දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ සමස්ත ලෝකයම අඩු වැඩි වශයෙන් ඉන්ධන අර්බුදයකට මුහුණපාමින් සිටින අවස්ථාවක රුසියාව ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීම සඳහා කොන්දෙසි පනවා ඇති බවටත්, ඉරානය ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීමට එකඟ වී ඇති බවටත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් සංසරණය වෙමින් පවතී. මේ එවැනි සටහන් කිහිපයක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Claim 1:
තෙල් අත්පිට මුදලට පමණයි.. ඩොලර් බෑ.. රූබල්, යුවාන් පමණයි – රුසියාව ලංකාවට දන්වයි යන තේමාවෙන් ෆේස්බුක් ඔස්සේ පළ කරන ලද සටහන සඳහා පාදක වී ඇත්තේ මාර්තු 16 වැනිදා LankaCNews හි පළ කරන ලද පුවතකි.

රුසියාවෙන් මෙරටට ඉන්ධන නැව් දෙකක් ලබාගැනීම වෙනුවෙන් සිදුකළ යුතු ගෙවීම් රූබල් හෝ යුවාන් මුදලින් සිදුකිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළ කර ඇති බවත් විදේශ කටයුතු ආමත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව පූර්ව ගෙවීම් පදනම මත ඉන්ධන ලබා දිය හැකි බවත් ගෙවීම් ඩෙලර්වලින් භාරගත නොහැකි බවටත් රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි, එම වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ. LankaCNews| Archived Link
මෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කර බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check 1:
තෙල් අත්පිට මුදලට පමණයි.. ඩොලර් බෑ.. රූබල්, යුවාන් පමණයි – රුසියාව ලංකාවට දන්වයි යන තේමාවෙන් ෆේස්බුක් ඔස්සේ පළ කරන ලද සටහන සඳහා මාර්තු 16 වැනිදා LankaCNews හි පළ කරන ලද පුවතක් පදනම් වී තිබුණත් වෙබ් අඩවිය ද එම පුවත වාර්තා කර ඇත්තේ, තොරතුරු ලබා ගත් නිල මූලාශ්‍රයක් පිළිබඳ සඳහනක් නොමැතිවයි.
මේ අතර අරුණ පුවත්පත මාර්තු 16 වැනිදා රූබල් හෝ යුවාන්වලින් ගෙවනවා නම්, ඉන්ධන නැව් 2ක් දෙන්න රුසියාව එකඟ වෙයි ශීර්ෂයෙන් පුවතක් පළ කර ඇති අතර එහි ද එම තොරතුර සඳහා පදනම් වූ නිල මූලාශ්‍රයක් පිළිබඳව සඳහනක් දැකගන්නට නැත.
රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා විදේශ ඇමති සහ රුසියානු තානාපති අතර හමුවක්
රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට රුසියානු තානාපතිවරයා අතර මාර්තු 13 වැනිදා සාකච්ඡාවක් පැවැත්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබුණා. ශ්‍රී ලංකාවේ ඉල්ලීම රුසියානු රජයට දැන්වීමට තානාපතිවරයා එකඟතාව පළ බවත් අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවට ද රුසියානු තානාපතිවරයා එහිදී පොරොන්දු වූ බවත් අදාළ නිවේදනයේ සඳහන්ව විය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී හෝ ඉන් පසුව ඉන්ධන අත්පිට මුදලට ලබා දෙන බවටත්, ගෙවීම් සිදු කළ යුත්තේ රූබල් හෝ යුවාන් පමණක් බවටත් වන දැනුම්දීමක් සිදුවූ බවට එහි සඳහන් නොවේ.
මේ අතර අප කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ, අමාත්‍යවරයා ඇතුළු පිරිස රුසියානු තානාපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී සමාජ මාධ්‍ය සංසරණය වන ආකාරයෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීමක්, රූබල් හෝ යුවාන්වලින් පමණක් ගෙවීමක් ආදී සමාජ මාධ්‍ය යේ සංසරණය වන කරුණු සාකච්ඡා නොවූ බවයි.
ඕනෑම මුදල් එකකයකින් ගනුදෙනුව සිදු කළ හැකියි – ජනපති
මේ අතර ඊයේ (17) මාධ්‍ය හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමේදී අදාළ ගෙවීම් ඕනෑම මුදල් ඒකකයකින් සිදු කළ හැකි බවත් ඊට අවශ්‍ය සාකච්ඡා සිදුකර ඇති බවත් ය.
“යුවාන්වලින් රූබල්වලින් ගනුදෙනු කරන්න වෙයි. ඇයි යුවාන් එකතු කරගත්තේ නැත්තේ? ඇයි රූබල් එකතු කර ගත්තේ නැත්තේ? මේවා බොරු. ගනුදෙනුව කරන්න පුළුවන් ඕනෑම මුදල් එකකයකින්. අපි ඒක කතා කරලා තියෙන්නේ හැබැයි රුසියාව සහ අපි අතර එකඟතාවකට එනවා නම්, අපි ගන්න බැඳෙනවා ගන්න බැදෙනවා නම්, අපි ඒ බැඳීම ඉටු කරන්න ඕන. ඉටුකළ හැකි පරිසරයක් හදා ගන්න ඕන ’’
රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙරට බලශක්ති සැපයුමට අදාළව විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් හා රුසියානු තානාපතිවරයා අතර සිදු වූ සාකච්ඡාවේදී මූල්‍ය හෝ සැපයුම් ගැටලු පිළිබඳව සාකච්ඡා නොකළ බවයි. මෑත කාලීනව පැවති සාකච්ඡා සම්බන්ධයෙන් පළවී ඇති විවිධ වාර්තා සැලකිල්ලට ගනිමින් තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, අදාළ කරුණු සම්බන්ධයෙන් තානාපති කාර්යයාලය මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් ඉදිරියේදී එහි ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන බවත් ය.

ඉහත කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, ඉන්ධන ලබාදීමේදී එම අවස්ථාවේම මුදල් ලබා දිය යුතු බවටත් අදාළ ගනුදෙනුව ඩොලර්වලින් සිදු කළ නොහැකි බවටත්, ඉන්ධන මිලදී ගත යුත්තේ, රූබල්, යුවාන්වලින් පමණක් බවටත් රුසියාව දන්වා ඇතැයි කියමින් පළ වන සටහන්වල සත්‍යතාවක් නොමැති බවයි.
මේ අතර ඉරානයෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන නෞකා පැමිණෙමින් ඇති බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වෙමින් තිබූ අතර අප ඒ පිළිබඳව ද කරුණු විමසා බැලීමක් සිදු කළා.
Claim 2:
ඉරානයෙන් ශ්‍රී ලංකාවට කලගුණ සලකන්න තෙල් නැව් පෙළක් යන ශීර්ෂයෙන් පළ කර ඇති පහත වීඩියෝවට අනුව එහි නිවේදකයා පවසන්නේ, ශ්‍රී ලංකා රජය ඉරාන නෞකාවල නැවියන් මුදා ගැනීම, මියගිය නැවියන්ගේ මළ සිරුරු යළි ඉරානයට යැවීමට කටයුතු කිරීම ඇතුළු උපකාරවලට කලගුණ සැලකීමක් ලෙස ඉරානය ශ්‍රී ලංකාවට ඉන්ධන නෞකා පිටත්කර හැරීමට සූදානම් බවයි. “ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් නැව් පෙළක් එන්නට නියමිතයි” එහෙත් ඔහු එම තොරතුර සඳහා පදනම් වූ නිල මූලාශ්‍රය පිළිබඳ සඳහන් නොකරයි.
Fact Check 2:
ඉහත වීඩියෝවේ සඳහන් කරුණු අනුව යමින් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරාන ආරක්ෂාව යටතේ එන ශ්‍රී ලංකා නැව් යන තේමාවෙන් ශ්‍රී ලංකා ධජය සහිත නෞකා කිහිපයක් යාත්‍රා කරන අයුරු සහ ඒ දෙපසින් ඉරාන නෞකා යාත්‍රා කරමින් ඇති අයුරු දැක්වෙන කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් ෆේස්බුක් ඔස්සේ මෙලෙස|Archived Link සහ මෙලෙස |Archived Link හුවමාරු වී තිබුණා.
ඉරානයෙන් තෙල් නැව් එන බවට මාධ්‍ය වාර්තා නැහැ
සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි ඉරානය ශ්‍රී ලංකාවට ඉන්ධන නැව් එවීමට පියවර ගැනීමක් හෝ මේවනවිට ඉන්ධන රැගත් නැව් ශ්‍රී ලංකාව බලා පිටත්වීමක් සිදු කර ඇති බවට කිසිදු පිළිගත් මාධ්‍යක් විසින් වාර්තා කර නොමැත.
කිසිවෙක් අපේක්ෂා නොකළ අවස්ථාවක ඇති වූ මැදපෙරදිග යුද්ධය හමුවේ ශ්‍රී ලංකාවට බලපාන කාරණා පිළිබඳ විදෙස් රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින්, තානාපති කාර්යාල නිලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් නිරතුරුව තොරතුරු හුවාමරු කරගනිමින් සිටින්නේ, විදේශ කටයුතු අමාත්‍යවරයායි. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා ඉරාන රාජතානත්‍රික නිලධාරීන් සමග සිදු කළ සාකච්ඡාවකදී හෝ සමාජ මාධ්‍යයෙහි සංසරණය වන ආකාරයට ඉරානය ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීමට එකඟතාවක් පළ කර තිබේ දැයි, අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසා සිටියා.
විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ඉරාන රාජතාන්ත්‍රිකයින් අතර එවැනි එකඟතාවක් සිදුව නොමැති බවත් ය. ඉරානයෙන් ඉන්ධන නෞකා එන බවට වන සටහන්වල සත්‍යතාවක් නොමැති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ අතර අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි මහතා අතර පසුගිය 13 වැනිදා දුරකථන සංවාදයක් පැවත්වූ බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය සිය X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබුණා. එහිදී IRIS Dena නෞකාවේ සිටි නාවිකයන් මුදා ගැනීම සහා මිය ගිය අයගේ මළ සිරුරු නැවතත් සිය රටට ලබාදීම සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සිය ස්තූතිය පළ කළ බව සඳහන් ය. කෙසේ වෙතත් එහිදී හෝ ඉරාන ඉන්ධන ලබාදීමක් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදුවූ බවට සඳහනක් නොමැත.
ශ්‍රී ලංකාව ඉරානයෙන් ඉන්ධන ආනයනය කරනවාද?
අමෙරිකා එක්සත් ජනපදය ඉරානය හමුවේ සම්බාධක පැනවීමත් සමග 2012 වසරේදී ඉරානයෙන් ඉන්ධන මිලදී ගැනීමට අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබූ බව එවක පුවත් මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. පසුව වෙනත් ඕමානයෙන් සහ සෞදි අරාබියෙන් බොර තෙල් ආනයනයට පියවර ගෙන තිබුණා.
මේ අනුව පැහැදිලි වන්නේ, මේ වනවිට ඉරානයෙන් ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනයක් සිදු නොකරන බවයි. ඒ අනුව ඉරානය මෙරට තෙල් අපනයනය අත්හිටුවීමේ සූදානමක ඇති බවට මතයක් සමාජගත කිරීමට දරන උත්සාහය පදනම් විරහිත එකකි
මේ අතර මීට පෙර අප කළ විමසීමකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ද පැවසුවේ, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව ඉරානයෙන් බොරතෙල් ආනයනය නොකළ බවයි. කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ, ලංකාවට බොරතෙල් (Murban Crude) ආනයනය කරනු ලබන්නේ, එක්සත් අරාබි එමිරේට්ස් (UAE) සිට බවයි.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කියා සිටියේ, පසුගිය වසර පුරාවටම ශ්‍රී ලකාවට පිරිපහදු කළ ඉන්ධන නෞකා පැමිණ ඇත්තේ, ඉන්දියාව, කොරියා, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල සිට බවත් ශ්‍රී ලංකාවට බොර තෙල් ආනයනය කරන්නේ, මැදපෙරදිග කලාපයේ සිට බවත් යුදමය තත්ත්වය අඛණ්ඩව පැවතුණ හොත් වෙනත් කලාපවලින් බොර තෙල් ආනයනය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බව සභාපතිවරයා එදින සඳහන් කළා.
මේ අතර ඉන්ධන නෞකා සඳහා ආරක්ෂාව සැපයීම පිළිබඳව අප සිදුකළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම නෞකාවක් සඳහා ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරිය වන බවයි. යුදමය තත්ත්වයක් තිබීම හෝ නොතිබීම යන කරුණු මත නොව ලංකාවට එන සියලු වර්ගයේ නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී ආරක්ෂා කිරීම නාවික හමුදාවේ වගකීම බවත් සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් යටතේ එය සිදු කරන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
Also Read: මැදපෙරදිගින් ශ්‍රී ලංකාවට ඉන්ධන අපනයන නතර කිරීමේ සූදානමක් තිබේ ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉරානයෙන් ශ්‍රී ලංකාවට කලගුණ සලකන්න තෙල් නැව් පෙළක් යනුවෙන් පළ කර ඇති වීඩියෝව සහ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරාන ආරක්ෂාව යටතේ එන ශ්‍රී ලංකා නැව් යන තේමාවලින් පළ කරන ලද සටහන් නිල මූලාශ්‍ර නොමැතිව පළ කරන ලද අසත්‍ය සටහන් බවයි. එම සටහන් මගින් ඇගවීමට උත්සාහ කරන ආකාරයේ ඉන්ධන රැගත් නෞකා ශ්‍රී ලංකාවට පැමණීමක් හෝ එවැනි සූදානමක් නොමැති බවයි. මේ අතර තෙල් අත්පිට මුදලට පමණයි.. ඩොලර් බෑ.. රූබල්, යුවාන් පමණයි – රුසියාව ලංකාවට දන්වයි යනුවෙන් පළ කර ඇති සටහන් සඳහා ද පිළිගත හැකි නිල මූලාශ්‍රයක් නොමැති බව පැහැදිලි වන අතර ජනාධිපතිවරයා විශේෂ මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශය මගින් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල සත්‍යතාවක් නොමැති බව තහවුරු වේ.


