉල්ලා පැය 11ක් තිස්සේ බලා සිට ඇති බවත් එම නැවට ගාලු වරායට ප්‍රවේශවීමට ඉඩ නොදුන්නේ ඇයි ද යන්නත් මැයි 05 වැනිදා පාර්ලිමේන්තුවේදී විපක්ෂය ආණ්ඩුවෙන් මෙලෙස ප්‍රශ්න කළා. ඉරාන නැවට පහරදීමට ඉඩ සැලසීම නිසා ශ්‍රී ලංකාවට තෙල් අපනයනය නැවැත්වීමට ඉඩ ඇති බවටත් වහාම හැකි තරම් ඉන්ධන රැස් කර ගන්නා ලෙසටත් වන ඉහත සටහන හුවමාරු වන්නේ එවන් වටපිටාවක් තුළදී ය.
දේශීය හෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා නැහැ
ඒ අනුව අප මූලිකවම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයෙන් ශ්‍රී ලංකාව ඉරාන නැවට පහරදීමට ඉඩ සැලසීමක් හෝ ශ්‍රී ලංකාවට තෙල් අපනයනය නැවැත්වීමට ඉඩක් ඇති බවට හෝ වන පුවත් පිළිගත් මාධ්‍ය කිසිවක් විසින් වාර්තා කර තිබේ දැයි පරීක්ෂා කර බැලූ අතර එවැනි පුවතක් දෙස් විදෙස් කිසිදු මාධ්‍යක් විසින් වාර්තා කර නොමැති බව තහවුරු විය. කෙසේ වෙතත් ප්‍රහාරයට ලක්වූ නෞකාවේ විපතට පත් පිරිස බේරා ගැනීමට සහ පසුව ලංකාවට ඇතුළුවීමට අවසර ඉල්ලා තිබූ ඉරාන දෙවන නෞකාව වූ අයිරිෂ් බුෂර් නෞකාව මුදාගෙන එහි සිටි පිරිස් ද මෙරටට රැගෙන ඒමට ශ්‍රී ලංකා රජය ගත් පියවර ගත් අතර එම ක්‍රියාව බොහෝ පිරිසකගේ පැසසුමට ලක්ව තිබුණා. IRIS Dena නෞකාවේ නැවියන් බේරාගැනීමට ශ්‍රී ලංකාව දැක්වූ සහයට ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රසංශාව පළ කළ බව මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. ප්‍රහාරයට ලක් වූ නැවේ නාවිකයින් බේරා ගැනීම සහ අනෙක් නෞකාවේ පිරිස නිරුපද්‍රිතව මුදා ගැනීම පිළිබඳෙව ජාත්‍යන්තර සංවිධාන ප්‍රසංශාව පළ කර තිබූ අතර බොහෝ විදෙස් මාධ්‍ය මෙම මානුෂීය මෙහෙයුම පිළිබඳව වාර්තා කර තිබුණා. මේ අතර පසුගිය 5 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ, ඉරාන නෞකා දෙක සම්බන්ධයෙන් රජය ශ්‍රී ලංකා භූමිය, මුහුදු කලාපය, ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයෙන් හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොතැබීමේ ස්ථාවරයේ පිහිටා කටයුතු කර ඇති බවයි.
සමාජ මාධ්‍යයේ සංසරණය වන පුවත අසත්‍යයි – අධිකරණ ඇමති
ෆේස්බුක් ඔස්සේ සංසරණය වන සටහනේ සත්‍යතාවක් නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ද මාර්තු 6 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකශ කළා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඉරානය ලංකාවට තෙල් දෙන්නෙ නැතුව ඉන්න හදන බවටත්, හැකි ඉක්මනින් ෂෙඩ්වලට ගිහින් තෙල් ගහන්න යනුවෙන් අසත්‍ය සටහනක් සමාජ මාධ්‍යයේ සංසරණය වන බවයි. පවතින තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික නීති සහ ප්‍රඥප්ති අනුව මධ්‍යස්ථව කටයුතු කරමින් සිටියදී විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ෆේස්බුක් හරහා ලබා ගන්නා තොරතුරු ඉදිරිපත් කරමින් අසත්‍ය පතුරුවමින් සිටින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඉරානයෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කරනවා ද?
