සෞදි කඳවුරකින් අමෙරිකානු සෙබළුන් පිටව යන දර්ශන පෙළක් ද?

False International

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි ප්‍රහාර එල්ල කිරීමත් සමග ආරම්භ වූ මැපෙරදිග  යුදමය තත්ත්වයට අදාළව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද බොහෝ තොරතුරු හුවමාරු වෙමින් පවතී. එලෙස හුවමාරු වන තොරතුරු අතර සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් සහ දර්ශන ද වේ. මේ එලෙස හුවමාරු වන වීඩියෝවක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

සෞදි කඳවුරේ අමෙරිකානුවන් පිටත්ව යාම යන සඳහන සහිතව මෙම මාර්තු 12 වැනදා ෆේස්බුක්හි පළ කරන ලද මෙම වීඩියෝවට අනුව හමුදා සෙබළ සෙබළියන් පිරිසක් ගුවන් යානයක් තුළ රැඳී සිටින ආකාරයක් දැකගත හැකියි. සෞදි අරාබියෙන් හමුදා කඳවුරු ඉවත් කරන බවට අමෙරිකාව නිවේදනය කර ඇති බවත් දර්ශන අනුව බඩුබාහිරාදිය ද සමග සොල්දාදුවන් සිය රට බලා පිටත්ව යන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

Facebook 

මෙම වීඩියෝවේ නිර්වද්‍යතාව පරීක්ෂා කර බැලීමට අප පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව පෙබරවාරි 28 වනදා ප්‍රහාර එල්ල කිරීමත්, ගුවන් ප්‍රහාර එල්ල කළ පළමු දිනයේදීම ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඝාතනයට ලක්වීමත් සමග ආරම්භ වූ යුද්ධයට දැන් සති දෙකක් ඉක්ම ගොසින් ය. පෙර දැනුම්දීමකින් හෝ අනතුරු ඇඟවීමකින් තොරව සිය රටට එල්ලවූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය අමෙරිකානු හමුදා කඳවුරු පිහිටා ඇති මැදපෙරදිග අමෙරිකානු මිත්‍ර රටවල් සිය ඉලක්කය බවට පත් කරගත්තා.  එදා සිට මේ දක්වා ඉරානය අමෙරිකානු හිතවාදී මැදපෙරදිග රටවලට ප්‍රහාර එල්ල කරමින් සිටී.

සෞදි ආරබියේ කඳවුරුවල සෙබළුන් ඉවත් කර ගත් බවට මාධ්‍ය වාර්තා නැහැ.    

සෞදි ආරබියෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කර ගැනීමට අමෙරිකාව තීරණයක් ගෙන තිබුණේ නම්, එවැනි පුවතක් ජාත්‍යන්තර  මාධ්‍යයේ ප්‍රධානමත පුවත විය යුතු ය. එහෙත් අපි සිදු කළ පරීක්ෂාවේදී එවැනි පුවතක්, එවැනි පුවතකට අදාළ ඉහත දර්ශන කිසිදු ජාත්‍යන්තර මාධ්‍යක් විසින් වාර්තා කර නොමැත.     

අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාර එල්ල වූ පළමු දිනයේදීම ඉරානය ප්‍රතිචාර ලෙස සෞදියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාර  එල්ල කළ අතර මේ දක්වා අවස්ථා කිහිපයකදීම සෞදියට ප්‍රහාර එල්ල කර තිබේ. නවතම විදෙස් වාර්තාවල දැක්වෙන්නේ සෞදි අරාබියේ Prince Sultan ගුවන් කඳවුර වෙත එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් අමෙරිකානු ගුවන් හමුදාවේ ඉන්ධන පිරවීමේ ගුවන් යානා 5ක් විනාශ වී ඇති බවයි.  Prince Sultan යනු අමෙරිකානු හමුදාව විසින් මෙහෙයුම් පවත්වා ගෙන යනු ලබන කඳවුරු කිහිපය අතරින් එකකි. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය මූලික කර ගනිමින් හෝ සමාජ මාධ්‍ය හුවමාරු වන වීඩියෝවෙන් කියවෙන පරිදි අමෙරිකා හමුදා ඉවත් කර ගැනීමක් සිදු කළ බවට හෝ කිසිදු මාධ්‍ය වාර්තාවක් නොමැත.  

මැදපෙරදිග අමෙරිකානු කඳවුරු වසා දමන්න – ඉරාන නව අධ්‍යාත්මික නායක

අයතුල්ලා අල් කමෙනිගේ ඝාතනයෙන් පසු ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්තාබා කමේනි පසුගියදා පළමු වරට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ, ඉරානය විසින් කලාපයේ අමෙරිකානු කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදු කරන බවයි. ඉරානය අසල්වැසි රටවල් සමග මිත්‍රත්වයේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් එම රටවල පිහිටා ඇති අමෙරිකානු කඳවුරු හැකි ඉක්මනින් වසා දැමීමට පියවර ගන්නා ලෙස ඔහු අනතුරු ඇඟවී ය. මෙම අනතුරු ඇඟවීම පදනම් කරගනිමින් හෝ සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයට අමෙරිකානු සෙබළුන් සෞදියෙන් පිටව යන බවට කිසිදු නිල වාර්තතා හමු නොවේ. 