අමෙරිකා එක්සත් ජනපදය ඉරානය හමුවේ සම්බාධක පැනවීමත් සමග 2012 වසරේදී ඉරානයෙන් ඉන්ධන මිලදී ගැනීමට අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබූ බව එවක පුවත් මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. මේ අතර sundaytimes වාර්තා කර තිබුණේ, 2012 මාර්තු 29 සිට ශ්‍රී ලංකාව ඉරානයෙන් බොරතෙල් ආනයනය නතර කර දැමූ බවයි. ශ්‍රී ලංකාව බොරතෙල් අවශ්‍යතවෙන් 93%ක් ඉරානයෙන් සපයා ගත් බවත් එහි සඳහන්වුණා. මේ අතර ඉරානයෙන් ඉන්ධන ආනයනයට බාධා එල්ල වීමත් සමග එවක සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද යම් කාලයකට වසා දමා තිබූ බවත් පසුව වෙනත් ඕමානයෙන් සහ සෞදි අරාබියෙන් බොර තෙල් ආනයනයට පියවර ගෙන තිබුණා.
මේ අතර තවත් පුවත් වාර්තාවක දැක්වුණේ, ඉරානයට සම්බාධක පැනවීමට පෙර මිලදී ගත් බොරතෙල් සඳහා ශ්‍රී ලංකාව තවමත් ඉරානයට අමෙරිකානු ඩොලර් මිලියන 250ක ණයක් ආපසු ගෙවමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා උපුටා දක්වමින් newswire ඉකුත් පෙබරවාරි 26 වැනිදා වාර්තා කර තිබුණා. එහි වැඩිදුරටත් දැක්වුණේ, තෙල් වෙනුවට තේ හුවමාරු ගිවිසුමක් හරහා බවයි. මේ අනුව පැහැදිලි වන්නේ, මේ වනවිට ඉරානයෙන් ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනයක් සිදු නොකරන බවයි. ඒ අනුව ඉරානය මෙරට තෙල් අපනයනය අත්හිටුවීමේ සූදානමක ඇති බවට මතයක් සමාජගත කිරීමට දරන උත්සාහය පදනම් විරහිත එකකි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා
ඉරාන නෞකාව ශ්‍රී ලංකාවට ආසන්න ඉන්දියන් සාගරයේදී අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් විනාශ කිරීම හේතු කොට ගනිමින් මෙරටට ඉන්ධන අපනයනය නතර කිරීමේ සූදානම් ඇති බවට වන සටහන පිළිබඳව අප ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතාගෙන් විමසීමක් කළා. කළමණාකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ, එම සිදුවීම හේතුකොටගෙන මෙරට ඉන්ධන ආනයනයට කිසිදු බාධාවක් එල්ලවී නොමැති බවත් ඉන්ධන ආනයනය සහ එකී සිදුවීම අතර කිසිදු සම්බන්ධයක් හෝ නොමැති බවයි.
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ඉරානයෙන් බොරතෙල් ආනයනය සිදු නොවූ බව සඳහන් කළ කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ, ලංකාවට බොරතෙල් (Murban Crude) ආනයනය කරනු ලබන්නේ, එක්සත් අරාබි එමිරේට්ස් (UAE) සිට බවයි. මේ වනවිටත් එක් බොරතෙල් නෞකාව දිවයිනට බලා පිටත්ව ඇති බවත් ලබන 11 වැනිදා වන විට එය දිවයිනට ළඟාවීමට නියමිත බවත් කළමනාකර අධ්‍යක්ෂවරයා කියා සිටියා.
යුදමය තත්ත්වය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම මෙරට බොර තෙල් ආනයනයට බලපෑමක් සිදු වන්නේ දැයි අප කළ විමසීමේදී කළමනාකර අධ්‍යක්ෂවරයා ඊට මෙලෙස පිළිතුරු දුන්නා.
“UAE වල Port දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ හෝමූස් වලින් එහා පැත්තේ අනෙක් එක තියෙන්නේ මෙහා පැත්තේ අපිට හැමදාම බොරතෙල් Load කළේ, Fujairah වල සිට එය පිහිටා තියෙන්නේ, හෝමුස්වලට මෙහා පැත්තේ’’
මේ අතර මෙරටට පිරිපහදු කළ ඉන්ධන ශ්‍රී ලංකවට ආනයනය සිදුවන්නේ, ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ දකුණු කොරියාව යන රටවවලින් බව ද ඔහු වැඩිුදරටත් සඳහන් කළා.
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ, ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයක් පැන නගී ද?
අවශ්‍ය තරම් ඉන්ධන තොග ගබඩාවල පවතින බවත් ඒ හේතුවෙන් ඉන්ධන රැස් කර ගැනීමට හෝ ඒ සම්බන්ධව අනවශ්‍ය කලබලයක් ඇති කර ගතයුතු නොමැති බව මැදපෙරදිග යුද ගැටුම් ඇති වූ මුල් අවස්ථාවේ සිටම රජය අවධාරණය කර සිටියා.
මාර්තු 02 වනදා කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන නැව් පැමිණෙන්නේ මැදපෙරදිග කලාපයේ සිට නොවන බවයි. වෙනත් කලාපවල සිට ශ්‍රී ලංකාවට ඉන්ධන නෞකා පැමිණෙන බවත් පසුගිය වසර පුරාවටම ශ්‍රී ලකාවට ඉන්ධන නෞකා පැමිණ ඇත්තේ, ඉන්දියාව, කොරියා, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල සිට බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා. මාසයකට ප්‍රමාණවත් පරිදි සංස්ථාව සතුව ඉන්ධන තොග පිළිබඳව සභාපතිවරයා මෙලෙස සංඛ්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීමක් ද සිදු කළා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට බොර තෙල් ආනයනය කරන්නේ, මැදපෙරදිග කලාපයේ සිට බවත් මාසයක් සඳහා බොර තෙල් ද තිබෙන බව ප්‍රකාශ කළ සභාපතිවරයා කියා සිටියේ යුදමය තත්ත්වය අඛණ්ඩව පැවතුන හොත් වෙනත් කලාපවලින් බොර තෙල් ආනයනය සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කර ඇති බවයි. ඒ අනුව යුදමය තත්ත්වය අඛණ්ඩව පැවතුන ද රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර එම මාධ්‍ය හමුවේදී ඇනවුම් කරන ලද ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්ධන නෞකා පිළිබඳව කැබිනට් ප්‍රකාශවරයා දින වකවානු ද සහිතව මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.
මේ අතර මාර්තු 04 වැනිදා පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේ, යුදමය ත්ත්වය කොපමණ ත්‍රීවෘ වුව ද අප්‍රේල් අවසානය වන තුරු තෙල් සංචිත රට තුළ පවතින බවයි. පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ, මැලේසියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාවෙන් බවයි. තව ද ලබන 11 වැනිදා සහ 29 වැනිදා වන විට බොර තෙල් නෞකා 2ක් දිවයිනට ළඟා වීමට නියමිත බව සභාපතිවරයා මෙලෙස පැහැදිලි කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉරාන නැවට පහරදීමට ඉඩ සැලසීම නිසා අරාබිකරයෙන් ශ්‍රී ලංකාවට තෙල් අපනයනය නැවැත්වීමට ඉඩ ඇති බවටත් වහාම හැකි තරම් ඉන්ධන රැස් කර ගන්නා ලෙසටත් වන සමාජ මාධ්‍ය සටහන අසත්‍යක් බවයි. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙය අසත්‍ය සටහනක් බව ප්‍රකාශ කර තිබූ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂවරයාගේ අදහස් පළ කිරීම් අනුව ද අදාළ සමාජ මාධ්‍ය සටහන අසත්‍යයක් බව තහවුරු වේ.
Title:මැදපෙරදිගින් ශ්‍රී ලංකාවට ඉන්ධන අපනයන නතර කිරීමේ සූදානමක් තිබේ ද?
Fact Check By: Sagarika ChathumaliResult: Insight