අමෙරිකානු රජයේ හෝ නිල වාර්තා නැහැ. 

තව ද අප සිදු කළ පරීක්ෂාවේදී අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය, එහි නිල සමාජ මාධ්‍ය ගිණුම්  සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල X ගිණුම සහ  Truth සමාජ මාධ්‍ය ගිණුම් වල හෝ එවැනි පුවතක් පිළිබඳ ඉඟි සැපයීමක් සිදු කර නොමැත. 

මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශනය පිළිබඳ නිවැරදි තොරතුරක් සපයා ගැනීම සඳහා අප එහි රූප රාමු Revers Image සෙවුමක් වෙත යොමු කර පරීක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ අනුව පැහැදිලි වූයේ පසුගිය 2025 වසරේ සිට මෙම දර්ශනය සමාජ මාධ්‍ය ජාලාවල  සංසරණය වෙමින් පවතින බවයි. HustleBitch නම් ගිණුම ඔස්සේ 2025 ජුනි 22 වනදා මෙම වීඩියෝව සමාජ මාධ්‍යට මුදා හැර ඇති බව මෙලෙස දැකගතහැකි විය. ඉරානයට හමුදා සෙබළුන් යෙදවීම යනුවෙන් අමෙරිකානු හමුදා සෙබලෙක් මෙම දර්ශනය රූගත කර පළ කර ඇති බවත් එහි සඳහන් කර තිබේ. 

X | Archived Link

ඇමරිකානු ගුවන් හමුදාව සහ නාවික හමුදාව එක්ව 2025 වසරේදී වැනි ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3ක් ඉලක්ක කරමින් ගුවන් හා නාවික ප්‍රහාර එල්ල කළේ ය. කෙසේ වෙතත් දින කිහිපයකින් යුද තත්වය සමනය වූ අතර යළිත් ගැටුම් ඇති වූයේ, මෙම වසරේ එනම් 2026 පෙබරවාරි 28 වැනිදා ය. ඉරානය තනි රාජ්‍යක් ලෙස සිටිමින් තවදුරටත් ඊශ්‍රායලය සහ අමෙරිකානු මිත්‍ර සිය අස්ල්වැසි රටවලට ප්‍රහාර දියත් කරමින් සිටින වටපිටාවක 2025 වසරේ අමෙරිකානු සෙබළුන් ඉරානයේ ස්ථානගත කළ බවට වන ඉහත X සටහන  කිසිදු සත්‍යතාවකින් තොර සටහනකි. කෙසේ වෙතත් අප තවදුරටත් සිදු කළ පරීක්ෂාවේදී පසුගිය ජනවාරි 18 වැනිදා ද අදාළ වීඩියෝව Instagram ඔස්සේ මෙලෙස පළ කර තිබෙනු දැකගත හැකි විය.

ඒ අනුව 2025 වසරේ සිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ඉහත වීඩියෝව සෞදියේ හමුදා කඳවුරුවලින් අමෙරිකානු සෙබළුන් ඉවත් කරගන්නා දර්ශන පෙළක් නොවන බව පැහැදිලි වේ. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සෞදි අරාබියේ කඳවුරකින් අමරිකානු සෙබළුන් පිටව යන දර්ශනයක් යනුවෙන් සඳහන් කරමින් ගුවන් යානයක් තුළ හමුදා සෙබළුන් පිරිසක් දක්නට ඇති වීඩියෝව කුමන අවස්ථාවක, කුමන ස්ථානයකදි ගන්නා ලද දර්ශනයක් ද යන්න පැහැදිලි නොමැති වුවත් එය  මේවනවිට පවතින යුද තත්ත්වය හමුවේ සෞදි කඳවුරකින් අමෙරිකානු සෙබළුන් ඉවත්ව යන දර්ශනයක් නොවන බවයි. එම වීඩියෝව 2025 වසරේ සිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන හමුදා සෙබළුන් පිරිසක් ගුවන් යානයක් තුළ සිටින අයුරු දැක්වෙන දර්ශනයක් වන අතර සමාජය නොමග යවන සුළු ආකාරයේ සඳහනක් සහිතව එය සමාජ මාධ්‍යට මුදා හැර ඇත.

Result Stamp

Title: සෞදි කඳවුරකින් අමෙරිකානු සෙබළුන් පිටව යන දර්ශන පෙළක් ද?

Fact Check By: Sagarika Chathumali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *